පුරවැසි කොලම

පසුගිය දින විදේශ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව කාරක සභා අවස්ථා විවාදයේදී මොහොමඞ් මුසම්මිල් මහතා විසින් ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය හා ජාතික සංවිධාන ප‍්‍රමුඛව ජිනීවා වෙත ගෙනයන ලද විරුවන්ගේ විත්තිවාචකය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිළිබඳව ජාතික සංවිධාන වෙනුවෙන් ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ හෘදයංගම ස්තුතිය මුසම්මිල් මහතා හට ප‍්‍රථමයෙන්ම ප‍්‍රකාශ කරන්නෙමු.

ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව වසර හතරකට මදක් අධික කාලයක් තිස්සේ ගෙන ගියාවූ සටනේ එක සංධිස්ථානයක් සනිටුහන් කිරීමක් ලෙස විරුවන්ගේ විත්තිවාචකය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සළකන්නෙමු. මෙම සභාගත කිරීම ඇත්ත වශයෙන්ම ඇතෙක් ඉඳිකටු හිලකින් රිංගවනවා වැනි අතිශය දුෂ්කර කාර්යක් බව පසුගිය වසර හතරක පමණ කාලයක් තුළදී පෙනී ගිය නමුදු මෙම විරුවන්ගේ විත්තිවාචිකය ජිනීවා වෙත බාර දීමේ මූලික අරමුණක් වූයේ අප රණවිරුවන් හට ජාත්‍යන්තරයේ එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලින් කෙදිනක හෝ පත්වන දේශපේ‍්‍රමී රජයක් යටතේ ඔවුන් නිදහස් කර ගැනීම සඳහා අඩිතාලම දමා තැබීමයි. එම කාර්ය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස අප උපරිමයෙන් ඉටුකරන ලද අතර මින් ඉදිරියට අප ගෙන ආ යෂ්ටිය රැගෙන ජයග‍්‍රහණය සඳහා රැගෙන යෑම වත්මන් රජයේ කාර්යභාරයයි. ඒ සඳහා අප සමග උරෙනුර ගැටී ක‍්‍රියාකළ අභීතව පෙරමුණගත් නායකත්වය දුන් නව කැබිනට් අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා හට විශේෂ ස්තුතියක් පුදදෙන අතර එතුමා ද ඒ වගේම ජිනීවා සටනට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා, වෛද්‍ය චන්න ජයසුමන මෙන්ම ජාත්‍යන්තරයෙන් යුද අපරාධ චෝදනා එල්ල වූ අවස්ථාවේදී ඒ සඳහා පිළිතුරු දීමට දෙවන බල අධිකාරීයේ සිට මැක්ස්වෙල් පරණගම කොමිසම දක්වා වූ සියලූම වාර්තා සැකසීම පිටුපස සිටි අජිත් නිවාඞ් කබ්රාල් මහතා ද අද දින පාර්ලිමේන්තුවේ සිටීම මෙම කාර්යභාරය ඉදිරියට ගෙනයෑම සඳහා අප‍්‍රතිහත බලයක් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

මෙහිදී තිරය පිටුපස කටයුතු කළ ප‍්‍රබල චරිත කිහිපයක් පිළිබඳව සඳහන් කිරීම කාලෝචිත වේ. එනම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ආචාර්ය ගුණදාස අමරසේකර, අධිනීතිඥ කල්‍යානන්ද තිරාණගම, විවෘත විශ්වවිද්‍යාලයේ නීති අංශයේ පීඨාධිපති නීතිඥ රාජා ගුණරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ෂෙනාලි වඩුගේ සහ විත්තිවාචකයේ කර්තෘ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ෂන් වීරසේකර යන මහත්ම මහත්මීන් වේ. එසේම අති පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ සහ ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානයේ (IBRO) සභාපති බර්මින්හැම් විහාරයේ විතාරන්දෙනියේ කාශ්‍යප ස්වාමින් වහන්සේ ද ගෞරව පූර්වකව සඳහන් කරන්නෙමු. කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අනුග‍්‍රහයෙන් අපහට ජිනීවා කොමිසමට පිවිසීමේ අවසරපත් ලබා ගැනීමට හැකිවිය. එසේම විත්තිවාචකය සමාලෝචනයට භාජනය කළ හිටපු අග‍්‍ර විනිශ්චයකාර සරත් නන්ද සිල්වා මහතාව ද ගෞරව පූර්වකව සඳහන් කරනු කැමැත්තෙමු.

මෙම එක එක පුද්ගලයින් විසින් ඉටුකරන ලද සේවය පිළිබඳව වෙන වෙනම සඳහන් කරන්නේ නම් එය වෙනම ග‍්‍රන්ථයක් වනු ඇත. එහෙත් මෙහිදී චරිත දෙකක් ගැන පමණක් සඳහන් කිරීමට කැමත්තෙමු. එනම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ෂන් වීරසේකරයන් පිළිබඳව වේ. වෛද්‍ය වසන්ත බණ්ඩාරයන් විසින් අපහට මාධ්‍යවේදී ෂමින්ද්‍රයන් හඳුන්වා දෙනු ලැබුවේ මහින්ද රාජපක්ෂ රජය විසින් පිළියෙල කරන ලද එහෙත් ජිනීවාවලට බාර දීමට නොහැකිවූ වාර්තා හතක් සමාජ ගත කළ විශ්ලේශක මාධ්‍යකරුවකු හැටියට වේ. ඔහුගෙන් ඉටුවී ඇති සේවය වන්නේ අප රටේ කීර්තිය රකින යුද විරුවන්ව යුද අපරාධ චෝදනාවලින් නිදොස් කර ගත හැකි වාර්තා ලෝකය හමුවේ සටහන් කර තැබීම වෙනුවෙනි. දි අයිලන්ඞ් පත‍්‍රයේ මාධ්‍යවේදියකු ලෙස එම කර්තව්‍ය ඔහු මනාකොට ඉටුකර තිබුණි. එසේ නොවන්නට මෙම වාර්තා පිළිබඳව කිසිවෙකු කතා නොකරන්නට ඉඩ තිබුණි. කනගාටුවට කාරණය වන්නේ මෙම වාර්තා හත පමණක් නොව මැක්ස්වෙල් පරණගම වාර්තාව ද යහපාලන රජය යුද අපරාධ චෝදනා පිළිගන්නාවිට නිකුත් වී තිබීමයි. එසේම ශ‍්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමේ මානව හිමිකම් මහ කොමසාරිස්තුමාගේ කාර්යාලීය වාර්තාව (Report of the Office of High Commissioner for Human Rights Investigation on Sri Lanka – OISL Report” 30/01) සැකසීමේදීද මේ වාර්තා කිසිවක් අධ්‍යයනය කර නොතිබිණි. එය හිතාමතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම සමස්ත ශ‍්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් පමණක් නොව මුළු ලෝකයම නොමග යැවීමකි. වසන්ත බණ්ඩාරයන්ගේ ඊළඟ තේරීම වූ දර්ෂන් වීරසේකරයන් නොවන්නට මෙවන් විත්තිවාචකයක් නොසැකසෙනු ඇත. කීර්තිධර නීතිඥයින් පමණක් නොව අංකුර නීතිඥයින්ද විවිධ අපහසුතා දක්වමින් කර ඇරි මොහොතක නීතිඥ වීරසේකරයන් තමාගෙන් රටට ඉටුවිය යුතු යුතුකමක් හා වගකීමක සේ සලකා ඔහුගේ අනෙකුත් සියලූම නීති උපදේශන සේවාවන් පසෙකලා ජිනීවා යෝජනා අධ්‍යයනය කර, නිකුත් වී හමස්පෙට්ටියට ගොස් තිබූ වාර්තා හතද අධ්‍යයනය කර, ජාත්‍යන්තර මානුෂීය නීතිය, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව, යුගෝස්ලාවියාව, කාම්බෝජය, දකුණු අප‍්‍රිකාව ආදී රටවල ක‍්‍රියාත්මක වූ යුද අපරාධ පිළිබඳ කොමිසම් වාර්තා, තමිලිනී වැනි කොටි නායකයින්, විදේශීය වාර්තාකරුවන් ආදීන්ගේ වාර්තා සහ දේශීය විදේශීය අනෙකුත් වර්තා අර්ධ ශතකයකට ආසන්න සංඛ්‍යාවක් පරිශීලනය කරමින් ඉතා කෙටි කාලයකින් අමරසේකර මහතාණන්ගේ ගෘහයේ ඉහළ මාලයේ කුටියක තම කටයුත්ත භාවනාවක් ලෙස සලකා ඉටු කිරීම පිළිබඳව එතුමාට ජාතියේම ප‍්‍රණාමය හිමිවිය යුතුවේ. එපමණක් නොව ලෝකයට සත්‍යය දැන ගැනීමට සැලැස්වීම පිළිබඳව සත්‍යය දැනගැනීමට කැමති ලෝකයම ඔහුට ප‍්‍රශංසා කළ යුතුවේ.

ගෝලීය ශ‍්‍රී ලාංකීක සංසදය විසින් අනුග‍්‍රහයදී, ජාතික සංවිධාන එකමුතුවේ මගපෙන්වීම යටතේ ඉහත විද්වත් මණ්ඩලය මගින් අතිශයෙන්ම පරාර්ථකාමීව කැපව සකසන ලද මෙම වටිනා වාර්තාව හමස්පෙට්ටියට නොයවා එයින් නියම ඵල ප‍්‍රයෝජන ගැනීම දේශ හිතෛශී රජයේ පරම වගකීම හා යුතුකම විය යුතුය. මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණන වාර්තාව සැකසීම සඳහා රුපියල් මිලියන 300 ක් වැයකර තිබුණ බව සලකන කල යම් හෙයකින් මෙම වාර්තාව සැකසීමට එවන් ආයතනයකට පැවරුවේ නම් මිලියන කීයක් ඒ සඳහා වැයකෙරෙනු ඇතැයි උපකල්පනය කළ හැකිවේද? මෙම වාර්තාව එංගලන්තයේ රාජ්‍ය නීතිඥ ශ‍්‍රීමත් ජෙෆ‍්‍රි නයිස් විසින් අධ්‍යයනයෙන් පසුව ඉතා අගනා වාර්තාවක් ලෙස සහතික කළ අතර එම හේතුවෙන් ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ කාර්ය සාධනය පිළිබඳ වගන්තිය ප‍්‍රකාරව මානව හිමිකම් කොමිසමට එදිරිව ඉදිරිපත් කළ පෙත්සමට උපදේශන සේවය ලබාදීම ද එතුමා විසින් ඉටුකරන ලදී. එසේම එංගලන්ත පාර්ලිමේන්තුවේ සාමි මණ්ඩලයේ සභික ශ‍්‍රීමත් නෙස්බි සාමිවරයා විසින් ද අගනා වාර්තාවක් ලෙස මෙම විත්තිවාචකය පිළිගන්නා ලදී.

මෙම විත්තිවාචකයේ වැදගත්කම වන්නේ එමගින් රණවිරුවන් නිර්දෝෂ කිරීමෙන් පමණක් නොව එම චෝදනාවලින් ඔවුන් මුදවා ගන්නේ කෙසේද කියාද සඳහන් කර තිබීමයි. යහපාලන රජය තර්කයකින් තොරව ඇගයීමෙන් යුතුව පිළිගත් යුද අපරාධ චෝදනා සම අනුග‍්‍රහයෙන් ඉවත්වීම පමණක් යුද අපරාධ චෝදනාවලින් ගැලවීම පිණිස හේතු නොවේ. එය යුද අපරාධ චෝදනාවලින් ගැලවීමේ එක පියවරක් පමණක් වනු ඇත. යුද අපරාධ චෝදනා ව්‍යර්ථ නොකරනු ලබන්නේ නම් එම චෝදනා එලෙසම පවතිනු ඇත. එසේම එම චෝදනා හේතුවෙන් පනවන ලද සියලූම දේශීය සහ විදේශීය දඬුවම් එසේම බල පවත්වනු ඇත. ඒ අනුව සර්ව ලෝක නීතිය යටතේ යුද අපරාධකරුවන්සේ සැලකූ සියලූම යුද හමුදා ප‍්‍රධානීන් විදේශයන් වෙත යම් හෙයකින් පිවිසුන කල්හි එම රටවල අත්අඩංගුවට පත්වීමේ තර්ජනය පවතිනු ඇත. එබැවින් යුද අපරාධ චෝදනාවලින් රණවිරුවන් නිදොස් කර ගැනීම ද කළ යුතුවේ. ඒ සඳහා නිවැරදි ක‍්‍රමවේදය රණවිරු විත්තිවාචකයේ පැහැදිලිව සඳහන් කර ඇත.

ඇමරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩන් පත්වුණ විගසම කොංග‍්‍රස් මණ්ඩලයේ 116 වන සැසිවාරයේදි කොටි හිතවාදී කොංග‍්‍රස් සභික බ‍්‍රැඞ් ෂර්මන් විසින් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ඉහළ හමුදා නිලධාරීන් යුද අපරාධවලට සම්බන්ධ යැයි නම් කර ඇති අතර එම නිලධාරීන් වෙත වත්මන් රජය උසස් තනතුරු පිරිනමා ඇතැයි චෝදනා එල්ල කර ඇත. බ‍්‍රැඞ් ෂර්මන් වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ ඇමරිකාව ශ‍්‍රී ලංකාව විසින් ජිනීවා යෝජනා ක‍්‍රියාත්මක කරන්නේදැයි අධීක්ෂණය කළ යුතු බවයි. මෙහි හාස්‍ය උත්පාදක සහ අත්තනෝමතික භාවය වන්නේ ඇමරිකාව විසින්ම මානව හිමිකම් කොමිසම නරාවළක් ලෙස හඳුන්වා එම නරාවළ විසින් තෝරාගත් දේශපාලන ක‍්‍රියාකාරකම් ඉටුකරන්නේ යැයි චෝදනා කර ඉන් ඉවත්වී ඇති තත්ත්වයක් මත බ‍්‍රැඞ් ෂර්මන් වැනි කොටි හිතවාදියකුට එවැනි වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජෝ බයිඩන් විසින් ඉඩ ලබාදී තිබීමයි. බ‍්‍රැඞ් ශර්මන් වාර්තාව හරබර බරපතළ වාග් මාලාවකින් සංයුක්ත යැයි එක එල්ලේ පෙනුනිද එහි අන්තර්ගතයේ ඇත්තේ යම් යම් ප‍්‍රඥප්තිවල ඇත්තා වූ වගන්ති එහෙම පිටින් බාගත කිරීම සහ කුප‍්‍රකට දරුස්මාන් වාර්තාවේ සහ OISL වාර්තාවේ ඇති චෝදනා සහ දඬුවම් යෝජනා ඒ ආකාරයෙන්ම නැවත සඳහන් කර තිබීම වේ. සත්‍යය වශයෙන්ම මෙම බ‍්‍රැඞ් ෂර්මන් වාර්තාවේ චෝදනාද රණවිරු විත්තිවාචිකය මගින් නිශේධනය කර ඇත. එපමණක් නොව, කැනඩාවේ සිදුවෙමින් පවතින කොටි සුජාත කිරීමේ වැඩපිළිවෙළ ද ව්‍යර්ථ කිරීමට විත්තිවාචකය සමත්වනු ඇත. කැනඩාවේ පාර්ලිමේන්තුව තුළම ලංකාවේ වර්ග සංහාරයක් සිදුවී නොමැති බව ඔප්පු කර ඇති බව විත්තිවාචකයේ මනාකොට දක්වා ඇත.

කොවිඩ් තර්ජනය හමුවේ වුවද මෙම වසරේ ද ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ සාමාජිකයින් මානව කොමිසම හමුවේ පෙනී සිටියේය. එසේම ලබන වසරේ ද පෙනී සිටිනු ඇත. එහෙත් දැන් පවතින්නේ රජයේ කාර්යභාරය ඉටුකළ යුතු කාලයයි. තව මාස තුනක කාලයකින් පසුව නැවත මානව හිමිකම් කොමිසම රැස්වෙනු ඇත. ජෝ බයිඩන් පාලනයේ බ‍්‍රැඞ් ෂර්මන් වැන්නවුන්ගේ බලපෑම මත මෙවර ලංකාවට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි සිතිය හැක. කොපමණ උසස් තනතුරු දැරුවද යුද අපරාධ චෝදනා එල්ලවී ඇති කිසිවෙකුට රටෙන් පිට වෙනත් රටවලට රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමින් පවා ගමන් කළ නොහැකි වෙනු ඇත. විශේෂයෙන්ම බටහිර සහ ඔස්ටේ‍්‍රලියාව ආදී රටවලට ගමන් කිරීමට චෝදනා ලාභී කිසිවෙකුට හැකි නොවෙනු ඇත. චෝදනා ඇතිතාක් කල් රටට එරෙහිව ද විවිධ යෝජනා හා ප‍්‍රඥප්ති පැනවෙනු ඇත.

අවසාන වශයෙන් ජනාධිපතිතුමාට සහ රජයට පැවසිය යුත්තේ යහපාලන රජය සම අනුග‍්‍රහය දක්වා යුද අපරධ වැළඳගත් ජිනීවා මර උගුලෙන් ගැලවීම ඔබතුමන්ලා බින්දුවෙන් ආරම්භ කළයුතු නොවන බවයි. ඒ පිළිබඳව ජාතික සංවිධාන විසින් අති විශාල වැඩ කොටසක් ඉටු කර ඇත. ඔබතුමන්ලා එතැන සිට යෂ්ටිය රැගෙන ඉදිරියට යන්න. ඒ සඳහා නිවැරදි පුද්ගලයින්, නිවැරදි සංවිධාන සහ නිවැරදි මත වාදය තෝරා ගැනීමට ඔබතුමන්ලාට හැකි වේවායැයි ප‍්‍රාර්ථනා කරමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More