දේශීය පුවත්

නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීමට ජනාධිපති කොමිසම බහුතර මතය අනුව අද (21) තීරණ කළේය.

කොමිසම් සභාවේ සාමාජිකයින් පස් දෙනාගෙන් තිදෙනෙකු අද දින කොමිසම් සභාවේ අසුන් ගෙන සිටි අතර ඉන් සාමාජිකයන් දෙදෙනෙකු ඉදිරි නෛතික පියවර නොගත යුතු යැයි මතයේ සිටියද, සභාපති විනිසුරුවරයා නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය ජනාධිපති කොමිසමට අපහාස කළ බවට වු ස්ථාවරයේ ම සිටිම විශේෂත්වයකි.

මේ අතර ජනාධිපති කොමිසම මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ජනාධිපති කොමිසම හමුවේ කදුළු සලමින් සංවේදි වූ බව වාර්තා වේ.

පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් 2019 ජුනි මස 10 වන දින සිදුකළ මාධ්‍ය ප්‍රකාශයකට පිළිතුරු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සදහා නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවියව ඉකුත් 17 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

කෙසේ වෙතත්, රජයේ අධිනීතිඥවරිය සිය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දුන් ආකාරය පිළිබද බලවත් අප්‍රසාදය පල කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා නිශාරා ජයරතන මෙනෙවිය කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන ලෙස ඉල්ලීමක් කළ අතර එහිදි අද දින නීතිඥ නියෝජනයක් සහිතව කොමිසම හමුවේ පෙනීසිටින ලෙස ඒ අනුව ජනාධිපති කොමිසම නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනියට දැනුම් දුනි.

ඒ අනුව රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් ස්වයං නිරෝධායනයට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් ජනාධිපති කොමිසමට පැමිණ තිබුණි.

එහිදි සිය කරුණු දැක්වීම ආරම්භ කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේ, “රජයේ අධිනීතිඥවරියට අවශ්‍යනම් නීතිඥ නියෝජනයක් ලබාගන්නා ලෙස පෙර දිනයේ ජනාධිපති කොමිසම දැනුම් දී තිබු අතර ඒ අනුව ඇය නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් ප්‍රකාරව නීතිපති අනුමැතිය පරිදි තමන් මෙම සාක්ෂිකාරිය වෙනුවෙන් පෙනී සිටින බවනවා,” යනුවෙනි.

කෙසේ වෙතත් එහිදි කොමිසම හමුවේ නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා, “මගේ සේවාදායකයා වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතායි, මෙම පරික්ෂණයට මුහුණ දෙන රජයේ අධිනීතිඥ මාලික් අසීස් මහතායි දෙදෙනාම සේවය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. නමුත් මේ කොමිසම හමුවේ පෙනී සිටින්න ඔවුන් නීතිපතිවරයාගෙන් රජයේ නීතිඥ නියෝජනයක් ඉල්ලලා තිබුණාම නීතිපතිවරයා එයට අවසර දී තිබුනේ නැහැ. එහෙම නම් මේ සාක්ෂිකාරිය වෙනුවෙන් පමණක් නීතිපතිවරයා එවැනි අවසරයක් ලබාදෙන්නේ කෙසේද?” යැයි විමසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, “එය නීතිපතිගේ තීරණයක්. එහි නිරවද්‍යතාවය තීරණය කිරීම කොමිසමේ කාර්යභාරයක් නෙමේ. මීට පෙර අවස්ථාවකදි සාක්ෂිකාරියට අවැසිනම් නීතිඥ සහය ලබාගත හැකි බව කොමිසම ඇයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙම නීතිඥ නියෝජනයට අවසර දෙනවා,” යන්නය.

මෙහිදි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා කොමිසම සභාවෙන් විමසා සිටියේ තම සේවාදායිකාව ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන ලෙස පෙර දිනයේ ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්නය.

එයට පිළිතුරු දෙමින් නැගී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙලෙස පැවසුවා, “ස්වාමිනි පෙර දිනයේ මම මෙම සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න යොමු කරද්දි ඇය ඒවාට පිළිතුරු නොදි මගෙන් පෙරළා ප්‍රශ්න කළා. මගේ ප්‍රශ්න වලට විධිමත්ව පිළිතුරු දුන්නේ නැති නිසයි මම ඇය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන්න කිව්වේ. එබැවින් මම මගේ ඉල්ලීම ඉවත් කරගන්නේ නැහැ. අද දිනයේ මගේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන විදිහ අනුව එම ඉල්ලීම ඉවත් කරගන්නවාද නැද්ද කියන එක තීරණය කරන්නම්.”

මෙහිදි ජනාධිපති කොමිසම ඇමතූ සභාපති විනිසුරුවරයා මීට පෙර දින රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය කළ සාක්ෂිදීමේ යම් කොටස් උපුටා දක්වමින් මෙලෙස සදහන් කළේය.

“මෙම කොමිසම හමුවේ විවිධ තරාතීරම් වල පුද්ගලයින් වසර 1 1/2 ක් තුළ සාක්ෂි දුන්නා. ඒ අතර ජනාධිපතිවරයෙක් මෙන්ම අග්‍රාමාත්‍යවරයෙකුත් හිටියා. ඔවුන් සැම නිසි සාක්ෂි ලබාදීමේ ක්‍රමවේදය අනුගමනය කළා. කිසිදු අවස්ථාවක කොමිසම අපහසුතාවයට පත් කළේ නැහැ. එබැවින් මින් පසු අසන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දෙන්න. මින් පසු ජනාධිපති කොමිසමට අපහාස වන අයුරින් හැසිරුනොත් ඉදිරි නෛතික පියවර සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට වාර්තා කිරීමට සිදුවෙනවා.”

ඉන් අනතුරුව අද දින සාක්ෂි ලබාගැනීමේ කටයුතු ආරම්භ කළද අවස්ථා කිහිපයකදීම ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සාක්ෂිකාර නිශාරා ජයරත්න මෙනෙවිය සාක්ෂි ලබාදුන් අකාරය පිළිබද සිය අප්‍රසාදය පළ කළේය.

සාක්ෂි ලබාගැනීම අවසානයේ ද නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා ජනාධිපති නීතිඥවරයා කළ ඉල්ලීම ඉවත් කර ගන්නේදැයි විමසා සිටි අතර එහිදීද ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකරුවෙකු ලෙස සලකන ලෙස තමන් කළ ඉල්ලීම ඉවත් කර නොගන්නා අතර ඒ පිළිබද සුදුසු තීරණයක් ගැනීම ජනාධිපති කොමිසමට භාරකරන බවය.

එහිදි නීතිපති සම්බන්ධිකරණ නිලධාරිනිය රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘ මහතා මෙලෙස සිය කරුණු දැක්වීම සිදුකළේය.

“ස්වාමිනි ඔබතුමන්ලා මේ තීරණය ගැනීමේදි ඇගේ කෝණයෙනුත් කරුණු සලකා බැලීය යුතුයි. ඇය මේ වෙද්දි රජයේ අධිනීතිඥවරියක් ලෙස වසර 09 ක් කටයුතු කර තිබෙනවා. ඇයට අනාගතයක් තිබෙනවා. මේ ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න විමසීමේදිත් එකම ප්‍රශ්නය 18 පාරක් අහලා තියෙනවා. ඇය රජයේ රැකියාවක් කරනවා වැටුපක් ගන්නවා.එබැවින් ඇයගේ කෝණයෙනුත් බලන්න”.

එහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා තීරණය ලබාදීමට පෙර ඔබට යමක් පැවසීමට ඇත්දැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවියගෙන් විමසීමක් කළේය.

“ස්වාමිනි මම කිසිදු අවස්ථාවක කොමිසමට අපහාසයක් සිදුකළේ නැහැ. ඇතැම් අවස්ථා වලදි තර්ජනාත්මක නින්දා සහගත ප්‍රශ්න ඇසීම් සිදුවුණා. සාමාන්‍ය දැනීමක් නැද්ද කියවන්න බැරිද වැනි විමසීම් සිදුවුණා. මා දෙස නීතිඥවරයෙක් ලෙස නොව සාමාන්‍ය සාක්ෂිකරුවෙකු ලෙස බලන්න. නිවැරදිව රාජකාරිය සිදුකරන නිලධාරියෙක් මේ අකාරයෙන් අපහසුවට පත්කිරීම සාධාරණ නැහැ. එබැවින් මා කොමිසමට අපහාස කළා කියන පුවත මාධ්‍ය හරහා පළ කිරීමෙන් මගේ නමට අපහාසයක් වෙන්න දෙන්න එපා. නීතිපතිවරයා සහ මා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරමින් මා අපහසුතාවටයට පත්කරන්න යන්නේ. නොදැනුවත්ව හරි වරදක් සිදුවුණානම් සමාව ඉල්ලා සිටිනවා සභාපතිතුමාගෙන් සහ කොමසාරිස්වරුන්ගෙන්,” යැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය කදුළු සළමින් කොමිසම හමුවේ ඉතා සංවේදි වූවාය.

මෙහිදි සිය තීරණය ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, “මම මේ කියන්නේ සුළුතර තීන්දුව. මේ මගේ මතය. තීන්දුවට පෙර සාක්ෂිකාරියගේ නීතිඥවරයාට අවස්ථාවක් ලබාදුන් විට ඔහු කණගාටුව පළ කළා. නමුත් ඒ වෙනකන් සාක්ෂිකාරිය කොමිසමට කණගාටුව පළ කළේ නැහැ. නැවත සාක්ෂිකාරිය කැඳවීමක් කළෙත් කණගාටුව පළ කරයි කියලා අපෙක්ෂාවෙන්. නමුත් අවසන් මොහොත වනතුරුත් සාක්ෂිකාරිය ජනාධිපති නීතිඥවරයාට හෝ කොමිසමට සිය කණගාටුව පළ කළේ නැහැ. නීතියේ දෙවඟන ඇස් බැඳ තබා ඇත්තේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කිරීමේ සංකේතය මතයි. එබැවින් මගේ මතය වන්නේ අවවාද දී තිබියදිත් අවවාදය නොසලකා ක්‍රියාකළ සාක්ෂිකාරියක ලෙස මැයට විරුද්ධව ජනාධිපති කොමිසමට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය හමුවේ කරුණු වාර්තා කළ යුතුය,” යනුවෙනි.

කෙසේ වෙතත් මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා කොමිසමේ බහුතර මතය ප්‍රකාශ කළේය.

“සාක්ෂිකාරිය සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දී තිබෙනවා. නිරුත්තරව සිට නැහැ. දීර්ඝ පිළිතුරු දීම සාක්ෂිකාරියගේ අඩුපාඩුවක්. කෙටි පිළිතුරු දීමට හැකිවන්නේ පළපුරුදු සාක්ෂිකරුවන්ට පමණයි. එය මාගේ වසර 32 ක වෘත්තීය ජීවිතයෙන් මම අත්දැකලා තියෙනවා. එබැවින් රජයේ අධිනීතිඥවරිය ලබාදුන් පිළිතුරු දීර්ඝවීම මතම ඇය කොමිසමට අපහාස කළ බව තීරණය කරන්න බැහැ. මේ කරුණු මත කොමිසමේ බහුතර මතය ලෙස තීරණය කර තිබෙනවා ඇයට විරුද්ධව කොමිසන් සභාවට අපහාස කිරීම යටතේ නිසි නෛතික පියවර ගැනීම යුක්ති සහගත නොවන බව.

(දෙරණ වාර්තාවක් ඇසුරෙනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More