පුරවැසි කොලම

මෙරටට සිදු කරන ආනයනය දැඩි ලෙස සීමා කර ඇතත්, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය
තවමත් ඉහළ මට්ටමක පවතින ආකාරය දැකගත හැකිවේ.

ඉකුත් මාසයක කාලය සැසඳීමේදී ඉකුත් නොවැම්බර් මස 11 වනදා, රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අවම අගය වාර්තා කරමින් 184.51 ක් ලෙස සටහන් විය.

ඉකුත් නොවැම්බර් මස 20 වනදායින් පසු මේ දක්වාම රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය 185 සීමාවේම පැවැති ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකිය.

රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ ඉහළම අගය වාර්තා කළේ ඉකුත් දෙසැම්බර් 03 වනදායි. එය දැක්වුණේ රුපියල් 186.87 ක් ලෙසයි. ඊයේ(11) දිනයේදි ද, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 185.90 ක් ලෙස සටහන් විය
.
ආනයන සීමා කර ඇති පසුබිමකත්, මෙලෙස රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යන්නේ මන්දැයි, ‘නෙත් නිවුස් ‘ආර්ථික විශ්ලේෂකයින්ගෙන් විමසීමක් කර තිබිණ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන, ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන එහිදී කියා සිටියේ ආනයන සීමා කිරීමෙන් පමණක් රුපියල ශක්තිමත් කළ නොහැකි තත්ත්වයක් රටේ පවතින බවයි.

      ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන

ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයා ගන්නා ක්‍රමවේද වෙනස් කර, නව උපාය මාර්ගයන් තෝරා ගැනීමට දැන් කාලය එළඹ ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය
කොතරම් ආනයන සීමා කළද, තවදුරටත් අත්‍යවශ්‍ය ආනයන වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ද මෙහිදී පෙන්වා දුන් ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන, ඉන්ධන, ඖෂධ හා ඇගළුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ අතරින් ප්‍රධාන බව සඳහන් කළේය.

ඒ අනුව රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම සඳහා තවදුරටත් ආනයන සීමා කිරීම පමණක් එකම විසඳුම බවට පත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන අවධාරණය කර සිටියේය.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඞ් කබ්රාල් පැවසුවේ, ආනයන සීමා කිරීමට ගෙන ඇති තීරණයේ වෙනස් කිරීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.
රථවාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් ද, මේවනතෙක් පැන නැගී නොමැති බව ඔහු පැවසිය.
“ටී.වී. දෙරණ“ 24 පැය නාලිකාව ඔස්සේ විකාශය වන “ බිග් ෆෝකස්“ වැඩසටහනට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් තවදුරටත් පැවසුයේ, රථවාහන ආනයනය තහනම් කිරීමට ගත් තීරණය ලිහිල් කිරීමේ අවශ්‍යතාවක් මේ වන තෙක් පැන නැගී නොමැති බවයි.

 අජිත් නිවාඩ් කබ්රාල්

අසන ලද ප්‍රශ්ණ වලට රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.
ප්‍රශ්නය:
සල්ලි අච්චු ගහල ද 2021 මේ අයවැය හිඟය මකා ගන්න යන්නේ ?

කබ්රාල් :
“ඒ ආණ්ඩුව ණය අරගෙන ත්‍රිලියන 7 තිබුණ ත්‍රිලියන 13 බවට පත් කරලා රුපියල අව ප්‍රමාණය කරලා පොළී අනුපාතය වැඩි කරලා කලබල වෙන්න තත්ත්වයක් ඒ අය මවලා දුන්නා. ඒකෙන් කියවෙන්නේ නෑ අපිත් කලබලවෙලා එහෙ මෙහෙ දුවනවා කියලා. අපි ඒකට මුහුණ දෙනවා. මෙතන දී සමහර අවස්ථාවලදී සල්ලි අච්චු ගහන්න වෙනවා. සමහර අවස්ථාවලදී ණය ගන්න සිදුවෙනවා. “

ප්‍රශ්නය;
රජයේ එදිනෙදා වියදම් පියවා ගන්න හැම සතියේ බදාදාම මං හිතන්නේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පවත්වනවා. එතකොට වෙන්දේසිවලින් අපේක්ෂිත ආකාරයෙන් මුදල් ලබා ගන්න පුළුවන් වෙන්නේ නෑ කියලා තමයි දැනට අපිට දැන ගන්න තියෙන්නේ.

කබ්රාල් :
“රජයට අවශ්‍ය නම් මිලියන 40ක් බිට්ස් කෝල් කරනවා. මිලියන 25ක් විතරයි ලැබෙන්නේ අවශ්‍ය පොලී අනුපාතය අනුව. ඒත් අවශ්‍යයි 40යම. සමහර විට මහබැංකුව ඒ අවස්ථාවේ දී මුදල් අච්චු ගහලා ඒක ගන්න පුළුවන්. පස්සේ තව දවසක මහ බැංකුවට පුළුවන් ඒක සෙකන්ඩ්‍රි මාර්කට් එකේ විකුණන්.“

‍ප්‍රශ්නය:
ඔබ තුමන්ලා සෑහෙන්න බදු ප්‍රමාණයක් අඩු කරා. නමුත් බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ගියා ද කියන ප්‍රශ්නය අදටත් තියෙනවා.

කබ්රාල් :
“2019 දී උපකල්පනය කරලා තිබුණා රුපියල් බිලියන 2200ක් එකතු කර ගන්න. ඒ කියන්නේ ඉහළ බදු ප්‍රතිශතයන් යොදවලා. එතකොට එකතු කර ගන්න පුළුවන් වුණේ, 1800යි. 400ක් අඩු වුණා.

අපි වැඩි කරගන්න ඕනේ අපේ රටේ තියෙන ආර්ථික ක්‍රමවේදයන්. එතකොට බදු වැඩි වෙනවා අනිවාර්යෙන්ම. එතනට යන්නේ නැතුව බදු ප්‍රතිශතය වැඩි කරන් ගිහින් අපිට මෙච්චරක් අහිමි වුණා කියලා කිව්වට වැඩක් නෑ.“

ප්‍රශ්නය :
ආනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ රථ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නැවතුණා. මොකද්ද ඔබ තුමාට කියන්න තියෙන්නේ?

කබ්රාල් :
“තහනමක් දැම්මේ යම්කිසි ජාතික හේතුවක් නිසා. අපේ මතය තමයි අපේ රටේ තව අවුරුද්දක් යනකල් අලුත් වාහන තියෙනවා කියන එක. එකෙන් ලොකූ හානියක් වෙන්නේ නෑ මාර්කට් එකට. ගානත් වැඩි කරලා තමයි විකුණන්නේ දැන්. ඒ වාසියත් ඒ අයට ලැබෙනවා. මේක ලිහිල් කිරීමට එච්චර ලොකු අවශ්‍යතාවයක් මෙතනදී පෙන්නේ නෑ. “

(theleader.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More