පුරවැසි කොලම

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා විසින් අතිගරු ජනාධිපති තුමන්ට හා සියළුම මහජන නියෝජිතයන් වෙත පළාත් සභා මැතිවරණය ව්‍යවස්ථා සංශෝධනයට පෙර නොපැවැත්විය යුතු යැයි ඉල්ලා යැවූ ලිපිය.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ
සියලුම මහජන නියෝජිතයන් වෙත,

ගෞරවණීය මහජන නියෝජිතයිනි,

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මතකරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව පෙන්වාදීම

පසුගියදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ සෙසු පාර්ශව විසින් මහජනයාට සුවිශේෂි පොරොන්දුවක් ලබාදුනි. ඒ ඉතා කඩිනමින් රටට සුදුසු නව ව්‍යවස්ථාක් සම්පාදනය කොට සම්මත කරන බවය. ඇත්ත වශයෙන්ම එම පොරොන්දුව ජනාධිපතිතුමා විසින් ජනාධිපතිවරණයට පෙර රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ලේඛනයේ සඳහන් වූ සුවිශේෂි දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයකි. එදා ජනාධිපතිවරණයට පෙර 20වැනි සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් හෝ පොරොන්දුවක් ඉදිරිපත් නොවුනද නව ව්‍යවස්ථක් සම්මත කිරීමේ උවමනාව සෞභාග්‍යයේ දැක්ම තුළ ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරිණි.

ඒ නිසා පසුගිය නොවැම්බර් 16 වැනිදා මේ රටේ ඉරණම වෙනස් කළ ජනාධිපතිවරණ ජනවරම තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ගැඹුරින් සටහන් වී ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පසුවද නව ව්‍යවස්ථාවට අදාළ සමාජ සංවාදය තුළ ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කරන බරපතළ උපායමාර්ගික යෝජනා ඉදිරිපත් විය. ඒ තුළ “එක් රටක් එක් නීතියක්” නැමති දාර්ශණික පදනමට යටත්ව ඉස්ලාම් ආගමික අන්තවාදය සහ දෙමළ ඊළාම් බෙදුම්වාදය තීරණාත්මකව දේශපාලන වශයෙන් පරාජය කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍ය බවට ප්‍රභල යෝජනා ඉදිරිපත්වේ. එහිදී බෙදුම්වාදයට ගොදුරු නොවන ආකාරයට පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමට පරිපාලන බලතල විමධ්‍යගත කිරීම සඳහා නව බලව්‍යුහයක් අවශ්‍ය බවට විවිධ යෝජනා ඉදිරිපත් වේ. එම බලව්‍යුහයේ හැඩතල නිර්මාණය වන්නේ නව ව්‍යවස්ථාවක් තුළිනි. ඒ නිසා එම නව ව්‍යුහය ස්ථාපිත කිරීමට පෙර පැරණි ව්‍යුහය ස්ථාපිත කිරීම සඳහා මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.

ඊට අමතරව පසුගිය වසර 03කට අධික කාලය තුළ රටපුරා පළාත් සභා නොමැතිව පළාත් මට්ටමේ පරිපාලන කටයුතු අර්බුදයකින් තොරව ක්‍රියාත්මක විය. ඊට අදාලව උතුරු නැගෙනහිර පළාත්වල ජනයා හෝ කිසිදු විරෝධයක් දක්වා නැත. ඒ වෙනුවට රජයේ අරමුදල් ඉතිරි වූ බවට රජයට ප්‍රසාදය ඵලකරන අවස්ථා දැකගත හැක. ඉන්දියාව විසින් ඉන්දු ෆැසිපික් කලාපීය උපාය මාර්ගික උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ දිර්ඝකාලීන අරමුණු සහිතව අප මත පැටවූ පළාත් සභා ක්‍රමය නැමති විකෘති බල ව්‍යුහය රැකගත යුතුයැයි කිසිදු මහජන හඬක් පැන නැගී නැත. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සිහින් හඬින් හෝ මත පලකරන්නේ එම බලව්‍යුහය නොමැතිවීම නිසා වරප්‍රසාද අහිමිව ඇති පුද්ගලයින් විසින් බව පැහැදිලිව පෙනේ.

එවැනි තත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී පවතින පළාත් සභා බල ව්‍යුහය තුළ කුමක් හෝ වෙනස්කම් කිරීමට සිදුවේ.ඊට අදාළ මහජන මතය පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ සිට ව්‍යවස්ථදායක බලය නොමැතිව විධායක බලය පමණක් විමධ්‍යගත කිරීම ආදී වශයෙන් වන පුළුල් පරාසයක පැතිරී ඇත. ඒ අනුව පළාත් සභාව වෙනසකට භාජනය විය යුතු බවට ප්‍රභල මහජන අපේක්ෂාවක් තිබෙන තත්වයක් තුළ පැරණි බල ව්‍යුහුය නැවත පිහිටුවීම සඳහා මැතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුවේ සැබෑ අපේක්ෂා පිළිබඳව මහජනයා තුළ අවිශ්වාසයක් ජනිත වේ. එනම් නව ව්‍යවස්ථාවක් පිළිබඳව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන පොරොන්දුව ව්‍යාජයක් බවට මහජන මතයක් ඇතිවීමට සාධාරණ ඉඩක් ඇත. එම තත්වය ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ අනාගත පැවැත්මට අනර්ථකාරී වන බව කිව යුතු නැත.

ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවට තිබෙන උවමනාව සහ නව ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව අතර පවතින පරස්පරය නිවැරදි කළ යුතුය. එය නිවැරදි කළ හැක්කේ නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව පළාත් බල ව්‍යුහයන්ට අදාළ මැතිවරණය පවත්වන බව සහ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුකරන බව මහජනයාට විවෘතව ප්‍රකාශ කිරීම මගිනි. එසේ නොවන තත්වයක් තුළ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා අවංක උවමනාවක් නොමැති බවට සහ බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් සමඟ ආණ්ඩුව දේශපාලන ඩීල් දමන බවට විවිධ පාර්ශ්ව වලින් එල්ල වන චෝදනා සනාථ වනු ඇත.

ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳ හෙලීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ ආකාරයට ආණ්ඩුව ජනවරමට පිටුපාමින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම් සතුටු කිරීම සඳහා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීන්දු කරන්නේනම් ජාතික සංවිධාන ලෙස ඊට එරෙහිව අපගේ බරපතළ විරෝධය මෙසේ ප්‍රකාශ කරමු.

සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More