Uncategorized

සිංහයා සිය ගමන අතරතුර නැවතී හැරී බලනවා, ඒකට කියන්නේ සිංහාවලෝකනය කියලා. සිංහලයේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ සිය දාහත් අවුරුදු පාලන කාලය පුරාම ආපසු හැරී බලපු රජ කෙනෙක්. ඔහු ජාතියේ ගමන දෙස සිංහාවලෝකනය කළ කෙනෙක්. එහෙත් ගමන කෙළවර වුණේ රටත් රාජ්‍යයත් අහිමිවුණ පිටුවහල් සිරකරුවෙක් හැටියට. අපි ජාතියක් හැටියට මේ සිදුවීම දෙස හැරී බලන්න ඕන. අපිත් සිංහාවලෝකනය කරන්න ඕන. ඒකට අපිට අනන්‍ය ඇස් දෙකක් වගේම කිරා මැන බලන්න අපේම වූ දැක්මක් හා දැනුමක් තියෙන්න ඕන. අපේ දැන් තියෙන දැනුම හා දැක්ම ඉංග්‍රීසීන්ගේ ප්‍රතිමානයන්. ජාතියක් හැටියට අපේ ගැති බව අපට ජනිත කළේ ඉංග්‍රීසීන්ගේ අධ්‍යාපනයත් එක්ක. මේ ගැන හොයා බලන කෙනෙකුට ඉතිහාසය පරිශීලනය කරන්න වෙනවා අපේම ඇස් දෙකකින්. පොළොන්නරුව අතහැරලා ආවයින් පස්සේ අපේ නිර්මාණශීලී මනස ටික ටික හැකිලෙන්න පටන් ගත්තා. වියළි තැනිතලාව අත ඇරලා තෙත් කලාපයට මාරු වුණාට පස්සේ ජාතියට මග පෙන්වන දේශපාලන මූලස්ථානය නන්නත්තාර වුණා. දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල ඉඳලා අවසානයේ කෝට්ටේට රාජධානිය මාරු වුණා. ආධ්‍යාත්මික මගපෙන්වීමත් නැති වුණා.

පෘතුගීසීන් හා ලන්දේසීන් කියන බටහිර ජාතීන් අපට මුණ ගැහිලා ඒක නිසාම මුහුදුබඩ ප්‍රදේශවල ජනයාට ලෝක වෙළදාමේ වාසි ලැබීම නිසා අපි උන්ට ගැති වෙන්න පටන් ගත්තා. මේ ගැතිවීම කොච්චර දුරට සිද්ධ වුනාද කියනවා නම් කොරතොට හාමුදුරුවෝ තෝමස් මේට්ලන්ඞ් ආණ්ඩුකාරයාට ලියපු ලිපිය තුළත් ඉන්ද්‍රසාර හාමුදුරුවෝ තෝමස් මේට්ලන්ඞ් ආණ්ඩුකාරයාට ලියපු ලිපිය තුළත් මේ පරගැති බව ඉතාම හොඳට පෙන්වනවා. (මේ ලිපි බලන්න ඕනනං ශ්‍රීමත් පෝල් ඊ පීරිස් රචනා කළ ත්‍රී සිංහල පොතේ පිටු අංක 199 – 202 දක්වා බලන්න.) දේශපාලන නායකත්වය බිඳවැටිලා ආධ්‍යාත්මික නායකත්වයත් ජාතියට අහිමි උනායින් පස්සේ ජාතියේ ශක්තිය නැති වුණා. කූට උපාය හා ප්‍රයෝගකාරිත්වය උපයෝගී කරගෙන උඩරට රාජ්‍යය බිඳ වට්ටන්න පුළුවන් කියන විශ්වාසය මේට්ලන්ඞ් ප්‍රත්‍යක්ෂ කර ගන්න ඇත්තේ අර කියපු හාමුදුරුවරුන්ගේ ලිපි දැකීමෙන් වෙන්න පුළුවන්. කොරතොට හාමුදුරුවන්ගෙන් සිංහල ඉගෙන ගත්ත ප්‍රාදේශීය ආදායම් නිලධාරී නිලධාරියකු වූ නිර්මාංශික ජෝන් ඩොයිලි මේ වැඬේට ගැලපුනා. මාතර ඉඳලා කොළඹට ගෙනල්ලා ප්‍රධාන ඔත්තු සේවා නිලධාරී තනතුරු දීලා මේ වැඬේ ඔහුට බාර දුන්නා. හැබැයි කවදාවත් අපට ඉතිහාස රචනා කරපු යටත් විජිත උගත්තු මේ කාරණා එහෙම ඉගැන්නුවේ නෑ. සියවස් එකහමාරකට වැඩි කාලයක් බටහිර බුද්ධි සම්ප්‍රදාය අපේ බුද්ධි සම්ප්‍රදාය බවට පත්වෙලා තියෙන නිසා. අපේ මනස ඒ අනුව හැඩ ගස්වලා තියෙන නිසා එහෙම හිතන්න අපට අමාරුයි. ඒ නිසාම රාජසිංහ රජ්ජුරුවො ගැන අපේම කියැවීමක් අවශ්‍යයි, අනාගතය හදා ගන්න. මේ ආරාධනාව එසේ අලුත් විදියට හිතන්න කියලයි.

අද ලංකාවේ හුඟාක් පන්සල්වල තියෙන වළාකුළු බැම්මේ නිර්මාණ ශිල්පියා ශ්‍රී වික්‍රම රාජසිංහ බව කිව්වොත් ඔබ පිළිගන්න එකක් නෑ. ඒ වගේම මාලිගාව ළඟ තියෙන කිරි මුහුදත් මඟුල් මඩුවත් පත්තිරිප්පුවත් සැලසුම් කළ නිර්මාණ ශිල්පියා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ. අපිළිවෙළට කාලයක් තිස්සේ ක්‍රමිකව ගොඩ නැගුනු සේංඛණ්ඩ පුරය මහනුවරක් නැත්නම් අගනුවරක් හැටියට නගර සැලැස්මක් හදපු නගර නිර්මාණ ශිල්පියාත් එතුමායි. කොච්චර දියුණු විදිහට සැලසුම් කළාද කියනවා නම් එය අද ලෝක උරුම නගරයක්. රාජසිංහ නොහිටියා නම් මේ එකක්වත් අපට අද නෑ. මේ හැම ව්‍යාපෘතියක්ම දාහත් අවුරුද්දක් ඇතුළත නිම කළා. හිතලා බලන්න මීට වසර දෙසීයකට පෙර නූතන තාක්ෂණය නැතිව කරපු මේ වික්‍රමය.

හැබැයි අපි රාජසිංහ ව එහෙම කියවලා නෑ. අපිට උගන්වලා තියෙන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් ීජදඑජය අයසිනහ බීපු ඇහැලේපොළගෙ දරුවොයි කුමාරිහාමියි මරා දාපු දුෂ්ටයෙක් නැත්නම් අවලමෙක් හැටියට. මේ ලඟ අවුරුදු දෙසීයක ඉතිහාසයවත් විචාරශීලීව අපට බලන්න බැරි නම් අපේ මුළු මහත් ඉතිහාසය ම සොයා ගන්නවා කියන එක කළුනික හොයා ගන්නවා වගේ දුෂ්කර එකක්. මොකද යටත්විජිත උගතුන් රචනා කළ ඉතිහාසය අපට අවමානය හා හීනමානය ඇතුලත් කරන්න හිතාමතා සැලසුම් කරපුව. ඒ වගේම අපේ ඉතිහාසය කියලා අපි කියවන්නෙ වංශකතා. ඒවා තුළ ඉතිහාස පුවත් තැන්පත් වෙලා තියෙන එක ඇත්ත. නමුත් ඒවා ඉතිහාස කරුණු ලෙස ගොනු කරල ඉතිහාසයක් ලියන්න ඉතිහාසඥයෙකු අපි හදලා නෑ. විමසුම් ඇසින් ඉතිහාසය දෙස බලලා වර්තමානය ගොඩනගන්න අපි සුළු උත්සාහයක් ගමු.

ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ සිංහලේ අවසාන රජු. ඔහු නායක්කර් වංශිකයෙක්. අපේ කණට දාලා තියෙන්නේ ඔහු දෙමළෙක් කියලා. ඊට කලින් නායක්කර් වංශික රජවරුන් තුන් දෙනෙක් හිටියා . ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධිරාජසිංහ කියලා. මේ අය අතරින් ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නේ කැපී පෙනෙන වෙනස් රජෙක්. ඔහු ගැන විස්තර කරන්න කලින් නායක්කර්වරු රාජ්‍යයට පත් වුණේ කොහොමද කියලත් කියන්න ඕන. පළමුවන විමලධර්මසූරිය රජ්ජුරුවන්ගේ පුතා සෙනරත් රජ්ජුරුවෝ අගබිසව හැටියට තෝරා ගත්තේ මලබාර් නැත්නම් මධුරාපුරයෙන් ගෙන්න ගත්තු නායක්කර් කුමාරිකාවක්. ඊට පස්සේ මහනුවර රාජධානියේ රජවරු හුඟක් අගබිසව් ගෙන්න ගත්තේ මේ මථුරා(මධුරා)පුර කුමාරිකාවෝ. මේ කුමාරිකාවෝ එක්ක ඒ අයගෙ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ සමහර විට ළඟම ඥාතීන් මහනුවරට ඇවිල්ලා පදිංචි වුණා. මේ අය පදිංචි වුන වීදියට කිව්වේ කුමරුප්ප වීදිය කියලා. කාලයක් යනකොට ප්‍රමාණයෙන් හා බලයෙන් මේ අය අගනුවර බලවත් පිරිසක් වුණා. මේ අයට පුළුවන් වුණා එතෙක් පැවති රජු තෝරා පත්කර ගැනීමේ ව්‍යවස්ථාමය වගන්ති වෙනස් කරවන්න. මහරජතුමාට දාරක පුත්‍ර සම්පත්තියක් නැත්නම් අග බිසවගේ සහෝදරයෙකුට රජ පුටුවෙ වාඩිවෙන්න හැකි විධියට වගන්ති වෙනස් කරවන්න මේ අයට පුළුවන් වුණා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ කියන සිංහල රජ්ජුරුවන්ගෙන් පස්සේ ඔහුගේ මස්සිනා වන ශ්‍රී විජය රාජසිංහ කියලා නායක්කර් කුමාරයෙක් මහනුවර රාජ වාසලට ඇතුලු උනා. ඒකෙන් අපට රජවරු හතර දෙනෙක් මුණ ගැහුණා.

ශ්‍රී වික්‍රම රාජසිංහ නායක්කර් උනාට භාවිතයෙන් සිංහල බෞද්ධයෙක්. ඔහුගේ භාවිතාව රට සමග ඉතා දැඩිව බැඳිලා තියෙනවා. ඔහු උත්සාහ කළා අතීත සභ්‍යත්වය දෙසට පියනගන්න. කන්ද උඩරට වැව් කීපයක්ම හැදුවා. කැපී පෙනෙන වැව තමයි මාලිගාව ළඟම තියෙන කිරිමුහුද. සමහරු කියන්නේ කුමාරිහාමිව ගිල්ලවලා මරපු බෝගම්බර වැව කියලා. බෝගම්බර වැව කියලා වැවක් දැන් මහනුවර නෑ. සුද්දෝ ඒ වැව වහලා බස් නැවතුම්පොළයි බෝගම්බර හිරගෙදරයි ප්‍රසිද්ධ එළවළු වෙළඳපොලයි එක්ක තව ගොඩනැගිලි රාශියක් ඉදි කෙරුවා බෝගම්බර වැව ඇතුලේ. වැව් බැම්ම කපලා විසිකරලා වැවෙන් පෝෂණය වුණ රජ්ජුරුවන්ගෙ කුඹුරුයාය (දෙයියන්ගේ වෙල) නව ගම්මානයක් බවට හැරෙව්වා. කන්ද උඩරට රාජ්‍යය දඩයම් කළේ කොහොමද කියලා දැන් සාකච්ඡාවට ගමු.

ඉංග්‍රීසි ඉතාම හොඳට සැලසුම් කරලා චෙස් ගේමක් ඇද්දා. මේ චෙස් ගේම ඇද්දෙ ජෝන් ඩොයිලි කියන ප්‍රධාන ඔත්තු සේවා නිලධාරියා රජු චෙක්මේට් කරන්න. නැතිනම් රජු කොටු කරන්න රජු වටේ ඉන්න අදිකාරම්ලා දිසාවෙලා හා මොහොට්ටාලලාගේ ඉඳලා අංගාරක්ෂකයන් දක්වා ඉන්න රාජ්‍ය නිලධාරීන් බිඳවලා රාජ්‍යයේ කොඳු නාරටිය දුර්වල කරන්නත් ඉංග්‍රීසි උවමනාවන් වෙනුවෙන් හසුරු වන්නත් ජෝන් ඩොයිලි දියුණු සැලැස්මක් සකස් කළා.

නෝර්ත් පිලිමතලව්වේගේ හා ලෙව්කේගේ මග පෙන්වීම මත රජු සමග අත්සන් කිරීමට ක්‍රි.ව. 1800 දීම ආරක්ෂක ගිවිසුමක් සකස් කලා. රජු ඒක ප්‍රතික්ෂේප කළා. රජු දැනගෙන හිටියා ආරක්ෂක ගිවිසුමක් කියන්නේ ඉංග්‍රීසින් තමා අභිභවනය කරන්න හදන සැලැස්මක් කියලා. අදටත් ආරක්ෂක ගිවිසුමක් කියන්නේ එහෙම එකකට. ඊට පස්සේ ද්‍රෝහිත්වය, කූටෝපාය, ප්‍රයෝගකාරීත්වය යොදාගෙන කන්ද උඩරට රාජ්‍යයේ සතුරෙකුට මුහුණ දීමට තිබුන ජාතියේ අන්‍යෝන්‍ය බැඳීම සුණනුවිසුණු කිරීමට සැලසුම් සකස් කළා. පසු කලෙක රොබට් බ්‍රවුන්රිග් කී පරිදි “එය තවදුරටත් ජනතාවක් බලහත්කාරයෙන් යටත් කර ගැනීමක් නොවූ අතර ස්වෙච්ඡාවෙන්ම යටත්වීම පිළිගැනීමක්” බවට පත් කළා. හැබැයි තවම අපි ඒක දන්නේ නෑ. රජු හිටියේ එක තැනක. රදළ නිලෙමෙලා හිටිය වෙන තැනක. ඒක අර චෙස් ගේමෙ ප්‍රතිඵල.

ශ්‍රී වික්‍රම රාජසිංහ ඔහුට පෙර සිටි නායක්කර් රජවරුන් වගේ ම මලබාරෙන් අගබිසව ගෙන්න ගත්තෙ නෑ. කුමරුප්ප වීදියේ ඒ වෙනකොට හිටපු ඥාතීන් අතරින් බිසෝවරු තෝරාගත්තා. සමහර කටකතා කියන ආකාරයට රාජසිංහ, නානායක්කර් රජ කෙනෙකුගේ යකඩ දෝලිකට පිළිමතලව්වේට දාව උපන් දරුවෙක්. තවත් කාරණයක් සිහිපත් කරන්න ඕන. එදා සිරිත අනුව සිංහලේ රජු, දළදා වහන්සේත් රටත් ආරක්ෂා කිරීම සඳහා බෞද්ධයෙක් වෙන්න ඕන. රාජසිංහ, හාමුදුරුවරුන්ගෙන් අධ්‍යාපනය ලබපු නිසා බෞද්ධ වෙන්න ඇති. රජකම ලබන්නටත් කලින්ම. රාජසිංහ සිංහල බෞද්ධ වෙන්න තවත් කාරණාවක් තිබුණා. ඔහුට රජකම උරුමව තිබුණේ නෑ. ළඟ උරුමය තිබුණේ මුත්තුසාමිට. වෙන්කඩ පෙරුමාල් කියන 17 හැවිරිදි තරුණයා ව ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ කමට ගෙනාවෙ රජවාසල බලවතා හැටියට හිටපු පිළිමතලව්වේ. පසුව සිංහල රාජ්‍යත්වයක් ඇති කරන්න. ඒක පිළිමතලව්වෙගේ උපායක්.

පිළිමතලව්වෙට විතරක් නොවෙයි, උඩරට රදළ නායකයෝ බොහොමයකට මේ රුදාව තිබුණා. පිළිමතලව්වෙ හිතුවා ළාබාල කොල්ලෙක් හින්දා රජුව මෙහෙයවන්න තමාට පුළුවන් කියලා. නමුත් රජු සිය උපන් හපන්කම් පෙන්නලා සැබෑ රජෙක් හැටියට කටයුතු කළා. රදළ නායකයෝ හිතුවා සිංහල අය අතරින් රජෙක් හදන්න. රාජසිංහ හැදුවා සිංහල රජෙක් වෙන්න. ජනතාව දිනාගැනීම සඳහා ජනතාවගේ මියෑදෙන සංස්කෘතික උරුමයට සැබෑ සිංහල රජෙක් හැටියට ඊට පණ දෙන්න රජු තීන්දු කෙරුවා. රාජ්‍ය ආරක්ෂකයා හා දළදා වහන්සේගේ භාරකරුවා හැටියට තමාගේ වැඩ කොටස ගැන හිතුවා. පොලොන්නරුව අතහැරලා ආවායින් පස්සේ අතහැරුණු වාපි සභ්‍යත්වයට පණ දෙන්න සැලසුම් සකස් කළා. වැව් හය හතක් හැදුවා. නානායක්කර් සංස්කෘතියෙන් පෝෂණය වුණාට අනිත් නානායක්කර් රජවරු මුහුණ දුන්න නුහුරු නුපුරුදු පාලනයක් නෙමේ ශ්‍රී වික්‍රම රාජසිංහ අනුගමනය කළේ. බෞද්ධ භික්ෂු අධ්‍යාපනයත් එක්ක අතීත සභ්‍යත්වයේ ඥානය සොයා යන්නට ඔහුට හැකියාවක් තිබුණා.

ඔහු කිරිමුහුද හැදුව වගේම ඉන්දියානු මිථ්‍යා කථාවල එන අන්තලික්ඛ විමානයක් හදන්න මහන්සි ගත්තා. හින්දු ආභාසය විසින් බෞද්ධ සභ්‍යත්වයට ඉතා සියුම් කරුණු ගණනාවක් ඒ වෙනකොටත් ඇතුල් වෙලා තිබුනා. වංශකතා හා වෙනත් බෞද්ධ සාහිත්‍යමය පුරාවෘත්තවල එන බුද්ධපරිනිර්වාණ මඤ්චකයේ දී ලංකාව ශක්‍ර දෙවියන්ට නැත්නම් පළමුවන ඬේරියස්ට භාර කිරීම, ශක්‍ර දේවයන් එය උපුල්වන් දෙවියන්ට බාර කිරීම වගේ කථාන්තර එක්ක බෞද්ධ සාහිත්‍යයේ හා සංස්කෘතියේ ආභාසයන් බෞද්ධ ඉගැන්වීම්වලට මිශ්‍ර වෙලා තිබුණා. රාජසිංහ රජු මහනුවර මේ අන්තලික්ඛ විමානයක් හැටියට ගොඩනගන්න මහන්සි ගත්තා. හැබැයි අනුරාධපුර පොලොන්නරුවෙන් වහනය වුන සිංහල බෞද්ධ සභ්‍යත්වයම නොවෙයි රජුගේ දැනුමට එකතු වුණේ. රදළ නායකයෝ රජුට එරෙහි ක්‍රියාවලියක නිරත වුණා. ජෝන් ඩොයිලිගේ අනුදැනුම උඩ. ජනතාව රජුට වඩා රදළ නායකයන්ට බයේ හිටියේ. පසුකාලීනව මහජනයා තේරුම් ගත්තා තමන්ටත් රදළ නායකයන්ටත් වැරදුණ බව. එතකොට විනාශ වෙලා ඉවරයි. අන්තරීක්ෂ නගරයේ හැදුවේ මෙහෙම පසුබිමකයි.

දැන් මහනුවර කියන්නේ දිව්‍ය ලෝකයේ තියෙන ඒ අන්තරීක්ෂ නගරය ම තමයි. කිරිමුහුද තියෙන්නෙ අහසෙ නැත්නම් දිව්‍ය ලෝකයේ. අහසේ තියෙන බව තේරුම් ගන්න තමයි කිරි මුහුද වටේට වලාකුළු බැම්ම නැත්නම් ආකාස බැම්ම හැදුවේ. අට දිසාවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයා මම කියලා ජනයාට හිතාගන්න තමයි දළදා මාලිගාවට අටපට්ටම් සහිත පත්තිරිප්පුව හැදුවේ. ශක්‍ර දේවේන්ද්‍රයාගේ විලාසයෙන් තමයි එතුමා පත්තිරිප්පුවේ පෙනී හිටියෙ. සුදම් සභාව හැටියට මගුල් මඩුව හැදුවා. ඒ ආකෘතියත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙ මනසෙ උපන් සැලස්මක්. සමහර විට ඒකත් අනුරාධපුර සභ්‍යත්වයෙන් උකහා ගත්තා ද දන්නේ නෑ. මොකද ලෝවාමහාප්‍රාසාද ගොඩනැගිල්ල හදලා තියෙන්නේ දිව්‍යලෝකයේ නැත්නම් ශක්‍රපුරයෙ තියන ”බෙරනි” කියන ගොඩනැගිල්ලේ සැලැස්මකට. අදටත් ලංකාවේ විශිෂ්ටතම වාස්තු ඉදිකිරීමක් හැටියටයි මගුල් මඩුව සැලකෙන්නේ. මේ ඉදිකිරීම් විශේෂත්වය නිසා නිදහස් මන්දිරය හදලා තියෙන්නේ මේ මගුල් මඩුවෙ ආකෘතිය සැලකිල්ලට අරගෙන. ඊටත් වඩා විශේෂ වෙන්නේ නගර සැලැස්ම.

ත්‍රීසිංහලාධීශ්වර හෙවත් ත්‍රී සිංහලේ රජු හැටියට රජු පෙනී හිටියත් දුෂ්කර කඳු හෙල්වලින් වට උන මලය රට පමණයි රජුට අයිතිව තිබුණේ. ඉතිරි වෙලා තියෙන කුඩා බිම්කඩ තුළ හරි අභිමානවත් පරපුරක් හදන්න අන්තලික්ඛ නගරයක් ඔහු සැලසුම් කළා. මගේ අවබෝධයේ හැටියට එවැනි පියවරක් තැබූ එකම රජු රාජසිංහයි. දළදා මාලිගාවේ ඇතුල් කොටස වෙනම පවුරකින් වට කරලා මාලිගා පරිශ්‍රය තුළම මහවාසලක් ගොඩනගලා නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම දේවාල සමූහයක් ඒකට එකතු කරගෙන ප්‍රභූ නිවස්න ඒකට යාබදව ගොඩනැගුවා. විශේෂත්වය වන්නේ අස්ගිරි හා මල්වතු මහා විහාර දෙකත් ඇතුළු කිරිමුහුද හා බෝගම්බර වැව ඇතුලත් කරලා වර්ග සැතපුමකට අඩු වූ භූමි ප්‍රදේශයක් මේ නගරයට ඇතුළු කළා. මාලිගාව ඉදිරි පසින් දිවෙන අපි දළදා වීදිය යැයි කියන මාවත පේරාදෙණිය පාර දක්වා තනි කෙලින් සැතපුම් භාගයකටත් වඩා දුර සකස් කරලා නැවත සිරස් අතටත් තිරස් අතටත් පාරවල් ගණනාවක් දාං ලෑල්ලක් වගේ චතුරස්‍ර විස්සක් ඇතුළත් කරලා හැදුවා. දැන් කටුගස්තොට පාර, පල්ලෙදෙනිය වීදිය, රිදී වීදිය, ස්වර්ණ කල්‍යාණ වීදිය, කුමාර වීදිය, කවිකාර වීදිය වගේ වීදි හදලා දේවාල පරිශ්‍රයත් වෙන් වුණ ගමන්ම රදළ නිලමෙලගේ ප්‍රභූ නිවාස හැදුවා. පොලොන්නරුව ඇද වැටුණායින් පස්සේ පොළොන්නරුවේ සෙන්කණ්ඩ බමුණා ඇතුළු හින්දූන් පිරිසක් ඇවිදිල්ලා සෙන්කණ්ඩපුරය නැත්නම් සෙංකඩගල මුල්කොට රාජධානියක් හැදුවේ සේනා සම්මත වික්‍රමබාහු යි. කුරුණෑගල රාජධානියේ ඉඳලා යාපහුව වලස්ගල හිටපු හාමුදුරුවරු පිරිසක් ආරක්ෂාව පතා අද අස්ගිරිය කියන කඳු සහිත ප්‍රදේශයේ සෙනසුනකට වැඩැම්මෙව්වා. කුරුණෑගල රජ්ජුරුවන්ගේ අනුදැනුම මත. මෙහෙම ටික ටික වර්ධනය වුණ නගරයේ පළමු පූජනීය ඉදිකිරීම වුණේ පොළොන්නරුවෙන් ආපු හින්දූන් හදපු නාථ දේවාලය. පස්සෙ ටික ටික අනිත් දේවාල හැදුවා. පළමුවන විමලධර්මසූරිය රජ්ජුරුවෝ දළදා වහන්සේ වඩම්මවල දළදා මාලිගාව ඉදි කෙරුවා. ඒ වෙනකොට හින්දූන් පෙරහර සම්ප්‍රදාය ආරම්භ කරලා තිබුනා. දේවාල පෙරහැර හතරට පස්සේ දළදා පෙරහැරකුත් මහනුවරට එකතු වුණා. අන්තලික්ඛ නගර සැලසුම් ශිල්පියාට නැත්නම් රාජසිංහ රජුට මේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. දැන් අපි සාකච්ඡා කරමු, මහනුවර නගර සැලැස්ම.

මහනුවර නගර නිර්මාණය ඉතාමත් නිවැරදි කඩැස්තර සැලසුමක්. රජමාළිගාව හා දළදා මාලිගාව වෙන් කොට පූජනීය පෙදෙස තුළ දේවාල හතර හා ඊට යාබද අමාත්‍ය මණ්ඩල නිල නිවාස ද ඊටත් යාබදව රාජකීය ඥාතීන්ගේ හා රදළ නායකයින්ගේ ඥාති නිවස්න ද වෙළඳ වීදි හා අනෙකුත් වීදි ද ඇතුළත් කළා. පැරණි අනුරාධපුර, පොලොන්නරුව දෙස බලන විට පෙනී යන්නේ ඒවා ඉන්දීය ආභාසයන් සහිත නගර සැලසුම් බවයි. උදාහරණයක් හැටියට අනුරාධපුර ඇතුල් නුවර අක්කර 68 ක් පුරා රාජකීය මාළිගා හා රාජකීයන්ගේ ළඟම ඥාතීන්ගේ නිවස්න ද උතුරු දොරටුවෙන් හා බටහිර දොරටුවෙන් බාහිර ප්‍රදේශ පූජනීය ප්‍රදේශ ලෙස ද වෙන් කෙරුණ අතර නැගෙනහිර ඇතුල් දොරටුව ආරක්ෂිත නිවස්න ද දකුණු දොරටුව වෙළඳ ප්‍රදේශ ලෙස ද ගොඩනැඟුව ද පසු කලෙක දී සියවස් හතරක් පහක් ඇතුළත ඇතුල් නුවර හැර සෙසු සියලු ප්‍රදේශ පූජනීය නගරයක් ලෙසට වර්ධනය උනා. වර්තමානයේ ගොඩනගන ලද අනුරාධපුර නව නගරය ද නිවැරැදි ආකාරයට අඳින ලද කඩැස්තර සැලැස්මක් නොවේ. නමුත් කොළඹ හෝ වෙනත් ලංකාවේ කිසිදු තැනක දක්නට නොලැබෙන සැබෑ ලෙසම බටහිර ආභාසය ලැබ අඳින ලද නිවැරදි කඩැස්තර සැලසුමක් මහනුවර තවමත් විද්‍යමාන ව තියනවා. සමහර විට එය වර්ග සැතපුමකට අඩු කඳු සහිත භූමි භාගයක ඉදි කළ එකක් නිසා භූගෝල විද්‍යාත්මක පසුබිම කළ බලපෑම ද සුළුපටු නො වන්නට පුළුවන්. අන්තලික්ඛ විමාන ලාංකේය සභ්‍යත්වයට දිගු කලක සිට ඇතුළු වී ඇති බව අපි දන්නවා. කිරි මුහුදත් වළාකුළු බැම්මත් සුදම් සභාවත් ශක්‍ර දේවේන්ද්‍රයා පිළිබඳ අදහසත් සභ්‍යත්ව විඥානයෙන් රාජසිංහට ලැබෙන්නට ඇති. මඩවගුරක් හාරා කිරිමුහුද බවට පත් කොට එය දිව්‍ය ලෝකයේ නැතිනම් අහසේ ඇති බව සැලකීමට වළාකුළු බැම්මත් කිරි මුහුද තුළ බිසෝ මාලිගා, උල්පැන් ගෙය, මුර කුටි හා සතුටු උයනක් ද නිමවා අන්තලික්ඛ විමානයක් ලෙස සෙංඛණ්ඩපුර වෙනස් කරනු ලැබුවා.

නමුත් මේ පුරවරය ඉංග්‍රීසීන් මිහිදන් කරනු ලැබුවා. දේශීය ගොඩනැගිලි වෙනුවට බටහිර ගොඩනැගිලි ආදේශ කළා. පත්තිනි දේවාල භූමියේ ඇංග්ලිකන් පල්ලියක්, පොලිස් හා වෙනත් හමුදා කටයුතු සඳහා පැරණි ගොඩනැගිලි භාවිතාවට ගත්තා. රජ මාළිගාව උඩරට ප්‍රදේශ භාර නිලධාරියාගේ නැත්නම් ජෝන් ඩොයිලිගේ වාසභූමිය වුණා. බිසෝ මාළිගය ආහාර ගබඩාවක් වුණා. ඓතිහාසික මඟුල් මඩුව ඇංග්ලිකන් දේව මෙහෙය සඳහාත් පසුව උසාවියක් සඳහාත් භාවිත කළා. පිළිමතලව්වෙගේ වලව්ව ආණ්ඩුකාර නිල නිවස බවටත් ඇහැලේපොළ වලව්ව හිර ගෙයක් හා හමුදාව ඛණ්ඩයක් සඳහාත් යොදා ගත්තා. ක්වීන්ස් හෝටලය බවට පත්වුණේ දුල්ලෑව වලව්ව. මොල්ලිගොඩ වලව්ව ඵසකකැරි ඊමසකාසබට බවට පත් වුණා. පැරණි නගරය මිහිදන් කළත් තවමත් චතුරශ්‍ර දහ අටක් විරජමානව පවතිනවා.

රාජසිංහයන්ගේ සිංහාවලෝකනය තුළ සිංහල බෞද්ධ රාජ්‍යය හා සම්ප්‍රදායන් තුළට හින්දු ආභාසය මුසු කොට තිබෙනවා. අන්තලික්ඛ නගරයක් සැලසුම් කරන්නට ඇත්තේ ඒ නිසයි. රාජසිංහ මියගොස් ටික කලකින්ම අලුත් දෙවියන් හැටියට ජනතාව තුළ උපදිනවා. කෑගල්ල පින්නවල ඉලුක්ගොඩ සියාතු නොතාරිස් කියලා කෙනෙක් කවි 169 කින් යුත් අලුත් දෙවි හෑල්ලක් ලියනවා. ක්‍රිස්තු වර්ෂ 1860 තරමේ ම. ඒ අලුත් දෙවි හෑල්ලේ කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යලි ලංකාවේ උප්පත්තිය ලබලා සතුරන් වනසලා ලංකාවත් බෞද්ධ ශාසනයත් රකින්න දෙවියෙක් හැටියට උපදින බව. මාවනැල්ලේ අලුත්නුවර දේවාලයේ දැඩිමුණ්ඩ දෙවියන්ටත් කුරුණෑගල ගලේ බණ්ඩාර දෙවියන්ටත් දෙවිනුවර විෂ්ණු දෙවියන්ටත් කදිරාපුරේ ස්කන්ධ දෙවියන්ටත් ආවේශ වීම මේ අලුත් දෙවි හෑල්ලෙන් කියනවා. ජනතාවට ඔහු අමතක නෑ කියන එක තමයි මේකෙන් විදාරණය වෙන්නේ.

දැන් අපි ත්‍රීසිංහලාධීශ්වර ශ්‍රී වික්‍රම රාජසිංහ කියන සිංහලේ අවසාන රජුට මොකද උනේ කියලා හොයන්න ඕන. රාජසිංහගෙන් නවතින්නෙ නැතුව ඉතිහාසයේ ගමනට සිංහාවලෝකනය කරලා බලන්න ඕන. අපේ රට ගොඩ නගපු සභ්‍යත්වය හරිහැටියට හොයා බලන්න ඕන. රාජ නාමාවලිය නොවෙයි, වසර තුන්දාහක් තරම් කාලයක සිංහල සභ්‍යත්වයත් සිංහල ජාතියත් ගොඩනැගීමට මුල් වුන දර්ශනය මොකක්ද කියලා. ඒක නිකම්ම නිකං සිංහල බෞද්ධ ලේබලයක් පමණක් ද නැත්නම් ඊට යටින් මේ පොළොවේ සැබෑ ලෙසටම ජීවත්වුණු විවිධ මානව කණ්ඩායම් හා ජාතිකත්ව ජාතියක් බවට එක්කාසු කරපු දෘෂ්ටිවාදය උපන්නේ කොහොමද කියලා. ජාතියක් ලෙස පෝෂණය ලබන්නට කෑම බීම ඉඳුම් හිටුම් ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් සුලබ ව ගොඩනඟා ගැනීමට මග පෑදූ අධ්‍යයනය සහ අධ්‍යාපනය සොයා ගත්තේ කොහොමද කියලා. පරපුරෙන් පරපුරට ඒ අධ්‍යාපනය රැක ගෙන ආ සභ්‍යත්ව විඥානය නිර්මාණය කරන්න ගිහිල්ලා රාජසිංහට අත් උන ඉරණම හරි එකක් ද වැරදි එකක්ද. අදටත් වෙල්ලෝරයේ පළාර් ගං ඉවුරේ මුතු මණ්ඩපය තුළ සදාකාලිකව වැතිර සිටින රාජසිංහ රජු ඉන් මුදවා ගෙන යළි ලංකාවට ගෙන එන්න ඕන. ඉංග්‍රීසින් උපායෙන් හා ප්‍රයෝගයෙන් ශ්‍රී ලංකාද්වීපයෙන් පිටුවහල් කළ රාජසිංහ නැතිනම් ත්‍රී සිංහලේ රාජ්‍යයේ සංකේතය යළි ගෙනල්ලා මේ පොළොවට උරුම අපේ රාජ්‍යය අපි අත් අත්පත් කරගන්න ඕන. යළිත් කිරුළ උඩරටට ගෙන එන්න ඕන. සභ්‍යත්වය වළදාපු තැනින් නැගිට්ටවන්න ඕන. රාජසිංහ ව සිංහාවලෝකනය කරලා බලන්න ඕනා. රාජසිංහව පමණක් නොවෙයි ඊට පෙර අපේ ඉතිහාසයත් සිංහාවලෝකනය කරන්න ඕන. මොකටද එහෙම කරන්න ඕනා කියලා කියන්නේ.

බටහිර ජාතීන් රටවල් යටත් කරගත්තේ ගිවිසුම් මගින්. අද වෙන කොට ආරක්ෂක ගිවිසුම්වලින්. ්ක්‍ී්ල ීධත්‍්ල ඵක්‍ක්‍ කියන්නේ ආරක්ෂක ගිවිසුම්. සමහරවිට ඉන්දියාවයි මාලදිවයිනයි ශ්‍රී ලංකාවයි ඊයේ පෙරේදා අත්සන් කරපු ආරක්ෂක ගිවිසුමත් එහෙම එකක් වෙන්න පුළුවන්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ බටහිර නගර නිර්මාණයේ දී භාවිත කළ චතුරශ්‍ර සම්ප්‍රදාය බටහිරින් ගත්ත එකක් වෙන්න පුළුවන්. පෙරදිග ඉදිකිරීම් සම්ප්‍රදාය උනේ වෘත්තාකාර ඉදිකිරීම්. විශේෂ කොට ස්තූප පෙන්නන්න පුළුවන්. රාජසිංහ මහනුවර නගරයේ, තමා සිංහල බෞද්ධ කියලා පෙන්වන්න එකම ස්තූපයක්වත් හැදුවේ නෑ. නමුත් අන්තරීක්ෂ නගරයක් හැදුවා. ඒකෙ සංකල්පය නැත්නම් ශක්‍ර දෙවියන් හා අන්තලික්ඛ විමාන පෙරදිග සංකල්පයක්. ඒක බෞද්ධ සංකල්පයක්. සංකල්පයේ උපත තිබුණේ පර්සියාවට හා බටහිර ලෝකයට. කඩැස්තර සැලසුම් සෘජුකෝණාශ්‍ර අරගෙන නගර හැදුවේ පැරිස්, ලන්ඩන්, බර්ලින්. චතුරස්‍ර හැදුවේ යුරෝපයේ. මහනුවර නගර සැලැස්මට යුරෝපීය උගතුන් කෙතරම් වශී උනාද කියනව නම් මහනුවර නගරය ලෝක උරුමයක් බවට පත් කරලා තියෙන්නේ. ඉතිං රාජසිංහ විශ්වාන්තර දැනුමක් තිබුණ කෙනෙක් නේද. දාහත් අවුරුද්දක් ගිය තැන ලාබාල වයසේදී රජ වෙලා, රජවෙලා දාහත් අවුරුද්දකින් ලෝක උරුම නගරයක් ඉදි කරලා දාහත් අවුරුද්දක් නොරටක හිරකාරයෙක් හැටියට ඉඳලා මැරුණා. ඒත් අපිට නම් වගේ වගක් නෑ. ඒ අපේ හැටි. අපේ මොළ ඉංග්‍රීසි විශ්වවිද්‍යාලවලින් හොඳටම හෝදලා තියෙන්නේ. අපේ දැනුමකින් අපේ හැකියාවන්ගෙන් අපි නැගිටිමු. ත්‍රී සිංහලාධිශ්වර ශ්‍රී වික්‍රම රාජසිංහ අපෙන් නිහඬව ඉල්ලා සිටින්නේ එයයි. නෝර්ත් එක්ක ගිවිසුම් අත්සන් කළා නම් රාජසිංහට මේ ඉරණම අත් වෙන්නේ නෑ. නෑ නෑ නෑම තමයි. පෘතුගීසීන් එක්ක කෝට්ටේ රජ්ජුරුවෝ අත්සන් කරපු ගිවිසුම කෙළවර වුණේ ලන්දේසීන්ට හා ඉංග්‍රීසීන්ට පාර කපල. ගිවිසුම් ඒඞ්ස් වගේමයි. භයානකයි. සුව කළ නොහැක.

සේනාරන්ත ද සිල්වා
nayomakusum@yahoo.com
සභාපති – පරපුරක උරුමය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More