පුරවැසි කොලම

කොවිඩ්19 වෛරසය ආසාදනය වූවන් සුවපත් කිරීමට සහ වෛරසය වැළඳීම වැළැක්වීමට දේශීය වෙදකම තුළ ඖෂධ නැතිද යන පැනය ශ‍්‍රී ලංකාව තුළ කොවිඞ් 19 වෛරසය ආසාදන රැල්ල පළමු වතාවට නැගී ආ කාල වකවානුවේදී ආයුර්වේද මෙන්ම දේශීය වෛද්‍යවරුන් ඉතාම සංවිධානාත්මක්ව තම තමන් සොයා ගත් ඖෂධ සායනිකව ඔප්පු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. නමුත් එම ඉල්ලීමට අවනත වීමක් රජයේ පාර්ශ්වයෙන් සිදුවූයේ නැහැ. කෙසේ වුවත් ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින දේශීය මෙන්ම තවත් ගුරුකුලයන්ට අයත් වන වෛද්‍යවරු තමන් සොයා ගත් ඖෂධ රට පුරා බෙදා හැරීමට කටයුතු කළ බව රහසක් නොවේ. කොවිඩ්19 වෛරසයේ පළමු රැල්ල තලා දැමීමට බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් කළ හපන්කම් මෙන්ම අපේ සාකච්ඡාවට බඳුන් වන බටහිර නොවන දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍යවරු නිහඬවම කළ මෙහෙවර සුළුපටු නොවේ. එපමණක් නොව රෝග නිවාරණය පිණිස අපේ වැඩිහිටි පරපුර විසින් අපේ නිවෙස්වල භාවිත කරන ”පස් පංගුව” පැකට්ටුවේ සිට විවිධ අත් බෙහෙත් කොවිඞ් 19 වෛරස් පළමු රැල්ල මැඬ පැවැත්වීමට උපකාරී නොවූවා යැයි පැවසිය නොහැක්කේ කොවිඩ්19 වෛරස් පළමු රැල්ල මතු වූ කාලයේ විකිණිනු කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පත්පාඩගම් ආදී වූ ඖෂධවල ප‍්‍රමාණය සලකා බැලීමෙනි. කෙසේ වුවද බටහිර විද්‍යාව ශුද්ධ විද්‍යාව යැයි කර පින්නාගත් සමහරුන්ට නම් අපගේ තර්කය මේ අයුරින්ම පිළිගැනීමට නොහැකිය.

අපේ රටේ සෞඛ්‍ය අංශ බලධාරීන් ඇතුළු අනෙකුත් බලධාරීන් දේශීය දැනුම කෙරෙහි ආකල්පය එසේ වුවද ලෝකයේ දෙවෙනි ආර්ථිකයට හිමිකම් කියන (සම්ප‍්‍රදායික වැඩවසම් දැනුම යැයි කියා දේශීය දැනුමට ගරහන චින්තනයෙන් හෙබි සමාජවාදීන් අපේ රටෙන් හමුවන විට) දේශීය දැනුමෙන් ඔපවත් වුණු සම්ප‍්‍රදායික චීන වෛද්‍ය ක‍්‍රමයේ සියලූ ගුරුකුලයන් උපරිමයෙන් දායක කරගනිමින් චීන සෞඛ්‍ය අංශ බලධාරීන් මෙන්ම දේශපාලන බලධාරීන් එක පෙළට හිටගනිමින් චීනය මුහුණ දුන් පළමු කොවිඩ්19 වෛරස් ආසාදන රැල්ල මෙන්ම කොවිඩ්19 වෛරස් ආසාදනයෙන් ඇතිවූ ආර්ථික පසුබෑම පවා සමනය කර ගැනීමට සමත් වූහ.

එපමණක්ද නොව චීන සෞඛ්‍ය අංශ විසින් කොවිඞ් 19 වෛරසය සාර්ථකව මැඬලීමෙන් පසු එම දැනුම බාහිර සමාජය සමඟ බෙදා ගැනීම වෙනුවෙන් රුසියාවට යැවූ දස දෙනකුගෙන් සමන්විත වූ පළමු විශේෂඥ කමිටුවේ චීන දේශීය වෛද්‍ය විශේෂඥයන් තිදෙනකුම සිටීමෙන් චීනය ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි රෝගයක් මැඬපැවැත්වීමට තම රටට අනන්‍ය වූ චින්තනය තාක්ෂණය සහ දැනුම තමන් නූතන ලෝකයේ කෙතරම් ඉදිරිගාමී පිමි පැන්නද අමතක නොකරන බවයි. චීනය, අනිත් අතට එම ක‍්‍රියාව මගින් ලෝකය මවිත කරවන නූතන විද්‍යාත්මක ජයග‍්‍රහණයන් සියල්ල දේශීය දැනුම හා මුහුකිරීම මත පදනම්ව ගොඩ නගා ඇති බව මොනවට තහවුරු කළේය.

කොවිඩ්19 වෛරසය දෙවෙනි ආසාදන රැල්ල ආරම්භයේ පටන්ම පළමු රැල්ලට වඩා ආක‍්‍රමණශීලී විය. එසේම රජය පැත්තෙන් කොවිඩ්19 වෛරසය දෙවෙනි ආසාදන රැල්ල මැඬපැවැත්වීමට ගන්නා ලද ක‍්‍රියා මාර්ග පළමු රැල්ල මැඬපැවැත්වීමේදී ගත් ක‍්‍රියාමාර්ග තරම් ජන ආකර්ෂණයක් දිනා නොගත් අතර ආසාදිතයන් ශීඝ‍්‍ර ලෙස වර්ධනය වූ අතර මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යෑමට පටන් ගත්තේය. එසේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම කොවිඩ්19 වෛරසය පාලනයේ නියුතු විවිධ අංශ වෙතින් වෛරසය පාලනය තමන්ගෙන් ගිලිහී ඇති බව ප‍්‍රකාශ වුණි. මෙවැනි අවස්ථාවක කොවිඩ්19 සමඟ ජීවත් වීමටත් කොවිඞ් 19 වෛරසය හැකි උපරිමයෙන් මර්දනය කිරීමටත් වෙනත් මානයන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පැන නැගුණි. මෙහිදී කොටුවෙන් පිටතට පැන විසඳුම් සෙවීමට වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබිණි. ඔවුන් කරනු ලැබුවේ ධම්මික බණ්ඩාර නම් වෙදමහතෙකු විසින් සොයා ගනු ලැබූ ඖෂධයක් වතුපිටිවල රෝහලේ ප‍්‍රතිකාර ගනු ලබන කොවිඩ්19 වෛරසය ආසාදිතයන්ට දෙනු ලැබීමය.

ඔවුන්ගේ උත්සාහය මූලික වටයේදී සාර්ථක වී තිබූ නිසා එම සාර්ථකත්වය තව තවත් තහවුරු කර ගැනීමේ වුවමනාව පෙරදැරි කොටගෙන ගම්පහ රෝහලේ මහාචාර්ය අරුණ මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායම ඉහත කී ඖෂධයෙහි ඇති සාර්ථකත්වය ආයුර්වේදයේ ඇති ”අත්දුටුවයි ප‍්‍රත්‍යක්‍ෂයි” යන ක‍්‍රමයෙන් බැහැර වී බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූලව කරනු ලබන සායනික පරීක්ෂණ කිරීමට පෙරමුණ ගත්හ. ඖෂධයේ ඇති සාර්ථකත්වය කෙසේ වුවද එවැනි ඖෂධයක් අත් හදා බැලීමට පෙළඹීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛද්‍ය කණ්ඩායමෙන් නිදහසට කරුණු විමසීම් සිදුකර ඇති බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පසුගියදා අනාවරණය කර තිබුණි.

ඖෂධය සම්බන්ධයෙන් ලියුම්කරු විසින් දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ කල එතුමා පවසා සිටියේ ‘‘මම මේ ඖෂධය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියා. වතුපිටිවල රෝහලේ වෛද්‍ය ධම්මික ඇතුළු වෛද්‍ය කණ්ඩායම බටහිර වෛද්‍ය විද්‍යාව අනුකූලව මේ ඖෂධය සම්බන්ධයෙන් මූලික වටයේ විද්‍යානුකූල පර්යේෂණය කරනු ලැබුවා. එය මුළුමනින්ම සාර්ථකයි. ඒ අනුව අපේ මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමාගේ අවධානයට පවා මෙම ඖෂධයේ ක‍්‍රියාකාරිත්වය යොමු කරන්නට අපට හැකියාව ලැබුණා. දැන් අපට අවශ්‍ය වන්නේ මේ ඖෂධය විධිමත් ආකාරයට පර්යේෂණයට ලක් කොට රෝගීන් සුවපත් කිරීම සඳහා යොමු කිරීමටයි.” යනුවෙන් පවසා සිටියේය.

මෙම ඖෂධය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරි පර්යේෂණ කටයුතු සිදු කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්ම මහත්මීන්ගෙන් යුතුව රැස්වුණු කමිටුවක් මගින් ඖෂධය විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව පර්යේෂණ කොට රෝගීන්ට ලබා දීමට කටයුතු කිරීමට කමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුව මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරු හත් දෙනකුගෙන් සමන්විත කමිටුවක් සකස් කරනු ලැබ තිබේ.

ඒ සම්බන්ධයෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍යයට පවසා සිටියේ ඉදිරි සති දෙකක කාලය ඇතුළත සාර්ථක ප‍්‍රතිඵලයක් රට හමුවේ තැබීමට උත්සාහ කරන බවයි. දේශීය දැනුම් පද්ධතිය රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ ප‍්‍රයෝජනයට ගැනීමට කුමන හෝ උත්සාහයක් ගැනීම ලාංකිකයන් ලෙස අපට සතුටු වීමට තරම් කාරණයකි. නමුත් මේ වන විට මෙම ඖෂධය සොයාගත් පුද්ගලයාගේ පැටිකිරිය සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම විවිධ පුද්ගල චරිත විසින්ද ප‍්‍රශ්න කරන ස්වභාවයක් සමාජය තුළ මතුව ඇත. අප ඒ සම්බන්ධයෙන් හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයෙකු වූ නිමල් කරුණාසිරි මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා.

එතුමා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස ‘‘දේශීය වෙදකමේ මෙන්ම ආයුර්වේද වෙදකමේ මෙන්ම වෙනත් ලංකාවේ භාවිතයට ගන්නා බටහිර වෛද්‍ය ගුරු කුලයට අයත් නොවන වෛද්‍ය ක‍්‍රම කොවිඩ්19 වෛරසය පාලනයට යොදා ගන්නා ලෙස අප කොළඹදී පසුගිය අපේ‍්‍රල් මාසයේ සමුළුවක් පවත්වා රජයෙන් ඉල්ලා සිටියා. නමුත් අපේ හඬට බලධාරීන්ගේ කන් යොමු වුණේ නැහැ. කෙසේ හෝ විදියකින් ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ ඖෂධය සායනික පර්යේෂණ සඳහා යොමුකර එහි සාර්ථක ප‍්‍රතිඵල තිබෙන බව මූලික වටයේ තහවුරු වී තිබෙනවා. ඔහුගේ එම ඖෂධය ආයුර්වේද සූත‍්‍ර කමිටුවටද යොමු කර තිබෙනවා. දැන් දැන් සමහර පිරිස් ධම්මික බණ්ඩාර මහතාගේ පැටිකිරිය සොයන්නට පටන් ගෙන තිබෙනවා. ඔවුන්ට මට කියන්නට තිබෙන්නේ අප රටේ ඉතිහාසය ඉතාම විචිත‍්‍රවත්ව ලියා තිබෙන රොබට් නොක්ස්ගේ එදා හෙළදිව පොත කියවන ලෙසයි. එහිදී ඔහු කියනවා ලංකාවේ හැම මිනිහෙක්ම වෛද්‍යවරයෙක් කියලා. ඒ වගේම ඔය කියන මහත්වරුන්ට සුළු හෝ අවබෝධයක් නැතිද අපේ ගම්වල තවමත් අකුරු සාස්තරේ නොදන්නා නූගත් ගැමියෝ ශරීරයේ මතුවන ගෙඩි, ශරීරයේ හන්දිවල ඇතිවන උළුක්කු, කැස්ස, උණ වගේ නොයෙකුත් රෝග තමා ඉන්නා වට පිටාවෙන් සොයාගන්නා ශාක ආශ‍්‍රිතව හදාගන්නා අත් බෙහෙත් වලින් සුවපත් කරවන බව. ඔවුන් බොහෝ දෙනා සාමාන්‍ය රැකියාවන් කරන සාමාන්‍ය මිනිසුන් බව ඔවුන්ට අවබෝධයක් නැතිද?

ඊළඟට බටහිර වෛද්‍යවරු සුව කළ නොහැකියි පවසන දියවැඩියාව වැනි නොයෙකුත් රෝග නිට්ටාවටම සුව කරන වෙද මහත්වරු අපේ රටේ හතර දිග්භාගයේම ඉන්නා බව ඔවුන් නොදන්නේද?. ඊළඟට සුද්දා විසින් කළ දැවැන්ත විනාශයෙන් පසුව ශාසනය ආරක්ෂා කළේ ඉනේ කහ නූලක් ඔතාගත් ගණින්නාන්සේලා විසින් බව ඔවුන් නොදන්නේද?. ගනින්නාන්සේලා දරු පවුල් නඩත්තු කරමින් තමන් ජීවත්වන ගම් ප‍්‍රදේශයේ ”පාංශු කූලයට” පවා වැඩම කළ බව ඔය කියන මහත්වරු නොදන්නේද?. මේ වන විට අපේ දේශීය වෛද්‍ය දැනුම මරණයට ලක් කර මිනී පෙට්ටියේ අන්තිම ඇණයත් ගහන්න සූදානිමිනුයි ඉන්නේ. ඉතින් ඒ දේශීය වෛද්‍ය දැනුම ආරක්ෂා වී තිබෙන්නේ ඔය කියන අය අතර වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. අනිත් අතට ධම්මික බණ්ඩාර මහත්තයාගේ ඖෂධය පමණක් නොවෙයි වෙනත් වෛද්‍යවරු නිපදවූ ඖෂධ රාශියක් කොවිඩ්19 වෛරසය වැළඳුණු බොහෝ දෙනා සමහර විට තමන් සිටිනා නිරෝධායන මධ්‍යස්ථානයේ වෛද්‍යවරු දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතයට ගන්නවා. ඒ නිසයි බටහිර වෛද්‍ය ක‍්‍රමයේ කිසිදු ඖෂධයක් නොමැතිව නිරෝධායන මධ්‍යස්ථානවලට ගාල් කළ ආසාදිතයන් සුව වී ගෙදර යන්නේ. අනෙක් අතට මෙම භයානක යැයි කියන වෛරසය මැඬ පැවැත්වීමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහ ආයුර්වේද කාර්ය මණ්ඩලය මෙන්ම ප‍්‍රජා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් දක්වන මෙහෙය සුළුපටු නැහැ.

ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් පමා වී හෝ මෙවැනි ප‍්‍රවේශයක් ගැනීම ඉතාම කාලෝචිතයි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ මැදිහත් වීම ප‍්‍රශංසනීයයි. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ සම්බන්ධව දක්වන මැදිහත් වීම ඉහළින්ම අගය කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඊයේ (02) පත් කළ කමිටුව මගින් දේශීය වෛද්‍ය දැනුම් පද්ධතිය ”හෙම්බිරිස්සා” වෛරසය තරම්වත් බලවත් නැති වෛරසය මැඬලන්න උපකාර කර ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලබයි කියා. අනිත් විශේෂ කාරණය නම් ධම්මික බණ්ඩාර මහතා මෙන් තවත් සිය ගණනක් දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ඖෂධත් භාවිතයට ගැනීමට ක‍්‍රමවේද සලසන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම කොටුවෙන් පිටතට විත් ප‍්‍රශ්නය දෙස විචාරශීලීව බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් අපි අපේ ගෞරවය පුද කරනවා” වන්නේය.

ජීවන්ත ජයතිස්ස

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More