දේශීය පුවත්

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඊයේ (15) දින දෙවන දිනටත්; පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ල කළ සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ ප්‍රහාරයට පෙර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සවිස්තරාත්මක ගොණු ඉදිරිපත් කළද ඒවාට නිසි නෛතික උපදෙස් ලබාදීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු නොකළේ යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි විමසනු ලැබුවේය.

එහිදී; නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ ප්‍රධානි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා, Skype තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දෙනු ලැබීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව පුර්ණ වශයෙන් ඔබ පරිශීලනය කළේද? යන්න කොමිසමේ සභාපති විනිසුරුවරයා පළමුව ප්‍රශ්න කළේය.

ඊට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පිළිතුරු දෙමින් මෙලෙස පවසා සිටියාය.

” මම එය සම්පුර්ණයෙන් පරිශීලනය කළේ නැහැ ස්වාමිනි. නමුත් තේරිම්කාරක සභාව හමුවේ මම දුන්න සාක්ෂියට අදාළ කොටස පරිශීලනය කළා. 2020 පෙබරවාරි 24 හෝ ඊට ප්‍රථම මම නීතිපතිවරයාව දැනුවත් කළා තේරිම් කාරක සභා වාර්තාවේ සඳහන් වු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මලික් අසීස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන නිලධාරින්ට අදාළ කරුණු සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් කරන්න කියලා. ඒ අනුව නීතිපතිවරයා විසින් ත්‍රීපුද්ගල කමිටුවක් පත්කළා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන්. නමුත් පස්සේ ජයමාන්න මහත්මයා පෞද්ගලික හේතුවක් මත ඒ කමිටුවෙන් ඉවත් වුන නිසා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා එම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කළා. එම කමිටුවේ වාර්තාව 2020 ජුලි මස 20 වනදා වෙළුම් දෙකකින් සමන්විතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළා. ” යැයි පවසා සිටියාය.

පාස්කු ඉරුදින ත්‍රස්‍ත ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යොමුකළ ගොණු සම්බන්ධයෙන් විධිමත් නෛතික උපදෙස් ලබා නොදීමට අදාළව රජයේ අධිනීතිඥ මලික් අසීස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවිට එරෙහිව විනය පියවර ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ඊයේ (15) දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය වුණේ.

එලෙස නිර්දේශ ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ ප්‍රධානි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේය.

මේ අතර අදාළ නිලධාරින් දෙදෙනාගේම ජ්‍යෙෂ්ඨ අධීක්ෂණ නිලධාරියා වශයෙන් එවකට කටයුතු කර ඇත්තේ වත්මන් නිතීපති දප්පුල ද ලිවේරා මහතා බව ද කොමිසම හමුවේ අනාවරණය වූයේය.

මෙහිදි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ඉල්ලීමක් කරමින්, ”ස්වාමිනී නීතිපතිවරයා විසින් 2019 ජුනි 18 වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය තමන් ළඟ තිබු ප්‍රමාණවත් තොරතුරු උපදෙස් සඳහා නීතිපතිවරයාට යොමු කරලා නැහැ. ඒ නිසා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ට මේ සම්බන්ධයෙන් වගකීම ගන්න බැහැ කියලා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිලධාරියෙක්ගේ වරදක් නැත්තම් මගේ සේවාදායකයාගෙත් වරදක් තිබෙන්න බැහැ. මේ ලිපියට අදාළව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිණිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා මා හට ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අවශ්‍යයි. ඇයව මේ කොමිසම හමුවේ සාක්ෂි විමසීමට කැදවන්න” යැයි ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම පිළිබඳ සලකා බැලූ ජනාධිපති කොමිසම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිණී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවියට අද (16) දින ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසත්, මෙමස 17 වන බ්‍රහස්පතින්දා සාක්ෂි ලබාදීම සදහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළේය.

එමෙන්ම වත්මන් නීතිපතිවරයා වන දප්පුල ද ලිවේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස සිටියදී සහ හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස සිටියදී පොලිස් දෙපාර්තමේන්තුවට 2017 අවස්ථා දෙකක දී යොමු කර තිබූ ගොණු දෙකක් කොමිසමේ පරිශීලනයට ගෙන්වන ලෙස රජයේ අධිනිතිඥ මලික් අසීස් මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා සිදු කළ ඉල්ලීම සලකා බැලූ සභාපති විනිසුරුවරයා එම ගොණු අද (16) දින සවස 4ට පෙර කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතාට නියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More