පුරවැසි කොලම

බිම් තැන්න පුරා පැතිරුණු බඩඉරිඟු වගාව නෙතට පිය දසුනකි. තැනක මල් පූදින බඩඉරිඟු පඳුරුය. තව තැනක කරල් බර වූ බඩඉරිඟු පඳුරුය. ඒ අතරේ අස්වැන්න නෙළන ගොවීන් ළහි, ළහියේ වැඩය. ගිනියම් අව් රශ්මිය ඔවුන්ට අභියෝගයක් නොවේ. එහෙත් බඩඉරිඟු පඳුරු වියළී පර`ඩැල් වන තරමට පෑවිල්ල තදය. බඩඉරිඟු හේන්වල පමණක් නොව, විවිධ වගා බිම්වල චණ්ඩ හිරු සමඟ පොරබඳිමින් දහඩිය වගුරුවන ගොවීහු සියඹලාණ්ඩුවේ අප සිටින මේ ඉසව්වේ සුලබ වූහ.

අතීතයේ සිට පැවත එන හේන් වගාව ජීවිකාව කරගත් ගොවීහු දහස් ගණනක් සියඹලාණ්ඩුවේ අදටත් ජීවත් වෙති. මේ වන විට එම ගොවීන්ගේ ප‍්‍රධාන වගාව බවට පත් වී ඇත්තේ බඩඉරිඟුය. සියඹලාණ්ඩුව බල ප‍්‍රදේශයේ දනගිරිගම, කොටාගොඩ, මහකලූගොල්ල, කෝටියාගල, ඇතිමලේ සහ බුද්ධම වැනි ප‍්‍රදේශවල ප‍්‍රධාන වගාව බවට පත්ව ඇත්තේ බඩඉරිඟුය. දැන් අප සිටින්නේ මහකලූගොල්ලේ බඩඉරිඟු වගාවකය. බඩඉරිඟු අස්වැන්න නෙළමින් සිටි සිරිල් බන්දුල හපමින් සිටි බුලත් හපේ විසි කරමින් ලොකු කතාවකට මුල පිරුවේය.

badaerigu2‘‘මම කන්නයකට අක්කර විසිපහක් බඩඉරිඟු වගා කරනවා. සාමාන්‍යයෙන් අක්කරයකට රුපියල් හැටදාහක් විතර වියදම් වෙනවා. බඩඉරිඟු වගා බිමක් හදන්න දෙපාරක් සීසාන්න ඕනෑ. ඒකට රුපියල් 10,000 ක් යනවා. ඇට පැකට් එකක් රුපියල් හත්දාහස් අටසීයක් විතර වෙනවා. ඇට දාන්න කුලීකරුවන් පහක් විතර ඕනෑ. නවීන තාක්‍ෂණය යොදාගෙන බීජ හිටවන්න අක්කරයකට රුපියල් දෙදහක් යනවා. ඒ එක්කම මඩ පොහොර දාන්න ඕනෑ. ඇට පැළ වුණහාම වල් පැල උදලූ ගාලා පස් දාන්න ඕනෑ. නැති නම් වල් නාශක

ගහන්න ඕන. යූරියා, රතු කුඩු වගේ දේවල් දාන්න ඕනෑ. මාස හතරක් විතර යනකොට කරල් පැහිලා අස්වැන්න නෙළන තත්ත්වයට පත් වෙනවා. වගාවට උචිත දේශගුණික තත්ත්වයක් යටතේ කෘමි උවදුරුවල බලපෑමක් නොවෙන්න අක්කරයකින් රුපියල් පනස්දාහක, හැටදාහක ශුද්ධ ලාභයක් ගන්න පුළුවන්. ගිය කන්නයේ මම අක්කර විසිපහම වගා කරලා රුපියල් ලක්‍ෂ දහතුනක විතර ලාභයක් ගත්තා. අක්කරයක්, දෙකක් වගා කරලා ලොකු ලාභයක් ගන්න බෑ. කන්නයකින් ගෙදර වියදමවත් පියවගන්න ආදායමක් ලැබෙන්නෙ නෑ…‘’ මහකලූගොල්ලේ බන්දුල වතුර බෝතලයක් කට තියාගෙන එක හුස්මට බාගයක්ම බීගෙන ගියේය.

බන්දුලට බඩඉරිඟු වගාව ජය වේ. ගොවි ජීවිතය ව්‍යාපාරික ජීවිතයක් බවට දියුණු කරගෙන ඇත්තේ බඩඉරිඟු වගාව නිසාය. ප‍්‍රදේශයේ බඩඉරිඟු අස්වැන්න මිලට ගැනීමට මේ වන විට සියඹලාණ්ඩුව ප‍්‍රදේශයේ පිහිටි ආයතන තුනක්ම ඉදිරිපත් වී සිටින බැවින් එම කර්මාන්තශාලා අතර ඇති තරගකාරීත්වය මත බඩඉරිඟු ගොවීන්ට සාධාරණ මිලක් ලැබෙමින් තිබෙන බව ද ගොවීහු අප සමඟ පැවසූහ. එමෙන්ම ඇතැම් අතරමැදි වෙළෙන්දන් වගාබිමටම පැමිණ රුපියල් දහයට මිලට ගන්නා බඩඉරිඟු කරල රුපියල් පහළොවට අනිත් පැත්තට විකුණන බව ද රහසක් නොවේ. රුපියල් පහළොවට ගන්නා බඩඉරිඟු කරල තම්බා පාර අද්දර තියාගෙන විකුණන වෙළෙන්දන් රුපියල් විසිපහට, තිහට මිල කරන බව ද නොරහසකි.

එමෙන්ම බඩඉරිඟු වගාවේ රස මෙන්ම නීසර බව ද අඩු වැඩි වශයෙන් තිබෙන බව සැබෑය. ඒ ගැන දුක හිතෙන කතාවක් අපට කීවේ කොටියාගල ප‍්‍රදේශයේ මහ වන මැද රජයේ කැලෑවල බඩඉරිඟු වගා කර ඇති, දොඹගහවෙල පදිංචි කේ. එල්. අනුරය. ඔහුට වයස අවුරුදු හතළිහකි. කුඩා කාලයේ සිට වගාවට අත්පොත තැබූ හේ දැන් ගොවි රජෙකි. මේ ඔහු කියන කතාවය.

‘‘රජයේ කැලෑවේ බඩඉරිඟු වගා කළාට මහ වනයට හානි කරලා නෑ. පිට්ටනි වගේ භූමි ප‍්‍රදේශ සීසාලා එක යායට ගොවියො දහ, පහළොස් දෙනෙක් අක්කර තිහ, හතළිහක් වගා කරනවා. අස්වැන්න නෙළනකම් හේන ආරක්‍ෂා කරගන්න නොසෑහෙන්න දුක්විඳින්න වෙනවා. හේනට යනකොට අලි, කොටි, වලස්සු මුණගැහෙනවා. සමහර වෙලාවට ඒ සත්තු හේනවලට කඩා පනිනවා. කරල් හැදෙන කාලේට වල් ඌරො රංචු පිටින් එනවා. ඌන්ගෙන් තමයි වගාව ආරක්‍ෂා කරගන්න අමාරු. පොළව සීසාන්න ගත්ත දවසෙ ඉඳලා පැල් කොට හදාගෙන හේනෙ තපින්න ඕන. පොදි බැඳගෙන ආපු අඩුම, කුඩුම ඉවරවෙනකොට තමයි නැවත ගමට යන්නෙ. ඇහැක් වගෙ වගාව ආරක්‍ෂා කරගෙන අස්වැන්න නෙළුවට ඔය කියන තරම් ලාභයක් ලැබෙන්නෙ නෑ. පහුගිය කාලේ සේනා දළඹුවා නිසා වගා විශාල ප‍්‍රමාණයක් විනාශ වුණා. ඒ කන්නයේදී අපි නන්නත්තාර වුණා. බැංකුවෙන් ලබාගත්ත වගා ණයවත් පියවගන්න බැරි වුණා…’’

වගාබිම්වල විඳින්නට සිදුවන දුක්ගැහැට, නෙළාගත් අස්වැන්නෙන් ලැබෙන ලාභ, අලාභ ගැන විවිධ කතා කියැවෙන අතරේ බඩඉරිඟු බීජ අලෙවි කරන සමාගම් අතර විශාල තරගයක් නිර්මාණය වී ඇති බව ද ගොවීහු අප සමඟ පැවසූහ. මේ වන විට විවිධ සමාගම් විසින් සියඹලාණ්ඩුව, ලාහුගල, මොණරාගල ප‍්‍රදේශවල ගොවීන්

රැස්කර කණ්ඩායම් නිර්මාණය කර ණය පදනම මත බීජ, පොහොර ලබාදීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මකම කර ඇති බව ද  ගොවීහු පැවසූහ. වගා ණය, වගා ක‍්‍රම, බීජ, පෙහොර ණය පදනම මත ලබාදෙමින් අවසානයේ එම සමාගම් විසින් තුට්ටු දෙකට තම බඩඉරිඟු අස්වැන්න මිලට ගන්නා බව ද ඇතැම් ගොවීහු අප සමඟ පැවසූහ. එම ප‍්‍රදේශවල ගොවීන්ට ණය පහසුකම් ලබාදී බඩඉරිඟු වගාවට පොළඹවන බොහෝ ආයතන බහුජාතික සමාගම්ය.

‘ගහටයි කරලටයි දෙකටම සල්ලි… ඔබේ බඩඉරිඟු වගාවට දින 70-75 ක් නම් මුළු අස්වැන්නම ගස් පිටින් අපිට දෙන්න… පැල් රකින්න, ඇට කරන්න, වියළන්න, මිටි කරන්න ගිය කායලත්, මුදලූත් ශ‍්‍රමයත් ඉතිරියි… දේශගුණය මොනව වුණත් තෙතමනය ගැන දැන් වගක් නෑ. ඒ නිසා කොහෙත්ම අවධානමක් නෑ… වැඩි වැඩියෙන් බඩඉරිඟු වගා කරන්න. කිසි දේකට බය වෙන්න එපා…’ එවැනි වැකි සහිත අත් පත‍්‍රිකා විවිධ සමාගම්වල නමින් මොණරාගලත්, සියඹලාණ්ඩුවෙත් ලාහුගල ප‍්‍රදේශවලත් ගොවීන් අතර බෙදාහැර තිබියදී අපට ලැබිණි. ඌව, වෙල්ලස්සේ මොණරාගල, සියඹලාණ්ඩුව පමණක් නොව නැගෙනහිර මායිමේ ලාහුගල, උතුරු මැද ප‍්‍රදේශ ඇතුළුව මෙරට පුරාම වියළි කලාපයේ ප‍්‍රධාන බෝගය බවට පත් වී ඇත්තේ බඩඉරිඟුය. මේ වන විට වියළි කලාපයේ ගොවීන් අතර බඩඉරිඟු වගාව මේනියාවක් බවට පත් වී ඇති බව නොරහකි. ඒ වැඩි ලාභයක් ලැබෙන නිසාම නොවේ. බහුජාතික සමාගම් විසින් බඩඉරිඟු වගාවෙන් නොලැබෙන වාසිත් ගොවීන්ගේ මොළ ගෙඩි තුළට ඔබ්බන නිසාය. පාරම්පරික ගොවි ගම්මාන තුළ බඩඉරිඟු වගාව තවදුරටත් ප‍්‍රචලිත කිරීමට බහුජාතික සමාගම් විසින් අසාමාන්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් දියත් කර ඇති නිසාය.

බඩඉරිඟු මෙරට පරම්පරික බෝගයක් බව සැබෑය. එමෙන්ම එදා අපේ පැරැුන්නෝ බඩඉරිඟු වගා කරනු ලබුවේ හේන් ගොවිතැනක් විදිහටය. කරල් තුන, හතරක් තම්බාගෙන කෑමට ගැනීමටය. එදා හේන් ඉරිඟු කරලේ රස බැලූ ගැමියා මෙන්ම රට වැසියා අද කන්නෙ දෙමුහුන් බඩඉරිඟුය. දේශීය බඩඉරිඟු කරලක් බෙහෙතකටවත් සොයාගැනීමට නැත. එමෙන්ම මේ වන විට බහුල වශයෙන් බඩඉරිඟු වගා කෙරෙන්නේ පහත් බිමවලය. කුඹුරු ඉඩම්වලය. දුටුගැමුණු රාජ්‍ය පාලනය යටතේ සද්ධා තිස්ස කුමාරයා අස්වැද්දූ ඌව වෙල්ලස්ස කුඹුරුවලය. සද්ධාතිස්ස කුමාරයාගේ වගා සංග‍්‍රාමය දැක, දුටුගැමුණු රජු සතුටු වී ‘දැන් ඇති මාලේ’ කියා නතර කරන ලෙසට අණ කළ වර්ථමානයේ ඇතිමාලේ නමින් හැඳින්වෙන ප‍්‍රදේශයේ ඉපරැුණි කුඹුරු ඉඩම් මේ වන විට බඩඉරිඟු වගා බිම් බවට පරිවර්ථනය වී හමාරය. ග‍්‍රාම නිලධාරී වසම් හතළිස් අටකින් යුත් සියඹලාණ්ඩුවේ වසම් විස්සකට වැඩි භූමි භාගයක බඩඉරිඟු බහුලව වගා කෙරේ. එහෙත් ලාහුගල බඩඉරිඟු වගා කෙරෙන්නෙ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී වසම් හතරක පමණි. ලාහුගල හුළංනුගේ ප‍්‍රදේශයේ අක්කර පහක බඩඉරිඟු වගා කර තිබෙන මැදිවියේ ගොවි මහත්මයෙක් ලාහුගල බලප‍්‍රදේශයේ බඩඉරිඟු වගා බිම් අඩු වීමට හේතුව අපට පැහැදිළි කළේය.

‘‘මේ ප‍්‍රදේශවල වැඩිපුර ජීවත් වෙන්නෙ මුස්ලිම් මිනිස්සු. ඒ මිනිස්සු බඩඉරිඟු වගා කරන්නෙ නෑ. වී ගොවිතැන විතරයි කරන්නෙ. අලූතිනුත් කැලෑ කපලා කුඹුරු ඉඩම් අස්වද්දනවා. අපේ මිනිස්සු කුඹුරු ඉඩම්වලත් බඩඉරිඟු වගා කරනවා. මම නම් කුඹුරුවල බඩඉරිඟු දැම්මෙ නෑ. කුඹුරු ටික කරලා ගොඩ ඉඩම්වල බඩඉරිඟු දැම්මා. වෙනත් වගාවන්ට සාපේක්‍ෂව බඩඉරිඟු වගාවෙන් ලැබෙන අස්වැන්න වැඩියි. කෙටි කාලයකින් අස්වැන්න ලැබෙන නිසා බඩඉරිඟු ගොවීන් අතර නිතර මුදල්

ගැවසෙන බවත් ඇත්ත. ඒත් වැඩියෙන්ම ලාභ ලබන්නෙ බඩඉරිඟු කරල් මිලට ගන්න ආයතන. ගොවීන්ට වගා ණය, බීජ, පොහොර දීලා අස්වැන්න තුට්ටුවට ගන්නවා. බඩඉරිඟු වගාවේ විතරක් නෙමෙයි හැම වගාවකම නෙළන අස්වැන්නෙන් වැඩි ලාභ ගන්නෙ මහන්සි වෙන ගොවීන් නෙමෙයි, අතරමැදි වෙළෙන්දෝ. අපි ළිඳ කපලා දෙනවා. වෙළෙන්දො ඇවිත් අපිට කියලා වතුර ඇදලා හොඳ හැටි නාගෙන යනවා. ඕක තමයි ඇත්ත කතාව. රජය මැදිහත් වෙලා මේ ක‍්‍රමය වෙනස් කළොත් මේ රටේ ගොවීන්ට පැහැදිළි අනාගතයක් තියෙනවා. නැති නම් අපේ දරුවෙක්වත් ගොවිතැනට එන්නෙ නෑ. ඒ තරමට වගාව එපා වෙලා තියෙන්නෙ…’’ ඔහු කියන කතාව පැහැදිළිය. කාලයක සිට මෙරට ගොවියො මතුරන මන්තරය ද එයයි. එහෙත් මෙරට පාලනය කළ පාලකයන්ට සහ තීන්දු තීරණ ගත් අදාළ නිලධාරීන්ට නොතේරෙන හරුපයත් එයමයි.

එමෙන්ම ලාහුගල මුස්ලිම් ගම්මාන ඇසුරෙහි පමණක් නොවේ කල්මුණේ, අක්කරෙයිපත්තුව, යාපනයේ ගොවි ගම්මාන තුළ ද බඩඉරිඟු වගා බිම් දකින්නට ලැබෙන්නෙ කලාතුරකිනි. සටකපට බහුජාතික සමාගම් විසින් බහුල වශයෙන් බඩඉරිඟු වගාව ප‍්‍රචලිත කිරීමට වලි කන්නෙ සිංහල බෞද්ධ ගොවි ගම්මාන ඇසුරෙහිය. අපේ මිනිස්සු ද තුට්ටු දෙකේ වාසියට වී ගොවිතැන අතහැර බඩඉරිඟු වගාවට යොමු වෙමින් සිටිති. මුස්ලිම්, දෙමළ මිනිස්සු බහුල ගොවි ගම්මාන ඇසුරෙහි වී

ගොවිතැනට ප‍්‍රමුඛස්ථානය ලබාදෙමින් තව, තවත් පහත් බිම්වල කැලෑව විනාශ කරමින් කුඹුරු අස්වද්දමින් සිටිති. එම ගොවිබිම් තුළ දෙමුහුන් බඩඉරිඟු වගාවට කිසිදු ඉඩක් නොලැබෙන බව සැබෑය.

මේ රට යටත් විජිතයක් බවට පත් කරගෙන සිටි ඉංග‍්‍රීසි ජාතිකයන් විසින් උඩරට ජල පෝෂක ප‍්‍රදේශවල මහ කැලෑව විනාශ කිරීමට එම ප‍්‍රදේශවල ෆයිනස්, ටර්ෆන්ටයින් වැනි ආක‍්‍රමණික වගාවන් ප‍්‍රලිත කළේය. විශාල වශයෙන් භූගත ජලය උරා ගන්නා එම ශාකවල ව්‍යාප්තිය හේතුවෙන් කන්ද උඩරට ජල පෝෂක ප‍්‍රදේශවලට විශාල තර්ජනයක් සිදු වී ඇති බව සැබෑය. එමෙන්ම බහුජාතික සමාගම් විසින් බිබිලේ දේශීය දොඩම් වගාව විනාශ කළේය. මේ වන විට බහුජාතික සමාගම්වල ඉලක්කය වී ඇත්තේ රටට බත සපයන කුඹුරු නැති භංගස්ථානය කිරීමය. ඒ විනාශය සිද්ධ කිරීමට ද බහුල වශයෙන් බහුජාතික සමාගම් ක‍්‍රියාත්මක වෙමින් සිටින්නේ ඌව, වෙලස්සේය. දෙමුහුන් බඩඉරිඟු වගාව සීග‍්‍රයෙන් ව්‍යාප්ත වී ඇත්තේ ද ඌව, වෙලස්සේ කුඹුරු ඉඩම්වලය.

එමෙන්ම ලෝකයේ බඩඉරිඟු ඇට බහුල වශයෙන් යොදාගනු ලබන්නේ සත්ව ආහාර නිෂ්පාදනයට සහ ඇල්කොහොල් නිෂ්පාදනයටය. මෙරට බහුල වශයෙන් බඩඉරිඟු ඇට යොදාගනු ලබන්නේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහාය. ඇල්කොහොල් නිෂ්පාදනයට සහ මිනිසුන් පරිභෝජනය කරන ආහාර නිෂ්පාදනය සඳහා අඩු වැඩි වශයෙන් බඩඉරිඟු ඇට යොදාගන්නා බව ද රහසක් නොවේ. එමෙන්ම වෙනත් බෝගයන්ට සාපේක්‍ෂව බඩඉරිඟු වගාවෙන් වැඩි අස්වැන්න ලැබෙන බව ද සැබෑය. කෙටි කාලීනව අසවැන්න ලැබෙන නිසා ගොවීහු බඩඉරිඟු වගාවට වැඩි කැමත්තක් දක්වන බව ද පෙනේ. එහෙත් ඇල්කොහොල් නිෂ්පාදනය කිරීමට සහ සත්ව ආහාර නිෂ්පාදනය කිරීමට රටට බත සපයන පරම්පරික කුඹුරු විනාශ කර මේ කරගෙන යන දෙබිඩි බඩඉරිඟු වගාව ගැන අදාළ නිලධාරීන් මීට වඩා සැලකිළිමත් විය යුතුය.

එමෙන්ම තවම අපේ රටේ මිනිසුන් බඩගින්නෙ මැරෙන්නෙ නැත. එසේ වන්නේ රටේ ආශ්චර්යයක් නිසා නොවේ. අවුරුදු දෙදහස් පන්සීයක් පුරා පැවැති මහා කෘෂිකාර්මික ආර්ථික පදනම නිසාය. වී ගොවිතැන ප‍්‍රධානකොට නිර්මාණ වී ඇති කෘෂි ආර්ථික ක‍්‍රමවේදය නිසාය. තුන්වේලට බත් කන රටක් විදිහට දැනට ඉතිරි වී තිබෙන කුඹුරු ඉඩම් ප‍්‍රමාණය හෝ බහුජාතික බිල්ලන්ගෙන් ආරක්‍ෂා කරගැනීමට ඉක්මන් නොවෙන්න මෙරට ජනතාවට සිදු වෙන්නෙ බත් වෙනුවට බඩඉරිඟු කා ඇල්කොහොල් බීමටය.

එසේ නොවෙන්න අපේ මේ වෑමය අසරණ බඩඉරිඟු ගොවීන්ගේ බඩට ගැසීම නොවේ. බඩඉරිඟු වගාවක දවස තිස්සෙ නැහිලා සොච්චම් මුදලක් උපයාගන්නා කුලීකරුවන්ගේ රස්සාව නැති කිරීම ද නොවේ.

ගොවීන්වත් ආරක්‍ෂා කරගෙන දැනට ඉතිරි වී තිබෙන රටේ කුඹුරු ඉඩම් ටික ආරක්‍ෂා කරගැනීම පමණි…

* තරංග රත්නවීර
ලාහුගල දිසානායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More