පුරවැසි කොලම

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසන අයුරින් මේ වනවිට මරණ දඬුවම ලැබූ 915 දෙනකු බන්ධනාගාරවල සිටිති. ඔහුට අනුව මෙසේ මරණ දඬුවමට ලක්වූ පිරිස අතරින් සියයට අනූවක්ම තේරුමක් නැති ගැටුම්වලට මැදිවූවෝ වෙති. මේ අය මරණ දඬුවමට ලක්ව ඇත්තේ කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක්, වැටක්, නියරක් බෙදා ගැනීමට නොහැකිව සිදුකළ මනුෂ්‍ය ඝාතන හේතුවෙනි.

මෙම තත්ත්වය අප දකිනුයේ සමාජ ඛේදවාචකයක් ලෙසිනි. ධර්මයෙන් සැනසුණ, යහපත් අධ්‍යාත්මික ජීවිතයකට හුරුවූ අප ශී‍්‍ර ලාංකීය සමාජය පසුගිය කාලයේදී නොසිතූ නොපැතූ සමාජ පරිහානියකට ලක්ව ඇති බව මෙම පුවත සනාථ කරයි. ඉතාමත් සුළු සිද්ධීන් සාමකාමීව විසඳා නොගෙන ගැටුමකට යෑමේ ප‍්‍රතිවිපාක ලෙස මෙලෙස මරණ දඬුවම ලැබූවෝ අද අනන්තවත් පසුතැවෙන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප‍්‍රකාශ කර තිබිණි.

බන්ධනාගාරයෙන් ඇසෙන මෙම කතාවත් සමඟ ශී‍්‍ර ලාංකීය ජන සමාජය පසක් කරගත යුතු දෙයක් තිබේ. එනම් අපේ රටේ මිනිසුන් අතරින් ගිලිහෙන සාරධර්ම යළි ගොඩනැගීමට කාලය එළැඹ ඇති බවයි.

කාලයක් අප රට ගැන තිබූ මතවාදය වූයේ ශී‍්‍ර ලාංකික ජනතාව ආගන්තුක සත්කාරයට ලැදි බොහෝ සාරධර්මවලින් පිරිපුන් ජාතියක් බවයි. නමුත් අද එම තත්ත්වය වෙනස්වී ඇති ආකාරය අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුව ඇත. දිනපතා මුද්‍රිත මාධ්‍ය මගින් මෙන්ම විද්‍යුත් මාධ්‍ය මගින් පෙන්වා දෙන අපරාධ අපමණය. කුඩා දරුවන්ට අතවර කිරීම්, කාන්තා හිංසන, කුඩා පරිමාණයේ සිට මහා පරිමාණයෙන් සිදුවන සොරකම් ඇතුළුව විවිධ වර්ගයේ අපරාධ දිනපතා වාර්තා වෙමින් තිබේ. මෙම අපරාධ එලෙස සිදුවෙද්දී එය නැවැත්වීම හෝ අඩපණ කිරීම සඳහා වූ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වන බවක් නොපෙනේ. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ දිනපතා සිදුවන මෙම අපරාධ පිළිබඳව සමාජයීය විද්‍යාත්මක අධ්‍යනයක් සිදුකර සැබෑ ලෙසම ඒවා නතර කිරීමට අපට වැඩපිළිවෙළක් නොමැතිකමය.

රටක්, ජනසමාජයක් ගත් විට එහි මුල්ම ඒකකය වනුයේ පවුල් සංස්ථාවයි. මෙම පවුල් සංස්ථාව තුළ සාමය, සතුට රජයයි නම් ඔවුන් සම්බන්ධව මහා සමාජයට කිසිදු හිරිහැරයක් වන්නේ නැත. එසේ නොමැතිව එම පවුල් සංස්ථාව තුළ නැතහොත් අදාළ කුටුම්භය තුළ මතගැටුම්, රණ්ඩු, රොස් පරොස් සිදුවුණොත් සිදුවන්නේ ඛේදවාචකයකි. දෙමාපියන් ආදර්ශවත් සාධු චරිත නොවන කල්හි ඔවුන්ගේ දරුවන්ද යහමඟ යතැයි සිතිය නොහැක. ගෘහයක පවතින ආදරණීය සබඳතාව මුළු මහත් සමාජයම සුවපත් කරන බව අප අමතක නොකළ යුතුය.

අප නැවතත් බන්ධනාගාර කොමසාරිස්වරයාගේ කතාව දෙසට හැරෙමු. ඔහු ප‍්‍රකාශ කළේ වැට මායිමට, නියරට, කොස් ගෙඩියට මිනිමරා ගත් නිසා අද බන්ධනාගාරගතව සිටින සියයට අනූවක් විඳවන බවයි. අප ඉහතින් සඳහන් කළ අයුරින් යම් ගෘහයක් තුළ මෛති‍්‍රය, කරුණාව, අනෙකා සමඟ දුක සැප බෙදාගැනීම, අනෙකාට ගෞරව කරන පසුබිමක් ගොඩනැගුණහොත් ඔවුන් තුළින් මහා සමාජ අපරාධ සිදුවන්නේ නැත. එකිනෙකා පරයා යනවා වෙනුවට සහයෝගයෙන් වැඩ කළ හැකි නම්, වෛරී සිදුවීම්වලට ඉඩ නොදී හැම දෙයක් දෙසම උපේක්‍ෂාවෙන් බලා විඳදරා ගත හැකි නම් බොහෝ ගැටලූවලට විසඳුම් ලැබෙනු ඇත.

(13.01.2021 දිවයින කතුවැකිය)

 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More