පුරවැසි කොලම

කොවිඩ්19 වෛරසය දෙවැනි රැල්ල මතුවූයේ නිට්ටඹුව ඇඟලුම් කර්මාන්තයක් අශ්‍රිතව ඇතිවූ පොකුරෙනි. එය තවත් තීව්‍ර කරමින් පෑලියගොඩ මත්ස්‍යය වෙළෙඳ පොළ ආශ්‍රිතව තවත් පොකුරක් මතුවුනි. එතැන් සිට දිනෙන් දින වෛරසය ආසාදිතයන් ඉහළ ගණනින් බස්නාහිර පලාත ප්‍රමුඛව රට පුරා වාර්තා විය. එම කොවිඩ්19 පොකුරු මතුවන විට විපක්ෂයට “පොකුරු පොකුරු මල් සැනකෙලි” උදාවූ ආකාරයෙන් හැසිරෙන විට ආණ්ඩුව සහ රජයේ පාර්ශවයෙන් රූපවාහිනී “ටෝක් ෂෝ” හැර මහජනයාගේ ඇඟට දැනෙන නිෂ්චිත කොව්ඩ්19 මර්ධන වැඩ පිළිවෙලක් ඉදිරිපත් වූයේ නැත. අනිත් අතට ඖෂධ සමාගම් එකා පරයා එකා ඉදිරියට යමින් “ඔන්න බෙහෙත්, මෙන්න බෙහෙත්” කියමින් මැජික් සංදර්ශනද ඉදිරිපත් කළහ. ලෝක සෞඛ්‍යය සංවිධානය පැත්තෙන්ද රෝගය මර්ධනය සම්බන්ධයෙන් හෝ නිෂ්චිත ඔසුවක් සම්බන්ධයෙන් සාර්ථක පිළිතුරක් ලෝකයට ඉදිරිපත් වූයේ නැත. එහෙත් චීනය රුසියාව කියුබාව වැනි රටවල් කොවිඩ්19 මර්ධනය සම්බන්ධයෙන් යම් සාධනීය මට්ටමකට ළඟාවී තම රටවල් “අලුත් සාමාන්‍යය” තත්වයකට ළඟා කරවා ගැනීමට ප්‍රශස්ත උත්සාහයක් ගෙන තිබුණි.

ලෝකය එසේ ඉදිරියට යද්දී අපේ රටේ සෞඛ්‍යය අංශ සහ ආණ්ඩුව කියන “කියුම් කෙරුම් කොටුවෙන්” පිටතට පැන, ආයුර්වේද වෛද්‍යයවරුන් ඇතුළුව දේශීය වෛද්‍යයවරුන් පවසන “හෙම්බිරිස්සා වෛරසය” තරම්වත් බලයක් නැති කොවිඩ්19 වෛරසය මර්ධනය තම තමන් සතු ඖෂධ සමාජය තුළ නිහඬව බෙදා දුන්හ. සමහරු එළැඹි තත්වය බොරදියේ මාළු බෑමට අවස්ථාවක් කර ගත්තද බොහෝ දේශීය සහ ආයුර්වේද වෛද්‍යයවරු තමන් සතු ඖෂධ ඉතාම සාධාරණව ආසාදිතයන්ට ලබා දුනි. අප පවසන මෙම සිද්ධිය සැබෑවක් බව තහවුරු වන්නේ සෞඛ්‍යය අංශ අහඹු පීසීආර් පරීක්ෂා රටේ තෝරාගත් ප්‍රදේශ වල කළ පසු ඉහළ මට්ටමේ අගයකින් ආසාදිතයින් හමුවූ සහ නැවත නැවත එවැනි අහඹු පරීක්ෂණ කළහොත් අලුතින් ආසාදිතයින් ඉහළ අගයකින් හමුවීමට තිබෙන ඉඩ කඩ ඉහළ හෙයිනි. එහෙත් එතරම් ඉහළ අගයකින් වෛරසය සමාජගත වී තිබෙන බව අහඹු පීසීආර් පරීක්ෂණ වලින් තහවුරු වී තිබුනද කොවිඩ් ආසාදිතයන් අසාද්‍යය තත්වයට පත් නොවන්නේත් මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පාලනය වී තිබෙන්නේත් දේශීය, ආයුර්වේද මෙන්ම වෙනත් බටහිර නොවන ගුරුකුළ වලට අයත් වෙදකම් නිසා නොවේ යැයි කිසිවෙකුට කිව නොහැක.

කොවිඩ්19 වෛරසය වතුපිටිවල රෝහලේ වෛද්‍යය කණ්ඩායම

සිදු වීම් මෙසේ පෙළ ගැසෙද්දී තමා කෙදිනක හෝ තම මව් තම්බා දුන් ඉඟුරු කොත්තමල්ලි වල ආනුභාවයෙන්, පස් පංගුව පැකට්ටුවේ ආනුභාවයෙන් වැළඳුනු හෙම්බිරිස්සා උණ ඇතුළු සිරුරේ ඇතිවූ අසනීප තත්වයන් සමනය කරගත් බව මතක තිබූ වතුපිටිවල රෝහලේ වෛද්‍යය කණ්ඩායම “කොටුවෙන් පිට පැන” කළ කොවිඩ්19 වෛරස ආසාදිතයින් සුවපත් කිරීමට ගත් ක්‍රියා මාර්ගය ගම්පහ රෝහලේ විශේෂඥ වෛද්‍යය මහාචාර්ය අරුණ මුණසිංහ ඇතුළු ජාතික රෝහලේ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරිය විසින් අනුමත කරමින් දිරිමත් කළ හෙයින් කෑගල්ල හෙට්ටිමුල්ලේ ඩී එම් ධම්මික බංඩාර මහතා සොයා ගත් කොවිඩ්19 වෛරසය නසන ඖෂධය රාජ්‍යය අනුග්‍රහයෙන් බටහිර විද්‍යානුකූලව පර්යේෂණ කරන මට්ටමේ පවතින අතර මේ තරම් දුරකට මෙම ඖෂධය සම්බන්ධව ධෛර්යවන්තව මූලික කටයුතු පෙලගැස්වූ දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමණ මහත්වරුන්ගේ දායකත්වය ජාතියේ සම්භාවනාවට ලක් විය යුතුය.

කරුණු එසේ වුවද දැන් එළැඹී ඇත්තේ කොවිඩ්19 වෛරසයට වතුපිටිවල රෝහලේ වෛද්‍යයවරුන් මූලික වී විද්‍යාත්මකව මූලික වශයෙන් තහවුරු කරගත් ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය නසන පැණිය භාවිතයට ගන්නවාද නැතිද යන “මහා බාධක ගල් පරයේ” අපහසුම අදියරටයි. එනම් ඖෂධය රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍යය පීඨයට යොමු කර ඇත්තේ ඖෂධය හඳුන්වා දී ඇත්තේ ආචාරධර්මානුකූලවද සොයා බලන “ආචාරධර්ම සමාලෝචන කමිටුවට” ය.

කොවිඩ්19 වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය කඩා වැටෙනවා යැයි බොහෝ ආර්ථික විශේෂඥයන් පවසා සිටිද්දී අතලොසක්වූ ආර්ථික විශේෂඥයන් කරුණු සහිතව ලෝකයට ඔප්පු කර සිටියේ ලෝකයේ ආධිපත්‍යය දරා සිටින නව ලිබරල්වාදී ආර්ථිකය කොවිඩ්19 වෛරසය මතු වීමටත් පෙර සිටම කඩා වැටීම ආරම්භ වී එම වෛරසය මතුවන කාලය වන විට ලෝක ආර්ථිකය 75%කින් පමණ කඩා වැටී තිබුණු බවයි.

මාක්ස්-එංගල්ස්  නව ලිබරල් ආර්ථිකය  සහ කොවිඩ්19

මාක්ස්වාදයේ පියා වූ කාල් මාක්ස්ගේ 200 වන ජන්ම ශත සංවත්සරයේදී ලෝකයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් විසින් නැවත ඔහුගේ තිසීසයන් සමාලෝචනය කර ඇගැයීමට ලක් කරනු ලැබූහ. ඔවුන් එහිදී මාක්ස්-එංගල්ස් ඉදිරිපත් කළ “දාස් කැපිටාල්” හෙවත් “ප්‍රාග්ධනය” නම් දැවැන්ත ලියවිල්ල කාරනා පහකට සංක්ෂිප්ත කර නව ලෝකයේ අවධානය කෙරෙහි යොමු කරණු ලැබූහ.. එම කරුණු පහ නම්,

1) ධනපති ආර්ථික මොඩලය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යය වන “අත්‍යාවශ්‍යය නොවන” භාන්ඩ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීම සහ ඒවා මිළදී ගැනීමට හැකියාව ඇති මධ්‍යයම පන්තියක් නිර්මාණය කිරීම..
2) එම ක්‍රියාවලිය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා දැවැන්ත අධි නිෂ්පාදනයක් ඇති වීම.
3) එම අධි නිෂ්පාදනය තව දුරටත් විකුණා ගැනීමට තරම් වෙළෙඳ පොල පුළුල් නොවන ලෙස මධ්‍යම පන්තිය සිරවීම..
4) අධි නිශ්පාදනය මිලදීගැනීමට නොහැකිවීම සහ ඊට සමාන්තරව ආර්ථිකය කඩා වැටීම.
5) පවත්නා සමාජ ආර්ථික මොඩලයන්ගේ වෙනස්වීම ඉල්ලා පොදු ජනයා අරගල කිරීම(සමාජවාදී විප්ලවය )
විප්ලවය යන ක්‍රියාවලිය හැරුනු කොට අනෙක් කරුණු හතරම මේ වන විටත් ඔප්පු කර ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ.

නව ලිබරල් ආර්ථිකය පවත්වාගෙන යාමේ මෙහෙවර කරපින්නාගත් කපිතාන්වරු කීර්තිමත් ආර්ථික විශේෂඥයන්ගේ පුරෝකතනයන්ද අධ්‍යයනය කර ඔවුන්ගේ විනාශය තවත් කෙටි කාලයකට කල් දැමීමට ආශීර්වාදයක් ලෙස පැන නැගුණු තත්වය(බොහෝ ප්‍රගතිශීලී බුද්ධිමතුන්ට අනුව කොවිඩ්19 යනු හිතා මතා පතුරුවා හැරි වෛරසයකි ) තම වාසියට හරවා ගත්හ. මේ වන විට කොවිඩ්19 වෛරසය මැඩ පැත්වීමට නිපදවන නොයෙක් විෂ බීජ නාශක, අත් ආවරණ , මුඛ ආවරණ ආදී වෛද්‍යය ක්ෂේත්‍රයට අදාල වන්නාවු දෑ නිපදවන සමාගම්වල ලාභ රේට්ටුව ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. ලංකාව සම්බන්ධයෙන් ගත් කළ කොටස් වෙළෙඳ පොලේ පසුගිය ජූලි මස වන විට කොටසක් රුපියල් 3කට අලෙවි වූ ශ්‍රී ලංකාවට භාන්ඩ ප්‍රවාහනය කරන සමාගමක කොටසක මිල පසුගිය දිනවල රුපියල් 30කට අලෙවි වී තිබේ. කරුණු සොයා බැලීමේදි එම සමාගම ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කළ භාන්ඩ අතර වැඩිපුරම ඇත්තේ වෛද්‍යය උපාංග බව අනාවරණය විය. එම සමාගමේ ලාභය එන්න එන්නම ඉහළ යාම මෙම තත්වයට බලපා ඇති බව කොටස් වෙළෙඳ පොල ආයෝජකයන්ගේ මතයයි.ඖෂධ ප්‍රවාහනය කරණ සමාගමේ ලාභය එලෙස නම් ඖෂධ ගෙන්වන සමාගම් වල තත්වය කෙසේ වේදැයි සිතා ගැනීමට පුළුවන.

ලංකාවේ තත්වය එසේ වන විට ලෝක ඖෂධ සමාගම් වල ලාභය ගැන අමුතුවෙන් කිව යුතු නැත.
ලෝකයේ ඖෂධ සමාගම් කොවිඩ්19 වෛරසය නැසීමේ ඖෂධ සෙවීමේ තරඟයේදී එකා පරයා එකා නැගී සිටීමේ උත්සහා ගන්නා බව නොරහසකි.මේ සමාගම් අතරින් ෆයිසර් නම් බහු ජාතික සමාගම තරඟයේ ඉදිරියට ඇති බවක් පැහැදිලිවේ. දැන් දැන් අපේ රටේ ඖෂධ ගෙන්වන සමාගම්ද ඖෂධ ගෙන්වීම ජාවාරමක් කරගත් රජයේ නිළධාරි පැලැන්තියද එළි බහින කාලය එළඹ තිබේ. ඒ අනුව කුමන හෝ ඖෂධයක අවශ්‍යයතාවය රට කරවන උදවිය ඉදිරියේ නිර්මාණය කිරීමට අවශ්‍යය ආපදා තත්වය ඕනෑවටත් වඩා නිර්මාණය කර දී තිබේ. නිවෙස් තුළ මිය යන කොවිඩ්19 වෛරසය ආසාදනය වූවන්, මහ මඟ මිය යන ආසාදිතයන්, කොවිඩ් වෛරසය වැළඳුනද පීසීආර් පරීක්ෂණ වලට ඉදිරිපත් නොවන අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් කොවිඩ්19 වෛරසයට “කුමන හෝ ඔසුවක් ” අවශ්‍යය යැයි යන භීතිය පාලක මනස තුළ ගොඩ නගා අවසන්ය.

ප්‍රචාරක බල ඇණි සහ තීරක මට්ටමේ නිළධාරිහු

ඊට සමාන්තරව පසුගිය කාලය පුරා යහපාලන ආණ්ඩුවේ ප්‍රචාරක බල ඇණි ලෙස කටයුතු කළ විවිධ පුද්ගලයෝ සහ කල්ලි කණ්ඩායම් සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ වැඩට බැස ඇත. මොවුනට තවම ෆයිසර් වැනි සමාගමකින් මුදල් ගෙවීම් නොකෙරුනද එම සමාගම් වල ඖෂධ මෙරට ආසාදිතයන් වෙත ලබා දීමට කටයුතු සකස් කරමින් සිටින සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඇතුලු විවිධ අමාත්‍යාංශවල සිටින තීරක මට්ටමේ නිළධාරිහු මෙහෙයුමට බැස ඇති බව නම් ඉතා පැහැදිලිය.
වතුපිටිවල රෝහලේ වෛද්‍යයවරු මූලික වී සාර්ථකව අත්හදා බැලූ ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය ඇත්තේ මහා බාධක ගල් පරයක් හමුවේ යැයි අප පවසන්නේ එබැවිනි.

ග්ලයිෆොසෙට් වල් නාශකයට එරෙහිව සාර්ථක සටනක් කිරීමට මහාචාර්ය චන්න ජයසුමනට හැකි වූයේ ඔහු ඒ සටන නිවැරැදිව දේශපාලනිකව පෙලගැස්වූ හෙයිනි. කොවිඩ්19 වෛරසයට එරෙහිව නිපදවූ පැනියද ඔහු මූලික වී රජයේ රෝහල් වලට හඳුන්වා දුන් සුදර්ශනී පැනියද මෙතරම් දුරකට රැගෙන ආවේ, ඔහු විසින් ක්‍රියාවලිය නිවැරැදි දේශපාලන ක්‍රමවේදයකට අනුව පෙල ගැස්වීමෙනි. මෙහිදි ආයුර්වේද රාජ්‍යය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා දැක්වූ දායකත්වයද සුලු පටු නැත. නමුත් දැන් ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍යය පීඨයේ “ආචාර ධර්ම කමිටුවට” යොමු කර ඇත්තේ විධිමත්ව අවසරගත් වට්ටෝරුවක් මගින් ඖෂධය නිපදවා ඇතිද , එම ඖෂධය මිනිසාට දීමට පෙර විධිමත් පර්යේෂණ වලට ලක් කළේද වැනි බටහිර වෛද්‍යය විද්‍යානුකූල ක්‍රමවේදයට අනුව සිදුව ඇතිද යන්න බැලීමටය.

කොවිඩ්19 වෛරසයට ඖෂධ යනු ඩොලර් ට්‍රිලියන ගනණක ගනු දෙනුවකි. එය එක් රැයකින් අවසන් වන ගනු දෙනුවක්ද නොවේ.මෙවැනි සුවිශාල වෙළෙඳ පොලක් එක් රැයකින් නිර්මානය කළ එකක්ක්ද නොවේ. මල මිනී මතින් ආපදා භීතිකාව මත පිහිටවූ වෙළෙඳ පොලකි. එහෙව් වෙළෙඳ පොලක් මේසන් බාස් (සමහරුට අනුව ඔහු වඩු බාසුන්නැහැ )කෙනෙකු වූ කට්ටඬියෙකු නිපදවූ මූලික වටයේ සාර්ථක වූ පහසුවෙන් නිපදවූ පැණියකින් සුවපත් කිරීමට හැකි බව පිළිගෙන ආසාදිතයන්ට ලබා දුන හොත් බහු ජාතික සමාගමට සිදුවන පාඩුව එසේ මෙසේ නොවේ.

කොවිඩ්19 වෛරසය: හෙම්බිරිස්සා වෛරසය තරම්වත් බලයක් නැත

අනෙක් අතට “හෙම්බිරිස්සා වෛරසය තරම්වත් බලයක් නැත.” යනුවෙන් ගොඩ නගන දේශීය වෛද්‍යයවරුන්ගේ තර්කය ඔප්පු වීම සමගම බහුජාතික සමාගම කොවිඩ්19 වෛරසයට එරෙහිව නිපදවූ ඖෂධයට පමණක් නොව ඔවුන්ගේ සමස්ත ඖෂධ වෙළෙඳ පොලටම එල්ලවන්නේ මරු පහරකි. එබැවින් මෙතෙක් සුළි කුනාටු මැද්දෙන් සිසිර ජයකොඩිලා චන්න ජයසුමනලා නීතිමය අවසරය ලබා ගත හැකි වන ලෙස මෙහෙය වූ ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය “ආචාර ධර්ම කමිටුවේ” හැපී විසිරී යන්නට තිබෙන ඉඩ කඩ ඉතා ඉහළය. ලියුම්කරුට හැඟුණු පරිදි මෙම ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය ආයුර්වේද ක්‍රමවේදයට අනුව සුදුසුකම් පරීක්ෂා කර බැලුවේ නම් මෙසේ වීමට තිබූ ඉඩ කඩ ඉතා අවමය.ලැබීමට නියමිත රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍යය පීඨයේ “ආචාර ධර්ම කමිටුවේ” නිර්දේශ කුමක් වුවද වතුපිටිවල රෝහලේ මූලික පර්යේෂණ දත්ත වලින් දේශීය සහ ආයුර්වේද ගුරුකුල නගන තර්කය ඔප්පු වී හමාරය.

දැන් ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ රජයේ ආයුර්වේද වෛද්‍යය නිළධාරින්ගේ සංගමය රාජගිරියේදී කැඳවූ සමුළුවේදී ඉදිරිපත් කළ ආයුර්වේද දේශීය සහ වෙනත් ගුරුකුල වලට අයත් වෛද්‍යයවරු සතුව තිබෙන කොවිඩ්19 වෛරසය පහසුවෙන් නසන දේශීය ඖෂධ මහජනයාට පහසුවෙන් ගත හැකි පරිදි ආයුර්වේද වෛද්‍යය නිළධාරින්ගේ සංගමයේ නිළධාරීන් විසින් ප්‍රචලිත කර වීමයි.

හිටපු පලාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා

අපි අවසාන වශයෙන් හිටපු පලාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා සමඟ ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය භාවිතයට ගැනීමට මෙතෙක් කළ මෙහෙයුම සම්බන්ධව අදහස් විමසුවෙමු. එහිදී නිමල් කරුණාසිරි මහතා “ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය වතුපිටිවල රෝහලේ වෛද්‍යයවරු කළ පර්යේෂණයේදී අතිශය සාර්ථක බව ඔප්පු වුනා.මේ ඖෂධය විතරක් නොවෙයි දේශීය වෛද්‍යයවරු ආයුර්වේද වෛද්‍යයවරු ඇතුළු සියළු ගුරු කුලයන්ට අයත් වෛද්‍යයවරු පසුගිය අප්‍රේල් මාසයේ රාජගිරියට රැස්වූ සමුළුවේදි කොවිඩ්19 වෛරසය මැඩිය හැකි ඖෂධ විශාල ගනනක් ඉදිරිපත් කළා. එම ඖෂධ ඒ වෛද්‍යයවරු විවිධ ආකාරයෙන් අපේ සමාජය තුළ බෙදා හරිනවා.කුමන හෝ විදියකින් ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය බටහිර වෛද්‍යය කර්මය කරන රෝහලක සායනික පරීක්ෂාවට ලක්කලා. එයින් සමත් වූවා. දැන් එය “ආචාර ධර්ම කමිටුවට” යොමු කර තිබෙනවා. මෙම කමිටු වල රහත් වූ මිනිසුන් නැහැ. ඒ වගේම බහු ජාතික සමාගම් තමන් ඩොලර් ට්‍රිලියන ගනනක් ආදායම් ලබා ගැනීමට බලා පොරොත්තු ඇතිව නිපදවූ ඖෂධ ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය ඉදිරියේ කඳෝ පැනියන් නොවීමට කළ යුතු සියලු දේ කරනවා. ඩොලරයක් රුපියලකට මාරු කලොත් රුපියල් 180කට වැඩියෙන් ලැබෙනවා. ඒක නිසා අඩු ඩොලර් ගානකින් වැඩි රුපියල් ගණනක් මවා තම සමාගම් නිපදවූ ඖෂධය හිරු දුටු කඳෝපැනියන් නොවීමට අවශ්‍යය කටයුතු සම්පාදනය කිරීමට ඉඩ තිබෙනවා. අනෙක් අතට මොන කමිටුවක මොන තරම් උගත් විද්‍යාඥයෙක් මහාචාර්යෙක් සිටියද තමන්ගේ ඇතුලාන්තයේ තිබෙන ඊර්ෂ්‍යාව , කුහකකම ,ද්වේශය , වෛරය වැනි ගුණාංග මතුවී ජාතියක අරමුණු පෞද්ගලික පටු පරමාර්ථ ඉදිරියේ දියවී යාමට ඉඩ තිබෙනවා. ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය ආචාර ධර්ම කමිටුවෙන් සමත් වුවත් දේශීය දැනුම දිනුම්, කමිටුව ඉදිරීයේ ඩී එම් ධම්මික බංඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය මර්ධනයට සැදූ පැණිය අසමත් වුනත් දේශීය දැනුම දිනුම්. අසමත් වුනොත් බටහිර වෛද්‍යය ක්‍රමයේ ඇති අසමත් කම හොඳින් පැහැදිලි වෙනවා. කොහොම වුනත් මට කියන්න තියෙන්නේ රජයේ ආයුර්වේද වෛද්‍යය නිළධාරින්ගේ සංගමය සතුව ඩී එම් ධම්මික බංඩාර මහතා වැනිම තවත් කොවිඩ්19 වෛරසය නැසීමට ඖෂධ නිපදවූ වෛද්‍යයවරුන්ගේ දුරකතන අංක සහ ලිපිනයන් තිබෙනවා.ඒවා අවශ්‍යය අයෙකුට ලබා දිය හැකියි. එම ඖෂධ වලට “හෙම්බිරිස්සා වෛරසය තරම් වත් බලයක් නැති” කොවිඩ්19 වෛරසය නැසීමට හැකියාව තිබෙනවා. ඔවුන් සියළු දෙනාම අවශ්‍යය අයෙකුට එම ඖෂධ ලබා දීමට සැදී පැහැදී සිටිනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More