දේශීය පුවත්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකථනයේ අන්තර්ගත දත්ත, “Factory Reset” කිරීමක් මගින් යළි ප‍්‍රතිඋත්පාදනය කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ වෝහාරික විශ්ලේෂණයේදී තහවුරු වී තිබේ. ඒ පිළිබඳව සාක්ෂි දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සඳහන් කළේ ජනාධිපති කොමිසම විසින් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළ දත්ත එම දුරකථනයේ ඇත්දැයි පරීක්ෂාවට ලක්කරන ලෙස දැන්වුවද දුරකථනය “Factory Reset” කර තිබීම තුළින් දත්ත ලබාගැනීමට බාධා එල්ල වූ බවය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පෙර භාවිත කරන ලද ජංගම දුරකථනයේ සහ ලැප්ටොප් පරිගණකයේ පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට වැදගත් තොරතුරු ඇත්දැයි පරීක්ෂා කරන ලෙස ජනාධිපති කොමිසම මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි. ඒ අනුව, අදාළ ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය සම්බන්ධයෙන් වෝහාරික විශ්ලේෂණය සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් කුමාර මහතා පෙරේදා (16) දින සාක්ෂි ලබාදීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියේය. එහිදී කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ ජංගම දුරකථනය වෝහාරික විශ්ලේෂණයක් සිදුකිරීමට තමාගේ අතට පත්වන විටත් “Factory Reset” කිරීමකට ලක්කර තිබූ බවය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා ප‍්‍රශ්න කර සිටියේ ජංගම දුරකථන “Factory Reset” කිරීම සම්බන්ධයෙන් එහි අයිතිකරුවන නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසීමක් කළාද? යනුවෙනි. ”‍ඔව් ස්වාමිනි මම එවැනි විමසීමක් කළා. එහිදී නිලන්ත ජයවර්ධන මහතා කිව්වා ඔහු භාවිත කළ ජංගම දුරකථනය සිය බිරිඳගේ භාවිතය සඳහා ලබාදීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු එහි අන්තර්ගතව පැවතිය හැකි හෙයින් එය “Factory Reset” කිරීමකට ලක් කරනු ලැබූ බව යැයි ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් සඳහන් කළේය.

මෙහිදී කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා ලැප්ටොප් පරිගණකය තුළ දත්ත මැකීමක් සිදු කර තිබුනේද? යන්න විමසූ අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේ බොහෝ දත්ත මකා දමා තිබූ නමුත් ඒවා කුමන අරමුණකින් මකා දැමුවාදැයි යන්න තමා නොදන්නා බවයි.

ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකයේ මුල් දත්ත මකා දමා තිබුණේ දැයි අභියාචනාධිකරණ විනිසුරුවරයා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ජංගම දුරකථනයෙහි පැරණි දත්ත මකා දැමීමක් සිදු කර ඇති බවත් එය “Factory Reset” කිරීමක් තුළින් ඊට එහි තිබූ කිසිම තොරතුරක් ලබාගත නොහැකි බවයි. නමුත් පරිගණකය සම්බන්ධයෙන් තත්ත්වය එසේම නොවන බවත් ඇතැම් දත්ත ප‍්‍රති උත්පාදන කළ හැකි මට්ටමේ පවතින බවට මෙහිදී පෙන්වාදුන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහෙත් ඇතැම් දත්ත ප‍්‍රති උත්පාදනය වන්නේ නැතැයි ද සඳහන් කළේය.

මෙහිදී අතිඋතුම් මැල්කම් රංජිත් අගරදගුරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අදාළ ජංගම දුරකථනයේ ඇතුළත් දත්ත කිසිදු ආකාරයකින් ලබාගත නොහැකි දැයි? ප‍්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් පොලිස් පරික්ෂකවරයා සඳහන් කළේ ලංකාවේ භාවිතා කරන මෘදුකාංග තුළින් එය සිදු කළ නොහැකි බවයි. එහෙත් ඊට වඩා දියුණු මෘදුකාංග තුළින් අදාළ දත්ත ගැනීමට හැකියාවක් ඇති බවට ඔහු මෙහිදී සඳහන් කළේය.

සහරාන් හෂිම් ඇතුළු කණ්ඩායම විසින් 2019 අපේ‍්‍රල් 21දා ප‍්‍රහාරයක් එල්ල කළ හැකි බවට එම මස 20 වැනිදා සවස ලැබුණු තොරතුර සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට රාජ්‍ය බුද්ධි සේවයට පැහැදිලි හැකියාව තිබූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ විශ‍්‍රාමික සහකාර පොලිස් අධිකාරි පරාක‍්‍රම ලංකාපුර මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ඊයේ (17) දින පැවසීය.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ පරාක‍්‍රම ලංකාපුර මහතා ප‍්‍රකාශ කර සිටියේ එම තොරතුර සම්බන්ධයෙන් හෝටල්වලට සහ දේවස්ථානවලට දැනුම් දීමේ හැකියාවද රාජ්‍ය බුද්ධි සේවයට තිබූ බවයි. එමෙන්ම මැල්කම් රංජිත් කාදිනල්තුමාට සහ අනික් ආගමික නායකයන්ට එම තොරතුර දැනුම් දීමේ හැකියාව තිබූ අංශ රාජ්‍ය බුද්ධි සේවය තුළම කි‍්‍රයාත්මක වූ බවත්, ඊට පෙර එවැනි දැනුම් දීම් ඕනෑ තරම් සිදුකර තිබෙන බව ද හෙතෙම පැවසීය.

අපේ‍්‍රල් 20 වැනිදා සවස ලැබුණු තොරතුරේ ප‍්‍රහාරකයන් කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගත හැකි බව පැහැදිලිව සඳහන් වන නිසා ප‍්‍රධානම ස්ථානයන්ට එම තොරතුරු දැනුම් දිය යුතුව තිබූ බවත්, යම් අයකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූයේ නම් ඔවුන්ගේ නිවසට හෝ ගොස් මෙම ප‍්‍රහාරය පිළිබඳව දැනුම් දිය යුතුව තිබූ බවත් ලංකාපුර මහතා වැඩිදුරටත් පැවසීය.

(දිවයින වාර්තාවක් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More