පුරවැසි කොලම

හරි අපූරු වන සංරක්ෂණය

December 17, 2020 8:09 am | Lanka Lead News

ගුවන් යානයක සිට බලන කල හරිත දිවයිනක් ලෙස පෙනුනද, ශ‍්‍රී ලංකාවේ ඇත්තම ඝන වනගහනය සියයට 20 කටත් වඩා අඩු ය. ඇතැම් ලේඛනවල සියයට 18 ක් ලෙසද, තවත් ලේඛනවල සියයට 22 ක් ලෙසද දැක්වෙන බැවින් රටේ ඝන වනගහනය සේ සලකන්නේ සියයට 18-22 ක් ලෙසිණි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම වනගහනය සියයට 32 දක්වා වැඩි කරන්නට සිහින මැවූ අයෙකි. ජනාධිපතිවරයා ලෙස මෙන්ම, පරිසර ඇමැතිවරයා ලෙස ඔහු බලයේ සිටි වසර පහ පුරාම රුක් රෝපණ වැඩසටහන් රාශියක් සිදු කළද, ඔහුගේ එම සිහිනය නම් ඉටු වූයේ නැත. එනමුත්, ඔහු අත්සන් තැබූ ගැසට් නිවේදන අනුව සිංහරාජ රක්ෂිත වනාන්තරය තුන්ගුණයකින් වැඩිවීම, අක්කර 29000 ක වෙඩිතලතිවු ස්වභාව රක්ෂිතය ප‍්‍රකාශයට පත්වීම (මෙම රක්ෂිතය යළිත් ඉවත්කිරීමට කටයුතු කරමින් පවතී.) එක් අතකින් සියයට 32 කින් වනගහනය වැඩි කිරීමට ඔහු ගත් උත්සාහයට පාර කැපීමකි.

මේ අතර, අලි වැට හා අලි අගල් කැපීම පිළිබඳ වනජීවී රාජ්‍ය ඇමැතිවරයා ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ ගවයින්ට තණ කවන්නට යෝජනා කරමින් එම වනෝද්‍යානයම දෙපළුකරමින් පාරවල් කපන්නට ද තතනන අතරේ විෂය භාර කැබිනට් ඇමැති සී. බී. රත්නායක මහතා ‘දිවයින’ පුවත්පත සමග සාකච්ඡුාවකට එක්වෙමින් කියන්නේ තමන්ගේ ඉලක්කය ද රටේ වනගහනය සියයට  32 කින් ඉහළ දැමීම බවයි.

එනමුත් රටේ බොහෝ ප‍්‍රදේශවලින් අසන්නට ලැබෙන්නේ තොග පිටින් වනාන්තර විනාශ කරන බවයි. වනාන්තර ඉඩම් අල්ලාගන්නා බවයි. ඇතැම් මහා පරිමාණ රාජ්‍ය ව්‍යාපෘති හේතුවෙන්ද වනාන්තර තොග ගණන් විනාශ වන අතර, එම ප‍්‍රදේශවල සම්ප‍්‍රදායක ජන උරුමයට ද හානි සිදු වේ. රඹකැන්ඔය බඩඉරිඟු වගා ව්‍යාපෘතිය මගින් අහිමි වන වනාන්තර නිසා මහඔය ප‍්‍රදේශයේ වැදි ජනයා ඇතුළු ප‍්‍රදේශවාසීන්ට සිදුව ඇති අර්බුදය හේතුවෙන් එම ප‍්‍රදේශයේ මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇත. විරෝධතා පැන නැගී ඇත.

එසේම, මන්නාරම දූපතේ පවතින එකම මිරිදිය ජලාශය වන කෝරකුලම වැව (පැරණි වැවකි ) ඉඩම් කොල්ලකරුවන්ගේ දැඩි ග‍්‍රහණයට නතුව ඇත. මන්නාරම් දූපතේ ජීවත්වන අහිංසක අශ්වයින්, බූරුවන් හා ගවයින්ට දිය පොදක් බීමට එහි ඉතිරිව තිබෙන්නේ මෙම වැව පමණි. මන්නාරම දූපතේ පවතින එකම කුඹුරු යායටත් ජලය සැපයෙන්නේ මේ මගිනි. ඊට යාබද තාරපුරම් වැව (තාරපුරම් යනු රිෂාර්ඞ් බදුර්දීන් මහතාගේ උපන් ගම්මානයයි.) දක්වා මන්නාරම – තලෙයිමන්නාරම මාර්ගය දෙපස සියලූ ලඳු කැලෑ හෙළිකර ජලාශයේ වතුර මට්ටම මැදින් වැටවල් ගසා ඉඩම් අල්ලාගෙන ඇති අයුරු මේ දිනවල එහි යන එන කාහටත් දැකගත හැකිය.

මේ පිළිබඳව ද විරෝධතා දක්වා පරිසරවේදීන් විසින් මන්නාරම දිස්ත‍්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ සියලූ රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති නමුත් කිසිදු පියවරක් ගෙන නැත. මේ ඉඩම් ගනුදෙනුව පිටුපස සිටින පුද්ගලයා ද රිෂාර්ඞ් බදුර්දීන් මහතාම බව දැනගන්නට ඇත. ඔහුගේ කාලයේදී බෙදා දී ඇති මෙම ඉඩම් යළි අත්පත් කරගන්නට වත්මන් රජය පියවර ගත යුතුයි.

එසේම, වන්නි හා නැගෙනහිර ප‍්‍රදේශයේ වනාන්තර අල්ලාගැනීම අද වන නිලධාරීන්ට හිසරදයක් වී ඇති ප‍්‍රශ්නයකි. මේ සඳහා දේශපාලකයින්ගේ සෘජු සම්බන්ධතා සහ බලපෑම් ඇතැයි වන නිලධාරීහු පවසති. වව්නියාව ආසිකුලම රක්ෂිත ප‍්‍රදේශයේද මෙවැනි ගැටලූවක් මතුව ඇත. මේ නිසා ප‍්‍රදේශවාසීන් හා වන නිලධාරීන් අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි දිවයින ඊයේ වාර්තා කළාය.

ගැමියන් පවසන්නේ තමන්ට බලපත‍්‍ර යටතේ ලබාදී ඇති ඉඩම් වන නිලධාරීන් විසින් මායිම් දමා රක්ෂිතයට ගෙන ඇති බවකි. වන නිලධාරීන් කියන්නේ රජයේ රක්ෂිත කැලෑ ඉඩම් සඳහා දේශපාලන බලපෑම් මත බලපත‍්‍ර ලබාදී ඇති බවත්, එම ඉඩම් තුළ හෙළි පෙහෙළි කිරීම් සඳහා තමන් ඉඩ ලබා නොදෙන බවයි. මෙම ගැටුම පිළිබඳව සොයා බැලීම සඳහා අකිල ඉලංකෙයි තමිල් කොංග‍්‍රස් පක්ෂයේ යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා වව්නියාවට පැමිණ ජනතා ගැටලූ පිළිබඳව අවධානය යොමුකර ප‍්‍රශ්නය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන බව පවසා ඇත.

නමුත්, සිදුවිය යුත්තේ රජයේ පාර්ශ්වයෙන් මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය ප‍්‍රකාශයට පත්කිරීමය. දේශපාලකයින්ට උවමනා විදිහට කරන්නට ගොස් දැන් සංරක්ෂණය හොඳටම අනාගෙන ඇත. රජයේ ඉඩම් අල්ලන්නන්ට එරෙහිව නීතියක් ක‍්‍රියාත්මක නොවන තරම් ය. වන හෝ වන ජීවී නිලධාරීන් රටේ වනාන්තර රකින්නේ මාර ගේමක් දීගෙනය. එනමුත් රජය පැත්තෙන් ඊට දක්වන සහාය කිසිලෙසකින්වත් ප‍්‍රමාණවත් නැත.

තත්ත්වය එසේ තිබියදී නොබෝ දිනකින් විශ‍්‍රාම යෑමට නියමිත වන සංරක්ෂණ ජනරාල්වරයාගේ තනතුරට දෙපාර්තමේන්තුවට පිටින් ඇමැති හිතවතකු පත්කිරීමට යන බවත් දැනගන්නට ඇත.

(17.12.2020 දිවයින කතු වැකිය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More