පුරවැසි කොලම

මහජනයා විසින් පැවැත් වූ සියළු විභාග වලින් අසමත් වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වැනි අයෙකු විසින් ජනාධිපතිතුමා හෝ ආණ්ඩුව අසමත් වී ඇති බවට ප්‍රතිඵල නිකුත් කිරීම තරම් හාස්‍ය ජනක ක්‍රියාවක් පසුගිය වසරේ දක්නට නොලැබුණි. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පමණක් නොව රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව අසමත් කිරීම සඳහා ඔහු විසින් ඉටු කළ භුමිකාව වෙනත් කිසිවෙකු විසින් ඉටුකොට නැත. ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ගොදුරු කිරීම සහ ACSA ගිවිසුම අත්සන් කිරීම, SOFA ගිවිසුම සහ M.C.C ගිවිසුම අත්සන් කිරීම සඳහා බලවත් උත්සහායක් දැරීම මෙන්ම හම්බන්තොට වරාය විකිණීම සහ කොළඹ වරාය ඉන්දියාවේ අධානි සමාගමකට පැවරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීම වැනි මහා පාවාදීම්වලට ආණ්ඩුව පෙළඹවීම ඒ අතුරින් ප්‍රධාන වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්
පුද්ගලිකව ගනු ලැබූ යම් පියවර නිසා අතුරුදහන් වීම් පිළිබඳ කාර්යාලය මඟින් රණවිරුවන්ට පුද්ගලිකව චෝදනා එල්ල කරන ක්‍රියාවලිය සහ M.C.C ගිවිසුම අත්සන් කිරීම තාවකාලිකව වැලකී ගිය බව සත්‍යයකි.

අවසානයේදී තම අසමත්කම් පිළිබඳව හෙවත් අවසන් විභාගය ෆේල් වන බව ඉතා හොඳින් දැනසිටි මංගල සමරවීර මහතා ජනතාවගේ විභාගය හෙවත් මැතිවරණයට පෙනී සිටීමෙන් වැලකී සිටියේය. ඒ නිසා ඔහුට පමණක් නොව ඔහුගේ පක්ෂයටද හිමිවූයේ “බින්දුවකි”. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ගත්විට මංගල සමරවීර මහතාට විභාග පරීක්ෂකවරයෙකු ලෙස කිසිඳු ගෞරවයක් හිමි වන්නේ නැත. ඒ අනුව ආණ්ඩුව ෆේල් ද, පාස් ද යන ප්‍රතිඵලය නිකුත් කිරීමට ඔහුට කිසිඳු සදාචාර අයිතියක් නැත. එසේ වුවත් ආණ්ඩුවට කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අදාළව රටේ බහුතර ජනතාව විසින් ජනාධිපතිවරණ විභාගය පවත්වන්නේ එතුමාට ප්‍රශ්ණ පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් තොරවය. ජනතාව තම හදවත් තුළ තිබෙන ප්‍රශ්ණ හෙවත් තමා පුද්ගලිකව සහ රටක් ලෙස මුහුණ දෙන ප්‍රශ්ණ වලට පිළිතුරු ගෝඨාභය රාජපක්ෂ නම් වූ සුවිශේෂි විභාග අපේක්ෂකයා ඉතා හොඳින් දන්නා බව පිළිගෙන ඔහුට ලකුණු 100 සම්පූර්ණයෙන්ම ලබා දුණි. දැන් වසරක්
ගත වී ඇති තත්වයක් තුළ ජනතාව පරික්ෂා කරන්නේ තමා විසින් ලබා දුන් ලකුණු නිවැරදිද යන්න පිළිබඳවය.

වෙනත් වචන වලින් කියන්නේ නම් ආණ්ඩුවේ “පින්පොත” පුරවනු ලැබුවේ ජනතාව විසිනි. සාමාන්‍ය තත්වයක් යටතේ අප රටේ ආණ්ඩුවල “පවුපොත” පුරවන්නේ විපක්ෂය විසිනි. නමුත් අවාසනාවකට හෝ වාසනාවකට විභාග පැවැත්වීමට හෝ ලකුණු දීමට විපක්ෂයට සදාචාර අයිතියක් හෝ බලයක් නැති තත්වයක් යටතේ ආණ්ඩුවේ පවු පොත පුරවන්නේ ආණ්ඩුව විසින්මය.ඒ නිසා දැන් මහජනයා විසින් ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුවේ පින් පොතට ඇතුල් කළ අපේක්ෂා සැබැවින්ම යථාර්තයක් බවටපත්වන බව හෙවත් ප්‍රශ්ණ පත්‍රයට ආණ්ඩුව උත්තර සපයනවාද යන්න පරික්ෂා කිරීම සඳහා ආදර්ශ උත්තර පත්‍රයක් හෙවත් ප්‍රශ්නෝත්තර පොතක් අවශ්‍ය වේ. ඒ සඳහා මංගල සමරවීර මහතාගේ දේශපාලන හෝඩි පොත යොදා ගත
නොහැක. මෙම ලිපියේ අරමුණ මහජනයා විසින් සැබැවින්ම ආණ්ඩුව ෆේල් ද එසේ නැතහොත් පාස් ද යන්න පරික්ෂා කිරීම සඳහා ඉතා කෙටි ප්‍රශ්නෝත්තර මාලාවක් සැපයීමය. එවිට මහජනයාට ඊට අනුව තම ප්‍රශ්ණ හෙවත් අපේක්ෂාවලට සාපේක්ෂව ආණ්ඩුවේ උත්තර පිළිගත හැකිද යන්න පරික්ෂාවට ලක් කළ හැක. ඒ අනුව ඒ සඳහා වන ප්‍රශ්නෝත්තර 10 ක් මෙසේ ඉදිරිපත් කළ හැක.

පළමු ප්‍රශ්ණය දැවෙන ප්‍රශ්ණයකි. මේ වන විටත් ආණ්ඩුව ඊට අදාළව උත්තර මාලාවක වැරදි උත්තර වලට පැන්සල් ඉරිගසමින් ඇත. ඒ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ ප්‍රශ්ණයයි. දැන් මළ සිරුරු භූමිදානයට අදාළව ඉස්ලාම් අන්තවාදීන් එක ගලකින් කුරුල්ලන් තිදෙනෙකු මරා ගැනීමේ ප්‍රවේශයකට අවතීර්ණ වී ඇත. එක පැත්තකින් ඔවුන් තම අන්තවාදී සංවිධාන වලට වැඩි වශයෙන් තරුණ තරුණියන් බඳවා ගැනීම සඳහා මානසික උත්තේජනය සපයන අතර මධ්‍යස්ථ මුස්ලිම් ජනයා සහ බහුතර සමාජ අතර ගැටුමක් සහ දුරස් කිරීමේ මානසික බාධකයක් නිර්මාණය කරමින් ඇත. අනෙක් පැත්තෙන් ඔවුන් ආණ්ඩුව ආගමික අන්තවාදී බලවේග වලට යටත් වූ බවට ජනමතයක් ඇති කොට ආණඩුවේ ජන වරම හෙවත් ප්‍රතිරූපය දියකර හැරීමට උත්සහා කරති. ආණ්ඩුව ඊට මුහුණ දෙන ආකාරය අනුව ඉදිරි වසර 4 ක කාලය තුළ එක රටක් එක නීතියක් අපේක්ෂාව ආණ්ඩුවට ඉටු කළ හැකිද යන්න පැහැදිළි වනු ඇත. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට සහ ඔවුනගේ සැබෑ ස්වාමිවරුන්ට දඬුවම් කිරීමට ආණ්ඩුව තුළ ඇති මානසික සූදානම්කම සහ මද්‍රාසා පාසල් ආදී මූලික අන්තවාදී උපායමාර්ගික උපාංග පිළිබඳ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබිඹු වනු ඇත.

දෙවැනි ප්‍රශ්ණය ජනාධිපතිතුමා තමා විසින්ම අර්ධ ලෙස විසඳූ ප්‍රශ්ණයේ ඉතිරි කොටසට අදාළවේ. එනම් යුද
ජයග්‍රහණය මඟින් අර්ධ ලෙස විසඳූ බෙදුම්වාදී ගැටළුවට දීර්ඝ කාලීන දේශපාලන විසඳුමක් ලබා දීමය. එනම් බෙදුම්වාදී පළාත් සභා වලට ඡන්ද පවත්වා ඒවා තවදුරටත් ශක්තිමක් කිරීම වෙනුවට නව ව්‍යවස්ථාවක් මඟින් බෙදුම්වාදයට ගොදුරු නොවන නව පළාත් සංවර්ධන සභා ක්‍රමයක් හඳුන්වා දීමය. නමුත් ආණ්ඩුව ඇතුළත සහ පිටත සිටින බලවේග නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට එරෙහිව අකුල් හෙලන බව පෙනෙන්නට ඇත. ආණ්ඩුව සහ ජනපති සමත් වන්නේ එම කුමන්ත්‍රණය පරාජය කොට රටට සුදුසු නව ව්‍යවස්ථාවක් සම්මත කළහොත් පමණි.

තුන්වැනි ප්‍රශ්ණය දෙවැන්න සමඟ බැඳී ඇත. ඒ රණවිරුවන් ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා මර උගුලින් සම්පූර්ණයෙන්ම ගලවා ගැනීමය. ඒ සඳහා ජිනීවා 30/1 යෝජනාවෙන් ඉවත් වීම පමණක් සෑහෙන්නේ නැත. දීර්ඝ කාලීනව ගැටළුව විසඳා රටේ ජාතික ආරක්ෂාව සහ රණවිරුවන්ගේ ආරක්ෂාව සහ ගෞරවය ආරක්ෂා කළ හැක්කේ ඔවුන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම සඳහා කරුණුමය සහ නීතිමය සාක්ෂි සහ තර්ක අඩංගු විත්තිවාචිකයක් ශ්‍රී ලංකාව පැත්තෙන් ඉදිරිපත් කිරීම මඟිනි. ඊට අමතරව ඇමරිකාව මෙන් දේශප්‍රේමි පනතක් සම්මත කිරීම මඟින් අනාගතයේදී ආරක්ෂක හමුදාවල මුහුණදීමේ ශක්තිය වැඩි කිරීම ද වැදගත් වේ. එම ප්‍රශ්ණයට අදාළ සම්පූර්ණ ලකුණු ආණ්ඩුවට ලබාගත හැක්කේ ඒ සියලු අතුරු පිළිතුරු සැපවුවහොත් පමණි.

ආණ්ඩුව විසින් ජනතා විභාගය අසමත් නොවීම සඳහා පිළිතුරු සැපයිය යුතු තුන්වන ප්‍රශ්ණය මත් උවදුර සහ සංවිධානාත්මක අපරාධ තීරණාත්මකව මර්ධනයට ලක් කිරීම සඳ හා අවශ්‍ය පියවර කුමක්ද යන්නය. අහඹු අත්අඩංගුවට ගැනීම් වලින් එවැනි සංකීර්ණ ප්‍රශ්ණයකට පිළිතුරු සැපයිය නොහැක. නමුත් අද්මිරාල් සරත් වීරසේකර වැනි ඊට අවශ්‍ය මානසික සූදානම්කම,දැනුම, හැකියාව සහ පෞර්ෂය සහිත පුද්ගලයෙකු අමාත්‍යධූරයට පත් කිරීම මඟින් අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් ජනාධිපතිතුමා විසින් සපුරා ඇත. දැන් කළ යුත්තේ නව නීතියක් මඟින් ඒ සඳහා වූ සුවිශේෂී පොලිස් සහ හමුදා ඒකාබද්ධ යාන්ත්‍රණයක්, අධිකරණ පද්ධතියක්, විශේෂිත බන්ධනාගාර පද්ධතියක් සහ මහජනයාගෙන් තොරතුරු සහ සහය ලබා ගැනීමේ යාන්ත්‍රණයක් පිහිටුවිමය. එසේ නොකර ප්‍රශ්ණය දීර්ඝකාලීනව විසඳිය නොහැකි අතර මහජනයාගෙන්
ප්‍රශ්ණයට අදාළ සම්පූර්ණ ලකුණු ලබාගත නොහැක.

පස්වන ප්‍රශ්ණය රටේ ආර්ථිකය පදනම දීර්ඝ කාලීනව ශක්තිමත්ව ගොඩ නැගීම සඳහා වන මූලික සහ පූර්ව කොන්දේසිය වන ආර්ථිකයේ පදනම හෙවත් අත්තිවාරම ශක්තිමත් කිරීමය. එනම් නව නීති, මහජනයා දැනුවත් කිරීම, වෙළඳපොළ තුළ රාජ්‍ය මැදිහත් වීම, විශේෂයෙන්ම බදු සහන මඟින් වෙළඳපොළ තුළ සිදු කෙරෙන මිල විකෘතීන් නිවැරදි කිරීම ආදිය මඟින් රටේ කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය සහ කුඩා සහ මධ්‍යම පරිමාන කර්මාන්ත පද්ධතිය බිඳ හෙළිය නොහැකි ලෙස ශක්තිමත් කිරීමය. එහිදී ආහාර සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය සහ කෘෂි පරිසර පද්ධතිවල පැවැත්මට අදාළ රටේ වාරි පද්ධතිය ආරක්ෂා කිරීම වැනි සාධක වලට අදාළව රජයක් විසින් ගත යුතු පියවර පිළිබඳව සහ ඒ මඟින් ඇතිවන දීර්ඝකාලීන සහ කෙටිකාලීන ප්‍රතිඵල පිළිබඳව ම හජනයා දැනුවත්කොට එකඟතාවය ලබා ගැනීම වැදගත් වේ.

එම ප්‍රශ්ණයට අදාළ සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට නම් ආර්ථික ඝාතක නිලධාරීන් අතලොස්සක් විසින් ආණ්ඩුව සහ ජනතාව නොමඟ යවමින් සිදු කරන විනාශය වහා නැවැත්විය යුතුය. විශේෂයෙන්ම පාරිභෝගිකයාගේ නාමයෙන් සහ අත්‍යවශ්‍ය ආහාර වලට බදු සහනදීම නැමැති ආවරණයට මුවා වී බදු වංචා කිරීම හෙවත් මහජන මුදල් සමාගම්වලට ආපසු ලබා දීම මඟින් ආනයනික ආහාර වෙළඳපොළ තුළ සිදුකරන මිල විකෘතිය වැලැක්විය යුතුය. එනම් ආනයනික ආහාර අධෛර්යමත් කිරීම සඳහා මහජන එකඟතාව ඇතිව බදු පැනවිය යුතු අතර දේශීය නිෂ්පාදකයාට ඉහළ මිලක් සහ සහන ලබා දිය යුතුය. ඊට අදාළ ආණ්ඩුවේ දැනුම සහ උවමනාව පරික්ෂා කිරීම සඳහා යොදාගත හැකි හොඳම උත්තරය හෙවත් උදාහරණය වන්නේ ‘‘වී ගොවියාට වී කි.ග්‍රෑම් 1 කට රු. 60 ක් ගෙවා සහල් රු. 110 ක කමු‘‘ නමැති ආදර්ශ පාඨය ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් කර ගැනීමය.

අඩු මිලට තිරිඟු පිටි ගිලමින් දේශීය ගොවියා වලපල්ලට යවන සමාජයකට රටේ ආහාර සුරක්ෂිතතාවය රැකගත නොහැකි බව සහ එවැනි සමාජයකට අනාගතයේ ආහාරයට ගන්නට සිදුවන්නේ පස් බව මහජනයාට පැහැදිළිකොට අදාළ තීන්දු ගැනීමට ආණ්ඩුවට ආත්ම ශක්තිය නොමැතිනම් කිසිදිනෙක රටේ ආර්ථිකයේ පදනම හෙවත් අත්තිවාරම ශක්තිමත් කළ නොහැක. එසේනොකරන තෙක් ඒ මත ඉදි කරන නාගරික යටිතල පහසුකම් මුල්කරගත් සේවා ආර්ථිකය නමැති උස් බිත්ති බැඳිය නොහැක. එසේ බඳින බිත්ති සියල්ල කඩා වැටීම වැළැක්විය නොහැක. එසේ නම් ආණ්ඩුවට ආර්ථිකයේ ඉහළ මාලය කිසි දිනෙක ගොඩ නැගිය නොහැක.

එසේ නම් හත්වන ප්‍රශ්ණයට හෙවත් ආර්ථිකයේ ඉහළ මාලය ඉදි කිරීම හෙවත් මහා පිම්මක් පනින ආකාරයට විදේශ විනිමය ඉපයිය හැකි සහ ණය උගුලින් ගැලවීම සඳහා මහා ආදායම් ලබාගත හැකි කර්මාන්ත පද්ධතියක් පිහිටුවීමට අදාළ ප්‍රශ්ණයට උත්තරය ලබා දිය හැක්කේ හයවැනි ප්‍රශ්ණයට උත්තර ලබා දීමෙන් පසුවය. ආණ්ඩුව හත්වන ප්‍රශ්ණයට උත්තර දන්නවා නම් කෝවිඩ් වසංගතය අස්සෙන් රිංගා සංචාරක කර්මාන්තයෙන් ඩොලර් සොච්චමක් වැඩිපුර සොයා ගන්නේ කෙසේද යන ප්‍රශ්ණයට ආණ්ඩුව විසින් වැරදි උත්තර සෙවිය යුතු නැත. උදාහරණයක් ලෙස කළු රත්තරන් ලෙස හඳුන්වන මිනිරන් වලින් ග්‍රැෆින් නැමැති වටිනා ලෝහ වර්ගය දේශීයව නිපදවා ඒවා අපනයනය කිරීම මඟින් දැන් උපයන විදේශ විනිමය මෙන් දහස් ගුණයක් උපයන්නේ කෙසේද යන ප්‍රශ්ණයට උත්තරය ආණ්ඩුව දන්නවා නම් අවශේෂ සුළු ප්‍රශ්ණ වලට උත්තර බැඳීම අවශ්‍ය නැත. එසේම ගෝත්‍රිකයින් වෙසෙන අප්‍රිකාවේ නොදියුණු රාජ්‍යයක ආණ්ඩුවක් සිදුකරන ආකාරයට වටිනා ඛණිජ
වැලි අමු ද්‍රව්‍ය ලෙස තුට්ටු දෙකට අපනයනය කිරීම වෙනුවට එමෙන් සියගුණයක් ආදායම් ඉපදවිය හැකි වටිනාකම් එකතු කිරීමේ කර්මාන්ත ආරම්භ කරන්නේ නම් ආණ්ඩුව අදාළ ප්‍රශ්ණයට උත්තර දන්නා බව මහජනයාට පිළිගත හැක.

ආණ්ඩුව විසින් උත්තර සැපයිය යුතු අටවැනි ප්‍රශ්ණය වන්නේ ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන් අප රටට ලැබී ඇති ස්වභාවික සම්පත්, ආර්ථික සහ යුදමය මර්මස්ථාන මෙන්ම අහස, මුහුද සහ භූමිය සහ මානව සම්පතින් උපරිම ඵල නෙලාගන්නේ කෙසේදයන්නය. ආණ්ඩුව තම ප්‍රශ්ණයට උත්තරය දන්නවා නම් වරායවල් ගුවන්තොපුපළවල් වැනි ආර්ථික මර්මස්ථාන විදේශකයින්ස තු කිරීම හෝ ඉඩම් කොල්ලයට ඉඩ සලසන නීති සකස් කිරීම කරන්නේ නැත. එසේම MCC සහ SOFA වැනි ගිවිසුම් අත්සන් කිරීමට හීනෙන්වත් හිතන්නේ නැත. ඊට අමතරව අත්සන්කොට ඇති ACSA ගිවිසුමෙන් ඉවත් වීමට සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ආපසු රටේ අයිතියට නතු කිරීම වහා කටයුතු කළ බව ආණ්ඩුව පිළිගන්නේ නම් ඔවුන් උත්තරය දන්නා බව මහජනයාට පිළිගත හැක. එය ව්‍යාජ “කොපිකැට්” උත්තරයක් නොවන බව සහතික කර ගැනීම සහ අතුරු ප්‍රශ්ණයක්ද යොමු කළ හැක. ඒ 1971 නොබැඳි ජාතීන්ගේ සමුළුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව සම්මත කළ 2832 යෝජනාව හෙවත් ඉන්දියානු සාගරය සාම කලාපයක් බවට පත් කිරීමේ ජාත්‍යන්තර දේශපාලන ක්‍රියාන්විතයට ප්‍රායෝගිකව මැදිහත්වනවාද යන්නයි.

මානව සම්පත් වලට අදාළ ප්‍රශ්ණය ගත්විට ආරක්ෂක හමුදා සතු මිනිස් බලය සහ සමාජයෙන් ස්වේච්ඡාවෙන් ලබා ගත හැකි ශ්‍රමය සහ දැනුම යොදා ගැනීම ගැන ආණ්ඩුවේ උත්තරය දැන ගැනීම වැදගත් වේ. උදාහරණයක් ලෙස ආරක්ෂක හමුදාව සතු මිනිස් බලය රටේ සාම්ප්‍රදායානුකූල වාරි පද්ධතිය සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධති වලට නැවත පණදීම සඳහා යොදා ගන්නේ නම් ආණ්ඩුව උත්තරය දන්නා බව පිළිගත හැක. එසේම එම සම්පත් යොදා ගනිමින් තරුණ පරපුර වෘතිය කුසලතා පිරි ආර්ථික බලඇනියක් බවට පරිවර්ථනය කිරීමට සහ දේශීය සහ විදේශීය රැකියා අවස්ථා වර්ධනය කිරීමට ආණ්ඩුවට සැලසුමක් තිබේ නම් ආණ්ඩුව උත්තරය දන්නා බව පිළිගත හැක. ඒ උත්තරයට ලකුණු දිය හැකි නම් එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නුපුහුණු කාන්තා ශ්‍රමිකයින් විදේශ රැකියාවලට යවා ජාතිය අවමානයට සහ දුකට පත් කිරීමේ නිර්ලැජ්ජිත ක්‍රියාවලිය අවසන් කිරීම නමැති උත්තරය මඟින් අමතර ලකුණක් ද ලබා ගැනීමට ආණ්ඩුවට අවස්ථාව ලැබේ.

ආණ්ඩුවට මහජන විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගත හැකි උත්තරයක් ලබා දිය හැකි නමවැනි ප්‍රශ්ණය වන්නේ අප ජාතියේ සභ්‍යත්ව උරුමය මත ශක්තිමත්ව දෙපා තබා නැගී සිටීම සඳහා ආණ්ඩුවේ උවමනාව පරික්ෂා කිරීමය. ජාතික උරුමයන් සහ ඒ සමඟ බැඳී ඇති සම්බුද්ධ සාසනය රැකීමට සහ පෝෂණය කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන අවංක සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුලින් එය ප්‍රදර්ශණය වනු ඇත. එසේම නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සුභ සාධක රාජ්‍යයේ ඓතිහාසික ලකුණ මකා දැමීමට ආණ්ඩුව උනන්දු නොවන බව සහතික කිරීම ද අදාළ උත්තරයට අයත් වේ.

දස වැනි ප්‍රශ්ණය සමාජය තුළ යුක්තිය සහ සාධාරණය සහ සමානාත්මතාවය තහවුරු කිරීම මඟින් ජාතිකත්ව, ආගම්, භාෂා හෝ කුල භේද අභිබවා මිනිස්කම සහ සමානාත්මතාවය ආණ්ඩුවේ සන්නාමය බවට පත් කළ හැකිද යන්නයි. එම උත්තරය සමාජය තුළ ගැටුම් සමනය කිරීම මඟින් ජාතික ආරක්ෂාව ශක්තිමත් කෙරෙන බැවින් ආණ්ඩුවට අමතරව ලකුණක් ද හිමිවේ. මෙම ප්‍රශ්නෝත්තර අනුව ආණ්ඩුව ලබාගන්නා ලකුණු මඟින් ආණ්ඩුව ෆේල් නොවන බව ජනතාවට මෙන්ම ආණ්ඩුවට ද තහවුරු කර ගත හැක.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



One thought on “ආණ්ඩුව ෆේල් ද? විභාගයට ප්‍රශ්නෝත්තර 10 ක්”

  1. හොඳයි, නමුත් ආණ්ඩුව failද passද කියලා බලලා fail නම් මොකක්ද කරන්නේ? ආණ්ඩුවේ කිසි තැනක් ඔය විවේචකට හෝ අනිකුත් රජ පෙරහැරට පන්දම් අල්ලාගෙන නැති අයට නෑ.

    ජන්දය දෙන්නේ පුද්ගලිකව දන්න ගමේ කෙනෙකුට නොවේ නන්නාඳුන පිරිස් වලටයි. ඡන්දය දින්නේ මහජන නියෝජිත කමට නොව කිසිවෙකුටවත් බැඳීමක් නැති පාලනයක් පිහිටුවීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More