දේශීය පුවත්

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරීන් ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ “උපාධිධාරී ව්‍යවසායක උදානය” වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්; මෙරට ණය බර ප්‍රතිශතාත්මකව අඩු කිරීමට හැකි පරිදි දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීම රට හමුවේ ඇති බරපතළ අභියෝගයක් බවත් එවැනි අභියෝගයක් ජයගත හැකි ව්‍යවසායකයන් පිරිසක් බිහි කිරීම “උපාධිධාරි ව්‍යවසායක උදානයේ” අරමුණ බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා පෙළපාලි යන අවස්ථාවක, ඔවුන් ලබා ඇති උපාධිය විශේෂිතව සලකා බැලීමකින් තොරව රජයේ සේවයට එකතු කර ගැනීමට තීරණය කර ඇති මොහොතක මෙරට උපාධිධාරීන් තුළින් ව්‍යවසායකත්වය ගොඩනැගීමට මෙවැනි වැඩපිළිවෙළක් දියත් කර තැබීම ඉතා වැදගත්.

“රටේ ආර්ථිකය සවිබලගන්වන්නන්”

උපාධිධාරියෙකු තමන්ට රැකියාවක් සොයා යනවාට වඩා රැකියාලාභීන් පිරිසක් බිහි කරන අයකු විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් දියුණු වුනේ රැකියා සොයා ගිය මිනිසුන් නිසා නොවෙයි, රැකියා උත්පාදනය කරනු ලබන පිරිස් ඒ රටවල වැඩි වැඩියෙන් බිහි වූ නිසයි. තවත් පිරිසකට රැකියා අවස්ථාවක් ලබාදී ඔවුන්ගේ පවුල්වලට රැකවරණය සැපයිය හැකි පුද්ගලයන්ට තමයි රටේ ආර්ථිකය සවිමත් කළ හැක්කේ. එවන් පුද්ගලයන් වැඩි වැඩියෙන් බිහි කිරීම රජයේ වගකීමක්. මා මෙම ආයතනයේ සභාපති ධුරයට අනුෂ්ක ගුණසිංහ මහතා පත් කරනු ලැබුවේත් ඉතා කෙටි වයසකින් ඉහත කී ආකාරයේ මෙරට සාර්ථක ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමට ඔහු සමත්ව සිටි ආකාරය දුටු නිසයි.

“සමාජයේ පුරෝගාමින් බවට පත්වන්න”

මෙයට ඉහත දී අදහස් දැක්වූ අප අමාත්‍යාංශ ලේකම්තුමන් පෙන්වා දුන් පරිදි සමෘද්ධි දීමනාව වැඩි කිරීමෙන් හෝ වෙනත් සුබසාධන අවස්ථා වැඩි කිරීමෙන් හෝ රට හමුවේ වන අභියෝගයන් ජයගැනීමට නොහැකියි. අප කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි “අපේ රටේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 90%කටත් වඩා වැඩියි” කියා. මේ අභියෝගය ජයගත හැක්කේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් පමණයි. දළ දේශීය නිෂ්පාදිතයේ අගය වැඩි කළ හැක්කේ රජයේ සේවයට රිංගා ගන්නා අයකුට නොවෙයි. එය කළ හැක්කේ ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, ගොවි ජනතාව ආදී පිරිස් වලටයි. ඒ නිසා මේ මොහොතේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් බලගැන්වීම රජයේ පැහැර හැරිය නොහැකි යුතුකමක් වගේම වගකීමක්. උසස් පෙළ සමත් වන පිරිස් අතර විශ්වවිද්‍යාල දූ පුතුන් වන ඔබ සැම ඉදිරිගාමීව සිටින පිරිසක්. ඔබ සැමට හැකි විය යුතුයි සමාජයේ පුරෝගාමින් බවට පත්වීමට. විවිධ ක්ෂේත්‍ර තුළින් ඉදිරියට ගොස් රටට ජයග්‍රහණ රැගෙන ඒමට සමත් විය යුතුයි.

“කොවිඩ් – 19 බෙහෙත”

අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබා දෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම හිතන එක වැලැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොවිඩ් – 19ට යම් බෙහෙතක් සොයා ගත් බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ. නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගෙ ‘උපාධි සහතිකය’ ඉල්ලා සිටීවි. දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකියි.

දැන් රජරට විශ්වවිද්‍යාලය තුළ සිදු කෙරෙන පර්යේෂණවලින් සනාථ වූ පසු තව දින 3කින් එම බෙහෙත කොරෝනා රෝගීන් සඳහා ලබා දිය හැකි වේවි. එමඟින් රෝගීන් සුවපත් වෙනවා නම් එම බෙහෙත ඔහුට කීවේ ‘කාලි මෑණියන්ද?’ යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. බෙහෙතින් රෝගය සුව වෙනවා නම් එම වට්ටෝරුව ඔහුට ලැබුණ විදිහ ගැන ඔහු පවසන දෙය අපට පිළිගැනීමට සිදු වේවි. එය අපට නොතේරුණා කියා ප්‍රතික්ෂේප කළ නොහැකියි.

“චීනයෙන් ගත හැකි ආදර්ශයක්”

ඒ වගේම විශ්වවිද්‍යාල ව්‍යවසායක දූ පුතුනි, ඔබ ඉදිරියේ පවතින්නේ තවමත් හරිහැටි හඳුනා නොගත් ලෝකයක්. නොදන්නා දේවල්, මෙතෙක් සොයා නොගත් දේවල් ඔස්සේ සිත මෙහෙයවමින් කටයුතු කළහොත් ඔබට සාර්ථක ව්‍යවසායකයෙකු වීමට මාර්ග රැසක් පෙන්වාවි. මීට වසර 10කට පමණ පෙර චීනයේ තරුණයකුට ඇති වූ ලස්සන අදහසක්, අද බිලියන ගණනින් ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. මහා ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවූ පාපැදි කුලියට ලබා දීම එම ලස්සන අදහසයි. ඒ වගේ ඔබත් “බැහැ” කියා නොසිතා නිවැරදි සිතුවිලි සහිතව පෙරට එන්න. එයයි ඔබේ ජයග්‍රහණයේ මාවත. ඒ සඳහා රජය ලෙස අපි ලබාදිය හැකි සියලු සහයෝගය ලබා දෙනවා.
මෙම අවස්ථාවේදී කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා,ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ. අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් චමින්ද පතිරාජ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More