පුරවැසි කොලම

ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වාදීමට පෙර භාණ්ඩ ප්‍රචාරණය ප්‍රධාන වශයෙන්ම කෙරුණේ මුද්‍රිත මාධ්‍ය මගිනි. කලාතුරකින් නාගරික සිනමාශාලා මගින් සිනමා මාධ්‍යයද යොදාගන්නා ලදි. අපගේ මතකයට එන එබඳු සිනමා ප්‍රචාරණ පටයක් වන්නේ “සෝබන සීතා” නමින් හැඳින්වූ කන්තාවක ගැන වූ ප්‍රචාරණ පටයයි. “සෝබන” සීතා නම් වූ ඇය ඉතා පිරිසිදු සුදු සාරියකින් සැරසී ප්‍රචාරණය කළේ එකල ජනප්‍රියව පැවැති රෙදි සෝදන සබන් වර්ගයකි.

මෙම ප්‍රචාරණ පටය මගේ මතකයට යළි පැමිණියේ එක්තරා සති අන්ත ඉංගිරිසි පුවත්පතක පළවූ වාර්තාවක් කියවීමෙන් පසුවයි. “උගුර කන නාසය පිළිබඳ වෛද්‍යවරියකට වියත්මග ඔස්සේ ගමන් කිරීමට හැකිවන පදිරි ඞ්රැගන්ලයිට් ඉල්ලා සිටීම” එම පුවතේ මාතෘකාව වීය. මෙම පුවත අනුව නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු, පර්යේෂණ හා නව නිපැයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය වන සීතා අරඹේපොල ආණ්ඩුවේ වියදමෙන් ඇපල් ජංගම දුරකථනයක්, අයි – පෑඩයක්, “ඞ්රැගන් ලයිට්” එකක් හා ආරක්ෂක භටයින් ඇමතිවරුන්ට ලබාදෙන ආරක්ෂාවේදී ඇයගේ නිල මෝටර්රථ පෙළපාලියේ පෙරගමන් රථයට සවිකරනා විශේෂ විද්‍යුත් සංඥා පද්ධතියක් ඉල්ලා තිබේ. “ඞ්රැගන් ලයිට්” හා විශේෂ විද්‍යුත් සංඥා පද්ධති කුමක් සඳහා ද? අනෙකුත් මාර්ග භාවිත කරන්නන් භීතියට පත් කිරීමට හා මග යන එන්නවුත් බියෙන් සන්ත්‍රාසයට පත් කිරීමටයි. සිතින් මවාගත් ත්‍රස්තවාදි උවදුරක් තමාට ඇති බව සාමාන්‍ය ජනතාවට පෙන්වා දීමටයි. මේ සියල්ලටම මත්තෙන් ඇය ආණ්ඩුවේ වියදමෙන් කුඩයක් ඉල්ලා තිබේ. මෙයින් අපට පෙනී ගියේ එය තුට්ටු දෙකේ හිඟන ඔපෙරාවක් ලෙසිනි. “බෙගර්ස් ඔපෙරා” හා “ත්‍රී පෙනී ඔපෙරා” යනු ලෝ ප්‍රකට නාට්‍ය දෙකක නම් වේ.

රාජ්‍ය ඇමතිවරියගේ මෙම ඉල්ලීම සමාජ මාධ්‍ය මගින් උලුප්පා ඇති බැව් අපට දැන ගැනීමට ලැබිණි. ඒවා සමාජ මාධ්‍යවෙත මුදාහළ පුද්ගලයාද සේවයෙන් පහකොට ඇතිබවද දැනගන්නට තිබේ. මෙහිදී මා මුලින්ම සිතුවේ රාජ්‍ය ඇමතිවරියට නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණු පාඨමාලාවලට පැමිණෙන පුහුණුලාභීන්ට කුඩ සෑදීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට අවශ්‍යව ඇති බවයි. කුඩය කැබලිවලට වෙන්කොට පෙර තිබූ පරිද්දෙන්ම කලින් පැවති තත්වයේ කිසිදු වෙනසක් සිදු නොකොට, කුඩයට හානි නොපමුණුවා යළි එකලස් කිරීමේන් කුඩ සෑදීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට ඇයට අවශ්‍යව තිබූ බවයි. දෙවනුව අප සිතුවේ ඇය අතීතයේ පටන් අද දක්වා කුඩ පැවැති ආකාරය ගැන පර්යේෂණයක් කිරීමට යන බවයි. එනම් අපේ රටේ පැරණි කාලයේදී පැවැති වඩනතලාත්තේ සිට අද දක්වා කුඩයේ පරිණාමය ගැන ඇය පර්යේෂණයක් කිරීමට යන බවයි. නොඑසේනම් ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන් කුඩ සිය නිර්මාණ සඳහා කෙසේ භාවිත කර ඇද්දැයි ඇය පර්යේෂණය කිරීමට යන බවයි. මෙහිදී අපගේ සිහියට ආවේ ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී රෙනුවාගේ “කුඩ” නම් චිත්‍රයයි. 1884 දී අඳින ලද එම චිත්‍රය රෙනුවාගේ චිත්‍ර අතරින් අති විශිෂ්ට චිත්‍රය යැයි සැලකේ. තෙවනුව අප සිතුවේ ඇය අලුත් කුඩයක් නිපදවීමට යන බවයි. අපේ වැඩකරන ජනතාවට, තේ ද`ඵ කඩන කාන්තාවන්ට, රබර් කිරි කපන කාන්තාවන්ට, කාර්යාල සේවිකාවන්ට හා නිතරම පොළවල සැරිසරන අපේ ගෘහණියන්ට පහසුවෙන් භාවිත කළ හැකි, එනම් කුඩය එසවීමට අත භාවිත නොකොට කිසියම් විශේෂ උපකරණයක් මගින් හිසට සවි කරගත හැකි විශේෂ කුඩයක් නිපදවීමට යන බවයි. එය අනගි නව නිපැයුමක් විය හැකි බවයි.

අපගේ නිගමන වැරදි වීය. මෙහිදී මෙම රාජ්‍ය ඇමතිවරිය පාර්ලිමේන්තුවේ කෑම වේලේ මිල ගණනය කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ “සටන” අපගේ මතකයට ආවේය. එය සීතා පාර්ලිමේන්තුවට පැමිණ කළ පළමුවෙනි වික්‍රමයයි. කුඩයක් කැබලි කොට එය පැවැති විදියටම යළි එකලස් කිරීම, කුඩ ගැන පර්යේෂණ කිරීම හා නව පන්නයක කුඩයක් නිර්මාණය කිරීම පුද්ගලයෙකුගේ අවශ්‍යතා ධුරාවලිය අනුව ස්වයං – සාක්ෂාත්කරණය පිළිබඳ අවශ්‍යතාව සපුරා ගැනීමකි. එය සාක්ෂාත්කරණය හා සාධනය පිළිබඳ ඉතා ඉහළ තලයේ අවශ්‍යතාවයකි. ඒබ්‍රහම් මැස්ලෝගේ අවශ්‍යතා ධුරාවලිය අනුව අපට එය විග්‍රහ කළ හැක්කේ එලෙසිනි. පාර්ලිමේන්තුවේදී ආහාර වේල සඳහා කළ “සටන” හා වර්තමානයේදී කුඩ ඉල්ලා සිටීම අපට පෙන්වා දෙන්නේ රාජ්‍ය ඇමතිවරිය තවමත් අවශ්‍යතා ධුරාවලියට අනුව මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ දරමින් සිටින බවයි. ඒ මූලික අවශ්‍යතා වන්නේ ආහාරය (පාර්ලිමේන්තුවේ කෑම වේලට සටන් කිරීම), රැකවරණය (අව්වෙන් හා වැස්සෙන් රැකවරණය ලබා ගැනීමට කුඩයක් ඉල්ලා සිටීම) හා ආරක්ෂාව හා පෞද්ගලික සුරක්ෂාව (මවාගත් සතුරන්ගෙන් බේරීමට “ඞ්රැගන් ලයිට්” හා විශේෂ ආරක්ෂණ විද්‍යුත් පද්ධති ඉල්ලා සිටීම) ආදියයි. මැස්ලෝ අවධාරණය කළේ මූලික අවශ්‍යතා අතරට චිත්තාවේගි හා භෞතික ආරක්ෂාවද ඇතුළත් වන බවයි. පසුගිය සතියකදි “ඉරිදා දිවයින සංග්‍රහයේ” ඉතා කදිම කාටූනයක් පළවී තිබිණි. එනම් රාජ්‍ය ඇමතිවරිය ඉතා බලසම්පන්න ආලෝක දහරාවක් අල්ලා ජනාධිපතිවරයාගේ දැස නිලංකාර කරවීමයි.

රටේ බදු ගෙවන ජනතාව රාජ්‍ය ඇමතිවරියගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත. එනම්, රාජ්‍ය ඇමතිවරියට මෙතෙක් කාලයක් සිය සන්නිවේදන කටයුතු සඳහා ජංගම දුරකථනයක් නොතිබුණේද? ඇය “ඇපල්” දුරකථනයක්ම ඉල්ලා සිටින්නේ ඇයි? ඇයට අයි-පෑඩයක් හෝ එබඳු උපකරණයක් නොවිණි නම් ඇය මෙතෙක් කාලයක් ෆේස්බුක්, විකිපිඩීයා ආදි මාධ්‍යවලට සිය දත්ත හා තොරතුරු එක් කළේ කෙසේද? කිරිබත්ගොඩ විහාරමහාදේවි මහා විද්‍යාලයේ දී හා පසුව පහේ ශිෂ්‍යත්වය සමත්ව බොරැල්ල දේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වශයෙන් ඇය කුඩයක් භාවිත නොකළේද? පේරාදෙණියේ දන්ත වෛද්‍ය සිසුවියක හා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවියක මෙන් ඇය කුඩයක් භාවිත නොකළේද? වෛද්‍යවරියක ලෙස සීමාවාසික පුහුණුව ලබද්දී ඇය කුඩයක් භාවිත නොකළේද? මේ කාලයේදී ඇය භාවිත කළ කුඩ සඳහා ගෙවීම් කළේ පාසලද? විශ්වවිද්‍යාලයද? නොඑසේනම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවද? මේ සියලු ඉල්ලීම් සීතා “වියත්මග” හා “එළිය” රැස්වීම්වලදී කළ බණ දේශනා විගඩමක් බවට පත්කරයි. එදා ඇය සිය ශ්‍රාවකයින් හිස් කළගෙඩි ලෙස සිතන්නට ඇත. තල් අත්තට බොර`ඵ ගසන්නාක් මෙන් කරන ලද එම ප්‍රකාශනවල වූයේ හඬ මිස ගැඹුරක් නොවේ. දහම් පාසල් කථික තරඟවල වූ කථන ශෛලියට බුද්ධිමත් ශ්‍රාවකයින් මුළාකළ නොහැකිය.

මීට පෙර මම “වියත්මග” දේශපාලකයින් ගැන “දි අයිලන්ඞ්” පුවත්පතට ලිපි තුනක් ලියා ඇත්තේමි. ඒ ලිපි තුනෙහි අඩංගු වූ කරුණූ මෙහි බහාලීම ඉඩකඩ සීමිත නිසා දුෂ්කරය. අගෝස්තු 11 වැනිදා ලියන ලද ලිපිය මගින් පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ “වියතුන්” හා “නොවියතුන්” අතර මැතිවරණයේදී අනුගමනය කරන ලද ක්‍රියාපිළිවෙත, ප්‍රචාරණ උපක්‍රම හා මුදල් වැයකිරීම අතින් කිසිදු වෙනසක් නොවූ බව මම පෙන්වා දුනිමි. අගෝස්තු 24 වැනිදා ලිපිය මගින් “වියත්මග” රාජ්‍ය ඇමතිවරුන් සඳහා අනාරාධිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළෙමි. එම ප්‍රතිපත්ති මාලාවේ කරුණු 23ක් අඩංගු වේ. සීතා කුඩ ඉල්ලීමට ද යන බව දැන සිටියේ නම් “අපි ආණ්ඩුවේ වියදමින් කුඩ හා ඞ්රැගන් ලයිට් නොඉල්ලමු” යන්නද එයට එකතු කිරීමට තිබිණි. මගේ අගෝස්තු 31 ලිපිය සීතා පාර්ලිමේන්තුවේදි කළ “කෑම පිඟානේ සටන” හා සම්බන්ධ වේ. ඇය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආහාර වේලේ පිරිවැය ගණනය කිරීම පර්යේෂණ බාර ඇමතිවරිය වශයෙන් ඇයගේ පර්යේෂණවල ආරම්භය විය හැකි බවද, ගෙදරින් පාර්ලිමේන්තුවට බත් ගෙන ඒම මගින් අලුත් බත්මුළක් හඳුන්වා දී නවෝත්පාදන ආරම්භ කළ හැකි බවද, මම දැක්වීමි.

මේ “වියත්මග” කෙරුමන් අවබෝධ කොටගත යුත්තේ පසුගිය පාර්ලිමේන්තුවට ඔවුන්ගේ කණ්ඩායමෙන් දහ දොළොස් දෙනෙකු ඡන්දදායකයන් විසින් තෝරාගත්තේ ඇයිද යන්නයි. සරත් වීරසේකර, විමල් වීරවංශව දෙවැනි තැනට පත්කොට කොළඹ දිස්ත්‍රික්කයේ මුල් තැනට පත්වුයේ ඇයි ? නාලක ගොඩහේවා, ප්‍රසන්න රණතුංග දෙවැනි තැනට පත්කොට ගම්පහ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූයේ ඇයි? චන්න ජයසුමනට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ස්ථාවර වූ දේශපාලකයින්ට වඩා ඡන්ද ලැබුණේ ඇයි? එහි සමහර මන්ත්‍රීවරුන් පරාජය වූයේ ඇයි? මාතලේ, මහනුවර, රත්නපුර, මොණරාගල යන දිස්ත්‍රික්ක වලින් අඥාත වූ මිනිසුන් මන්ත්‍රීවරුන් ලෙසින් ජනතාව විසින් පත්කරන ලද්දේ ඇයි? එයට පිළිතුර වන්නේ ඡන්දදායකයා පාර්ලිමේන්තුව අන්තයටම දූෂිත වූ තැනක් යැයි සිතීම හා මහින්ද හා ගෝඨාභය රාජපක්ෂවරුන්ගේ සන්නාමය යටතේ අලුත් මුහුණුවලට අවකාශයක් සැලසී ඇති බවයි. ඒ අනුවම කොළඹ දිස්ත්‍රික්කයේ පළපුරුදු දේශපාලකයෙකු වූ ධනසිරි අමරතුංග පරදවා මධුර විතානගේ හා ප්‍රේමනාත් දොළවත්ත වැනි අය තේරී පත්වූහ. ක`ඵතර දිස්ත්‍රික්කයෙන් අනුප පැස්කුවල්ට අවකාශය ලබිණි. මෙය අලියා, දුරකථනය හෝ මාලිමාව යන කඳවුරුවල සිදු නොවීය. පොහොට්ටුවට අති විශාල ඡයග්‍රහණයක් ලැබුණු හෙයින් සීතා වැනි කිසිදු ජනපදනමක් නොමැති ස්ත්‍රී පුරුෂයන් රාශියකටද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකි වීය. එහෙයින් මොවුන් මේ ආණ්ඩුවට පැහැදිලි ජයග්‍රහණයක් ලබා දීම ගැන ඡන්දදායකයන්ට ණයගැති වේ. මම රාජ්‍ය ඇමතිවරුන්ට යළිත් උපදෙස් මාලාවක් ඉදිරිපත් නොකරමි. මා එය මීට ප්‍රථමයෙන් මගේ “වියත්මග රාජ්‍ය ඇමතිවරුන්ට අනාරාධිත ප්‍රතිපත්ති ප්‍රකාශනයක්” නම් ලිපියෙන් ඉදිරිපත්කොට ඇත්තෙමි.

ජනාධිපතිවරයා මෑතකදී පැවසු දෙයක් වන්නේ ඔහුට “වියත්මග” සාමාජිකයන් පාර්ලිමේන්තු තරඟවලට ඉදිරිපත් නොකොට බුද්ධි මණ්ඩලයක් සේ යොදා ගැනීමට අවශ්‍යව තිබූ බවයි. මෙම කුඩ සිද්ධියෙන් අනාවරණය වන්නේ මොවුන්ට බුද්ධි මණ්ඩලයක් සේ කටයුතු කිරීමට ඉඩ හළේ නම් රට අගාධයට පත්වන බවයි. දැනටමත් නව ලිබරල්වාදි ප්‍රතිපත්ති ආණ්ඩුවේ වැඩපිළිවෙළට ඇතුළත් වී ඇත්තේ මොවුන් නිසා බව පැහැදිලිය. කෙසේවුවද “වියත්මග” ශුද්ධවන්තයින්ට පාර්ලිමේන්තුවට යාමට මඟ සලසාදීම වර්තමාන සන්දර්භයේදී ඉතා හොඳය. සීතාට ස්තූති වන්නට “වියතුන් හා නොවියතුන්” අතර කිසිදු වෙනසක් නොමැති බවට මා ඉහත ලිපියකදී ඉදිරිපත් කළ මතය දැන් තහවුරුවී තිබේ. “නොවියතුන්” තවමත් කුඩ ඉල්ලා කිච වී නොමැත. වියතුන් හා නොවියතුන් යන දෙපාර්ශවයම ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය යන සත්ව විශේෂයට අයත් වන්නාවූ පිරිසක් බව සීතා යළිත් වරක් “බත්පතේ සටනින්” පසුව ඔප්පුකොට තිබේ.

ප්‍රවීණ ළමා සාහිත්‍ය ලේඛිකාව වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය අද ජිවතුන් අතර සිටියේ නම් ඇය “කුඩහොරා” කතාවේ දෙවෙනි කොටස ලියනු නොඅනුමානය. මෙය හාස්‍යයට හා උපහාසයට කාරණයක් නොවේ. රට වනසන ඔඩු දිව ගිය ව්‍යාධියකි. අපට කම්පාවක් ඇති වේ. හිරිකිතයක් ඇති වේ. එයට හේතුව ඔබලා පත්වූයේ අපේ ජන්දය නිසාය. ඇයගේ විකිපීඩියා සටහන් අනුව දරු දෙදෙනා සමඟින් එංගලන්තයට සංක්‍රමණය වීමට සිටි ඇය මිතුරෙකු විසින් අහඹුවකින් “වියත්මගට” හඳුන්වා දී තිබේ. එවැනි අහඹුවකින් දේශපාලනයට ආ පුද්ගලයන්ගෙන් අප කැඩෙන කුඩ මිස මිණිමුතු බලාපොරොත්තු වන්නේ ඇයි? කුඩය යනු පෞද්ගලික භාණ්ඩයකි. එබඳු පෞද්ගලික භාණ්ඩ තව කොතෙක් ඇත්ද?

සේන තෝරදෙනිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More