පුරවැසි කොලම

‘අ’ද්‍යතන සිංහල සාහිත්‍යයේ ආධ්‍යාත්මික සෞන්දර්යවාදී මිනිසකු බිහි කිරීම ට උත්සාහ ගත් නිර්මාණකරුවන් අතර ගුණදාස අමරසේකර සූරීන් ඉදිරියෙන් සිටින බව පෙනෙන්නේ ඔහු විසින් සිදු කරන ලද සාහිත්‍යය මෙහෙවර පිළිබඳ සූක්‍ෂ්ම විමර්ශනයක දී පමණකි. ධ්වනි පූර්ණ බසක් ද ව්‍යංජන ශක්තියක් ද ගැබ් වූ ඔහුගේ සාහිත්‍ය ධාරාව  සූක්‍ෂ්මාර්ථයන්ගෙන් නිමැවූවකි. ජාතික සාහිත්‍යයක් නිපද වීමෙහිලා අමරසේකරයන්ගේ මෙහෙවර මාර්ටින් වික‍්‍රමසිංහයන් ට ඉදිරියෙන් සිටී.

එයට අමරසේකරයන්ගේ කාව්‍යාත්මය ප‍්‍රබල ලෙස හේතු වී ඇත.‘එක්ටැමෙන් පොළොවට’ කෙටි කතා සංග‍්‍රහය කියවන පාඨකයා මේ විලම්භීත සමාජ සංස්ථාවේ කම්පනයෙන් මිදීමේ මාර්ගය ද හසුකර ගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. දිගු කෙටි කතා පහකින් සංගෘහිත අමරසේකරයන්ගේ කතා පොත නූතන අධ්‍යාපන සංස්ථාවෙන් කෙසේ වහං කරන ලද්දේ දැයි සිතා ගත නොහැක්කේ ඇතැම්විට එහි කම්පනයන් කාගේ හෘද සාක්ෂියක් වන්නේ ද යන්න නූතන ඊනියා අධ්‍යාපනඥයන්ගෙන් විමසීමට සිදු වීමට තරම් පොළොවට සමීපාර්ථයන්ගෙන් සැලසුම්ලත් ඒවා බැවිනි. එහි සංගෘහිත සියලූ කෙටි කථා දිගු විචාරයන්ට හසුකර ගැනීමට හැකි තරමේ හේතූන්ගෙන් උපලක්ෂිත හෙයින් , අන්තර් ගත ‘කලා නිධී -පච වෙදා’කෙටි කථාව මෙහිදී අන්වීක්ෂණය කිරීම යුක්ති සහගත වන්නේ ඉන් රූපිත ඇතැම් සිද්ධියක් කාලීනව වැදගත් හෙයිනි. ‘කලා නිධි-පච වෙදා’රූපණය කරන්නේ අiතන මධ්‍යම පාන්තික ජන ජීවිතය පිළිබඳ සත්තාව පමණක් නොවේ.

1.සෞන්දර්යවාදී සම්භාව්‍යය මානව සමාජයේ පරිහානිය

2.අල්පේච්ඡු ජන ජීවිතයේ විසිර වීම

3.නිෂ්පාදන ආර්ථිකයේ මළගම

4.හීන මානයේ ආරූඪයන් දේවාත්මයන් ලෙස පිදීමේ ප‍්‍රවණතාව

5. පුද්ගල ස්වාධීනතාව බැහැර කිරීමේ පාපය

6.සංස්කෘතික ජීවියාගේ මරණය

7.භෞතිකවාදයේ එළැඹූම

8.නූතන අධ්‍යාපන සංස්ථාවේ අසමර්ථක

9.සහජාස මානවත්වයේ භංගයද

ඒ අතර ප‍්‍රමුඛ වේ. කථකයා ගන්ධබ්බ සමාජ සතත්වයකු ලෙස පෙනි සිටිමින් උක්ත අර්බුදයන්ට කේන්ද්‍රිය චරිතය ඔස්සේ මුහුණ දෙන ආකාරය කථාව තුළ අපූර්ව ආකාරයෙන් රූපණය කොට තිබේ. ආධ්‍යාත්මික පුරුෂාර්ථ කෙලෙසන ලදුව ඉතිරි කරන ලද මිනිස් රොඞ්ඩ සමාජ චලනයට සිදු කරන අනර්ථය කථකයාත් -කේන්ද්‍රිය චරිතයත් මුහුණ දෙයි. ඉන් ගැලවීමට කථකයාට හෝ කේන්ද්‍රිය චරිතයට හැකි වී නැත. සංස්කෘතික ජීවියාගේ හද කම්පා කරවන තරමේ අකුණු සරයකට හසුවන සිද්ධි දාමයක් එ්කීය ධාරණාවකින් ඉදිරිපත් කරන අමරසේකරයන් ඒ තුළින් මෙරට අනුකරණවාදී ජීවිත මුහුණ දෙන ඛේදනීය ඉරණම සමාජ යථාර්ථයෙන් ඔබ්බට ගොස් විද්‍යමාන කරයි. පොලොන්නරු යුගයේ ආරම්භයත් සමග මෙරට සමාජ දේහය පිරිහීමේ ආරම්භය ද සිදු විය. ආධ්‍යාත්මික ජීවිතයකට නැමුණු මෙරට ජීවියාගේ ව්‍යාකූලතාව ප‍්‍රබලව ඇරැුඹෙන්නේ චෝල ආක‍්‍රමණයත් සමගය. අද වුව ද කැණිම් කරනවිට ශිව දේවාලවලට යටින් පන්සල් හමු වේ. ඉන් ඇති වූ සමාජ සංකූලතා බගන්දරාවක්තරමට පරිණාමය වී අද වනවිට අත්ව ඇති ඉරණම පැවසීමට වචනයක් ශබ්දකෝෂයෙහි වුව ද නැති තරම්ය. එහෙත් ජාන උරුමයෙන් මෙරට සංස්කෘතික ජීවීන්ගේ උප්පත්තීන් අහඹු ලෙස හෝ පටිච්ච සම්පන්නව සිදු විය හැකි ය. අන්න ඒ කියන ජීවියකුගේ උපත වෙනුවෙන් ‘කලා නිධි-පචවෙදා’ පෙනී සිටී. කථකයා බටහිර වෛi ශාස්ත‍්‍රය ඉගෙන ගන්නේ ඔහුගේ වුවමනාවට නොවේ. වෛi සිහිනය ඇත්තාට ඒ සඳහා අවකාශය නැත. ගැඹුරින් බලනවිට වෛi සිහිනය ඇති ‘කලා නිධි’ ට ද එම සිහිනය පටවන ලද්දක් බව පැහැදිලි ය. මේ දෙදෙනා ම තල දෙකක එක ම රූපණයකි. ආධ්‍යාත්මික සාහිත්‍ය සත්ත්වයකු වීමේ හීනය ඇති කථකයා කොතරම් සමාජ ගන්ධබ්බයකු බවට විපරිණාමය වී ඇති ද යන්න කථාවේ කූටප‍්‍රාප්තියේ එන පහත යෙදුමෙන් පැහැදිලි වේ.

‘…….. පුනරුප්පත්තිය කෙරෙහි විශ්වාසයක් මා තුළ නැත. එහෙත් අවමන් දුක් -තැවුල් නැති කිසියම් ලෝකයක කලා නිධි ඉපදී නැද්ද? ඔහුට තිබුණේ මේ ලෝකය පමණක් යැයි යන සිතිවිල්ල නම් මට දැරිය නොහැකි වේදනාවක් දෙන්නකි. රට වෙදෙකුවන කථකයා පුනරුත්පත්තිය විශ්වාස නොකරයි. ‘පුනරුත්පත්තිය’ බුදු සමයට අදාළ සංකල්පයක් නොවේ. බුදු සමයට අනුව නම් එය ‘පුනර්භවය’විය යුතුය. සංස්කාර ධර්මයන්ට අනුව සත්ත්වයා මරණයෙන් පසු පටිච්ච සම්පන්නව යළි ඉපදීම පුනර්භවය ය. ඉපදෙන තැන තීරණය වන්නේ අවසන් චුති සිත අනුව ය. අවසන් චුති සිත සැදෙන්නේ ජීවත්ව සිටි කාලයේ කළ කී දේ හා වැඩු දේ අනුවය. ඇතැම්විට කථක රට වෙදා පුනරුත්පත්තිය ලෙස වරදවා වටහා ගන්නේ පුනර්භවයද? සිංහල වෙද ගුරුන්නාන්සේලා නම් එය පටලවා ගන්නේ නැත. මේ කුමක් වුව ද ඉන් ප‍්‍රතීයමාන වන්නේ ඔහු භෞතිකවාදයට විසිකර දමනු ලැබු ජීවියකු බව ය. එසේ කීමට හේතුව උක්ත යෙදුමෙහි එන දෙවැනි වැකියයි. ‘කලා නිධි කිසියම් ලෝකයක – දුක් තැවුල් නැති – ( එය දිව්‍ය ලෝකයද?) තැනෙක ඉපදී ඇද්ද?’ යනුවෙන් තමන්ගෙන්ම ප‍්‍රශ්න කරන්නේ ඇයි? ඊට හේතුව ගන්ධබ්බ සමාජ චලනය නොවේද? ‘ඔහුට තිබුණේ මේ ලෝකය පමණක් යැයි යන සිතිවිල්ල නම් මට දැරිය නොහැකි වේදනාවක් දෙන්නකි’ යන්නෙන් එය වඩාත් ධ්වනිත වේ. ඇත්තට ම ‘කලා නිධිට’ලෝක ගණනාවක් තිබුණේ මැරෙන්නට පෙරය. එහෙත් ඔහුගේම ලෝකය කවරක් ද යන්න පමණක් තෝරා බේරා දීමට සමතෙක් මේ ලෝකයේ නොසිටියේ ය. සංස්කාර ධර්ම පිළිබඳ සංකල්ප දැනුම්වත් භාවයෙන් මෙරට ජනතාව දුරස්ථව ඇති ආකාරය ප‍්‍රකට වන්නේ පාරේ රතු කොඩි වැනීමට තරම් වේගයක් 71 දීත් 88-89 දීත් දකින්න ලැබීමට හැකි වීමෙන්ය. මේ සංස්කාර ධම්ම පිළිබඳ අර්ථ කථනය මාර්ටින් වික‍්‍රමසිංහ වරදවා තේරුම් ගත් ආර්ය පර්යේෂණයෙන් තොරමතාන්තර ‘සංස්කාර’ නොවේ. වික‍්‍රමසිංහ යුගය වනවිට ද පැවැති සමාජ ආධ්‍යාත්මයේ පරිහානිය ඔහුට ද බලපෑ ආකාරය ඔහු ‘සංස්කාර’ පිළිබඳ කරන නිර්වචනයෙන් ධ්වනිත වේ. පාසල කේන්ද්‍ර කොටගත් නූතන අධ්‍යාපන ක‍්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රීය නොවුවා සේ ම අශිල්පීයකරණ එකකි. එය ගෝලීය යටත් විජිතය කේන්ද්‍රකොටගත් අමුතු වාදයකි. කථකයාට අනුව ඔහුට සාහිත්‍ය ඉගෙන ගැනීමේ අවශ්‍යතාව -ආශාව මුදුන් පමුණුවා ගැනීමට අවකාශය සලසා දුන්නේ නම් මෙරට සාහිත්‍ය කොතරම් පිම්මක් ලබා ගනී ද? එහෙත් නූතන අධ්‍යාපන ක‍්‍රමය තුළ සාහිත්‍යකරණය වෙනුවට ඇත්තේ  ගිණුම්කරණය ය.

එය ‘අලූත් අලූත් දෑ නොතකන ජාතියක් බවට පත් කරවන සුලූ එකකි. අද මිනිසා සුන්දර වෙල් යායවල් පසු කරන්නේ නැත. අඹ ගහේ තුඩ ගසා පල වළඳන ගිරවා දකින්නේ නැත. නිල් වැල්ලෙහි හා රුක් අත්තන මලින් පිරි පාරෙහි පහස විඳිනේ සපත්තු ය. ඔහුට සුන්දර මා වවුලා ඩ‍්‍රැක්‍යුලා ය. මද පවන ්ක්‍-නිවනට වාහනයෙන් යා හැකි ය. ඔහුගේ පරපුර ශ්‍රේෂ්ඨ ජාතික වීරයන්ගේ නම් හූනන්ට දමය.ි දස මහා යෝධයන්ගේ සොහොන් උඩ බැඞ් මෑන් , අයන් මෑන්, ස්පයිඩර මෑන්, ෆයර් මෑන්ගේ පිළිරූ ඉදිකරයි. සිමෙන්තියෙන් අවුකන අඹය. ස්මාර්ට් මොබයිලයෙන් අංජනම් බලයි. ඔහුට කුණ්ඩලනිය ගුරුත්වාකර්ෂණයේ ඵලයකි. සෘද්ධිය විජ්ජාවකි. මේ සම්මා දිට්ඨියෙන් බැහැර වීමේ ඵලය අපාය දක්වා පරිණාමය කිරීමේ යමපල්ලාගේ කාර්යය අද මිනිසා උර මතට ගනී. සියලූ මිනිසුන් නිරි සතුන් කිරීමට තරම් පුහුණුවක් අධ්‍යාපන සංස්ථාව ලබා දෙයි. පිදුරංගල විහාරයේ ගල මතදී ඔවුහු සරම ගලවා පපුව පෙන්නන්නේ ද ඒවා අන්තර්ජාලයට -මුහුණුපොතට මුදන්නේ ද ඒ අනුහසිනි. අමරසේකරයන්ගේ සංස්කෘතිය පිළිබඳ කියැවීම මෙරට උගතුන් යැයි කියා ගන්නා උන් වරදවා වටහා ගත්තේ අද ඊයේ නොවේ. මෙරට භෞතිකවාදීන්ට හා උන්ගේ අවතාරවලට ආධ්‍යාත්මික මිනිසකු බිහිකිරීමේ න්‍යාය උගන්වන්නට අවැසි වාසනාවන්ත උප්පත්ති නැති බව තේරුම් ගත් අමරසේකරයන් අවම වශයෙන් ඉන් මෙපිට ජාතික සභ්‍යත්ව සත්ත්වයකුවත් නිර්මාණය කිරීමේ මෙහෙයුම දියත් කිරීමේ වගකීම තම උරට ගන්නට සිතයි.

අමරසේකරයන්ගේ මේ කෙටි කතාව. පුද්ගල ශක්තීන් දුර්වල වූ විට ඇති වන භ‍්‍රාන්තිමය තත්ත්වයන් උත්සන්න වන කාල වකවකවානුවක් ඇති වීමෙන් ධ්වනිත වන්නේ එම සමාජ ක‍්‍රමයෙහි පවත්නා අපගමන ස්වභාවය වෙයි. කිසිවකින් පිහිටක් නොලැබන ඕනෑම පුද්ගලයකු අවසානයේ ෆැන්ටසිමය අවකාශයක අතරමං වීම අහම්බයක් නොවේ. කලා නිධි අවසානයේ පත්වන ඉරණමට ප‍්‍රබල හේතුව ඔහුගේ අතෘප්තිකර අමුතු ක‍්‍රියාපටිපාටිය වූවක් සේ පෙනුණ ද එය සම්පූර්ණ ඇත්ත නොවේ. ඔහුට ඔහුගේ අභිවෘද්ධිය පිණිස ක‍්‍රියා කළ හැකි ක‍්‍රමයක් පෙන්වා දීමට සමත් සමාජ සංස්ථාවක් ආරක්ෂා වී නොතිබීම යි; නිර්මාණය වී නොතිබීම නොවේ. සුදු කරපටි රැකියා තෘෂ්ණාභරය (ධනවාදය ද ඇතුළත්ව)* කෙරෙහි පමණක් ආශක්තව සිටින සමාජ ක‍්‍රමයක ස්වශක්තීන් කෙරෙහි විශ්වාසය අකර්මණ්‍යකර ඇත. එවැනි පුද්ගලයන් විෂයෙහි දයාර්ද භාවයක් ඇති කරන කතාකරු සංස්කෘතික වටිනා කමක් ඇති අල්පේච්ඡ – ආධ්‍යාත්මික හර රැකදුන් ඇතැම් රැකියාවල පුරුෂාර්ථ ද මතුකර දෙයි. තර`ගකාරීත්වයෙන් තොර ආත්මීය බැඳියාවෙන් සිදු කළ එවැනි රැකියාවල හා සංස්කෘතිකමය වූ ශේෂයන් මහනුවර දළදා මාලිගයේ කෞතුකාගාරයෙනුත් -කොළඹ ජාතික කෞතුකාගාරයෙනුත් දැකිය හැකිය. කෞතුකාගාරයක් යනු ජාතියක -සමාජ තන්ත‍්‍රයක කනත්ත බව ඔළුවක් ඇත්තතකුට හැෙඟන්නේ ඒවා ඉසියුම් ලෙස නිරීක්ෂණය කරනවිට ය. ඇසක් ඇත්තකුට කෞතුකාගාරයෙන් පිට සිදුවන ‘බොල් පිළිම’ කර්මාන්ත ගැන හද කකියවයි. ගුණදාස අමරසේකරයන් විසින් ලබාදෙනු ලබන චින්තනය සමස්ත කෙටි කතා සංග‍්‍රහය විමර්ශනය කරන විට කවරක් දැයි පැහැදිලිවන මුත් විශේෂකොට ම ‘කලා නිධි -පච වෙදා’ කතාව අවසානයේ අපත් -අප වෙසෙන සමාජයත් කොතරම් ‘පච’ වී ඇද්දැයි ද ප‍්‍රකට කරවයි. අධ්‍යාපන සංස්ථාවෙන් (පාසල් -උසස් අධ්‍යාපන ආයතන) පවා අද ‘කරපු’ දේ වනනවා විනා කරන’හැටි උගන්වන්නේ නැත. කථාවේ කලා නිධි හා රට දොස්තර ගැන සානුකම්පිත දෘෂ්ටියක් සාමාන්‍ය පාඨකයකුට ඇති වුව ද සිදු ව ඇත්තේ එය නොවේ. කලා නිධි -පච වෙදාත් -රට වෙදාත් අප කෙරෙහි සානුකම්පිත දෘෂ්ටියක් හෙළා ඇති ආකාරය ය සිදුව ඇත්තේ.

සජීව ප‍්‍රසන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More