ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූයේ “අන්තවාදයට යට වී කොවිඞ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න එපා! යන සටන් පාඨය යටතේය.
‘අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරය විරෝධතාව අවසානයේ “අන්තවාදයට යට වී කොවිඞ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න ඒපා! යන ඉල්ලීම රැගත් ලිපිය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාරදීමට සූදානම් වුවද සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යාංශයේ රැදී නොසීටීම හේතුවෙන් අදාල ලිපිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත භාර දෙනු ලැබීය.
අනාගතය අපි තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුරු ප්‍රසංග මහතා ඇතුළු එහි දිස්ත්‍රික් නායකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කරන ලද ලිපිය පහත දැක්වේ.
ගරු සෞඛ්‍ය අමාත්‍ය,
පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය,
“සුවසිරිපාය”
අංක. 385,
පුජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත.
කොළඹ 10.
අමාත්‍යය තුමියනි,
අන්තවාදයට යට වී කොවිඞ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න එපා!
කොවිඞ් ආසාදිත මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු සෞඛ්‍ය හේතු මත ආදාහනය කළ යුතු බවට රජය මේ වන විට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එය දේශපාලන හෝ ආගමික තීරණයක් නොව විද්වත් කමිටුවක විද්‍යාත්මක නිර්දේශ මත පදනම්ව ඉදිරිපත් කළ තීරණයකි. එසේ වුවද අද නැවතත් ආගමික අන්තවාදීන්ගේ බලපෑම මත මේ සම්බන්ධව සොයාබැලීමට තවත් කමිටුවක් පත් කිරීමත්, එම කමිටුව භූමදානයට පක්ෂව අදහස් පළ කිරීමත්, රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙය ඉතා බරපතළ තත්ත්වයක් ලෙස අපි දකිමු.
කිසියම් ජන කොට්ඨාසයක සාධාරණ සංස්කෘතික අයිතීන්ට ඉඩදීම පිළිබඳ අපට ගැටලුවක් නැත. නමුත් එය එසේ කළ හැකි වන්නේ එයින් අනෙක් ජාතීන්ට හෝ පොදු සමාජයට අගතියක් නොවන්නේ නම් පමණි. නමුත් ආගමික ඉල්ලීමක් පොදු සමාජයට සෞඛ්‍ය තර්ජනයක් එල්ල කරන බවට කිසියම් හෝ අවදානමක් තිබේ නම් අපට එහිදී ආගම වෙනුවට සෞඛ්‍ය පිළිබඳ පොදු නීතියකට මුල් තැන දීමට සිදුවේ. එය සියලු ආගම් අදහන අයට බලපාන කාරණයක් මිස එක් ජාතියකට සුවිශේෂී වූවක් නොවේ.
එම පොදු නියාමය නිසා කිසියම් සුළු පිරිසකට තම ආගමික විශ්වාස මත සිත් වේදනාවක් ඇති විය හැකි බව සැබෑය. නමුත් එය මුස්ලිම් ජනතාවට පමණක් සිදුවන වෙනස්කමක් නොවේ. අද බෞද්ධ, හින්දු, කතෝලික ඇතුළු අනෙකුත් ජාතීන්ටද කොවිඞ් මරණවල අවසාන කටයුතු කිරීමට සිදුව ඇත්තේ තමන් අදහන ආගමික චාරිත්‍ර වාරිත්‍රවලින් තොරවය. එමෙන්ම මේ තත්ත්වය තාවකාලික එකකි. සුවිශේෂී ආපදා අවස්ථාවකදී රටේ පොදු යහපත තකා කෙටිකාලීනව සිදුවන එවැනි දුක් ගැහැට දරා ගැනීමට ජාතියක් වශයෙන් අප සමත් විය යුතුය. අපි කොතෙකුත් එවැනි අවස්ථාවලට මුහුණ දී ඇත්තෙමු.
එහෙත් අද මේ ප්‍රශ්නය දඩමීමා කරගනිමින් ජාතිවාදය පැතිරවීමට සමහර කල්ලි කණ්ඩායම්, විපක්ෂ බලවේග, ඇතැම් වමේ පක්ෂ, එන්ජීඕ සංවිධාන ආදිය කටයුතු කරමින් සිටිති. මොවුන්ගේ අරමුණ වනුයේ මේ ප්‍රශ්නය මුස්ලිම් ජනතාවට සිදුකෙරෙන වෙනස්කමක් ලෙස හුවා දක්වමින්, මුස්ලිම් ජනයා අතර අසහනය, අසතුට වර්ධනය කරමින් මහා සමාජයට හා ජාතික සමගියට එරෙහිව එම පිරිස උසි ගැන්වීමය. ඔවුන් අතර අන්තවාදී අදහස් කුළු ගැන්වීමය. රටේ මහා සංස්කෘතියට පහරදීම සඳහා සුළු ජාතික ජාතිවාදය ආයුධයක් කොට ගැනීමය. සිංහලයාගේ කිසිදු සාධාරණ අයිතියක් වෙනුවෙන් පෙනී නොසිටින, සිංහලයාගේ සංස්කෘතික අයිතීන් ගෝත්‍රික මිත්‍යාවන් යැයි හෙළා දකින, රැඩිකල් නිරාගමික මතධාරීන් බව කියාගන්නා අය පවා මේ භූමදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ නිසාය. මේ සියලු දෙනාට අද භූමදානය ප්‍රශ්නය දේශපාලන ඉල්ලමක් බවට පත්වී තිබේ.
මේ ප්‍රශ්නයේ සෞඛ්‍ය අවදානම ගැන ප්‍රමාණවත් කරුණු මේ වනවිටත් අදාළ අංශ සහ ප්‍රමාණික විද්වතුන් විසින් මනාව හෙළිදරව් කොට තිබේ. දේශීය වශයෙන් පමණක් නොව ලෝකයේ වෙනත් රටවල පිළිගත් විද්වතුන් සහ ආයතන මගින් සිදුකළ අධ්‍යයනයන්ද මීට අදාළය. ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට අදහස් නොකරන්නේ ඒ කාරණා මේ වනවිටත් ප්‍රමාණවත් තරමේ සමාජ අවධානයකට ලක්ව ඇති බැවිනි. අප දකින ආකාරයට මෙය කිසිසේත්ම සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයකි. එමෙන්ම මෙය කිසිසේත්ම හුදු මළ සිරුරු පිළිබඳ ප්‍රශ්නයක්ද නොව එතැනින් බොහෝ ඔබ්බට ගිය ආගමික අන්තවාදය හා ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය අප ගැඹුරින් අවබෝධ කොට ගත යුතුය.
මෙවැනි තත්ත්වයක් තුළ රජය මෙන්ම විපක්ෂයද පටු භේදවලින් තොරව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු වුවද අද මේ ප්‍රශ්නය සම්බන්ධව විපක්ෂයේ භූමිකාව පමණක් නොව රජයේ භූමිකාව පවා ගැටලු සහගතය. රජය විසින් කළ යුත්තේ මෙහිදී මේ කාරණය සම්බන්ධව සෘජු තීරණ ගනිමින් ඊට පසුබිම් වූ කාරණා පිළිබඳ මහජන අවබෝධය පුළුල් කිරීම මිස අන්තවාදීන්ගේ බලපෑම් හමුවේ විටින් විට තම තීරණ වෙනස් කරමින් වගකීම් විරහිත ආකාරයෙන් හැසිරීම නොවේ. අන්තවාදීන්ගේ බලපෑම් මත රටේ නීතිය, විද්වත් කමිටුවල තීරණ විටින් විට වෙනස් කිරීමට රජයක් කටයුතු කිරීම ඉතා බරපතළ සහ වැරදි පූර්වාදර්ශයක් බව කිව යුතුය.
මේ අන්තවාදී ජාතිවාදී ප්‍රවණතාව භූමදාන ඉල්ලීමෙන් පමණක් නතර වන්නක් නොවේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමන් ප්‍රමුඛ වර්තමාන රජයට ලැබුණු සුවිශේෂී ජනවරමේ අභිලාෂයන් අප මෙහිදී කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. ඒ ජනවරම ගොඩනැංවීමේ ලා සුවිශේෂී සාධකයක් වූයේ අන්තවාදයෙන් තොර සුරක්ෂිත රටක් උදෙසා වූ සාධනීය සමාජ පෙළ ගැස්ම බව අප අමතක කළ යුතු නැත. එහෙයින් එකී ජනවරමේ අභිලාෂයන්ට පිටුපා ජාතිවාදයන්ට හා අන්තවාදයන්ට යටත් වීම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ පැවැත්ම අනතුරේ හෙලීමක් බව අවධාරණය කළ යුතුය. ඒ නිසා මුස්ලිම් ජනතාවගේ සංස්කෘතික අයිතියට ඉඩදීම නමැති ව්‍යාජ සටන් පාඨයට යටත් වී සියලු ජාතීන්ගේ පැවැත්ම අනතුරේ හෙලන තීන්දු තීරණ කරා යොමු වීමට රජය කටයුතු කළ යුතු නැත.
ස්තුතියි,
මෙයට,
විශ්වාසී,
ඉසුරු ප්‍රසංග
ජාතික සංවිධායක
‘අනාගතය අපි‘ තරුණ ව්‍යාපාරය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...