Uncategorized

පරිසරය විනාශ වෙන්නේ නිලධාරීන්ගේ වැරැදි තීරණවලින්…

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට පොලිතීන් නිෂ්පාදනය අධෛර්යමත් කිරීමට අදාළ තීන්දු තීරණ රැසක් ගැනීමට වත්මන් රජය සූදානම් වන බව මේ වන විට ප‍්‍රකාශ කර ඇත.

එහි මූලික පියවරක් ලෙස සැශේ පැකට් ඇතුළු නිෂ්පාදන රැසක් තහනම් කිරීමට පියවර ගැනීමට නියමිතය.

මෙම තීන්දු තීරණ සමඟ පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදනයේ නියැළෙන කර්මාන්තකරුවන් සහ ඒ ආශ‍්‍රිත රැකියා කරන ලක්ෂ ගණනක ජනතාවකට රැකියා අහිමිව බලවත් පීඩාවකට පත් වන බව පොලිතින් නිෂ්පාදන සහ පොලිතීන් ප‍්‍රතිචක‍්‍රීයකරණ සංගමයේ සභාපති අනුර විජේසිංහ මහතා චෝදනා කරයි.

පහතින් පෙළ ගැසෙන්නේ මේ පිළිබඳව පොලිතින් නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා සමඟ ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” කළ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – මේ වන විට පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදනයන්හි නියැළෙන කර්මාන්තකරුවන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද..?

පිළිතුර – ඇත්තටම පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදනයන්හි නියැළෙන කර්මාන්තකරුවන් නවසීයක් පමණ මේ වන විට මෙරට සිටිනවා. මධ්‍යම පරිසර අධිකාරියේ දත්තවලට අනුව එය හයසියක්. නමුත් එවැනි කර්මාන්තකරුවන් 900 ක් පමණ මෙරට ක‍්‍රියාත්මකයි.

ප‍්‍රශ්නය – මේ තුළින් මේ වන විට රැකියා අවස්ථා කොපමණ සංඛ්‍යාවක් ජනිතව තිබෙනවාද?

පිළිතුර – ඍජු රැකියා අවස්ථා හතළිස් දහසක් පමණත් වක‍්‍ර රැකියා අවස්ථා ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවකුත් මේ ආශ‍්‍රිතව පවතිනවා. ඇත්තටම පොලිතීන් ආශ‍්‍රිත නිෂ්පාදන තහනම් කළොත් මේ සියලූ දෙනාටම රැකියා අවස්ථා අහිමි වෙනවා. කොරෝනා වසංගතය හමුවේ බොහෝ ක්ෂේත‍්‍රවල රැකියා අහිමි වෙමින් තිබෙන අවස්ථාවක පොලිතීන් තහනම් කිරීමට කටයුතු කළහොත් එය බරපතළ තත්ත්වයක් වේවි. මේ වගේ මොහොතක අගමැතිවරයා මෙවැනි තීන්දුවක් ගන්න එක ගැන පුදුම හිතෙනවා.

ප‍්‍රශ්නය – ආණ්ඩුව පොලිතීන් තහනම් කිරීමට යන්නේ සිදුවන පරිසර හානියන් වළක්වා ගැනීමටයි. ඔබලත් කර්මාන්කරුවන් ලෙස පරිසරය රැක ගැනීමේ කාර්යයට දායකත්වයක් ලබා දිය යුතු නොවේද?

පිළිතුර – පරිසරය රැක රැක ගැනීමේ කාර්යයට අපේ කිසි විරෝධතාවක් නැහැ. ආණ්ඩුව ගනු ලබන කිසිදු තීරණයකට අපි විරෝධතා දක්වන්නෙත් නැහැ. ඒ සඳහා අපගේ පූර්ණ දායකත්වය අප ලබාදී තිබෙනවා. අප කියන්නේ එය හරියාකාරව කරන ලෙසයි. පොලිතීන් තහනම් කරා කියලා පරිසරය රැකෙන්නේ නැහැ. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ඇතැම් නිලධාරීන් ගනු ලබන වැරදි තීන්දු තීරණ නිසා අප කර්මාන්තකරුවන් ඇතුළු සමස්ත රට වැසියන් අපහසුතාවට පත් වෙනවා.

ඔවුන් මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී කර්මාන්තයේ ඇතුළාන්තය දන්නා අප කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගන්නේ නැහැ. ඒ තුළින්ම ඔවුන් ගන්නා තීන්දු තීරණ අසාර්ථකයි. ඔවුන් ගන්නා වැරදි තීරණ වලට කර්මාන්තකරුවන් වගකියන්න ඕනද?

ප‍්‍රශ්නය – පොලිතීන් ආනයනයට අති විශාල මුදලක් පසුගිය වසර ගණනාවක තිස්සේ වියදම් කිරීමට සිදුව ඇති බව පැවසෙනවා.

පිළිතුර – එයට හේතුව වී තිබෙන්නේ නිලධාරීන්ගේ වැරදි තීරණයි. එක බෑග් එකෙන් කරන්න පුළුවන් දේ දැන් බෑග් හතරක් ගෙන කරන්න වෙලා තියෙනවා. විශාල වියදමක් යන්න හේතුව එයයි.

ප‍්‍රශ්නය – පසුගිය ආණ්ඩුව පොලිතීන් කර්මාන්තකරුවන් සඳහා යම් යම් සහන ලබා දුන්නා නොවේද?

පිළිතුර – ආණ්ඩුව සහන දෙන්නම් කිව්වා. අපේ යන්ත‍්‍ර වෙනස් කරන්න කිව්වා. අමුද්‍රව්‍ය ගෙන ඒමේදී සහන දෙන්නම් කිව්වා. නීත්‍යනුකූලව කර්මාන්තකරුවන් රජයේ තීරණ වලට අනුගත වුණා. නමුත් රජය ඔවුන් සඳහා සහන දුන්නේ නැහැ. දැන් කොම්පෝස්ට් වෙන ලන්ච් ෂීට් වෙළෙඳ පොළේ නැහැ. දැන් තියෙන්නේ පොලිතීන් ලන්ච් ෂීට් විතරයි.

ඒකට හේතුව මේ අය ගැසට් එකක් ගහලා නීති දැම්මට නීති ක‍්‍රියාත්මක කරන්න වැඩපිළිවෙළක් නැතිවීමයි. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට නීතිමය ප‍්‍රතිපාදන ප‍්‍රබල නැහැ. සුළු දඩයක් ගෙවලා පස්සේ දොරෙන් ඇවිත් ආපහු පරණ හොරකම කරන්න ඇතැම් කර්මාන්තකරුවන් පෙළඹී සිටිනවා. මේවා නතර කරන්න නම් දැඩි නීති සම්පාදනය කළ යුතුයි.

මධ්‍යම පරිසර අධිකාරියට එවැනි නීති විරෝධී කර්මාන්තකරුවන් නතර කිරීමට කිසිම වුවමනාවක් නැහැ. නීති දානවනම් දාන්න ඕනා එය ක‍්‍රියාත්මක කළ හැකි පසුබිමක් සකස් කරලයි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගේ වැරදි තීරණ නැවත ආපසු හරවන්න ඔවුන් සූදානම් නැහැ. වැරදි තීන්දු තීරණ නිසා පරිසර හානියට වැඩිපුරම දායක වී සිටින්නේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්. මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමයි පරිසර හානිය වැඩි කරන තීන්දු තීරණ ගෙන තිබෙන්නේ.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් පැහැදිලි වැඩපිළිවෙළක් මධ්‍යම පරිසර අධිකාරියට තිබෙන්න ඕන. නමුත් එහෙම වැඩපිළිවෙළක් ඒ අයට නැහැ. ඔවුන් එසේ කරනවනම් පරිසරයත් රැකී මේ කර්මාන්තයත් රැකෙනවා. මේ වෙන කොට එය සිදුව නැහැ.

ප‍්‍රශ්නය – දිනකට ලන්ච් ෂීට් සහ පොලිතීන් ලක්ෂ 350ක් පරිසරයට මුදා හැරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සංඛ්‍යා දත්තවල සඳහන් වනවා. මෙය අඩු කළ යුතු යැයි ඔබ සිතන්නේ නැද්ද ?

පිළිතුර – එය අනිවාර්යයෙන්ම කළ යුතු කාරණයක්. ආණ්ඩුව ගෙන එන නීතිරීති වලට අපි අනුගත වුණා. අපි කිසිවිටෙක බැහැ කිව්වේ නැහැ. ජෛව හායනයට ලක් වන අමුද්‍රව්‍ය වලින් කෑම දවටන නිපදවන එක කමක් නැහැ. නමුත් මෙම නීතිය ක‍්‍රියාත්මක කරන්න මධ්‍යම පරිසර අධිකාරියට වසර හත හමාරක් තිස්සේ කිසි දැක්මක් නැහැ. ප‍්‍රශ්නය තියෙන්නේ එතැනයි.

කවුරුන් හෝ නීත්‍යනුකූල නොවන කෑම දවටන නිපදවනවා නම් ඒ අය අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ අයගේ කර්මාන්ත සඳහා සපයා ඇති විදුලිය විසන්ධි කරන්න ඕනේ. ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ අත්අඩංගුවට ගන්න ඕනේ. නමුත් මධ්‍යම පරිසර අධිකාරියට ඒ සඳහා නීති ප‍්‍රතිපාදන නැහැ. හිටපු ජනාධිපති පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කරලත් හරිහැටි නීතියක් ඒ සඳහා හදාගන්න බැරි වීම අපේ වරදක් ද ?

මේ ආණ්ඩුවටත් කසළ කළමනාකරණය පිළිබඳ පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති නම් අප රජයෙන් ඉල්ලා සිටින්නේ අපට වසර පහක් මේ සඳහා ලබාදී පොලිතීන් තහනම් කරන ලෙසයි.

ප‍්‍රශ්නය – වසර පහක් ඉල්ලන්නේ කුමක් සඳහා ද ?

පිළිතුර – ඒ වෙන මොකටවත් නෙවෙයි. අපේ ණය ටික පියවෙලා දාන්නයි. මේ කර්මාන්තකරුවන් සෑම දෙනා පාහේ බැංකුවලට ණය වෙලා තමයි මෙම කර්මාන්තය කරගෙන යන්නේ. අප කියන්නේ අපට ඒ සඳහා වසර පහක් ලබාදී පොලිතින් තහනම මුළුමනින්ම තහනම් කරන්න වුණත් ආණ්ඩුවට ඕන නම් පුළුවන්. ඔය කතාව අපි 2016 දීත් කිව්වා. එහෙම කළානම් 2021 වනවිට පොලිතින් නිෂ්පාදන අවසන් කරන්නත් තිබුණා.

ප‍්‍රශ්නය – පොලිතීන් ජනතාවට අත්‍යවශ්‍යම අංගයක් වෙලාද?

පිළිතුර – මිනිසුන් දැන් සෑහෙන්න කාර්යබහුල වෙලා. එම නිසා ඔවුන්ට වැඩ කිරීමට ඇති කාලය සීමා වෙලා තිබෙනවා.

දැන් පොලිතීන් වලට කියන්නේ පොලිතින් මාරයා කියලා. ඔය කියන මාරයා ලෝකයට හොයා නොගත්තා නම් අද වෙනකොට කොල හදන්න ගස් කීයක් කපා බිම හෙළන්න වෙලා තිබේවිද? එමගින් ජල මූලාශ‍්‍ර කොපමණ සංඛ්‍යාවක් විනාශවෙලා තිබේවිද ?. පොලිතින් සෑදීම සඳහා භාවිතා කරන බලය වගේ තුන් ගුණයක බලයක් කොල නිෂ්පාදනය කිරීම සඳහා යොදන්න වෙනවා. එය ගෝලීය උෂ්ණත්වයට බලපාන්නේ නැද්ද? නිසි ලෙස භාවිත කරනවා නම් පොලිතීන් කියන්නේ හොඳ දෙයක්.

පොලිතින් මාරයා කියන ගුලියට හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අහු වුණා. එමගින් වුණේ පරිසරයට තවත් හානියක් පමණයි. ඒකෙ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ අපිට. ඔය නිලධාරීන් අලූත් ඇමැතිතුමාටත් ඔය ගුලිය ගිල්ලවන්න හදමින් සිටිනවා. අප ඇමැතිතුමාට කියන්නේ පසුගිය රජය මේ සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ සමාලෝචනය කර නිවැරදි තීන්දුවකට එන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More