කැලණිය ශ්‍රී පඤ්ඤානන්ද ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය සම්මේලනයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ ප්‍රකාශ කර සිටියේ ඖෂධයක් සේ කංසා භාවිතය බුදුරජාණන් වහන්සේ පවා අනුදැන වදාරා ඇති බවත්, එබැවින් දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය උදෙසා මෙරට කංසා වගාවට නීතියෙන් අවසර ලබා දිය යුතු බවත්ය.
සම්මේලනයේ විධායක සභික අඟුරුගල්ලේ ජිනානන්ද හිමි, ලේකම් සර්වාංග වෛද්‍ය සරත් කෝට්ටේයාවත්ත, ආයුර්වේද වෛද්‍ය අනිල් ජයවීර මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූ මේ මාධ්‍ය හමුවේ දී බෙංගමුවේ නාලක හිමියෝ මෙසේ ද පැවසූහ.
හෙළ වෙදකම ඓතිහාසික වෛද්‍ය ශාස්ත්‍රයක්. පරම්පරාවෙන් පරම්පරාවට මේ දැනුම රැකගෙන ආ පිරිස් අදටත් මේ රටේ ජීවත් වෙනවා. පසුගිය කොරෝනා වසංගත සමයේ දී දේශීය වෙදකමේ අගය ජනතාවට වැඩි වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. එය සතුටට කරුණක්. අපේ ඇතැම් දේශීය වෛද්‍යවරුන් මේ සඳහා යම් යම් බෙහෙත් වර්ග සොයා ගත්තා. එහෙත් ඒවා ඉදිරියට ගෙනයෑමේ ප්‍රවර්ධනය කිරීමේ නිසි වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. බොහෝ දෙනා බටහිර බෙහෙත් වර්ග, එන්නත් පසුපස යනවා. අපට අපේම කිව හැකි වෛද්‍ය ක්‍රමයක් තිබියදී එය පසෙකලා බටහිර දේවල් පසුපස යාම අනුමත කරන්න බැහැ. ආණ්ඩුවටත් ඒ පිළිබඳ වගකීමක් තිබෙනවා.
දේශීය වෛද්‍ය ක්‍රමයේ රෝග ප්‍රතිකාරයට අවශ්‍ය බොහෝ ඖෂධ අපටම සකසා ගන්න පුළුවන්. එහෙත් ඒ සඳහා නොයෙක් තහංචි තහනම් නියෝග පැනවීම නිසා ඊට බාධා ඇති වෙලා. කංසා වගාවත් එවැන්නක්. එදා සුදු අධිරාජ්‍යවාදීන් තමන්ගේ බටහිර බෙහෙත් හේත් මෙරට ජනතාව අතර ප්‍රචලිත කරලීමේ අරමුණින් කංසා වැනි දේ තහනම් කළා. ඒත් කංසා කියන්නේ අගනා ආයුර්වේද ඖෂධයක්. බුදුරජාණන් වහන්සේ පවා ඖෂධයක් සේ කංසා භාවිතය අනුදැන වදාරා තිබෙනවා. මහාවග්ග පාලියේ භේසජ්ජබන්ධකයේ සඳහන් වෙනවා කංසා තැම්බූ වතුරේ හුමාලය ශරීර වේදනාව සමනය කිරීමට යොදා ගත හැකි බවට. ත්‍රිපිටකයේ තවත් තැනෙක කංසා මිශ්‍ර කොට සකසා ගත් සිවුරු වර්ගයක් ගැන කියැවෙනවා. භංගං සිවුරු නමින් එම සිවුරු වර්ගය හඳුන්වා තිබෙනවා. ඒවා පෙරවීම යම් යම් රෝගාබාධවලට ප්‍රතිකර්මයක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ අනුව බලන විට කංසා ඖෂධයක් සේ භාවිතා කිරීමේ වරදක් නැති බව අපි ආණ්ඩුවට පෙන්වා දෙනවා.
පොලිසිය, විශේෂ කාර්ය බළකාය කංසා හේන් වටලා මහා පරිමාණයෙන් ගිනි තබන හැටි අපි මාධ්‍ය තුළින් දකිනවා. එය ජාතික අපරාධයක්. හිතු මතේට නොව මේ ක්‍රමවේදයනට අනුව කංසා වගා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ශ්‍රී ලංකා දේශීය වෛද්‍ය සම්මේලනය විදිහට අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. දේශීය වෛද්‍ය ක්‍රමය නඟා සිටුවීමට කුමන හෝ ආණ්ඩුවකින් සහාය ගැනීමට අප පසුබට වෙන්නේ නැහැ. දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කොට පවත්වාගෙන යෑම අපේ සම්මේලනයේ අරමුණයි. දේශීයත්වය අගයන බටහිර වෛද්‍යවරුන්ටත් මේ සම්මේලනයේ දොරටු විවෘතයි.
පාරම්පරික දේශීය වෛද්‍ය අනිල් වර්ණසුරිය මහතා-
අද ලොව පුරා ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මකයි. ඔවුන් අපේ හෙළ වෙදකම බෙහෙත් හේත් අවමානයට ලක් කරනවා. එහි ඉදිරිගමනට බාධා පමුණු වෙනවා. කංසා තහනමත් එහි එක් පියවරක්. කංසා කියන්නේ ඉතා හොඳ ඖෂධීය ගුණයෙන් යුත් ශාකයක්. එය වගා කිරීමට තහංචි දමා තිබීම බටහිර වුවමනාවක්. එදා අපේ ගේ දොරවල කිරි හොද්දට කංසා ස්වල්පයක් දැම්මා. දරුවන්ගේ ප්‍රතිශක්තිය වර්ධනයට එය හේතු වුණා. අත දරුවාගේ පණු අමාරුවට කංසා දුන්නා. ආයුර්වේදයේ සඳහන් වා පිත් සෙම් සමනයට කංසා රුකුලක් වුණා. ‘එදා හෙළදිව’ කෘතිය ලියූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් පවා මේ ගැන සඳහන් කොට තිබෙනවා. අපට මුළු ලොවටම දිය හැකි ලොකු ම දායාද තමයි බුදු දහම හා දේශීය වෙදකම. එය රැකගැනීම අනාගත පරපුරට උරුම කොටදීම අප සැමගේ වගකීමක්. ජාතික යුතුකමක්. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයත් අත්‍යවශ්‍යයි.
පරිසරවේදී මතුගම සෙනෙවි රුවන්, ආයුර්වේද වෛද්‍ය අනිල් ජයවීර මහත්වරු ද කතා කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...