පුරවැසි කොලම

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කිරීම සැමරීම සඳහා අද දිනය (දෙසැම්බර් 10) අන්තර්ජාතික මානව අයිතිවාසිකම් දිනය ලෙස නම් කොට තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 1948.12.10 වනදා සම්මත කළ වගන්ති තිහකින් සමන්විත මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මගින් සමස්ත මානව වර්ගයාගේ සුරක්ෂිත භාවය හා සෑම මනුෂ්‍යයකුගේම පෞද්ගලික නිදහස රැකදීම අපේක්ෂා කෙරේ. එම අරමුණ ජයගැනීම සඳහා ආර්ථික, සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (1966), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (1966) මෙන්ම ඊට අදාළ විකල්ප ගිවිසුම් දෙක යන ලේඛන පසුව එළිදැක්විණ. මානව අයිතිවාසිකම් ක්ෂේත්‍රය ලැබූ මෙම ප්‍රගතියට හේතුව අන් කිසිවක් නොව ජපානයේ හිරෝෂිමා හා නාගසාකි යන නගර දෙකට පරමාණු බෝම්බ හෙළීමෙන් කෙළවර වූ දෙවන ලෝක සංග්‍රාමය නමැති මෙතෙක් මානව ශිෂ්ටාචාරය මුහුණ දුන් මහා ඛේදවාචකය නිසා ඇතිවූ බියජනක මානසික කම්පනයයි.

කෙසේ වුවද මානව හිමිකම් පිළිබඳ නූතන නෛතික පරිච්ඡේදයේ ආරම්භය ක්‍රි.ව. 1215 දී උපත ලද මැග්නා කාර්ටා ගිවිසුම යැයි නූතන දේශපාලන විචාරකයන්ගේ පිළිගැනීම වී තිබේ. එංගලන්තය පාලනය කළ පළමු වන රිචඩ් රජු රටේ නොසිටි අවස්ථාවකදී ඔහුගේ බාල සහෝදරයා වූ ජෝන් බලහත්කාරයෙන් රජවී රිචඩ් රජු සිරභාරයට ගත්තේය. ජෝන් රජු කුරිරු පාලකයකු වූ නිසා ඉනොසන්ට් පාප් වහන්සේ ඔහුව පල්ලියෙන් නෙරපා හැරීම එකල එංගලන්ත සමාජයට විශාල බලපෑමක් කර තිබේ. ජෝන් රජුගේ පාලනයට එරෙහිව නැගී සිටි එරට ප්‍රභූවරුන් හමුවේ පරාජය භාරගත් ඔහුට මහා අධිකාරී පත්‍රය (මැග්නා කාර්ටා) අත්සන් කිරීමට සිදුවිය. එම මැග්නා කාර්ටා ගිවිසුම අනුව, අත්තනෝමතික ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් වැළැක්වීම, දේපොළ රාජසන්තක කිරීමෙන් වැළැක්වීම, ජූරි සභාවක් මගින් නඩු විභාග කරවා ගැනීමේ අයිතිය, නියෝජිත මණ්ඩලයේ අනුමැතිය මත පමණක් අලුත් බදු පැනවිය යුතු බව ජෝන් රජු විසින් පිළිගන්නා ලදී. අද වන විට මානව අයිතිවාසිකම්වල අත්තිවාරම ලෙස මැග්නා කාර්ටාව හඳුන්වනු ලබන්නේ මේවා නොමැතිව පුද්ගල නිදහස ආරක්ෂා කළ නොහැකි නිසාය.

එංගලන්තයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය එසේ වුවද ඔවුන්ගේ විදේශ ක්‍රියාකාරකම් ඊට සමාන්තරව මානුෂවාදී වූ බවක් නොපෙනේ. එංගලන්තය මෙන්ම ස්පාඤ්ඤය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය ආදී බලවත් යුරෝපීය රාජ්‍යයන් යටත්විජිත මත දැඩි පාලනයක් පවත්වා ගෙන ගියේය. එංගලන්තයේ පැවැති ආගමික වධහිංසා නිසා පලා ගිය ‘වන්දනාකාර පියවරුන්’ නමැති කණ්ඩායම ඇමෙරිකාවට ගොස් එහි එංගලන්ත ජනපද පිහිටුවා ගත්හ.

යටත්විජිත රටවල කෘෂිකාර්මික ද්‍රව්‍ය හා ඛනිජ සම්පත් ආදිය පමණක් නොව, පූජනීය ස්ථානවල හා කෞතුකාගාරවල තිබුණු සංස්කෘතික වස්තුවද, වහල් ශ්‍රමය සඳහා මිනිසුන්ද පැහැරගෙන ගිය යුරෝපීය අධිරාජ්‍යවාදීන් විසින් ඒවා සියල්ල කරන ලද්දේ ශිෂ්ටාචාරයේ නාමයෙනි. නොදියුණු රටවල ජනතාව ශිෂ්ටාචාර ගතකිරීම හා නිවැරදි ඇදහීම කරා යොමු කිරීම සඳහා වාර්ගික මෙන්ම සංස්කෘතික වශයෙන් උසස් සුදු ජාතීන් මත පැවරී ඇති වගකීම ඉටුකිරීමක් ලෙස එය ඔවුන් විසින් හැඳින්විණ. එංගලන්තය තුළ මානව අයිතිවාසිකම් සංකල්පය ශක්තිමත් වුවද එහි ප්‍රතිඵල භුක්ති විඳීමට යටත්විජිත රටවල මිනිසුන්ට අවස්ථාව උදාවූයේ නැත.

මෙම ගමන් මග අවසානයේ ඇමරිකානු ජනපද 13 ක් එංගලන්තය සතුව පැවැතිණ. එයට අභියෝගයක් එල්ල කරමින් ඇමරිකානු ජාතික තෝමස් ජෙෆර්සන් විසින් 1776 ජූලි 4 වැනිදා ඇමරිකානු නිදහස් ප්‍රකාශනය ඉදිරිපත් කිරීම ඓතිහාසික සිදුවීමකි. එහිදී එංගලන්තයේ තුන්වන ජෝර්ජ් රජුගේ පාලනය යටතේ සිදුවූ අසාධාරණ හා නොසලකා හැරීම් පිළිබඳ ජෙෆර්සන් කරුණු සඳහන් කළ අතර ජීවිතාරක්ෂාව, නිදහස හා සන්තුෂ්ටිය සඳහා නිදහස් රාජ්‍යයක් බවට පත්වීමට ඇමරිකාවට ඇති අයිතිය සඳහන් කර තිබිණ. කොන්වෝලිස් සෙනෙවියා විසින් මෙහෙයවූ බ්‍රිතාන්‍ය හමුදාව, 1781දී ප්‍රංශ හා එම ජනපදවල හමුදාව විසින් වටලනු ලැබීම නිසා මහද්වීපික හමුදාවේ අණදෙන නිලධාරී ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවට යෝර්ක් ටවුන්හිදී යටත් විය. මේ නිසා බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ජනපද දහතුනෙන් 1783දී සමුගැනීමට ඔවුන්ට සිදුවිය. තෝමස් ජෙෆර්සන්ගේ විවේචනයට ලක්වූ තුන්වන ජෝර්ජ් රජු හෙවත් ජෝර්ජ් විලියම් ​ෆ්‍රෙඩ්රික් (1738 – 1820) ඇමරිකාව අතහැර ඒ වෙනුවට ආසියාව දෙසට පැමිණ ලංකාව ඇතුළු රටවල් රාශියක් යටත් කර ගත්තේය.

මෙහිදී ඇමරිකානු සටනට සහයෝගය දීම සඳහා පැමිණ සිටි ප්‍රංශ ස්වේච්ඡා හමුදාවේ සෙන්පති ලාෆසට් ආපසු ප්‍රංශයට ගියේ විප්ලවවාදී ජයග්‍රාහී අත්දැකීමක් සහිතවය. එම විමුක්තිකාමී අත්දැකීම් 1789 ප්‍රංශ විප්ලවයට ඔහු විසින් මුසුකරන ලද බව පැවැසේ. එමෙන්ම විශිෂ්ට ප්‍රංශ ලේඛකයකු වූ වෝල්ටෙයාර් (1694-1778) ගේ ලේඛන මගින් ප්‍රංශ විප්ලවයට අවශ්‍ය බුද්ධිමය ආයුධ සපයා තිබිණ. කුපිත වූ ප්‍රංශ ජනතාව 1789 ජූලි 4 වැනිදා බැස්ටීල් බන්ධනාගාරයට පහර දී එය බිඳ දැමූහ. සාගින්නෙන් පීඩා විඳි ප්‍රංශ කාන්තාවන් වර්සේල්ස්හි රජ මාලිගය වටලා පාන් ඉල්ලා කෑගැසූහ. එම කැරැල්ල මර්දනය සඳහා යෙදවූ නැපෝලියන් බොනපාට් නමැති කෝෂියානු තරුණ හමුදා නිලධාරියා සාර්ථක විය.

ප්‍රංශ විප්ලවය අසාර්ථක වුවද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිවූ අතර මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශයක් ඊට ඇතුළත් කෙරිණ. ප්‍රංශ විප්ලවය නිසා නව දේශපාලන ප්‍රබෝධයක් යුරෝපය පුරා පැතිර ගියේය. යුරෝපයේ බොහෝ රටවල දේශපාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි එය බලපා තිබේ.

ප්‍රංශ විප්ලවය කෙරෙහි බලපෑම් කළ දේශපාලන දාර්ශනිකයා ලෙස සැලකෙන ජීන් ජැක්විස් රූසෝ (1712-78) විසින් ප්‍රකාශ කරන ලද මිනිසා ස්වභාවයෙන්ම නිදහස් හා සමාන බව කියන සංකල්පයෙහි සෙවණැල්ල මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පසුකාලීන ලියවිලි මත වැටී තිබේ. සමාජ සම්මුතිය නමැති ඔහුගේ කෘතියෙහි ඔහු සඳහන් කර ඇත්තේ රජු හා රජුගේ යටත් වැසියන් එක්තරා සම්මුතියක පාර්ශ්වකරුවන් බවද ඒ නිසා රජු යටත්වැසි ජනතාවගේ කැමැත්තට අනුකූලව පාලනය නොකරන්නේ නම් රජුගේ රජකම අහිමි වන බවය. එහෙත් රූසේ බිහිවීමට සහශ්‍රක දෙකකට පෙර මෙරට ජනතාව එම සිද්ධාන්තය දැන සිටියහ. ක්‍රි.පූ. හයවන සියවසෙහි විසූ ගෞතම බුදුන් වහන්සේ වදාළ ධර්මය අනුව රාජ්‍ය පාලනය ගෙන ගිය ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රි.පූ. තුන්වන සියවසේදී ලංකාවට වැඩම කළ අවස්ථාවේ මුව දඩයමේ ගිය තිස්ස රජු හට දේශනා කරන ලද්දේ කුමක්ද? මහරජ මේ වනය හෝ සතා සිවුපාවා නුඹට අයිති නැත. නුඹ මෙහි භාරකරුවා පමණි යන සත්‍යය උන්වහන්සේ රජුට පෙන්වා දුන් සේක. මේ අනුව රාජ්‍ය පාලනය කළ දේවානම්පියතිස්ස රජු මිහින්තලය අභය භූමියක් ලෙස ක්‍රි.පූ. 250 දී ප්‍රකාශයට පත්කර තිබේ. ලෝකයේ ප්‍රථම අභය භූමිය මිහින්තලය බව අවධානයට ගත් විට, මෙරට පාලකයන් මිනිසාගේ අයිතිවාසිකම් පිළිබඳව පමණක් නොව සතා සිවුපාවා හා ගහකොළ ගැනද කරුණාවෙන් ක්‍රියා කළ පිරිසකි. එහෙත් ප්‍රංශ විප්ලවය සිදුවන අවස්ථාව වන විට ලංකාවේ විශිෂ්ට රාජාවලියේ අවසානය ළඟාවී තිබූ අතර නාරෙනප්පා නායක්කාර්ගේ දෙවන පුත්‍රයා රාජාධි රාජසිංහ (1782-98) යනුවෙන් සිහසුනට පත්වී සිටියේය.

මානව අයිතිවාසිකම් පිළිබඳ නීතිමය ආරක්ෂාව ලබාදුන් මහා අධිකාරී පත්‍රය බිහිවී වසර 603 කට පසු තුන්වන ජෝර්ජ් රජුගේ පාලන සමයේදී ලංකාවාසීන්ගේ මානව අයිතිවාසිකම්වලට ‘ගරු’ කළ ආකාරය ලියැවී තිබේ. 1818 උඩරට කැරැල්ල මැඬ පවත්වන ලද්දේ කෙසේද? මුළු රටම කොල්ලකෑම්වලටත්, ගම්බිම් ගිනි තැබීම්වලටත් ලක්විය. කුඹුරු වගා විනාශ කෙරිණ. වයස අවුරුදු 14ට වැඩි පිරිමින් ප්‍රතිපත්තියක් වශයෙන් මරා දමන ලදී. උඩරට ප්‍රධානීන්ට මරණ දඬුවම ලබාදුණි. නැතිනම් පිටුවහල් කෙරිණ. ඊට සියවසකට පසු 1915 මුස්ලිම් කෝලාහලය සම්බන්ධයෙන්ද ඉංග්‍රීසීන් ක්‍රියා කරන ලද්දේ එබඳු කුරිරු බවකින් යුක්තවය. යුද නීතිය පනවා කළ විනාශය ලේඛන ගතවී තිබේ.

මෙලෙස ක්‍රියා කළ අපකීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන අධිරාජ්‍යවාදීන් මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියක් බිහිකිරීම දක්වා යුක්තිගරුකවීම නූතන පරපුරට පුදුමයක් විය හැකිය. ඊට ප්‍රධාන කාරණා දෙකක් බලපා තිබේ. ඇඩොල්ෆ් හිට්ලර් විසින් දෙවන ලෝක මහා සංග්‍රාමයේදී සිදුකළ විනාශය හමුවේ යටත්විජිත පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට අධිරාජ්‍යවාදීන් දුර්වලවීම පළමු වැන්නයි. ඒ නිසා යටත් රාජ්‍යයන්ට නිදහස දීමට ඔවුන්ට සිදුවිය.

දෙවන කරුණ වන්නේ අධිරාජ්‍යවාදයට එරෙහි බලගතු රාජ්‍යයක් ලෙස 1915 දී රුසියානු විප්ලවය මගින් සෝවියට් රුසියාව බිහිවී තිබීමයි. එමෙන්ම සමාජවාදී රාජ්‍යයන් බිහිවීම කෙරෙහි බලපාන ලද කාල් මාක්ස්ගේ චින්තනය යුරෝපයට විශාල ප්‍රබෝධයක් ඇති කර තිබූ අතර 1945 දී බ්‍රිතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂය පරදා කම්කරු පක්ෂය එරට පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළේය. ඒ අනුව බ්‍රිතාන්‍යයේ බලයට පැමිණි කම්කරු පක්ෂයේ නායක ක්ලෙමන්ට් ඈට්ලි අගමැතිවරයා ලෙස පත්වීම ප්‍රගතිශීලී නැඹුරුවකට මග පාදා දුණි.

ඇඩොල්ෆ් හිට්ලර් නිසාම එක පෙරමුණකට ඒමට ධනවාදී මෙන්ම සමාජවාදී කඳවුරටද සිදුවිය. එම මිත්‍ර පාක්ෂික කඳවුරට මානව ශිෂ්ටාචාරයේ අනාගතය තීරණය කිරීමේ අවස්ථාව එක්සත් ජාතීන්ගේ සංගමය මගින් ලැබිණි. එලෙස බිහිවූ ජගත් සම්මේලනයේදී සම්මත කළ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ඇතුළත් වැදගත් අංග අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් යටතේ සඳහන් කොට තිබේ. ඒවා කඩවූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවැරීමට පුළුවන.

පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු හයකින් දීර්ඝ කිරීම සඳහා 1982 දී පැවැත්වූ ජනමත විචාරණයේදී ‘ලාම්පුවට’ නොව ‘කළයට’ ඡන්දය දෙන ලෙස පැවිදි හඬ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටින ප්‍රකාශයක් මුද්‍රණය කෙරිණ. පොලිස් අධිකාරී පී. උඩුගම්පොළ එම පත්‍රිකාව මුද්‍රණය කළ මුද්‍රණාලයට සීල් තබා එම ප්‍රකාශනයේ පිටපත් 20,000 ක් අත්අඩංගුවට ගත්තේය. පැවිදි හඬ සංවිධානයේ ප්‍රධාන සංවිධායක දරමිටිපොළ රතනසාර හිමියෝ ඊට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරූහ. එම නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨ‍ාධිකරණය තීරණය කරන ලද්දේ පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියාව නීති විරෝධී මෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එයින් බාධා සිදුවී ඇති බවය. ඒ අනුව පෙත්සම්කරුට රු. 10,000/- ක වන්දි මුදලක් හා නඩු ගාස්තු ගෙවන ලෙස පොලිස් අධිකාරීවරයාට නියෝග කෙරිණ.

මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව ප්‍රකාශ කර දින විසිහතරකදී පී. උඩුගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට උසස් කළ අතර ඔහු විසින් ගෙවිය යුතු නඩු ගාස්තු හා වන්දි මුදල රජයේ මුදලින් ගෙවන බව රජය නිවේදනය කළේය. මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම එලෙස සිදුවේ නම් මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික දිනය සැමරීමෙන් ප්‍රතිඵලයක් නොලැබේ. එහෙත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අනුගමනය කළ මූලික අයිතිවාසිකම් රැකීමේ එම පිළිවෙත මෙරට අනෙකුත් ජනාධිපතිවරුන් විසින් අනුගමනය කර නැත.

•නෙල්සන් එස්. පෙරේරා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More