පුරවැසි කොලම

පසුගිය දින වල යුරෝපා සංගමය විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රජය දීර්ඝ
කාලිනව ආනයන තහනම් කිරීම පිළිබඳව විරෝධය පළ කොට ඇති බව වාර්තා විය. ඒ අතර ශ්‍රී
ලංකාවට කහ ආනයනය තහනම් කිරීම නිසා ඉන්දියාවේ කහ ගොවියාට මුහුණදීමට සිදුවී ඇති
තත්වයන් පිළිබඳව ඉන්දියාව පැත්තෙන් කරුණු දැක්වීමක් සිදුවන බවද වාර්තා විය. ඊට පෙර ශ්‍රී
ලංකාව හරහා වෙනත් රටවලින් ආනයනය කරන බාල ගම්මිරිස් ඉන්දියාවට ප්‍රති අපනයනය
කිරීම වැළැක්වීම සඳහා පනවා තිබූ “ අවම ආනයන මිල ” නැමැති බාධකය නිසා පසුකාලීනව
වර්තමාන ජනාධිපතිතුමා විසින් ප්‍රතිඅපනයනය තහනම් කළද ගම්මිරිස් මිල අපේක්ෂිත මිලට
ඉහළ යාමක් සිදුවූයේ නැත. ශ්‍රී ලංකාවේ රජය විසින් ඉන්දියාවෙන් කහ ආනයනය තහනම් කිරීම නිසා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ගම්මිරිස් සඳහා පනවා ඇති මිල බාධකය බවත් නොකරන බවද වාර්තා විය. එම තත්වය තුළ මුහුදු මාර්ග හරහා නීතිවිරෝධීව රටතුළට ඉතා විශාල වශයෙන් කහ ගෙන එන බවද වාර්තා විය. ඒ ආකාරයට කහ ආනයනය සම්න්ධයෙන් රජය ඉතා දැඩි ස්ථාවරයක සිටියද ආනයන වියදම් සහ ප්‍රමාණය අනුව බලනවිට තිරිඟු පිටි කෑමට ගන්නා තෙල් වර්ග සහ කිරිපිටි වැනි ආහාර සමඟ සසඳන විට කහ ආනයනය පාලනය කිරීමට පෙර පාලනය කළ යුතු බොහෝ දේ තිබෙන බව පෙනේ. ශ්‍රී ලංකාවට කහ ආනයනය කරනු ලබන්නේ
මෙ.ටො 5000 ක් වැනි ප්‍රමාණයකි. එහෙත් ආනයනය කරන කිරි පිටි ප්‍රමාණය මෙ.ටො 90,000 කි.

ඒ අනුව විවිධ උපදේශකයින්ගේ උපදෙස් අනුව තාවකාලික තහනම නැමැති උපාංගය භාවිතා
කරමින් අහඹු ලෙස සහ තර්කානුකූල නොවන ආකාරයට විවිධ ද්‍රව්‍ය ආනයනය කිරීම පාලනය
කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මහජනයා තුළ සැකසංකා පැන නැගී ඇත. විශේෂයෙන්ම ඒ මඟින්
ආර්ථිකයට සිදුවන ප්‍රධාන බලපෑම් දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න ඒ මඟින් බදු සහ බදු නොවන බාධක පැනවීම මඟින් දීර්ඝ කාලීනව විධිමත්ව සහ විනිවිදභාවයෙන් යුතුව ආනයනය පාලනය කිරීමේ ක්‍රමවේද යොදා ගැනීම වැළැක්වීමය. දෙවැන්න එසේ තාවකාලිකව තහනම පැනවූ විට පළමුව සඳහන් කළ ආකාරයට බදු පැනවීම වළක්වා ගන්නා අතර උවමනා වෙලාවට නිලධාරී කමිටුවක් මඟින් තාවකාලික තහනම ඉවත් කිරීමේ හැකියාව ලැබේ. ඒ මඟින් යම් නිලධාරීන් සහ ආනයන ජාවාරම්කරුවන් සමඟ එකට එක්ව මහජනයාහට හොරෙන් දූෂිත ආකාරයට රටේ නීතිය සහ පරිපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට අවස්ථාව ලැබේ. එම ක්‍රියාවලිය
තුළ වෙළඳපොළ තුළ බරපතල මිල විකෘතියක් ඇතිවන අතර රටට ලැබිය යුතු බදු ආදායමද අහිමි වේ.

මේ තත්වය තුළ පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය පවා නොමඟ යවමින් ආර්ථික ඝාතක
නිලධාරීන් පිරිසක් විසින් රට පාලනය කිරීම හෙවත් රටේ ආර්ථිකය තුළ බරපතල විකෘතියක්
ඇති කිරීමේ තත්වය වෙනස් කළ හැක්කේ කෙසේද? එය කළ හැක්කේ විනිවිද භාවය සහ
මහජන සංවාදය දිරිමත් කිරීම තුළින් පමණි. එහිදී රටට ආනයනය කරන හෝ අපනයනය කරන
සියළු දේ පිළිබඳව මහජනයා විසින් ආවේක්ෂණය කළ යුතු බවත් අදහස් කෙරෙන්නේ නැත.
එහිදී “ පැටෝගේ නීතිය ” අනුව වැඩිම බලපෑම සහිත සුළු කොටස නිවැරදිව පාලනය කිරීම
මඟින් රටේ ආර්ථිකයේ බරපතල වෙනසක් සිදු කළ හැක. එනම් පවතින ආර්ථික ඝාතක
ක්‍රමවේද වෙනස් කළ හැක්කේ රටේ ආර්ථිකයට ජාතික උවමනාවන්ට සහ ජනතාවගේ ජීවිත
වලට වැඩිම බලපෑම සහිත ආනයන සහ අපනයන වලට අදාළව පනවනු ලබන සීමා කිරීම් හෝ අධෛර්ය කිරීම් හෝ දිරිමත් කිරීම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සමාජගත කිරීම මඟිනි.  පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු අතර ඊට අදාළව විවෘත මහජන අදහස් සංවාදයක් දිරිගැන්විය යුතුය. එවිට කෙටිකාලීනව මහජනයාට විඳීමට සිදුවන අපහසුතා සහ දීර්ඝකාලීනව මහජනයාට සහ රටට සිදුවන යහපත පිළිබඳව මහජනයාට අවබෝධයක් ලැබේ. එහිදී විනිවිදභාවය තහවුරු කිරීම සහ අදාළ බදු ආදායම් අයුතු ලෙස පරිහරණය නොකරන බව සහ රටේ නිෂ්පාදන පද්ධතිය දියුණු කිරීම සඳහා පමණක් එම අරමුදල් යොදවන බව සහතික
කිරීම මඟින් කෙටිකාලීනව පැන නැගිය හැකි මහජන විරෝධය සමනය කළ හැක.

උදාහරණයක් ලෙස එවැනි ප්‍රවේශයකදී නිලධාරීන්ගේ ලණු ගිලීම මඟින් කහ ආනයනය තහනම්
කිරීම වෙනුවට දේශිය කහ ගොවිතැන දිරිමත් වන ආකාරයට සහ ආනයනය අධෛර්යමත් වන
ආකාරයට විශේෂ පරිභෝජන බදු පැනවීමේ හැකියාව ඇත. එම බදු ප්‍රමාණය විනිවිදභාවයෙන්
යුතුව සහ තර්කානුකූලව තීරණය කළ යුතුය. එවිට යම් කාලයකදී දේශීය නිෂ්පාදනය ඉහළ යන
විට ආනයනික කහ වලට වඩා අඩු මිලට දේශීය කහ මිලදී ගැනීමේ අවස්ථාව මහජනයාට ලැබේ. එම තත්වය නිසි ලෙස කළමණාකරණය කළ හොත් උපරිම වශයෙන් වසරක් හෝ දෙකක් තුළ ප්‍රතිඵලය අත්දැකිය හැකි වනු ඇත. ඒ අනුව ඒ ආකාරයට දේශිය නිෂ්පාදනය දිරිගන්වමින් ආනයනය අධෛර්යමත් කළ යුතු ද්‍රව්‍යය මොනවාද යන්න
පිළිබඳව සහ ඊට අදාළ මිල මට්ටම් සහ අදාළ බදු පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ මහජන
සංවාදයක් දිරිමත් කිරීම ඉතා වැදගත් වේ. නමුත් රටට තමන් නොදන්නා කුමක් හෝ ජාතික
ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට හඬ නගන පිරිස් එම ප්‍රතිපත්තිය කුමක් සඳහාදැයි යන්න සහ එහි
කුමක් අඩංගු විය යුතුද යන්න පිළිබඳව අදහස් දක්වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ ආහාර වෙළඳපොළ ගත්විට ප්‍රධාන ආහාර ත්‍රිත්වයකට අදාළ වෙළඳපොළවල් තුළ
ඉහත සඳහන් කළ මැදිහත්වීම සිදු කෙරෙන්නේ නම් රටේ ආර්ථිකයේ හරස් කඩක් සහ රටේ
ජනගහණයෙන් 25% කගේ ජීවිත වෙනස්වනු ඇත. එසේම ඒ මඟින් රටේ ජාතික ආරක්ෂාව
තරමටම වැදගත් වන රටේ ආහාර සුරක්ෂිතතාවයද රැකෙනු ඇත. උදාහරණයක් ලෙස සහල් සහ
ඊට තරඟකාරී තිරිඟු පිටි වෙළඳපොළ, කෑමට ගන්නා තෙල් වෙළඳපොළ සහ කිරිපිටි වෙළඳපළ
සැලකිල්ලට ගත හැක. එම වෙළඳපොළ ත්‍රිත්වයේ වටිනාකම ඩොලර් මිලියන 1000 ක් පමණ වේ.
එසේ වුවත් ඒ මඟින් ග්‍රාමීය ආර්ථිකය සහ ගොවියාගේ ජීවන තත්වය මත ඇති කරන බලපෑම
ඉතා ප්‍රභල වේ. එම වෙළඳපොළ තුළ දේශීය කොටස වැඩි කිරීම මඟින් ආනයන වියදම් පාලනය
වන අතර ග්‍රාමීය ආර්ථිකය තුළ මුදල් සංසරණය සහ නව රැකියා අවස්ථා වර්ධනය වේ. එසේම
ඒ මඟින් ගෘහස්ථ ආර්ථිකයට, පෝෂණ තත්වයන්ට මෙන්ම පොදුවේ රටේ ආහාර
සුරක්ෂිතතාවයට ඉතා ප්‍රභල ධනාත්මක බලපෑමක් සිදුවේ. එම මැදිහත්වීම තුළ තාවකාලික
ආනයන තහනම නැමැති දූෂිත උපාංගයට කිසිඳු වලංගුභාවයක් නැත. එහිදී යොදාගත යුත්තේ
ආනයනික ආහාර ද්‍රව්‍යය අවම වශයෙන් දේශීය නිෂ්පාදන වලට වඩා 10% වඩා වැඩි මිල
මට්ටමක පවතින ලෙස විශේෂ පරිභෝජන බදු ගණනය කිරීම නැමැති උපාංගයයි. ඊට අමතරව
යම් ආහාර ද්‍රව්‍යය සඳහා දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව ආනයනය පාලනය කිරීම සඳහා
ප්‍රමාණාත්මක සීමාවන් පැනවීමේ හැකියාවද ඇත.

අදවන විට ඒ ආකාරයට දියුණු උපාය මාර්ගික ප්‍රවේශයක් නොමැතිව අහඹුලෙස තාවකාලිකව
ආනයනය තහනම් කිරීමේ ක්‍රමවේදය තුළ ඉතා හාස්‍යජනක දේ පවා සිදුවේ. ඒවා මතුපිටින්
හාස්‍යජනක බව පෙනුනද ඒ මඟින් මහා සමාගම්වල උවමනාවන් ඉටු වේ. කහ ආනයනය
තහනම් කිරීමට මරාගෙන මැරෙන ආකාරයට තදබල තීන්දුවක් ගත්තද වසරකට                                              ඩොලර් මිලියන250 – 300 ක් අතර වටිනාකම සහිත එළවළු සහ පළතුරු ආනයනය කිරීමට අවසර ලබා දී ඇති
බවට සංඛ්‍යාලේඛන වාර්තා වේ. එවැනි තත්වයක් දක්නට ලැබෙන්නේ කෝවිඩ් වසංගතය තුළ
සංචාරක කර්මාන්තය කඩා වැටී ඇති තත්වයක් තුළය. ඊට අමතරව අමු පොල් ගෙඩි
අපනයනයට අවසර දෙන අතර ශිතකළ අමුපොල් මද රට තුළට ආනයනය කිරීමට අවසර ලබා දී
ඇත. ඒවා පොල්කිරි වර්ග හෝ වියලි පොල් ලෙස ප්‍රති අපනයනය කරන බව පෙන්වා ආනයනය
කළ ද ඒ මඟින් දේශීය පොල් වෙළඳපොළ තුළ මිල විකෘතියක් සිදු වේ. නමුත් එසේ අවසර දෙන
නිලධාරීන් පොල්තෙල් ආනයනය වෙනුවට වියලි පොල් සහ කොප්පරා ආනයනය මඟින් පොල්
තෙල් කර්මාන්ත පද්ධතිය පවත්වාගෙන යාමට විරුද්ධ වේ. ඊට අමතරව අප රටේ පොල් තෙල්
වලට ෆාම් තෙල් මිශ්‍ර කොට විකිණීම මඟින් තත්වය බාලකොට මිල අඩු කිරීම සඳහා ගැසට්
නිවේදනයක් මඟින් අවසර ලබා දී ඇත. ඒ මඟින් පාරිභෝගිකයා රැවටීමට ලක් කිරීම හෝ
මහජන සෞඛ්‍ය අනතුරේ හෙළීම පිළිබඳව බලධාරීන්ට කිසිදු ලැජ්ජාවක් නැත.

ඒ ආකාරයටම තිරිඟු ඇට වලට කි.ග්‍රෑම් 1 කට රු. 20 ක බදු සහනයක් සහ තිරිඟු පිටි වලට රු.28 ක බදු සහනයක් ලබාදෙන අතර සහල් වලට යථාර්ථවාදී නොවන පාලන මිලක් පැනවීම
මඟින් ගොවියාගේ සහ සහල් කර්මාන්තකරුවාගේ ගෙල සිරකිරීම හරහා එම ආහාර වෙළඳපොළ
තුළ සිදකරන මිල විකෘතිය ලෝකයේ කිසිඳු රටක සිදුවනවා යැයි සිතිය නොහැක. එසේම ඉහත
සඳහන් කළ ආකාරයට පොල්තෙල් වලට ෆාම් තෙල් මිශ්‍ර කිරීම මඟින් බාල කිරීම හරහා මිල
විකෘති කිරීමට අමතරව එම තත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ආනයනික පොල් තෙල්
කි.ග්‍රෑම් 1 කට රු. 170 ක සහ ෆාම් තෙල් වලට රු. 100 ක බදු සහනයක් ලබා දී ඇත. ඒ මඟින්
ආහාරයට ගන්නා තෙල් වෙළඳපොළ තුළ සිදුවන මිල විකෘතිය මීට පෙර කිසිඳු අවස්ථාවක
දක්නට ලැබුණේ නැත. කිරිපිටි වෙළඳපොළේ තත්වයද එසේමය. දේශීය කිරි නිෂ්පාදන අපනයනය
කිරීම දිරිමත් කිරීම සඳහා අයවැය මඟින් බදු සහන ලබා දීමට යෝජනා කරන අතර පසුගිය
රජය විසින් ආනයනික කිරිපිටි සඳහා ලබාදුන් කි.ග්‍රෑම් 1 කට රු. 223 ක් වූ බදු සහනය එසේම
පවත්වාගෙන යාම යනු මහා පරස්පරයකි. කිරි පිටි ආනයනය උපරිමයෙන් දිරිමත් කරන අතර ඒ
සමඟම අපනය දිරිමත් වන ආකාරයට නිෂ්පාදනය දිරිමත් කරන්නේ කෙසේද යන්න උභනෝකෝටියකි.

මේ ආකාරයට පාරිභෝගිකයාට සහන දීමේ නාමයෙන් ලබාදෙන බදු සහන මඟින් බදු වංචාවක්
සිදු වන බව ඉතා පැහැදිළිව පෙනේ. ඊට හේතුව එම බදු සහනය මිල අඩු කිරීමක් ලෙස
පාරිභෝගිකයාට ලැබීම වෙනුවට ඒ මඟින් ආනයනකරුවන්ගේ ලාභය වැඩි විමය. දැන් පෙනෙන
ආකාරයට මෙම ක්‍රියාවලිය ජාත්‍යන්තර මහා සමාගම් සහ ඔවුන්ගේ දේශීය ඒජන්තයින් සමඟ
ගනුදෙනු කරන රාජ්‍ය නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ඉතා සූක්ෂම මෙහෙයුමක් බව පැහැදිළි
ය. එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව ආර්ථික සහ දේශපාලන වශයෙන් දුර්වල කිරීම සඳහා උත්සහා
කරන අධිරාජ්‍යවාදී රටවල ඔත්තු සේවා වල අරමුණු ද ඉටු වේ. එනම් ජාතික නිෂ්පාදන
ආර්ථිකය දුර්වල කිරීම, දේශීය නිෂ්පාදකයා රජයට එරෙහිවන තත්වයක් නිර්මාණය කිරීම සහ
රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කිරීම වැනි ක්‍රියාමාර්ග මඟින් ශ්‍රී ලංකාව නම් වූ
රාජ්‍යය අස්ථාවර කිරීමට අවස්ථාව උදාවේ. මෙම තත්වය දිගින් දිගට පවත්වා ගෙන යාම සඳහා
එනම් තත්වය වෙනස් කිරීම වැළැක්වීම සඳහා ආර්ථික ඝාතක නිලධාරීන් සහ ජාවාරම්කරුවන්
එක්ව දේශපාලන නායකයින්ව මානසික බාධක පනවනු ලැබේ. එම බාධක අතර පළමු වැන්න
බදු සහන නොදුන් විට මිල ඉහළ යාම මඟින් පාරිභෝගිකයා අවුල් වීමය. දෙවැන්න බදු පැනවීම්
නොකරන ලෙසට හෝ ආරක්ෂණවාදී නොවන ලෙසට ලෝක වෙළඳ සංවිධානය ඇතුළු
ජාත්‍යන්තර සංවිධාන ජාලයක් විසින් ඇති කරන බලපෑමය.

කෙසේ වෙතත් එම මානසික බාධක අතුරින් පළමුවැනි බාධකයෙන් ගැලවිය හැක්කේ ජාතික
ප්‍රතිපත්තියක් සහ ජාතික මට්ටමේ මහජන සංවාදයක් තුළින් බදු සහන ලබා දුන් විට
දීර්ඝකාලීනව සිදුවන හානිය පෙන්වා දීම මඟිනි. දෙවැනි මානසික බාධකයෙන් ගැලවිය හැක්කේ
ඉන්දියාව සහ දකුණු කොරියාව වැනි රටවල් එම මානසික බාධක මැදින් උඩු ගගං බලා පිහිනන
ආකාරය හෙවත් බදු පැනවීමේ ක්‍රමවේදය සාකච්ඡාවට බඳුන් කිරීම මඟිනි. තාක්ෂණිකව ගත්විට
ඉහත සඳහන් කළ ආකාරයට දේශීයව සහ විදේශීය රටවලදී ලබාදෙන බදු සහන, බදු වංචා,
සංයුතිය වෙනස් කිරීම වැනි ක්‍රමවේද හරහා වෙළඳපොළ තුළ සිදු කෙරෙන මිල විකෘතිය නිවැරදි
කළ හැක්කේ ඊට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණි. එසේ නොමැතිව ලෝකයේ කිසිඳු
රටක් තම දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කර ගැනීමට සමත් වී නැත. මහාචාර්ය හෝ ජූන්
වැන් ගේ ඉනිමඟට පයින් ගැසීම නැමැති කෘතිය මඟින් ඇමරිකාව විසින් ඒ ආකාරයට 1950
දශකයේදී තම නිෂ්පාදන ආර්ථිකය රැක ගැනිම සහ ශක්තිමත් කර ගැනීම සඳහා ආරක්ෂණවාදී
ප්‍රති පියවර ගත් ආකාරය ඉතා හොඳින් පැහැදිළි කෙරේ. නමුත් අප රටේ දේශපාලකයින්ට
උපදෙස් දෙන ඊනියා නව ලිබරල් විද්වතුන්ට අනුව ආරක්ෂණවාදය හෙවත් බදු සහ බදු නොවන
බාධක මඟින් දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කර ගැනීම යනු ජාත්‍යන්තර වෙළඳාමට
එරෙහිව කරනු ලබන මහා අපරාධයකි. එසේ නැතහොත් පහත් දුප්පත් ආර්ථික කළමණාකරණ
ක්‍රමවේදයකි.

ඒ නිසා සියළු මානසික සහ පරිපාලනමය බාධක වලින් ගැලවිය හැක්කේ කිසිවකුට අභියෝග
කළ නොහැකි යුක්ති සහගත සහ සාධාරණ ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුවක් තුළ
ආරක්ෂණවාදය ජාත්‍යන්තරව සහ දේශීයව සාධාරණීකරණය කිරීම මඟින් පමණි. ඒ සඳහා
ලෝකයේ ඕනෑම ජාත්‍යන්තර සංවිධානයක් හෝ රටක් හමුවේ සාධාරණීරණය කළ හැකි
ප්‍රතිපත්තිමය උපාංග 07 ක් යොදාගත හැක. පළමුවැන්න රටේ ආර්ථිකයට සහ ජනජීවිතයට
උපායමාර්ගික වශයෙන් තීරණාත්මකව වැදගත් වන කර්මාන්ත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයයි.
ඒ සඳහා ව්‍යවස්ථාව සහ නීතිය මඟින් ද ප්‍රතිපාදන පැනවිය හැක. ඒ ආකාරයට උපායමාර්ගික
කර්මාන්ත නිර්වචනය කිරීම සඳහා නිර්ණායක කිහිපයක්ම හඳුනාගත හැක. යම් කර්මාන්තයක
වටිනාකම් එකතු කිරීමේ දාමයට සමාජයේ බහුතර ජනතාවක් දායක වේ නම් සහ එම ආර්ථික
ක්‍රියාවලිය ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා තීරණාත්මක සාධකයක් වේ නම් එම
කර්මාන්තය රටට උපාය මාර්ගික වශයෙන් වැදගත් කර්මාන්තයකි. ඊට උදාහරණ ලෙස සහල්,
කිරි, සීනි ආදී කර්මාන්ත සඳහන් කළ හැක. ඊට අමතරව දේශීය දැනුම් පද්ධතිය මත පදනම්වන
සහ භූගෝලීය සන්නාම සහිත කර්මාන්ත ද උපාය මාර්ගික කර්මාන්ත ලෙස සැලකේ. දේශීය
ඖෂධ, දේශීය රූපවලාන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත මෙන්ම කුරුඳු, තේ, පොල් ආදී දේශීය
භූගෝලීය සන්නාම ආශ්‍රිත කර්මාන්ත ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

ඒ අනුව එවැනි කර්මාන්ත ආරක්ෂා කිරීම මුල්කරගෙන ආනයන විකල්ප නිෂ්පාදන දිරිමත් කිරීම
සඳහා බදු සහ බදු නොවන බාධක පැනවීමට එරෙහිව කිසිවෙකුට පැමිණිලි කිරීමට ඉඩක් නැත.
ඊට අදාළ දෙවන ප්‍රතිපත්තිමය උපාංගය වන්නේ රටේ ආහාර සුරක්ෂිතතාවය රැක ගැනීම සඳහා
ආනයනික ආහාර වලට සීමා පැනවීමය. යම් රටක එම රටේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත්
වන ආහාර සුරක්ෂිතතාවය රැකගැනීම සඳහා පියවර ගැනීමේදී අන් රටවලට ඊට එරෙහි වීමට
හැකියාවක් නැත. තුන්වැන්න පරිසරය ආරක්ෂා කිරීම, පාරිසරික සාධාරණත්වය තහවුරු කිරීම
සහ රටේ බලශක්ති සුරක්ෂිතතාවය සඳහා ආනයන අධෛර්යමත් කිරීම හෙවත් ආරක්ෂණවාදී
වීමය. හතරවැනි ප්‍රතිපත්තිමය උපාංගය වන්නේ සහනාධාර සහ බදු සහන දීම හරහා විදේශ රට
වලදී මිල අඩු කිරීම මඟින් අන් රටවල වෙළඳපළ තුළ මිල විකෘතීන් ඇති කිරීම හෙවත් ප්‍රතාපනය කිරීම වැළැක්වීමය. ඊට අදාළව පියවර ගැනීම සඳහා 1994 දී ලෝක වෙළඳ සංවිධානය
පවා එකඟතාවයන්ට පැමිණ ඇත. එම එකඟතාවයන්ට අනුව ලෝකය ඕනෑම රටකට ප්‍රතාපනය
වැළැක්වීම සහ ඊට අදාළව ප්‍රතිතෝලන බදු පැනවීම සඳහා නීති පැනවිය හැක. ලෝකයේ ධනවත්
රටවල් තම රටවල නිෂ්පාදකයින්ට සහ ගොවීන්ට තම නිෂ්පාදන අන් රටවලට අඩු මිලට
ප්‍රතාපනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක පමණ සහනාධාර ලබා දේ.

ඒ ආකාරයට දේශීය නිෂ්පාදන පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත හැකි පස්වැනි
ප්‍රතිපත්තිමය උපාංගය සංයුතිය වෙනස් කිරීම හෝ බාල කිරීම මඟින් මිල අඩු කොට වෙළඳපොළ
තුළ මිල විකෘතියක් ඇති කිරීම වැළැක්වීමය. උදාහරණයක් ලෙස කිරිපිටි වලින් මිල අධික කිරි
මේදය ඉවත්කොට ගෙන ඒ වෙනුවට මිල අඩු ෆාම් තෙල් මිශ්‍රකොට කිරිපිටි වල මිල අඩු කොට
යම් රටකට ප්‍රතාපනය කරන්නේ නම් එය වැළැක්වීම සඳහා නීතිමය පියවර ගැනීමේ හැකියාව
ඇත. අප රට තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිදු කෙරෙන එම වෙළඳපොළ විකෘතිය වැළැක්වීම
සඳහා ආනයන අපනයන පාලන පනත යටතේ ඒවා ආනයනය කිරීම තහනම් කළ හැක. එය
පාරිභෝගික අයිතිය සහ මහජන සෞඛ්‍ය යන පැතිකඩ දෙකටම අනුව සාධාරණීකරණය කළ
හැක. හයවැනි ප්‍රතිපත්තිමය උපාංගය ආර්ථික සහ සමාජීය වශයෙන් අඩු ප්‍රතිලාභී සහ
පහසුවෙන් උපද්‍රවයට ගොදුරුවිය හැකි ජනතාව ආරක්ෂා කිරීමය. ඔවුන්ගේ අවම ජීවන මට්ටම
පවත්වා ගැනීමට අහිතකර ලෙස බලපාන වෙළඳපළ මිල විකෘතීන් නිවැරදි කිරීම සඳහා බදු හෝ
බදු නොවන බාධක මඟින් ආනයන පාලනය කිරීමට ඕනෑම රටකට වගකීමක් සහ අයිතියක්
ඇත. හත්වැනි ප්‍රතිපත්තිමය උපාංගය ආනයන අපනයන ක්‍රියාවලිය තුළ විනිවිදභාවයක් සහ
මහජන වගවීම සහතික කිරීමය. ඊට අනුව යම් ආනයන පාලනය කිරීම සඳහා සහ ඒ මඟින්
වංචා දුෂණ සිදුවීම වැළැක්වීම සඳහා ආනයනය ප්‍රමාණාත්මකව සීමා කිරීමට සහ ආනයන
බලපත්‍ර ලබා දිමට රජයකට අයිතියක් ඇත. මේ සියළු තර්ක වැදගත් වන්නේ ඒ මත පදනම්ව
ජාතික ප්‍රතිපත්තියක් සකස් කොට විනිවිදභාවයෙන් යුතුව ආනයන පාලනය කිරීම මඟින් ආර්ථික
ඝාතකයින්ගේ කූඨ ක්‍රමවේද එළිදරව්කොට ඒවා පාලනය කිරීම සඳහාය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More