ප‍්‍රධාන පුවත්

මෙරට ජනතාව පෙබරවාරි 10 වැනිදා වත්මන් ආණ්ඩුවට පක්‍ෂ සහ විපක්‍ෂ ලෙස අඳිනු ලැබූ බෙදුම් රේඛාව මකා දමා ‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ නැමති ආණ්ඩුවට වාසිදායක බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීමට ජවිපෙ සැරසෙන බවත් එය පණ අදින ආණ්ඩුවට ඔක්සිජන් දෙන ව්‍යාපෘතියක් මිස අන් යමක් නොවන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මසහතා පෙන්වා දෙයි.

අද (01) කඩුවෙල මහා නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැති ජානිපෙ පළත් පාලන මන්ත්‍රීවරුන්ගේ ජාතික හමුවේ දී විශේෂ දේශනයක් සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“2015 මහින්ද රාජපක්‍ෂ පාලනය ගෙදර යවන්න විදේශ ඔත්තු සේවා ඇතුළු විවිධ බලවේග තිරය පිටුපස සිට දැවැන්ත මෙහෙයුමක් දියත් කළ බව ඔබ දන්නවා. 2015 ජනවාරි 08 සිදු වුණේ සාමාන්‍ය මහජන ක්‍රියාකාරීත්වයක් නිසා ඇති වුණු බල පෙරළියක් නොවෙයි. සාමාන්‍ය මහජන ක්‍රියාකාරීත්වයකට බටහිර බලවේග විසින් ලබා දුන් උත්තේජනයක් නිසා ඇති වුණු බල පෙරළියක්.

මේ බටහිර බලවේග ඒ බල පෙරළියෙන් පසුව නිහඬ වී නැහැ. ඔවුන් බලනවා, තමන් හදපු රූකඩ බෙලහීන ආණ්ඩුව මගින් ශ්‍රී ලංකාව තම සිතැඟි පරිදි ගිල ගැනීමට අවශ්‍ය වන ආර්ථිකමය, දේශපාලනමය, සමාජමය ක්‍රියාමාර්ග දියත් කරවීමට. ඒ සඳහා බටහිර බලවතුන් අතේ සැලසුමක් තිබෙනවා.

‘කාන්තා මන්ත්‍රීවරියන්ගේ ඔළු හේදීම’

නිදසුනක් ලෙස බලන්න, පළාත් පාලන ආයතනවල කාන්තා ප්‍රතිශතය 25%ක් කිරීම. මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ විසින්. දැන් මේ කාන්තා මන්ත්‍රීවරියන්ට වැඩමුළු කිරීමට රාජ්‍ය නොවන සංවිධාන බලා ඉන්නවා. කන්න දීලා, බොන්න ඕනෙ නම් බොන්නත් දීලා තරු පහේ හෝටල්වල මේ වැඩමුළු තියාවි. මන්ත්‍රීවරියන්ගේ ඔළු සෝදන්න. අපි මේ කරුණු හොඳින් තහවුරුකර ගෙන ඉදිරිපත් කරන්නේ. වසර 04කට මේ කටයුතු සඳහා රාජ්‍ය නොවන සංවිධාන මුදල් වෙන් කරලා තිබෙනවා. මෙහිදී මුලින්ම කරන්නේ මේ කාන්තාවන් තම පවුල මුදුන් මුල කරගෙන හිතන එක වැළැක්වීම. ‘පවුල මූලිකයි’ යන්න වෙනුවට පුරුෂ විරෝධී, ස්ත්‍රීවාදී මානසිකත්වයක් හදන්නයි යන්නේ. එහෙම ආරම්භ කරන වැඩමුළු මගින් අවුරුදු 04 අවසන් වන විට ෆෙඩරල් ක්‍රමය පිළිගන්න තැනට මේ නෝනලාගේ ඔළු ටික හදන්නයි මේ යන්නේ. පිරිමි මන්ත්‍රීවරුන්ටත් මෙවැනි සැලසුම් හදලා ඇති. මේ විදියට කාන්තා නියෝජනයක් ගෙන ආවේ කාන්තාවන්ට ආදරේට නොවෙයි, ඔවුන් ‘පිරිමින්ට වඩා කාන්තාවන් තමන්ගේ මතයට නම්මා ගන්න පහසුයි’ කියලා හිතන නිසයි.

කොට්ඨාසයේ පාලම, බෝක්කුව ගැන විතරක් දැන ගෙන වැඩක් නැහැ’

දැන් මේ බටහිර බලවතුන් බලනවා පෙබරවාරි 10 වැනිදා තමන්ගේ සතුරු පිලට ලැබුණු ජයග්‍රහණය ආපස්සට හරවන්නේ කොහොමද?’ කියලා. පෙබරවාරි 10 වැනිදා බෙදුම් රේඛාව ඇඳුණේ ආණ්ඩුවට මිතුරු සහ ආණ්ඩුවට සතුරු කියලයි. දැන් මේ බෙදුම් රේඛාව වෙනුවට වෙනත් බෙදුම් රේඛාවක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. මේ අය දැන් පෙබරවාරි 10 වැනිදා ඇඳපු බෙදුම් රේඛාව මකලා අඳින්න හදන අලුත් බෙදුම් රේඛාව කුමක්ද? කියා ඔබට හිතන්න පුළුවන් විය යුතුයි. ඔබගේ කොට්ඨාසයේ පාලම, බෝක්කුව ගැන, ලයිට් කණුව ගැන පමණක් දන්නා මන්ත්‍රීවරයකු ලෙස දිගින් දිගටම ජයග්‍රහණය කළත් වැඩක් නැහැ. සිදු වෙමින් තිබෙන සියුම් දේශපාලන චලනයන් ඔබට වටහා ගන්න හැකි විය යුතුයි. පසුගියදා අප සමග සිටි කිහිප දෙනෙකු ගියෙත් සිදු වෙමින් පවතින දේශපාලන චලනය තේරුම්ගත නොහැකිවයි. දැන් ඔවුන්ට තමන් ගියපු දේශපාලන කඳවුරේ නායකයාගෙන් දුරකථන ඇමතුමකට පිළිතුරක්වත් ලැබෙන්නේ නැතිලු.

‘අලුත් බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීම’

දැන් අපි බලමු ‘ආණ්ඩුවට පක්‍ෂ සහ ආණ්ඩුවට විපක්‍ෂ ලෙස ඇඳපු බෙඳුම් රේඛාව’ මකලා අලුත් බෙඳුම් රේඛාව අඳින ආකාරය ගැන. මේ අලුත් බෙඳුම් රේඛාව ඇඳීමට බාර දී ඇත්තේ ජවිපෙ අනුර දිසානායකටයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලෙස උපදෙස් දීමෙන්. ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ අග්‍රගණ්‍ය ඒජන්තයා බවට බෞතීස්ම වෙලා ‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ අරගෙන එනවා. දැන් අපේ කඳවුරෙත් සමහරු කියනවා, ‘විධායකය අහෝසි කිරීමට අපි නම් පක්‍ෂයි’ කියලා. ඒ ගොල්ලෝ හිතන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම සිරිසේන ජනාධිපතිවරයාගේ රස්සාව නැති වෙනවා’ කියලයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් පවසා තිබෙනවා ‘අපි ගෙන එන සංශෝධනයෙන් සිරිසේන ජනාධිපතිවරයාගේ ධුර කාලයට කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ. ධුර කාලය අවසන් වූ පසුවත් ඔහුට ගෞරවනීය පැවැත්මක් හදලා දෙනවා’ කියලා.

‘මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගැනීම’

ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ තිබෙන කෝන්තරයක් නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සහාය දෙනවා නම් ඒක හරියට ‘මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගත්තා වාගේ’ වැඩක්. දැන් මේ බටහිර බලවේග සහ ඔවුන්ගේ ඔත්තු සේවා බලනවා අපේ කඳවුර ඒ නහය කපා ගන්න ඉරණමට ඇදලා දමන්න. මේ විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ ජේ. ආර්. ජයවර්ධන විසින් ගෙන ආ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුයි. ඒ වගේම 1987 දී ඉන්දු – ලංකා ගිවිසුම මගින් බලහත්කාරයෙන් මේ රටේ මූලික නීතියට පළාත් සභා ක්‍රමය ඇතුළත් කරනු ලැබුවා. ඒ, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනුයි. එදා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ රටේ ඒකීයභාවය අහෝසි වෙනවා. ඒ නිසා මේ සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් උවමනා බවට තීන්දුවක් දෙන්න’ කියා රටට ආදරේ කරන පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් 09 දෙනාගෙන් හතරදෙනෙක් ඍජුවම කීවා, ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වෙනවා’ කියලා. තවත් හතරදෙනෙක් කීවා, ‘මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් වෙන්නේ නැහැ. අපි එහෙම තීන්දු කරන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය තුළින් උපදින විධායක බලය, මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපතිවරයා සතුව පැවතීම නිසයි. ඇමති මණ්ඩලය, මහ ඇමති හෝ පළාත් අමාත්‍ය මණ්ඩල හරහා හෝ ක්‍රියාත්මක වන්නේ එම විධායක බලයයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි මුදුනකින් විධායක බලය ක්‍රියාත්මක වීම වෙනස් කර නොමැත. එම හේතුව මත ශ්‍රී ලංකාව ෆෙඩරල් නොවේ’ කියලා. නවවැන්නා කීවා, ‘මෙම සංශෝධන සිදු කළහොත් ෆෙඩරල් නොවේ. ඒවා සිදු කළහොත් ජනමති විචාරණයක් අවශ්‍ය නොවේ.’ කියා. ඔහු කියූ සංශෝධන සිදු කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙලා තමයි එදා ‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තුනෙන් දෙකක ඡන්දයෙන්, ජනමත විචාරණයකින් තොරව සම්මත කර ගනු ලැබුවේ.

‘තීන්දුවට හයිය ලැබුණු තැන’

එදා ‘ශ්‍රී ලංකාව 13 නිසා ෆෙඩරල් නොවේ’ කියා තීන්දු කරන්න ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 04දෙනාට ‘හයිය’ ලැබුණේ කොතැනින් ද? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ විධායක ජනාධිපති ක්‍රමය තිබුණු නිසයි. විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ අනභිභවනීය දෙයක් නොවෙයි. නමුත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවාට පසු ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නමට හෝ රැඳී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. ඒ නිසා එදා ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 04දෙනා ලබා දුන් තීන්දුවෙන්ම පෙනෙනවා, ‘මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෑලි ගලවන්න ගියොත් ලොකු අමාරුවක වැටෙනවා’ කියලා.

මේ රටේ දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය ද? වයඹ, උතුරු මැද ජනතාවට බොන්න, වගා කරන්න ජලය නැහැ. මහ බැංකු හොරකම කරපු අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට වෙලා ජොලියේ ඉන්නවා. යුද්ධය පවතිද්දීත් මහින්ද රාජපක්‍ෂ පාලනය මේ රටේ 6.5%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගෙන ගියා. දැන් මහ බැංකු අධිපතිවරයා කියන විදියට ආර්ථික වර්ධන වේගය 3.1%යි. එය 2.5% දක්වා පහත වැටීමට නියමිතයි. මහා බදු බරක් අප්‍රේල් 01 වැනිදා සිට ජනතාවගේ කර මත පටවලා. මහා ඇමති මණ්ඩලයකුත් ජනතාවගේ කර මත නැගලා.

‘ෆොන්සේකාට වනජීවී දීම විද්‍යාත්මකයි’

ඔන්න අද ඇමති මණ්ඩලය ආයෙත් සංශෝධනය කරනවා. මම හිතන්නේ කෙටිම කාලයක් තුළ වැඩිම සංශෝධන ප්‍රමාණයක් කරලා මේ ආණ්ඩුව ලෝක වාර්තාවක් තියන්නයි යන්නේ. අද විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලය පත් කරලා. මම බැලුවා, එක් කෙනෙකුට නම් විද්‍යාත්මක ක්‍රමයට ඇමතිකමක් ලැබිලා තිබෙනවා. සරත් ෆොන්සේකාට ‘වන ජීවී’ දීලා තිබෙනවා. ජාන විද්‍යාවට අනුව ඒක නම් විද්‍යාත්මකයි. මේ රට අද මෙවැනි අලකලංචි තිබෙන රටක්. ඒ වගේම රට සමාජීය වශයෙන් දැවැන්ත පරිහානියකට ලක් වෙලා තිබෙනවා. පසුගියදා පොලිස් නිලධාරීන් පිරිසක් විහාරස්ථානයක දී කාන්තාවන්ට පොලුවලින් පහර දී තිබෙනවා. ලෝකයේ අශීලාචාරම පොලිසි තිබෙන රටකවත් මෙවැනි පහරදීම් සිදුව නැහැ. නිල ඇඳුම් ඇඳගත් මහත්වරුන් එවැනි අශිෂ්ට තත්වයකට අද පත්කර තිබෙනවා. රාජ්‍ය සේවය අද සේවාවන් ලබාගත නොහැකි තත්වයකට බිඳ වට්ටවා තිබෙනවා. සමාජ බෙදීම් තීව්‍ර වෙලා තිබෙනවා. සිංහල සමාජය තුළ වගේම අනෙකුත් ජන සමාජ තුළ ද ආතතීන් හට ගෙන තිබෙනවා. මේ ආණ්ඩුවට අද මේ කිසිම ප්‍රශ්නයක් ගැන කිසිම හැඟීමක් නැහැ. එහෙම තිබියදී ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්’ හදිසියේම පාදූර්භූත වෙනවා. මේක පෙට්ටගමක දාලා තිබුණු පරණ දූවිලි වැදුණු සටන් පාඨයක්. ඉතිහාසය පුරා හැම ජනාධිපතිවරණයකටම කලින් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සළුව’ වනපු ගමන් ඒකට අහුවෙන අයියලා ටිකකුත් ඉන්නවා.

‘ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟ අය’

මේ පාර මේ සළුව වනන්නේ ඇයි? මේ විධායක ජනාධිපති ක්‍රමය අද අහෝසි කරවා ගැනීමට අවශ්‍ය කාට ද? 2013 දී මංගල සමරවීරලා ගෝලීය දෙමළ සංසඳය සමඟ සිංගප්පූරුවේ දී එකඟ වූ සිංගප්පූරු එකඟතා 10 අතුරෙන් එකක් වන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’. ඒ අනුව අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරවා ගැනීමට අවශ්‍ය එක කණ්ඩායමක් වන්නේ දෙමළ බෙදුම්වාදීන්. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් උවමනායි. ඒ එයාට ජනාධිපතිවරණයකට ඇවිත් දිනන්න බැරි නිසයි. දිනන්න බැරි නිසා යන්න කීවත් එයා ‘හාකොබොන්ඞ් ගෑවා වගේ’ නායක පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එයා එළවන්න හදපු අය, විශ්වාසභංගයේ දී එයාට විශ්වාසය පළ කළා. දැන් එයා එළවන්න හදපු මාධ්‍ය නාලිකාවකුත් ‘සීතල වතුර වීදුරුවක් බීලා’ ෂේප් වෙන්න හදනවා’ කියලා ආරංචියි. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම මහින්ද රාජපක්‍ෂ මහත්තයාටත් මගක් පෑදෙනවා’ කියලා අනුර දිසානායක අද කියනවා. එහෙම කියලා ඒ ටොෆිය කවන්න හදනවා. ඒ විදියට අපේ කඳවුරෙනුත් පුළුවන් නම් සහාය ගන්න හදනවා. එහෙම වුණොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පාර්ලිමේන්තුව තුළ ජවිපෙ, එජාප, ටීඑන්ඒ, එකඟයි. (මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය එකඟ නැහැ.) නමුත් අපි හිතමු එකඟ වුණා කියලා. එහෙම වුණොත් සියලු පක්‍ෂ එකඟයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය’ තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ඊට පසුව කුමක්ද සිදු වන්නේ?

‘ආණ්ඩුවට ගහපු ජැක් එකක්’

ඊට පසුව ජනමත විචාරණයක් එන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, මහින්ද රාජපක්‍ෂ, අනුර දිසානායක, හකීම්, රිෂාඞ් බදූර්දීන් ඇතුළු සියලු දෙනා ඊට පසුව එකට ඉඳගෙන කියන්න ඕනේ ‘ජනතාවනි, 20ට පක්‍ෂව කලගෙඩියට ඡන්දය දෙන්න’ කියලා. එහෙම වුණොත් පෙබරවාරි 10 වැනිදා ඇඳපු ආණ්ඩුවට පක්‍ෂ සහ ආණ්ඩුවට විපක්‍ෂ බෙදුම් රේඛාවට මොකද වෙන්නේ? එතකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය, මේ කඩා වැටෙන්න ඔන්න මෙන්න ආණ්ඩුවට ගහපු ජැක් එකක් වෙන්නේ නැද්ද? ඒක ආණ්ඩුවට ඔක්සිජන් දෙන ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ නැද්ද? කලින් බෙදුම් රේඛාව මකලා වෙනත් බෙදුම් රේඛාවක් අඳින්නේ ආණ්ඩුවට වාසිදායක තත්වයක් හදලා දෙන්න නොවෙයි ද? අනුර දිසානායක අරන් එන ‘20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තමයි අන්න ඒ ආණ්ඩුවට අවශ්‍ය අලුත් බෙදුම් රේඛාව. කවුරුහරි කියනවා නම් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂ වෙන්න කියලා ඒ කියන්නේ, ‘ආණ්ඩුවට පක්‍ෂ වෙන්න, ආණ්ඩුවත් එක්ක එකට හිට ගන්න’ කියලයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කියන බෝඞ් එකට මුවා වෙලා ආණ්ඩුවත් එක්ක හිටගන්නයි මේ කියන්නේ.

මෙහෙම ගිහින් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය’ තුනෙන් දෙකෙන් සම්මත කර ගෙන ඉදිරි ජනාධිපතිවරණය ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ජනමති විචාරණය’ බවට පත්කර ගැනීමට මේ ආණ්ඩුව කටයුතු කරවි. එහෙම වුණොත් යළිත් නිර්පාක්ෂික ඊනියා පොදු අටේක්ෂකයකු කරගහගෙන ජවිපෙ ඒවි. යළිත් හංස පූට්ටුවකට පාර කැපේවි. එහෙම වුණොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තුනෙන් දෙක හදන්න ඡන්දය දුන්නු ඒකාබද්ධයකට වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න පුළුවන් ද? මේ ලණුව කෑවොත් දිගටම කන්න වෙනවා. ඒත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති බෙදුම් රේඛාව ඇඳීමට ඉඩ දී රට මර උගුලකට ඇද දැමීමට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More