දේශීය පුවත්

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමට එරෙහිව “ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ එකමුතුව” පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයට මුල පුරමින් වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සංගමයේ ලේකම් ශ්‍යාමල් සුමනරත්න මහතා මෙසේ ප්‍රකාශ කර සිටින ලදී.

නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව අප කළ අරගලයට සහාය දක්වමින් එවකට විපක්ෂ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා තම ආණ්ඩුවක් බළයට පැමිණෙන තෙක් අරගලය ඇදගෙන යන ලෙස අපෙන් කළ ඉල්ලීම අනුව අප එය ඇදගෙන ගියා. නමුත් දැන් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මෙයට “විදේශ ආයෝජකයෙක්” සොයාගත් බවක් පවසනවා.

ඔව් අපිත් කියනව “විදේශ ආයෝජකයෙක්” නෙවෙයි “දේශීය ආයෝජකයෙක්” ඉන්නව. ඒ තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක අපි. රජය සූදානම් නං මේ මාතෲ භූමියේ වටිනාම සම්පතක් වන නැගෙනහිර පර්යන්තය රැකගන්න අපි සූදානම් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය ඩොළර් මිලියන 500 හොයල දෙන්න. අපි සූදානම් “දේශීය ආයෝජකයෙක්” හැටියට ඉදිරිපත් වෙන්න. ඩොළර් මිලියන 500කට “විදේශ ආයෝජකයෙක්” සොයාගත්ත කියන ප්‍රකාශය පවා මේ රටේ දේශීය ව්‍යවසායකයින්ට කරන අපහාසයක්.

රජය කළ යුත්තේ හම්බන්තොට වරාය ගිවිසුමේ කාළය අඩු කරළ නැගෙනහිර පර්යන්තය බේරගන්න එකයි. එහෙම නැතුව හම්බන්තොට දුන්න කියල නැගෙනහිර පර්යන්තයත් දෙන එක නෙවයි.

මේ රටේ ජනපතිවරණයෙන් ලබපු අති දැවැන්ත ජයග්‍රහණයත් එක්ක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම තව අවුරුදු 2000ක් පවතීවි. ඒ නම දේශප්‍රේමියෙක් ලෙස පවතීද? දේශ ද්‍රෝහියෙක් ලෙස පවතීද? යන්න තීරණය වන්නේ මේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ගන්නා වූ තීන්දුවෙන්.

ඉන්දියාවට මේ රටේ වැදගත් දෙයක් දෙන්නම ඕනෙ නම් පාර්ළිමේන්තුව හරි අරලියගහ මන්දිරය හරි දෙන්න. අපිට අපි හදාගත්ත රටේ වටිනාම සම්පතක් වන නැගෙනාහිර පර්යන්තය ආරක්ෂා කරල දෙන්න.

මේ රටේ සියලු නායකයින්ට අපි පැහැදිළිව කියන්නෙ “රට පැත්තෙ හිට ගන්න, ඩොළර් පැත්තෙ හිටගන්න එපා.

විරෝධතාවයට එක්වෙමින් වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා මෙසේ අදහස් ප්‍රකාශ කරන ලදී;

අදානි සමාගමට හෝ වෙනත් සමාගමකට නැගෙනහිර පර්යන්තය විකිණීමට සූදානම් උවහොත් එය පරාජය කිරීමට සමස්ථ වරාය සේවකයින්ම මේ වනවිට පෙලගස්වා අවසන්. ඒ වැරදි තීන්දුව රජය ගතහොත් අපගේ වෘත්තීය සමිතිවල ශක්තිය නොබියව පෙන්වීමට අපි සූදානම්.

විෂය භාර අමාත්‍යවරයා පවසනව නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය ඩොළර් මිලියන 500 රජයට නැහැ කියල. නමුත් පඉ කියනව අපිට සල්ලි තියෙනව, අපිට තාක්ෂණය තියෙනව, අපිට හැකියාව තියෙනව. ඒ නිසා මේක කරන්න අපිට දෙන්න. අපි කරළ පෙන්වන්නම්.

අද මේ අපි පත්තු කළේ පළමුවෙනි වෙඩි මුරය. ජීවිත ආශාව අත්හැරලයි අපි මේ සටනට බැහැල ඉන්නෙ.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා;

පාර්ළිමේන්තු මැතිවරණයට ආසන්නයේදී නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කරගැනීම සඳහා අපි කරන ලද අරගලයට සහාය දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කලේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන ආවොත් ඔහු එම කැබිනට් මණ්ඩළයේ තවදුරටත් නොසිටින බවයි. අපි දැන් එතුමාගෙන් අහන්නෙ ඔබතුමාගෙ ස්ථාවර දැන් වෙනස් කරලද? ඔබතුමාගෙ හඬ දැන් ඇහෙන්නෙ නෑ.

අපි ගෝඨාභය මහතාට, අගමැතිතුමාට සහ රජයට අභියෝග කරන්නෙ ඇවිල්ල බලන්න. අපිත් එක්ක සාකච්ඡා කරන්න. අපිපෙන්වල දෙන්නම් කොහොමද නැගෙනහිර පර්යන්තය හදන්නෙ කියල.

ගෝඨාභය මහතාට අපි කියනව ඔබතුමාල බළයට ආවෙ රටේ සම්පත් ආරක්ෂා කරනව කියල. මේ රටේ ඒ වෙනුවෙන් පෙනීසිටිය කඳවුරයි ඔබතුමාල නියෝජනය කරේ. අද ඔබතුමාල ඒ කඳවුරට පස්ස හරවල තියෙනව. ඒක තමයි මෙතන ප්‍රශ්ණෙ. 68 ලක්ෂයක් ඡන්දෙ දීපු බළවේගය මෙතන ඉන්නව. ඊට පිටින් බළවේගත් මේ සටන ඇතුලෙ ඉන්නව.

ආණ්ඩුවෙ සියලු බළධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙ වහාම මේ කැබිනට් පත්‍රිකාව අහෝසි කරන්න. එසේ නොවුවහොත් මේ සටන ජාතික සටනක් බවට පරිවර්තනය කිරීමට අපි සූදානම් බව නොබියව ප්‍රකාශ කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More