පුරවැසි කොලම

මේ රටේ ඉන්න හා හිටපු හැම නායකයෙක්ම ක්‍රියා කරන්නේ පරිසරය විනාශකරගෙන සංවර්ධනය සිද්ධ කරන්න. ඒ සංවර්ධන‍යේ ඵලක් තියෙනවාද? රටේ මිනිස්සු මැරි මැරි යන කොට ‍කාටද ඒ සංවර්ධයේ ප්‍රතිලාභ ලබන්නේ?’ යැයි ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පතී වන්නිලා ඇත්තෝ දඹාන කොටබකිනිය ගම්මානයේදී පැවසීය.

මහඔය පොල්ලේබැද්ද ප්‍රදේශයේ අක්කර 6000කට ආසන්න භූමියක්, ආණ්ඩුවේ ඉහළම අයගේ අනුදැනුම ඇතිව මහවැලිය විසින් මහා පරිමාන සමාගම් 15කට, කොටස් 15කට බෙදා වෙන්කර, වගාව සදහා යන්ත්‍රසුත්‍ර යොදා එළිපෙහෙළි කර මහත් පරිසර විනාශයක් සිදු කර ඇතැයි රට තුල ඇතිව ඇති කථාබහ පිළිබදව හා දේශපාලකයන් පතුරුවා ඇති බොරු ප්‍රචාරයන් පිළිබද මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමින් වන්නිලා ඇත්තෝ මෙසේ කීය.

“බුද්ධදාස රජතුමා ඌව වෙල්ලස්ස සංවර්ධනය කරන කොට එක අංශයකින් පරිසරය දියුණු කරා. අරළු, බුලු, නෙල්ලි, ගම්මාළු මේ දඹානේ ඉඳලා ඉගිනියාගලට යනකම් සිටවා ඖෂධ උයනක් බවට ආරක්ෂා කර ගෙන තිබුණා. එහෙම කරමින් ඌව වෙල්ලස්ස හොද විදියට සංවර්ධනය කළා. ඒවා තමයි ආදර්ශයට ගන්න ඕන. මේ කාලේ වෙනකොට මේ රටේ ඉන්න හා හිටපු හැම නායකයෙක්ම කරන්නේ පරිසරය විනාශකරගෙන සංවර්ධනය කරන්න. ඒ නිසා මගේ ඉල්ලීමට ඒ අය ප්‍රතිචාර නොදැක් වුවහොත් මට තියෙන එකම පිළිසරණ අධිකරණයේ පිහිට පමණයි. අධිකරණයට යනකොට චෝදනා ලැබුවෙක් ඉන්න අවශ්‍යයි. මෙතෙන්දී වන සංරක්ෂණය යටතේ තිබිලා පසුව මහවැලිය යටතට අරගෙන, මහවැලියෙන් තමයි මහඔය පොල්ලෙබැද්ද ගම්මානය ආශ්‍රිත “ගල්වලයාය” රජයේ වනාන්තරයේ රක්ෂිත භුමියේ බිම් කොටස් සමාගම් යටතට පවරලා තියෙන්නේ. ඒ නිසා මහවැලියට විරුද්ධව තමයි මම අධිකරණයට යන්න බලාපොරොත්තු වෙන්නේ”

ආදිවාසී නායකයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.

“මේ වන විට මහඔය සිදු කෙරෙන වන විනාශය ඇමතිවරු මැදිහත්වෙලා සාකච්ඡාවක් සිද්ධ කරලා නතර කරා කියලා කථාවක් යනවා. ඒ කථා කිසිවක් විශ්වාස කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ කථා සියල්ල බොරු. ඒ අය මේ වන විටත් වගා කරලා තියෙන බඩ ඉරිගු වගාවට බෙහෙත් ගහනවා නම්, රැකලා ගන්නවා නම් කොහොමද ඒ වැඩපිළිවෙල නතර කරලා කියන්නේ? ඒ තැන්වල කිසි කටයුත්තක් සිද්ධ නොවෙනවා නම් පමණයි සැබෑවටම ඒ විනාශය නතර කරා කියලා මම විශ්වාස කරන්නේ. මම යන දවසට කලින් ගිය අය දැකලා තියෙනවා පැළවලට බෙහෙත් ගහනවා. මෙවැනි කථා මිනිස්සු රවට්ටන්න ප්‍රචාරය කරන බොරු කථා.

මේ කාලේ වෙනකොට රටේම කථාබහකට ලක්වෙලා තියෙන පරිසරය ආරක්ෂා කර ගත යුතුයි කියලා. කැළෑවේ ජීවත්වන වන සිවුපාවන් ජීවත්‍ වෙන්නේ කැළෑව ආරක්ෂා කර ගත්තොත් කියලා දන්නවා. මේ කථාබහ ඇතිවෙලා තියෙන මේ කාලයේම, මහඔය පොල්ලේබැද්ද , ගොරිකාන , සීතල වන්නිය කඳු පංතියට වට වු රඹකැන්ඔය වැව් ඉහත්තෑ‍ රක්ෂිතයේ කැළැ කපලා විනාශයක් සිද්ද කරලා කියලා ලැබිච්ච දැනුවත් කිරීමට පහුගියදා මම ඒක බලන්න ගියා.මම මෙහෙම දෙයක් සිද්ධවෙනවා කියලා දැනගෙන හිටියේ නෑ. පොල්ලේබැද්ද ගම්මානයේ පිරිසක් මගේ නිවහනට ඇවිත් මේ වගේ විනාශයක් සිද්ධ වෙනවා, මේක පරිසරයට සිදු කරන දැඩි බලපෑම් හා විනාශයක් කියලා, නායක ඇත්තො ඇවිත් මේ විනාශය ඇස්දෙකෙන්ම බලන්න කියලා මට කිව්වා. ඒ අනුව මම ඒ ගැන බලන්න ගියේ. ගිහින් බලනකොට ඇත්තටම විශාල හානියක් සිද්ධකරලා තියෙනවා කියලා දැකගන්න ලැබුණා.

මේ විනාශය සිද්ධකරන්නේ පොල්ලේබැද්දට පමණක්ම නෙවෙයි. මේකත් රටටම සිද්ධ කරන ලොකුම විනාශයක්. අපි පමණක් නෙවෙයි ‍මේ රටේ ජිවත් වෙන්නේ. ඉදිරිකාලයේදී රටේ ඉපදෙන දරුවන් වෙනුවෙන් මේ රටේ පරිසරය අපි ආරක්ෂා කරයුතුව තියෙනවා. මෙහෙම විනාශයන් සිද්ධකරගෙන යමින් තියෙනකොට ඉදිරියේදී මේ රටේ ජීවත් වෙන්නත් බැරි තත්වය උදාවිය හැකියි. මම මේ කථා කරන්නේ රටේ සංවර්ධනය හොද නෑ කියන එකම නෙවෙයි. සංවර්ධනය සිද්ධවෙන්න ඕන. මිනිස්සුත් ජීවත් වෙන්න ඕන. මිනිස්සු ආරක්ෂා වෙන්නත් ඕන. එහෙම ආරක්ෂාවක් ලබන්නනම් මේ පරිසරය ආරක්ෂා කර ගෙන තිබීම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා.අද වෙනකොට ලෝ‍කයේම කථාවෙන දෙයක් තමයි පරිසර විනාශයත් එක්ක එක්ක එක වසංගත ඇතිවෙලා තියෙනවා කියලා. අපේ රට ගත්තාම අපේ රටට සුනාමි, ගංවතුර, සුළි සුළං හමනවා. මේවා අද දවසේ හෝ ඊයේ පෙරේදා ඇතිවෙන්න ගත්ත ඒවා නෙවෙයි. මේවා මේ විදියට සිද්ධ නොවී ආරක්ෂා වෙලා තිබුණා පරිසරය ආරක්ෂා කරගෙන තිබුණ කාලේ.සංවර්ධනය හින්දා, මින්සුන්ගේ තරඟය හින්දා, මිනිස්සුන්ගේ ආශාව තන්හාව හින්දා, මේ පරිසරය විශාල ලෙස විනාශ වෙනවා. මේ විදියට පරිසර විනාශයන් ‍වැඩි වෙන්න වැඩි වෙන්න මේ කථාකරන විපත් වැඩිවෙනවා.

“කැළෑව” කියන්නේ පණ වාගේ ආරක්ෂ කර ගන්න ඕන දෙයක්. මගේ පරම්පරාවේ පැරණි අය කැළයේ ජීවත් වෙච්ච කාලෙදී කැළය ආරක්ෂා කරන්න අද වගේ දැනුවත් භාවයක්, පරිසර වෙනුවෙන් කරථා කරන පරිසර සංවිධාන බිහිවෙලා තිබුනේ නෑ. අද වගේ ඒ ගැන කථාකරන මාධ්‍ය තිබුනේ නෑ. හැබැයි ඒ අයගේ ශරීරයේ “ලේ ” වලම තියෙනවා කොහොමද පරිසරය ආරක්ෂා කරන්න ඕන කියන එක. කන්දක් තියෙනවානම් “හූ” කිහිපයක දුරින් තමයි වගාවන් සදහා ලදු කැළෑවන් එළිපෙහෙළි කළේ. උල්පතක් තියෙනවා නම් කොයිම කාලෙකවත් උල්පත පාදලා හේන් වාගාවන් සිද්ධ කලේ නෑ. උස ගහක මී වදයක් තියෙනවා නම් ගහේ උඩටම නැගලා “අත්ගුළ” පාවිච්චි කරලා මී වදය කඩා ගන්නේ. මොකද ඒ අය දන්නවා මේ පරිසරය ආරක්ෂා කර ගත්තොත් තමයි අපට ජීවත් වෙන්න පුලුවන් වෙන්නේ කියාලා.

මේ විනාශය මම ඒ ඒ තැන්වලට ගිහිල්ලා දැකබලා ගත්තා. මේ වෙනකොට ඒ ඉඩම්වල බඩඉරිගු වගා කරලා පැළ දක්වා වර්ධනය වෙලත් තියෙනවා දැක්කා. මට පුදුමත් හිතෙනවා වන සංරක්ෂණ කළාපයට අයත් කියලා සීමා මායිම් වෙන් කරලා, ගල් කණු හිටවලා තියෙන කැලෑ කොටසක මේ වගේ සිද්ධ වෙනකොට. අපේ වරිගයේ කෙනෙක් වැල් කෑල්ලක් ලී කෑල්ලක් කපා ගන්න කැළයට ගියොත් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ අයට දඩුවම් ලබාදෙනවා. උසාවිය දක්වා ගෙනියනවා. හැබැයි මේ වගේ මහා පරිමාණ විනාශයන් සිද්ධ කරන ඒ මිනිස්සුන්ට මේ නීතී මොන එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මට හි‍තෙනවා මේ රටේ දුප්පතාට එක නීතියකුත්, ධනවතාට එක නීතියකුත් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒක මට පැහැදිලිවය මේ ක්‍රියාවන්ගෙන් ඔප්පුවෙලා පේනවා.

‍මම ගිහින් ආවට පස්සේ මීට දවස් කිහිපයකට පෙර පොල්ලේබැද්ද ගම්මානයේ සාකච්ඡාවක් තිබිලා තියෙනවා ආණ්ඩුවේ ඇමති කෙනෙක් ඇවිත්. සාකච්ඡාවේදී කියලා තියෙන්නේ වැවකට රක්ෂිතය මීටර් 100ක් තිබ්බානම් ඇති කියලා. මටනම් හිතාගන්නත් අමාරුයි. වැවක් පෝෂණය වෙන්න නම් කැළෑවක් ඒ අසල තිබිය යුතුයි කියන එක ඒ අය දන්නේ නැද්ද? වැව් ඉහත්තෑවේ රක්ෂිත වනාන්ත වල දිය උල්පත් වලින් තමයි වැවට ජලය ලැබෙන්නේ. වැව පෝෂණය වෙන්නේ. මේවා විනාශ උනොත් වැව පුරවන්න වෙන්නේ බවුසර් වලින් වතුර ගෙනත් දාලා හරියට පොකුණු පුරවනවා වගේ.අපේ ගම් අවටත් තියෙන දැළිකදල වැව, කිරවණාගල් කදූර වැව, කන්දේගන්වෙල වැව වගේ වැව් තියෙනවා. මේ වැව්වලට ඔය කියන මීටර් 100ට වඩා විශාල භූමි ප්‍රමාණයක් කැළෑව තියෙන්නේ. මේ වැව්වලට ඉහළින් වැව් ඉහත්තෑවේ කැළයේ කෝටු කෑල්ලක් කපාගන්න ගියාම ඒ අය අල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා මේ වැව් රක්ෂිතය, මේ රක්ෂිතයේ මොනවත් කපන්න බෑ කියලා. මීටර් 100 නීතිය මේ වැව් වලටත් තියෙනවා නම් එහෙම අත්අඩංගුවට ගන්න උවමනාවක් නෑ. මේ වගේ විනාශයන් සිද්ධ වෙද්දී වැඩි කාලයක් යන්න පෙර මේ රට විනාශයට පත් වෙනවා. කොරෝනා පමණක්ම නෙවෙයි වසංගත රැසක් මේ රට ආක්‍රමණය කරගනියි. ඒ වසංගත එන්ඩ කලින් මේ පරිසරය ආරක්ෂා කර ගන්න ඕන.

මම එදා දවසේ ගිහන් මේ විනාශය නතර කරන්න කියලා කිව්වා. රූපවාහිනී නාළිකාවලටත් රේඩියෝ නාලිකා වලටත්, පත්තරවලටත් ඒ ගැන දැනුම්දුන්නා. හැබැයි තාමත් විනාශය නතර කන්න කවුරුවත් කටයුතු කරලවත්, තීරණයක් අරගෙනවත් නෑ.

මේ රටේ සිදුවන වන විනාශයන්වලට කථා කරන පරිසර සංවිධාන තියෙනවා. මාත් එක්ක හැමවෙලේම පරිසරය වෙනුවෙන් කථා කරන , පරිසර යුත්ති කේන්ද්‍රයේ නිතිඥ සභාපතිතුමන් ඇතුළු කණ්ඩායම ඉන්නවා. මම ඒ අයත් එක්ක තමයි ඔය කියන විනාශය බලන්න ගියේ. මම බලාපොරොත්තුවෙන්නේ සිදු කරන විනාශය නතර නොකලොත්, මේ සිද්ධකරන කැළෑ විනාශය වෙනුවෙන් අධිකරණයට යන්න. එහෙම නොකර මේ විනාශය නතර කර ගන්න බෑ. සංවර්ධනය නම් සංවර්ධනය සිද්ධ කරන්න ඕන. හැබැයි පරිසරය අනිවාර්යෙන්ම ආරක්ෂා වෙන්නම ඕන” යැයි අදහස් දැක්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More