දේශීය පුවත්

ගැටළු නිරාකරණය වන තෙක් කිසිදු බාධාවකින් තොරව සහ අඛණ්ඩව වගා කටයුතුවල නිරත වීමට සියලු ගොවීනට පූර්ණ අනුමැතිය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. “ගම සමග පිළිසඳර” 06 වැනි වැඩසටහනට පැමිණ සිටි ගොවි ජනතාව නිරතුරුව මතු කළ ගැටළුව වෙත අවධානය යොමු කරමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය. පාරම්පරික වගා වැඩට බාධා නොකරන්නැයි වනජීවි, වන සංරක්ෂණ, පරිසර, පොලීසිය ඇතුළු සියලු ආයතනවල නිලධාරීන්ට ජනාධිපතිතුමා නියෝග කළේය.

එසේ වුවද කිසිවෙකුට අලුතින් කැලෑ එළි කොට වගා කිරීමට කිසිදු අවසරයක් නැති බව ජනාධිපතිතුමා විසින් අවධාරණය කරනු ලැබිණ. පොළොන්නරුව වන අලි තර්ජනයට මුහුණදෙන ප්‍රධානතම දිස්ත්‍රික්කයකි. ජනතාව දීර්ඝ කාලයක සිට මුහුණ පා සිටින මේ ගැටළුව නිසි ලෙස අවබෝධ කොට ගෙන ස්ථීර විසඳුමක් ලෙස අගල් සහ විදුලි වැට ඉදිකිරීම යන ක්‍රම දෙකම ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කයේ පාසල් රැසක සංවර්ධන වැඩ ඇණ හිට තිබීම නිසා සිසුන්ගේ අධ්‍යාපනයට සිදුව ඇති හානිය ජනතාව පෙන්වා දුන්හ. ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා දිවයිනේ සියලු පාසල්වල අතරමග නතර කර ඇති සියලු සංවර්ධන වැඩ කඩිනමින් නිම කරන්නැයි බලධාරීන්ට උපදෙස් දුන්නේය. අද (16) පෙරවරුවේ පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා විසින් මේ තීරණ ගන්නා ලදී. ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හඳුන්වා දුන් “ගම සමග පිළිසඳර” වැඩසටහනේ හය වැන්න මෙයයි. 2020 සැප්තැම්බර් මස 25 වැනි දින බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුර, අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් 05ක් සංවිධාන කෙරිණ.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ගැටළු විමසා විසඳුම් පිණිස ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානයට යොමු කළේය. කඩිනම් විසඳුම් දිය හැකි ගැටළු වහාම නිරාකරණය කළ අතර, විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබීය. පොළොන්නරුව නගරයේ සිට කි.මි 45ක පමණ දුරින් පිහිටි මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිකච්චිය ග්‍රාමය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ “ඩී” කලාපයට අයත් වේ. සමගිපුර, දර්ශනපුර, දහම්වැව සහ පේරමඩුව යන ගම්මානවලින් සමන්විත මෙහි විශාලත්වය වර්ග කි.මි. 79කි. පවුල් 723කින් යුත් ගම්මානයේ ජනගහණය 2561කි. කෘෂිකර්මාන්තයේ සහ ස්වයං රැකියාවල නිරතවීම වෙඩිකච්චිය ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. වගා ජල හිඟය නිසා වී වගාව මහ කන්නයට පමණක් සීමා කිරීමට සිදුව තිබීම ගැමියන් මුහුණ පාන ගැටළු අතර ප්‍රධාන ස්ථානයක් ගනී. එබැවින් යල කන්නයේදී ගමින් පිටව ගොස් කුමන හෝ කුලී වැඩක නිරතවීමට ඔවුන්ට සිදුව තිබේ.

අත්‍යාවශ්‍ය පහසුකම් පවා රහිත වෙඩිකච්චිය ග්‍රාමයේ දැන් තිබෙන නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. ගැමියන් දීර්ඝ කාලයක සිට මුහුණ දුන් වගා ගැටළුවට විසඳුමක් ලෙස ඇල වේලි සහ වැව් කඩිනමින් පිළිසකර කොට කන්න දෙකටම වගා ජලය සැපයීමට පියවර ගන්නැයි දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට හා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. මැදිරිගිරිය – වටදාගෙය ප්‍රදේශයේ වගාවන්ට මුවන්ගෙන් වන හානිය පිළිබඳවද ජනතාව පෙන්වා දුන්හ. ඊට පිළියම් ලෙස මුවන් වෙසෙන කැලෑ ප්‍රදේශය කොටුකර දැල් වැටක් ඉදිකිරීමට තිරීණය කෙරිණ. ඒ සඳහා ප්‍රතිපාදන සැලසීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා එකඟ විය. අ.පො.ස (උ.පෙ) විභාගය අවසන් කරන දරුවන් වෙනුවෙන් වෘත්තීය පුහුණු අවස්ථා උදා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. විෂය භාර රාජ්‍ය අමාත්‍යවරිය මේ පිළිබඳ දැනුවත් කොට වෘත්තීය පුහුණු අවස්ථා ඇති කරන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාව ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට ලක් විය. කවුඩුල්ල වැව ආශ්‍රිතව ජල පවිත්‍රාගාරයක් ඉදිකර, ජල නල එලා පවුල් දස දහසකට ජලය සැපයීමට ආරම්භ කර ඇති ව්‍යාපෘතිය 2021 වසර අවසන්වීමට පෙර නිම කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. විදුලි බිල්පත් ගෙවීමට නොහැකි පාසල් සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා “සූර්ය බල විදුලි පද්ධති” සම්පාදනය කොට නොමිලේ සපයන්නැයි ජනාධිපතිතුමා විසින් විදුලිබල නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ. ප්‍රදේශයේ පාසල්වල සහ රෝහල්වල පවතින අඩු පාඩු සම්පූර්ණ කිරීමටත්, ප්‍රධාන සහ අතුරු මාර්ග රැසක සංවර්ධන කටයුතු කඩිනම් කිරීමටත් නියම කෙරිණ. ජනාධිපතිතුමා “ගම සමග පිළිසඳර” වැඩසටහනට සමගාමීව මැදිරිගිරිය, බිසෝපුර මහවැලි ප්‍රාථමික විද්‍යාලය විවෘත කිරීමටද එක් විය. විද්‍යාලය ඉදිකිරීමට මුලිකත්වය ගෙන කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය විවෘත කරන ලෙස ජනාධිපතිතුමා ඇරයුම් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්, මොබිටෙල් ආයතනය පරිත්‍යාග කළ පරිගණක යන්ත්‍ර 02ක් සහ ඩයලොග් ආයතනය ප්‍රදානය කළ රූපවාහිනි යන්ත්‍රයක් ජනාධිපතිතුමා අතින් විදුහල්පතිවරයාට භාර දෙනු ලැබිණ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ ජනතා නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීහු ඇතුළු පිරිසක් වෙඩිකච්චිය “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

/div>

 



One thought on “‘හදපු එක්කෙනා විවෘත කරන්න..’ ජනපති ගෝටාභය හිටපු ජනපතිට කියා පාසැලක් විවෘත කරයි…”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More