පුරවැසි කොලම

රුසියානු වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ලියොනිඩ් රොෂාල් මහතා ජාත්‍යතර මාධ්‍ය වලට ඉතා සුවිශේෂි ප්‍රකාශයක් සිදු කොට ඇත. රුසියානු ජනාධිපති වැල්ඩ්මීර් පූටින්ගේ පමණක් නොව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා උපදේශකයෙකු වන ඒ මහතා සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ්-19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් ලෙස සැලකිය යුතු බවය. ඒ අනුව මෙවැනි වසංගත වලට මුහුණ දීම සඳහා රුසියාවේ රාජ්‍ය පද්ධති සහ හමුදාව පමණක් නොව ජනතාවද ශක්තිමත් කළ යුතු බව ඔහු පවසයි. ඔහුගේ මතයට අනුව මධ්‍යගත ක්‍රියාවලියට අමතරව පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් පමණක් නොව ගෘහස්ථ මට්ටමින්ද මුහුණදීමේ හැකියාව සහ ධාරිතාව වර්ධනය කළ යුතුය. ඊට අමතරව ආරක්ෂක හමුදා සිවිල් වගකීම් ඉටුකිරීම සඳහා විධිමත්ව සූදානම් කළ යුතු බව පමණක් නොව වසංගත තත්වයකදී පළමු මට්ටමේ සෞඛ්‍ය සේවා මැදිහත් වීම ආරක්ෂක හමුදාවල වෛද්‍ය ඒකක මඟින් සිදුකළ යුතු බවද ඔහු කියයි.

එම ලෝක ප්‍රකට ” දේශපාලන වෛද්‍යවරයාගේ ” උපදේශය දෙස ශ්‍රී ලංකාවට සාපේක්ෂව බැලීමේදී අප රටේ මධ්‍යගත මට්ටමේ සිට ගෘහස්ථ මට්ටම දක්වා වන මුහුණදීමේ හැකියාව සහ ධාරිතාව තවදුරටත් වර්ධනය කළ යුතු බව පිළිගැනීමට සිදුවේ. එසේ වුවත් අප රටේ සෞඛ්‍ය පද්ධතිය කුමන පරිපාලන දුර්වලතා තිබුණා වුවද ආපදාවකට මුහුණ දීමේ විභවය අනුව ඉහළ මට්ටමක පවතින බවද පිළිගත හැක. එසේම සිවිල් වගකීම් ඉටු කිරීමේදී අප රටේ ආරක්ෂක හමුදා ඉතා විශිෂ්ඨ ගුණාංග රාශියක් පෙන්නුම් කොට ඇත. එහෙත් රාජ්‍ය යාන්ත්‍රණය පවතින ධාරිතාවට සාපේක්ෂව උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමේ උවමනාව සහ වෙළඳපළ කාර්යක්ෂමව කළමණාකරණය කිරීම යන සාධක වලට සාපේක්ෂව අප සිටින්නේ ඉතා පසුගාමී තත්වයක බව කණගාටුවෙන් වුවත් පිළිගැනීමට සිදුවේ.

අප රටේ නිවාස 300 – 400 පමණ අයත්වන කොට්ඨාසයකට රාජ්‍ය නිලධාරීන් 05 දෙනෙකු සහ එක් පොලිස් නිලධාරීයෙකු බැගින් වන ප්‍රභල රාජ්‍ය යාන්ත්‍රණයක් මහජන බදු මුදලින් නඩත්තු කරනු ලබයි. එහෙත් එම බලවත් යාන්ත්‍රණයෙන් උපරිම ප්‍රයෝජනයක් නොගන්නා බව සත්‍යක් වුවත් එය පැහැදිළිව දක්නට ලැබෙන්නේ කොරෝනා වසංගතය වැනි තත්වයන් වලදිය. වාණිජ වශයෙන් අත්‍යාවශ්‍ය ආහාර බෙදාදීම, අඩු ආදායම් ලාභීන්ට සහන ලබාදිම සහ සියළුම රාජ්‍ය ගෙවීම් සිදු කිරීම පමණක් නොව රජයේ රෝහල් වලින් සහ පුද්ගලික ඔසුසල් වලින් ඖෂධ බෙදා හැරීම‍ආදී කටයුතු වලදී එම යාන්ත්‍රණය නිසි ලෙස සමානුයෝජනය නොවන බවක් දක්නට ඇත. බොහෝ දුරට ඊට හේතුවන්නේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන බල ව්‍යුහය සහ රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ඒකාබද්ධ නොවීම විය හැක.

එහෙත් වසංගත තත්වය තුළ වෙළඳපළ අකාර්යක්ෂමතාවයන්ට හේතුවන මූලික සාධකය වෙළඳපළ ව්‍යුහය තුල විවෘත ආර්ථික මූලධර්මය යටතේ සිදුකළ අනර්ථයන් බව පැහැදිළිව හඳුනාගත හැක. කඩුවෙල නගර සභාව විසින් වෙළඳපළ හිදැස් පිරීවීම සඳහා හඳුන්වාදෙනු ලැබූ නිර්මාණශීලී ක්‍රමවේද මඟින් වෙළඳපොළ ව්‍යුහයේ පවතින දුර්වලතා කෙටිකාලීනව යම් පමණකට සමනය කළ හැකි බව සත්‍යයකි. එහෙත් රුසියානු වෛද්‍යවරයාගේ උපදේශය අනුව දීර්ඝ කාලීන විසඳුමක් ලෙස ඊට වටිනාකමක් ලබා දිය නොහැක. ඒ සඳහා වෙළඳපළ තුල, විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර වෙළඳපළ තුල, ජාතික මට්ටමින් ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකළ යුතු වේ. එහිදී ප්‍රමුඛතම උපායමාර්ගික ප්‍රවේශය වන්නේ පුද්ගලික අංශය සමඟ රාජ්‍ය සහ සමූපකාර අංශ ශක්තිමත්ව සහ ප්‍රතිඵලදායක ලෙස තරඟ කළ හැකි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීමය.

ඒ සඳහා උදාහරණයක් ලෙස විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ රාජ්‍යය විසින් ගෙල මිරිකා මරා දැමූ “ මාර්ක්ෆෙඩ් ආයතනය ” හෙවත් අලෙවි සංවර්ධන දෙපාර්තමෙන්තුව නැවත පිහිටුවීමේ උවමනාව සලකා බැලිය හැක. ව්‍යාජ ලෙස පාඩු ලැබීමේ හේතුව මත වසා දැමුණු එම ආයතනය ලාභ ලැබීම කෙසේ වෙතත් 70 දශකයේ මුල්භාගයේදී රජයට බරක් නොවී ඉතා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන ගිය ආයතනයකි. එම ආයතන නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සාධාරණ සහ කාර්යක්ෂම සබඳතාවයක් පවත්වාගෙන යනු ලැබූ අතර අතරමැදියන් නොමැතිව වටිනාකම් එකතු කිරීමේ දාමයක්ද පවත්වාගෙන යනු ලැබීය. එවැනි ආයතනයක් යම් රාජ්‍ය සහනාධාරයක් යටතේ වුවද නැවත ආරම්භ කිරීමේ උවමනාව දැන් මහජනයා අතර කථාබහට ලක් වෙමින් ඇත. සමස්ථ උපාය මාර්ගයේ වැදගත්කම පිළිබඳ නිසි අවබෝධයක් නැතිව වුවද මහජනයා එවැන්නක අවශ්‍යතාවය දැන් දකින්නේ සුපිරි අලෙවි සැල් ජාල තුලින් සිල්ලර වෙළඳාම කඩා වැට්ටවීමේ විපාක සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි වෙළඳපළ විකෘතියක් විසින් කරනු ලබන විනාශය අත්විඳීම තුළිනි. එම විනාශය ගොවියා මෙන්ම පාරිභෝගිකයාද එකසේ අත්විඳිති.

දඹුල්ල ඊනියා ආර්ථික මධ්‍යස්ථානයේ පවතින අත්තනෝමතික ඒකාධිකාරිය හෝ “ නාඩි කරුවන්ගේ ” මැර බලය නිසා පමණක් නොව ආර්ථික විද්‍යා මූලධර්ම අනුවද ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය දැන් කල්ඉකුත් වී ඇත. ඇත්ත වශයෙන්ම කල්ඉකුත් වීමකට වඩා එය උපතින්ම විකෘතියක් බව පිළිගැනීමට සිදුවේ. එක් තැනකට කොටු කළ භෞතික මධ්‍යස්ථාන මඟින් අතරමැදියන්ගේ සහ වෙළඳුන්ගේ බලය සහ ඒකාධිකාරිය වර්ධනය වේ. අනෙක් පැත්තෙන් ඒ තුළ ගොවියාගේ කේවල් කිරීමේ බලය අහිමි වේ. වෙළෙන්දා ගොවියා වෙත යන ක්‍රමවේදය වෙනුවට ගොවියා අසරණ ලෙස බල රහිතව වෙළෙන්දාගේ දෙපා අසලට කැඳවීම තුළ ඔහුගේ කේවල් කිරීමේ බලය දුර්වල වේ.

ඒ නිසා රජයක් මැදිහත්ව පෞද්ගලික වෙළඳපළ යාන්ත්‍රණයක් පිහිටුවීමේදී අනුගමනය කළ යුතු මූලධර්මය වන්නේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක් වෙනුවට විකිණීමේ මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීමය. එනම් වෙළඳුන්ගේ ඒකාධිකාරිය සහිත මධ්‍යස්ථාන වෙනුවට ගොවීන් හෙවත් නිෂ්පාදකයින්ගේ ඒකාධිකාරිය සහිත මධ්‍යස්ථාන පිහිටුවීමය. ඒවා ගොවි සංවිධාන වල කළමණාකරන අධිකාරීත්වය සහිතව පිහිටුවිය යුතු අතර යම් පමණක සිල්ලර සහ කුඩා පරිමාණ තොග වෙළඳාමද අතරමැදියන්ගෙන් තොරව ගොවියා විසින්ම සිදුකළ යුතුය. එම වෙළඳපළ ජාලය ඉලෙක්ට්‍රෝනික වෙළඳපළ උපාංගයක් හෙවත් “ ඇප් ” මඟින් රජ්‍ය අධීක්ෂණය යටතේ විධිමත්ව ජාලගත කළ හැක. එවිට තොග සහ සිල්ලර වෙළඳුන්ට සහ බෙදාහරින්නන්ට එම මධ්‍යස්ථාන වලට භෞතික පැමිණීමට පෙර මිල සහ ප්‍රමාණයන් පිළිබඳ එකඟතාවයකට පැමිණීම මඟින් පිරිවැය අඩුකර ගැනීමේ හැකියාවද ලැබේ. එම පුළුල් ක්‍රියාවලිය තුල ඉහත සඳහන් කළ ‘‘මාක්ෆෙඩ්‘‘ ආයතනයට යලි පණ දීම මඟින් ඉතා කාර්යක්ෂම මෙන්ම ගොවියා සහ පාරිභෝගිකයා යන පාර්ශව දෙකටම සාධාරණ තරඟකාරී වෙළඳපළක් බිහිකළ හැක. සමහර විට අද මාක්ෆෙඩ් වැනි මධ්‍යගත ආයතනයක් පිහිටුවීමට වඩා සමූපකාර ජාලයක් පිහිටුවීම වඩා සුදුසු විය හැක.

එම ක්‍රියාවලිය තුල සාමාන්‍ය සිල්ලර වෙළඳාම සහ අතරමැදියන්ගෙන් තොරව ගොවියා විසින්ම අලෙවි කටයුතු කරන පොදු වෙළඳපළ ජාලයක් පිහිටුවීමට ද පියවර ගත යුතුය. අද වන විට බොහෝ පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යන පොදු වෙළඳපළ වලට සමස්ථ එළවළු තොගයම සපයන්නේ සැපයුම් කරුවන් 4 – 5 දෙනෙකු විසිනි. ඒ තුළ ගොවියාට ඉඩ සිමා වී ඇති අතර කුඩා පරිමාන අතරමැදි වෙළඳුන් පිරිසක් බිහි වී ඇත. මහා පරිමාන සැපයුම් කරුවන්ගේ ආධිපත්‍යයට යටවි සිටින ඔවුහු එම මහා පරිමාණ වෙළඳුන්ගේ කුලීකරුවන් ලෙස  කටයුතු කරති. ඒ මඟින් එම කුඩා වෙළඳුන්ට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණය ඉටු වන්නේ නැත. එම ක්‍රියාවලිය තුල ගොවියාගේ ඉරණම ඉතා ඛේදනීය වේ. ගොවියා ආර්ථික සහ මානසික වශයෙන් දුර්වල කිරීම තුල සමස්ථ සැපයුම් පද්ධතියම අනතුරට ලක් වේ. ඒ තුල නැවත වටයකින් ඉඩ ලැබෙන්නේ ආහාර ආනයනකරුවන්ට සහ වෙළඳපළ අතර මැදියන්ටය.

සුපිරි වෙළඳසැල් ජාලය විසින් පවතින වෙළඳපළ ඒකාධිකාරිය තවදුරටත් වර්ධනය කරන අතර ඒ මඟින් සිල්ලර වෙළඳාම කඩාවැටීම තුළ කුඩා සැපයුම් කරුවන්ට ආර්ථික ඉඩ ප්‍රස්ථා අහිමි වේ. අවසානයේදී පාරිභෝගිකයාට පහසුවක් සේ පෙනුනද සුපිරි අලෙවිසැල් ජාල මඟින් මිල මට්ටම් ඉහළ යාමට අමතරව ගොවියා සහ සැපයුම්කරුවන් ද පිඩාවට පත්වේ. එම වෙළඳසැල් ජාල විසින් ඉතා ඉහල කොමිස් ප්‍රතිශත ඉල්ලා සිටීම නිසා කුඩා පරිමාන සැපයුම් කරුවන්ගේ ආර්ථික ඉඩ ප්‍රස්ථා අහිමි වේ. ඒ නිසා මීළඟ කොරෝනා ප්‍රහාරයට පෙර මෙම වෙළඳපළ අවුල බේරීමට ප්‍රභල රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව කිවයුතු නැත. සමස්ථයක් ලෙස ගත්විට පෞද්ගලික අංශය යනු වෙළඳපළ එන්ජිම ලෙස සැලකීම වෙනුවට එය රාජ්‍ය අංශය නැමැති “ චැසිය ” මත ඉදිකරන “ බොඩිය ” ලෙස සැලකිම වැදගත් වේ. එවිට බොඩිය අබල දුබලව පැවතියද දුෂ්කර අවස්ථාවකදී එන්ජිම සහිත වාසියට සෙමින් හෝ ඉදිරියට ගමන් කළ හැක.

ඊට අමතරව රුසියානු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයාගේ උපදේශය අනුව මීළඟ වයිරස වසංගතයට පෙර ගෘහස්ථ මට්ටමේ ඔරොත්තු දීමේ  ශක්තිය වර්ධනය කිරීමටද රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වනු ඇත. අද වන විට ග්‍රාමීය මට්ටමේදී පවා වෙළඳපළෙන් මිලදී ගන්නා ආහාර විශේෂයෙන්ම එළවළු නොමැතිව දින දෙකක් ජිවත් විමට නොහැකි තත්වයක පවතින බව පසුගිය දින වල මතු වූ තත්වයක් තුලින් පැහැදිළි විය. කියුබාව වැනි රටක තට්ටුනිවාස වල ජීවත් වන ජනතාවද ඇතුළුව සමස්ථ එළවළු අවශ්‍යතාවයෙන් 40% ක් ගෘහස්ථ මට්ටමේදී නිෂ්පානය කරගනු ලබයි. අප වැනි රටක පවතින යහපත් දේශගුණික තත්වයන් අනුව එම ප්‍රතිශතය ඊට වඩා ඉහළට ගෙනයාමේ විභවය ඇත. වියලි කලාපයේ ජනතාව අතරද ගෙදර කුස්සියේ අප ජලය එකතු කිරීමෙන් පමණක් නොව වතුර බාල්දියක් ගෙන ගොස් ගසක්යට මුහුණසේදීමට පුරුදුවීම වැනි චර්යාමය වෙනස්කම් මඟින් ගෘහස්ථ ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීමට මහජනයා දායක වූ යුගයක් තිබුණි. ඉන්දියාව වැනි රටක පමණක් නොව ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල පවා ගෙදර වත්තේ යමක් වවා ගැනීම උසස් චර්යාවක් ලෙස ඇගයීමට ලක් වේ.

එහෙත් අප රටේ “ විවෘත ආර්ථික සංස්කෘතිය ” විසින් අතීතයේ සිටි දියුණු මිනිසා අභාවයට යවා ඇත. පර්චස් 20  ඉඩමක වුවද ආහාරයට ගත හැකි දේට වඩා දැකිය හැක්කේ විසිතුරු ගස් වැල්ය. එවැනි බොහෝ විසිතුරු ශාක වර්ග බොහොමයක් සම්ප්‍රදායානුකූල මල්ගස් නොවන අතර ඉතා අධික මිලට පිටරටින් පවා ආනයනය කරනු ලබයි. පැලතවානකට ගොස් බලන විට දක්නට ලැබෙන්නේ එවැනි විසිතුරු මල් පැල වර්ග පමණකි. අහාරයට ගත හැකි ශාක පැලයක් විකුණන තවානක් දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. මුරුංගා කොළ වියළා කුඩු කර ජපානය වැනි රටවල අපනයනය කළද අප රටේ නිවසක වැටක හෝ මුරුංගා ගසක් දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙත් මුරුංගාකොළ කුඩු සහ ෆාම් තෙල් එකතු කොට නිපදවන ගුලියක් වෙළඳපළින් මිලදී ගැනිම සඳහා නිර්ලෝභීව මුදල් වැය කරන පිරිස් සිටිති. ඒ බව පෙන්වා දුන් විට ඔවුන් ලැජ්ජාවට පත්වුවද විවිධ ආකාරයට කොළ සහ කරල් ආහාරයට ගත හැකි තෙවැනි කප්රුක ලෙස හැඳින්වෙන මුරුංගා දණ්ඩක් මල් පාත්තියක කෙළවර බිමට ඇනීමට ඔවුන් තුල උනන්දුවක් ඇති නොවේ. පළමු සහ දෙවන කප්රුක වන පොල් සහ කොස් ගස පිළිබඳ තත්වයද එසේමය.

ඒ නිසා පවතින දුෂ්කර අවධිය පියමං කිරීමෙන් පසුව පාලකයින් පමණක් නොව ජනතාවද පළමුව තමා තුළට නැඹුරු වී තමාගේ දුර්වලකම්  වටහා ගැනීමට උත්සහායක් ගැනීම ඉතා වැදගත් වේ. එසේ නැතහොත් තෙවන රැල්ල විසින්‍හතරවන අවස්ථාවකට ඉඩ ලබා නොදෙනු ඇත. එය වැළැක්විය හැක්කේ සමස්ථ සමාජය විසින් විවෘතව සහ නිර්දය ලෙස ස්වයං විවේචනයක යෙදීමෙන් සහ අවංකව ඊට ප්‍රතිචාර දැක්වීමෙනි. ජාතියක් ලෙස අනාගත දුෂ්කර තාවයන්ට මුහුණදීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය සහ වෙළඳපළ ව්‍යුහයක් ශක්තිමත් කිරීමට අමතරව ඊට අදාළ දැනුම් පද්ධතිය සහ කුසලතාවයන්ද සමාජය තුළ වර්ධනය කිරීම ඉතා වැදගත් වනු ඇත. ඒ සඳහා පාසල් විශය මාලා සංවර්ධනය කිරීමට අමතරව සමාජ ක්‍රියාකාරීත්වය සඳහා සහ දුෂ්කරතාවලට මුහුණ දීම සඳහා අවශ්‍ය අභ්‍යාසය දරුවන්ට ලබාදීම සඳහාද විශේෂ අවධානයක් යොමුකළ යුතු වේ.

 

— වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර —



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More