දේශීය පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ලබන 21 වැනිදා සිට නිල වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයින්ට රට විවෘත කිරීම සිදුකරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි. මාස 10කට පසුව කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ වාණිජ ගුවන් ගමන් සඳහා මෙලෙස විවෘත කිරීම සිදුවන අතර ජනවාරි මස 23 වැනි දින පමණ වනවිට වාණිජ ගුවන් ගමන් ක‍්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වනු ඇති බව ඇමැතිවරයා පවසයි.

කොරෝනා වෛරසය පැතිර යෑම හේතුවෙන් ලංකාවේ පමණක් නොව ලෝකයේම සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටී තිබේ. ඊට ප‍්‍රධාන වශයෙන් බලපානු ලැබුවේ වෛරසය පැතිර යෑම පාලනය කිරීම සඳහා ගුවන් තොටුපළවල් වසා දැමීමය. ගුවන් තොටුපළවල් වසා දැමීම නිසා ගුවන් සේවා කර්මාන්තය බිඳ වැටුණු අතර එක රැුයකින් බි‍්‍රතාන්‍ය ගුවන් සේවා සමාගමේ පමණක් සේවය කළ තිස්පන්දහසකට රැුකියා අහිමි විය. මෙම රැුකියා අර්බුදය ලෝකය පුරා පැතිර ගිය අතර ලංකාවේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ රැුකියා අර්බුදය පමණක් නොව මුල්‍ය අර්බුදය ද මුළුමනින්ම පුපුරා ගියේය. එම නිසා මෙම මූල්‍ය අර්බුදයෙන් යම් තරමකට හෝ ගැලවීමට මඟක් ඇත්තේ ගුවන් තොටුපළ යළි විවෘත කිරීමෙන් පමණි. එම නිසා සෞඛ්‍ය  මාර්ගෝපදේශවලට අනුව ගුවන් තොටුපළ විවෘත කිරීමත්, සංචාරක කර්මාන්තය යළි ඉදිරියට ගෙන යෑමත් කළ යුතුව ඇත. නමුත් අර්බුදය වන්නේ මෙම ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට අප සතුව  ප‍්‍රායෝගික යාන්ත‍්‍රණයක් තිබේද යන්නය.

පසුගියදා කඩිමුඩියේ යුකේ‍්‍රනයෙන් පැමිණි සංචාරකයන් පිරිසක් හේතුවෙන් රටේ කොරෝනා මර්දන ක‍්‍රියාවලිය අනතුරුදායක තත්ත්වයකට පත්වූ බව කිව යුතුය. එම සංචාරකයන් පමණක් නොව ඔවුන් රටට ගෙන ඒමට මැදිහත් වූ පුද්ගලයන් පවා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් හැසිරෙන දසුන් සමාජ මාධ්‍ය ජාලය උණුසුම් කරන පුවත් බවට පත් වී තිබේ. එම සංචාරකයන් පිරිස ඔවුන්ට නියමිත ගමන් මාර්ගවල ගමන් නොකළ බවටද චෝදනා රැුසක් එල්ල වෙමින් තිබේ. පසුව ආණ්ඩුව මැදිහත් වී, එම අනතුරුදායක ක‍්‍රියාව නතර කර තිබේ. ජනවාරි 21 වැනිදා ගුවන් තොටුපළ විවෘත කිරීමෙන් පසු, සංචාරක කර්මාන්තය ඉදිරියට යන්නේ මේ අයුරින් නම්, එය ඉතා අනතුරුදායකය. ගුවන් තොටුපළේදී සංචාරකයන්ට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ”නෙගටිව් ” වූ පමණින් කොරෝනා ”නෙගටිව්” වන්නේ නැත. ගුවන් තොටේදී කොරෝනා ”නෙගටිව්” වූ සංචාරකයකුට, රට ඇතුළට ගමන් කිරීමෙන් පසු කොරෝනා ”පොසිටිව්” විය හැක. මෙලෙස හය, හත් වතාවක් කොරෝනා වෛරසය ”පොසිටිව්” වූ පුද්ගලයන් ලෝකය පුරා වාර්තා වේ. එවැනි සංචාරකයකු මුඛ ආවරණ නොමැතිව ගමන් කළොත් සිදුවන විනාශය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එම නිසා රටට ඇතුළු වන සංචාරකයන් කොරෝනා මර්දන නීති අකුරටම පිළිපදිනවා ද යන්න පිළිබඳව සුපරීක්ෂාකාරී විය යුතුය. මන්ද ලෝකයේ බොහෝ රටවල දෙවැනි රැුල්ලක් නිර්මාණය වූයේ සංචාරකයන් නිසාය. අප රටේ තුන්වැනි රැල්ලක් ඇති වේ නම් එය ඇතිවීමට වැඩි ඉඩක් ඇත්තේ සංචාරකයන් ගෙනි. එම නිසා එම මඟ අහුරා දැමීමට අප ගත යුතු සෑම පියවරක්ම ගත යුතුය.

ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඇස්තමේන්තුවලට අනුව සංචාරක ක්ෂේත‍්‍රයේ සෘජු හා වක‍්‍ර රැුකියා ප‍්‍රමාණය සමස්ත ශ‍්‍රම බලකායෙන් සියයට 4 සිට 5 දක්වා වේ. පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ලෝකයේ රටවල් 37ක් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට අවදානම් මට්ටමේ සංචාරක උපදේශ නිකුත් කිරීමෙන් පසු ලංකාවට සංචාරකයන් පැමිණීම සියයට 18 කින් පමණ පහළ ගිය අතර දිනකට සංචාරකයන් පැමිණීමේ ගණන 7600 සිට 1700 දක්වා පහත වැටුණි. මෙමඟින් අහිමි වූ රාජ්‍ය ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 3600කි. ඉන් පසු කොරෝනා වෛරසය විසින් මුළුමනින්ම  බිලිගනු ලැබූ සංචාරක කර්මාන්තය දැන් තිබෙන්නේ බිංදුවෙන් පටන් ගැනීමටය. තවමත් රටේ කොරෝනා වෛරසය පාලනය නොවී තිබෙන මොහොතක සංචාරක කර්මාන්තය යළි ඇරඹීම පහසු නැත. නමුත් රටේ ආර්ථික ආරක්ෂාව වෙනුවෙන් එය අළු ගසා දමා නැගිටිය යුතුමය. එම ක‍්‍රියාවලිය සෞඛ්‍ය  මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකිරීම ආණ්ඩුවේ වගකීමය.

2019 ජූලි මාසයේදී ප‍්‍රකාශයට පත් කරන ලද ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණයට අදාළව ශ‍්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක තත්ත්වයට උසස් කර තිබේ. ශ‍්‍රී ලංකාව පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිට ඉහළ මැදි ආදායම් තත්ත්වයට පත්වීමට ගතවූ කාලය වසර 21කි. එය සමහර නැගී එන ආර්ථිකයක් සහිත රටවල් හා සැසඳීමේදී දීර්ඝ කාලයක් බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. චීනයට හා කොරියාවට එම තත්ත්වයට පත්වීමට වසර 07ක් ද ජපානයට වසර 09ක් ද  සිංගප්පූරුවට වසර 10ක් ද ගතව තිබුණි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය මෙතරම් මන්දගාමී වූයේ රටට නිවැරදි දැක්මක් සහිත ආර්ථික ප‍්‍රතිපත්තියක් නොතිබූ නිසාය. කොරෝනා පැමිණෙන විටත් රටේ ආර්ථිකය තිබුණේ මර නින්දේය. එම නිසා දැන්වත් අප මේ මර නින්දෙන් අවදි විය යුතුය, ගින්නෙන් උපදින ෆීනික්ස් පක්ෂියා මෙන් අළු ගසා දමා නැඟිටිය යුතුය. ඒ හැර අපට ඉතිරි වී ඇති විකල්පය කොරෝනා සමඟ අළු වී යෑම පමණි.

(2021 ජනවාරි 08 දිවයින කතුවැකිය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More