පුරවැසි කොලම

රාජ්‍යය අමාත්‍යය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණියට අනුව කෝවිඩ් මළ සිරුරු ආදාහනය කිරීමට තීන්දු කරන අවස්ථාවේදී අප රටේ විද්වතුන්ට වෛරසය ගැන තිබී ඇත්තේ අල්ප දැනුමකි.එසේනම් දැන් ඇය ඇතුළු විද්වතුන් බොහෝ දේ දන්නවා විය හැක. වමුත් විද්වත් කමිටුවකින් ගනු ලැබූ තීන්දුව වෙනස් කිරීමට තරම් බොහෝ සාක්ෂි ලැබී ඇත්නම් ඒවා මහජනයාට හෙළිදරව් කිරීම එතුමියගේ වගකීමකි. විශේෂයෙන්ම නිසි පර්යේෂණ සාක්ෂි නොමැතිව කිසිඳු තීන්දුවක් නොගත යුතු බවට එතුමිය දැඩි ස්ථාවරයක සිටින බැවින් කළ යුතුව තිබුනේ එතුමියට ලැබී ඇති නව සාක්ෂි අදාළ විද්වත් කමිටුවට ඉදිරිපත් කොට ඔවුන්ගේ පළමු තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලා සීටීමය. එහිදී එම තොරතුරු මහජනයාට දැන ගැනීමට සැලැස්වීමද එතුමියගේ
වගකීමකි. ඊට අමතරව ධම්මික වෙද මහතාගේ ඖෂධය සායනිකව පරික්ෂා කිරීම සඳහා නිසි පර්යේෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට ආචාරධර්ම කමිටු වලින් තර්ක කළ ආකාරයට එම නව සාක්ෂි ලබාගත් පර්යේෂණවල වලංගුභාවය පිළිබඳවද සොයා බැලිය යුතුයි.

කෙසේ වෙතත් එතුමියට ලැබුණු නව සාක්ෂිවල විශ්වාසනීයත්වය කුමක්වුවත් සැකයේ වාසිය කුමන පැත්තට ලබාදිය යුතුද යන්න තීරණය කළ යුත්තේ පළමු නිර්දේශය ලබාදුන් විද්වත් කමිටුව විසිනි. එම කමිටුව විසින් තීන්දු ගනු ලබන්නේ සාක්ෂි මත පදනම්ව මිස එහි සාමාජිකයින්ගේ කැමැත්ත, අකමැත්ත හෝ සිතට එන අදහස් අනුව නොවේ. එහිදී මූලිකව වැදගත් වනුයේ කමිටුවේ සාමාජිකයින්ට අදාළ විද්‍යාත්මක දත්ත තේරුම් ගැනීමට සහ නිර්වචනය කිරීමට අවශ්‍ය දැනුම තිබෙනවාද යන්නය. වගකිවයුත්තන් විසින් කමිටුවට සාමාජිකයින් පත් කිරීමේදී එම කරුණු සැලකිල්ලට ගත් බවට මහජනයාට නම් සැකයක් නැත.
එවැනි තත්වයක් තුළ ලැබුණායැයි කියන නව සාක්ෂි සමාලෝචනය කිරීම සඳහා නව කමිටුවක් පත් කිරීම පිළිබඳව මහජනයා සැක පහළ කිරීම වරදක් නොවේ. විශේෂයෙන්ම පළමු කමිටුව එසේම තිබියදී නව කමිටුවක් පත් කිරීම ආචාරධර්ම විරෝධී ක්‍රියාවක් බැවින් එම සැකය සාධාරණ වේ.

යම් විද්වතුන් කිහිප දෙනෙකුගේ පුද්ගලික මතවාද හැරුණුකොට මළසිරුරු භූමිදානය කිරීම මඟින් ජීවත්වන මිනිසුන්ට කිසිඳු අගතියක් සිදු නොවන බවට සහතිකයක් ලබා දීමට තරම් විශ්වාසනීය සාක්ෂි මහජන සංවාදයට ඉදිරිපත් වූයේ නැති බව ඉතා පැහැදිළිය. ඒ වෙනුවට යම් දේශපාලන නායකයින්ි කිහිප දෙනෙකු වසින් සුළු ජන අයිතිවාසිකම් පිළිබඳව සහ ආණ්ඩුව එම අයිතිවාසිකම් උල්ලංගණය කරන බවට දේශපාලන මතවාද ඉදිරිපත් කරන්නට යෙදුණි. ඒ අනුව පැහැදිළි වන්නේ පළමු කමිටුවේ නිර්දේශ සහ ඊට අනුව පැනවූ නීතිය නැවත සලකා බැලීමට බලධාරීන්ට බලපෑම් එල්ල වන්නේ එම දේශපාලන කරුණු මත බවය. මීට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනත් කරුණකට අදාළව පුවත්පත් නිවේදනයක් මඟින් සඳහන් කළේ අප
රටේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී අතලොස්සක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන සුළු ජන පක්ෂ නායකයින් යටත් කරන බව සහ ඔවුන් විසින් ඡන්ද කුට්ටියක් පෙන්වා මහා පක්ෂ යටත් කරන බවය. කොවිඩ් මළසිරුරු ආදාහනයට අදාළ තීන්දුව සහ නීතිය නැවත සලකා බැලීමට ආණ්ඩුවේ බලධාරීන් පෙළඹෙන්නේ එවැනි පසුබිමක නොවේද?

ඒ  ආකාරයට අන්තවාදී බලපෑම් වලට යටත් වීමේ ක්‍රියාවලිය තුළ විද්‍යාත්මක හෝ තාක්ෂණික කරුණු වැදගත් වන්නේ ආවරණයක් ලෙස පමණක් බව පැහැදිළිව පෙනේ. එහිදී තමාගේ දේශපාලන තීන්දුව සාධාරණීකරණය කිරීමට අවශ්‍ය කරුණු පමණක් හුවා දක්වා ඊට අවාසිදායක දේ කථා නොකිරීම විශේෂයකි. උදාහරණයක් ලෙස වසර දහස් ගණනක් හිම වලින් වැසී තිබූ සත්ව මළසිරුරු වල නිෂ්ක්‍රියව තිබූ වෛරස් සහ බැක්ටීරියා හිම දියවීම සමඟ සක්‍රීය රෝගකාරක බවට පත්වන බවට පර්යේෂණ සාක්ෂි ඉදිරිපත් වුවත් ඒවා කිසිවක් නොසලකා දේශපාලන හේතු මත මළ සිරුරු ශීතකරන වල තබාගෙන සිටීමේ තීන්දුව ඉදිරිපත් කළ හැක. ඊට අමතරව ඊනියා සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ තර්කයට අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම් 11 ක් නිෂ්ප්‍රභා කිරීම මඟින් පිළිතුරු ලබා දී ඇත. අප රටේ ව්‍යවස්ථාව අනුව පමණක් නොව ජාත්‍යන්තර මානුෂීය නීතිවලට අනුවද හදිසි ආපදා තත්වයකදී කණ්ඩායමක හෝ බහුතරයේ අයිතිය ආරක්ෂා කිරීම සඳහා පුද්ගල අයිතිය තාවකාලිකව නැවත සමාලෝචනය කිරීම නීත්‍යානුකූල වේ.

පවතින ආපදා තත්වය යටතේ සෑම ආගමකටම අයත් ජන කොටස් වලට තම ඥාතීන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට අදාළ යම් වත් පිළිවෙත් වෙනස් කිරීමට සිදුවී ඇත. උදාහරණයක් ලෙස අප දන්නා පරිදි ඉස්ලාම් ආගමට අනුව මළ සිරුරක අවසන් කටයුතු වලට අදාළ ප්‍රධාන වත් පිළිවෙත් හතරක් අතුරින් භූමිදාන කිරීම යනු එකක් පමණි. එහිදී මළ සිරුරු සේදීමේ වත් පිළිවෙත් ඉටුකිරීමේ අවස්ථාව අහිමිවේ. ඊට අමතරව මළ සිරුරුවල අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු නොකර ඒවා ශිතකරණවල තබා ගැනීම මඟින් තවත් එක් පිළිවෙතක් ඉටු කිරීමේ අවස්ථාව අහිමි වේ. නමුත් ඒ සඳහා අදාළ ආගමික නායකයින්ගෙන් අනුමැතිය ලැබී ඇත. බෞද්ධ පිළිවෙත් අනුව පාංශුකූලය සහ ඊට අදාළ මතක වස්ත්‍රපූජාව, පැන් වැඩීම ආදී වත් පිළිවෙත් සිදු නොකර අවසන්
කටයුතු සිදු කිරීම සිත් වේදනාවට කරුණකි. විශේෂයෙන්ම මෘත දේහය නිවසේ තබා ගෙන සිදු කරන දුක තුනී කිරීමේ මානසික ව්‍යායාමයට අවස්ථාව නොලැබීමද, බෞද්ධ ආගමට අනුව අසාධාරණයකි. ඒ අනුව පැහැදිළි වන්නේ පවතින ආපදා තත්වය යටතේ මෙම දුක් වේදනාවෙන් පොදු මානුෂීය තත්වයක් මිස අයිතිවාසිකම් හෝ නීතිය පිළිබඳ දේශපාලන ප්‍රශ්ණයක් නොවන බවය.

එසේම යුද්ධය පැවති සමයේදී මෙන්ම සුනාමිය වැනි ආපදා තත්වයන්හිදී ආගම මුල්කරගෙන සියළු තීන්දු ගැනීමට හැකියාවක් ලැබුනේ නැත. අනාගත ආපදාවන්හීදී ද ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව සමස්ථ ලෝක ජනතාවටම එම යථාර්තය පිළිගැනීමට සිදු වේ. එසේ නම් ඒ සමස්ථයෙන් ඉස්ලාම් ආගම අදහන යම් ප්‍රතිශතයක් වෙනස් වන්නේ කෙසේද? ඇමෙරිකාවේ වෙසෙන කීර්තිමත් භෞතික විද්‍යාඥයෙකු වන බිල් වෝනර් (Bill Warner) නම් වූ විද්වතා විසින් දේශපාලන ඉස්ලාම් (Political Islam) නමින් රචනා කොට ඇති ග්‍රන්ථ මාලාව අධ්‍යනය කරන අයෙකුට එම ප්‍රශ්ණයට තර්කානුකූල සහ විස්තීර්ණ පිළිතුරක් ලබා ගත හැක. අතලොස්සක් වන ඉස්ලාම් අන්තවාදී බලවේග එනම් “දේශපාලන ඉස්ලාම්වාදයට” අනුව කටයුතු කරන පිරිස් විසින් බහුතර ජනතාව තම මතවාද වලට යටත් කර ගැනීම සඳහා යොදා ගන්නා උපායමාර්ග සහ ඊට අදාළව ආගමික ඉගැන්වීම් එම කෘතිය මඟින් සාක්ෂි සහිතව ඉදිරිපත් කෙරේ. එහිදී මූලික උපාය මාර්ගයක් වන්නේ තමා සෙසු ජනතාවට වඩා වෙනස් බව සහ සෙසු ජනතාව එම වෙනසට අනුව වෙනස් විය යුතු බව මානසිකව බලවත් ලෙස තහවුරු කිරීමය. එහි දෙවන පියවර වන්නේ එම පිළිගැනීම යථාර්තයක් නොවන තත්වයක් යටතේ ඊට එරෙහිව දිවි හිමියෙන් ඉදිරිපත් වීමය.

එම උපායමාර්ග වලට අනුව ඉස්ලාම් අන්තවාදී බලවේග සෑම විටම ගැටුමක් අවිලවීම සඳහා හේතුවක් ලැබෙනතෙක් සෙවිල්ලෙන් පසුවිය යුතුය. ආදාහනයද, භූමිදානයද යන ගැටුම, හලාල් ගැටුම, බුර්කා ගැටලුව ආදී වශයෙන් විවිධ ගැටුම් නිර්මාණය වන්නේ එම උපායමාර්ගික උවමනාවන්ට අනුවය. එම ගැටුම තුළ එක් පැත්තකින් අන්තවාදී බලවේග වලට නව බඳවාගැනීම් වලට අවස්ථාව නිර්මාණය වේ. එසේම එම ක්‍රියාවලිය තුළ තරුණ තරුණියන්ගේ මොළ සේදීමට සහ ඔවුන් තුළ ප්‍රකෝපකාරී මනෝභාවයක් ඇති කිරීමට අවස්ථාව ලැබේ. ඊට අමතරව එසේ ආගමික අන්තවාදයට ගොදුරු වන පිරිස සහ එම ජනකණ්ඩායමේ සෙසු මධ්‍යස්ථ පිරිස් සමඟ මෙන්ම මහා සමාජය සමඟ ද ගැටුම වර්ධනය කිරීම සහ ඔවුන් එකිනෙකා දුරස් කිරීමද සිදුවේ. ඒ සමස්ථ ක්‍රියාවලිය තුළ ඉහත සඳහන් කළ ආකාරයට අතලොස්සක් වන අන්තවාදී බලවේග වලට සුළු ජන පක්ෂ වල නායකයින් යටත් කිරීමට සහ ඔවුන්ගේ ඡන්ද පදනම යොදා ගනිමින් මහා පක්ෂ යටත් කර ගැනීමට අවස්ථාව ලැබේ. මෙම යටත් කිරීමේ හෝ යටත් වීමේ ක්‍රියාවලිය තුළ එක් පැත්තකින් ආණ්ඩුව හෝ විපක්ෂය යන දේශපාලන බලවේග වලින් එකක් දුර්වල කිරීම සහ අමාරුවේ දැමීම මෙන්ම අනෙක ශක්තිමත් කිරීම ද සිදුවේ. උදාහරණරයක් ලෙස මෙම නිශ්චිත ගැටුමේදී හතරගාතෙන් වැටී සිටින විපක්ෂයට නැගී සිටීමට කිහිලිකරුවක් ලැබෙන අතර ආණ්ඩුවේ ජනවරමට අධ්‍යාත්මික ප්‍රහාරයක් එල්ල කෙරේ.

ලෝකය පුරා අත්දැකීම් අනුව ඉස්ලාම් අන්තවාදය සෑම විටම පෝෂනය වන්නේ එක් පැත්තකින් ආණ්ඩු බලය තුළ නියෝජනය වන අතර ඊට සමගාමීව විපක්ෂයද හැසිරවීම මඟින් මෙම නිෂ්චිත ගැටුමේදී ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විපක්ෂ නායකයාද සූක්ෂම ලෙස යොදා ගැනීමට මෙම බලවේග සමත් වී ඇත. මෙවැනි ක්‍රියාවලියක් තුළ අරාබි රටවල ක්‍රියාත්මක වන අන්තවාදී සංවිධානවල මුදල් බලයද යොදා ගන්නා බවට ද බොහෝ සාක්ෂි ලෝක පරිමාවෙන් සොයා ගත හැක. මෙම ක්‍රියාවලිය තුළ අන්තවාදී බලවේග රටේ පොදු නීතියට අභියෝග කරන අතර ඒවා වෙනස් කිරීම සඳහා රජය පෙළඹවීම මඟින් දීර්ඝකාලීන දේශපාලන වාසියක් අත්පත්කර ගනු ලබයි. එසේ නීතිවලට අභීයෝග කිරීම, නීති කැඩීම සහ ඒවා වෙනස් කිරීමට බලපෑම් කිරීම ක්‍රමිකව වර්ධනය කෙරෙන ක්‍රියාවලියකි. ඒ අනුව අන්තවාදයට යටත් කිරීමේ සහ යටත් වීමේ ක්‍රියාවලියක්‍රමිකව වර්ධනය වන ක්‍රියාවලියක් හෙවත් අනාගතයේ නව ගැටුම් පැන නැගීමට හේතුවන ක්‍රියාවලියක් බව පැහැදිළි වේ.

ඒ ආකාරයට අන්තවාදයට යටත්වීමෙන් අන්තවාදය අහෝසිකළ නොහැක යන ගැඹුරු සත්‍යය තේරුම් නොගැනීම නිසා මේවන විට ආණ්ඩුව බරපතල උගුලකට කොටු වී ඇති අතර විපක්ෂයට මහා දේශපාලන ඉල්ලමක් පහළ වී ඇත. දැනටත් ආණ්ඩුවේ ස්ථාවරයේ සෙලවීමක් ඇති වි තිබෙන බව මහජනයාට රහසක් නොවේ. ආණ්ඩුව විසින් යටත් වීමේ ගිවිසුම අත්සන් කිරීම සාධාරණීකරණය කිරීම හෝ එය සැඟවිම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මහජනයා අතර බරපතල ලෙස විවේචනයට ලක් වේ. අවසානයේදී තීන්දුව වෙනස් නොකළද ඒ මඟින් ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ ජනවරමට බරපතල අඟතියක් සිදුවේ. පළමු විද්වත් කමිටුව එසේම තිබියදී තමාට හිතවාදී පිරිස් ඇතුළුකොට වෙනත් විද්වත් කමිටුවක් පිහිටුවීම මඟින් ආණ්ඩුවේ සද්භාවය පළමු වටයේදීම අභියෝගයට  ලක් විය. දෙවනුව එම කමිටුවටද පූර්ව නිගමන සහිත දේශපාලන වශයෙන් පක්ෂපාතී පිරිස් පත් කිරීම මඟින් මහජන අවිශ්වාසය තවදුරටත් වර්ධනය වේ. උදාහරණයක් ලෙස එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කළ මහාචාර්යවරිය එසේ පත් කිරීමට පෙර ඉස්ලාම් භක්තිකයින්ගේ මළ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබාදිය යුතු බවට විවෘතව දේශපාලන මතයක් පළකරනු ලැබූ අයෙකි.

කෙසේ වෙතත් අන්තවාදීන්ගේ යටත් කිරීමේ ක්‍රියාවලියට යටත් වීම මඟින් බහුතර මුස්ලිම් ජනතාවටද බරපතල අසාධාරණයක් සිදුවේ. මෙම ක්‍රියාවලිය අවසානයේදී අන්තවාදීන්ට ජයග්‍රහණය ලැබුනහොත් ඔවුන් විසින් එම ජනතාව මත සහ මධ්‍යස්ථ මතධාරී දේශපාලන නායකයින් වෙත එල්ල කරන බලපෑම් තවදුරටත් වර්ධනය වේ. උදාහරණයක් ලෙස අන්තවාදයට යටත් වී භූමිදානයට ඉඩ දෙන තත්වයක් තුල ඉන් පසුව මද්‍රාසා පාසල් වලට අදාළව තීන්දුව ගැනීම හෝ පාස්කු ප්‍රහාරකයින්ට සහ ඔවුන්ගේ ස්වාමිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන වශයෙන් දුෂ්කර ව්‍යායාමයක් බවට පත්වේ. එවැනි තත්වයක් තුළ ආණ්ඩුවේ ජනවරම අභියෝගයට ලක්වන අතර එම ජනවරමේ අධ්‍යත්මය මරණයට පත්වනු ඇත. එසේ ආණ්ඩුවක ජනවරමේ අධ්‍යාත්මය මරණයට පත් වූ විට එම ආණ්ඩුවේ භෞතික ශරීරයට වැඩි කල් පැවතිය නොහැක.

අවසානයේදී නගර සභාවක කොට්ඨාසයක් දිනාගැනීමටවත් නොහැකි, එහෙත් ජනමාධ්‍ය ඉදිරියේ ඝෝෂාකරන අන්තවාදීන් කිහිප දෙනෙකුට ලැබෙන ජයග්‍රහණය නිසා අනාගතයේදී බහුතරය මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව අන්තවාදයෙන් මුදවා ගැනීමේ ජාතික උවමානවට ද බරපතල අගතියක් සිදුවේ. එවැනි එක් පුද්ගලයෙක් භූමිදානයට ඉඩ ලබා නොදේ නම් වන්දි ගෙවීමට සූදානම් වන ලෙස රජයට සහ මහජනයාට තර්ජනය කිරීම බරපතල තත්වයකි. රජය ඒ පිළිබඳව නිහඬව සිටීම ඊට වඩා බරපතල තත්වයකි. විපක්ෂයේ විවිධ පාර්ශව ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නාමයෙන් ආණ්ඩුවේ ජනවරම දුර්වල කිරීම සඳහා ගනු ලබන උත්සහායන් තුළ සමස්ථ ජාතියටම මර උගුලකට තල්ලුකෙරෙන බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත් මහජන මතයට කන් දෙමින් සහ ප්‍රශ්ණයේ ගැඹුර තේරුම් ගනිමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය විසින් සෘජු ප්‍රකාශයක් සිදු කිරීම අගය කළ යුතුය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

(2021 ජනවාරි 17 වනදා ඉරිදා ලංකාදීප පුවත් පතින් උපුටා ගැණුනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More