පුරවැසි කොලම

පසුගිය පුංචි මැතිවරණය ඉතිහාසයේ පැවැත්වූ එවැනි කිසිදු මැතිවරණයකට වඩා ‘‘ ජාතික ස්වරූපයක්’’ ගනු ලැබීය. ඒ බව ඡන්දය භාවිතා කළ ප‍්‍රතිශතය තුලින් පමණක් නොව මහජන සාකච්ඡවට ලක් වූ දේශපාලන සටන්පාඨ මෙන්ම නායකත්වයේ මැදිහත්වීම තුලින්ද ප‍්‍රකට විය. ‘‘පොහොට්ටුවේ’’ මැතිවරණ ව්‍යාපාරය හෙවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය ප‍්‍රමුඛ සෙසු වාමාංශික පක්ෂ සන්ධානය තුලින් ප‍්‍රධාන වශයෙන් දිස්වූයේ මහින්ද රාජපක්ෂ ප‍්‍රතිරූපයයි. එම මැතිවරණ ව්‍යාපාරය සංවිධාන යාන්ත‍්‍රණයක් විසින් මෙහෙයවූවකට වඩා එම ප‍්‍රතිරූපය විසින් මෙහෙයවූවක් ලෙස හැදින්වීම වඩා සාධාරණ වේ. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රැස්වීම් 60ක් ආමන්ත‍්‍රණය කළ බව වාර්තා වූ අතර එම ප‍්‍රචාරක ව්‍යාපාරයද බොහෝදුරට එතුමා වටා ගොඩ නැ`ගුනු බව පැහැදිලිව පෙනුනි.

එම දෙපළ ලබා ගත් ඡන්ද ප‍්‍රතිශත වලින් ප‍්‍රධානවශයෙන් පෙන්නුම් කෙරෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද සහ මෛත‍්‍රී පාර්ශව වල බෙදීමය. කෙසේවෙතත් ප‍්‍රධාන වශයෙන් ප‍්‍රතිරූප 3ක් මුල්කරගෙන පැවැත්වූ එම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩිම ඡුන්ද ප‍්‍රතිශතය හෙවත් 44% ක් ලබා ගත්තේය. එම ජයග‍්‍රහණය ඓතිහාසික ජනවාරි 8 පරාජයෙන් පසු එම පාර්ශවය විසින් ලබා ගත් පළමු ජයග‍්‍රහණය ලෙස හැදින්වීම වරදක් නොවේ. එයට හේතුව 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ‘‘ජයග‍්‍රහණය’’ පරාජයෙනුත් පරාජයක් ලෙස අර්ථ දැක්විය හැකි වීමය. එසේම පෙබරවාරි 10 ජයග‍්‍රහණය 2015 පෙබරවාරි 18 ආරම්භ කළ ‘‘මහින්ද සුළග’’ ව්‍යාපාරයේ දිගුවක් හෙවත් සැබෑ පිළිබිඹුවක් ලෙස හැදින්වීමද වරදක් නොවේ. මහින්ද සුළග දැන් මහින්ද රැල්ලක් බවට පත්වී ඇත. මහින්ද රාජපක්ෂ මහතාට ආදරය කළ මිනිසුන්ගේ සුසුම් වලින් ආරම්භ කළ ඒ රැල්ල විසින් දැන් ආණ්ඩුව නම් වූ නෞකාව යාත‍්‍රා කළ නොහැකි තත්වයට පත්කොට ඇත. එම රැල්ල විසින් ඇති කළ විශ්වාසභංග කුණාටුව තාවකාලිකව සමනය වුවත් රැල්ල නොනැවතී තව තවත් උත්සන්න වන බව පැහැදිලිව පෙනේ.

මැතිවරණ කාලයේදී මහින්ද පාර්ශවයෙන් ප‍්‍රකාශ වූයේ ‘‘ ජනතාවනි අපට ඡන්දය දෙන්න අප ඉතිරි ටික බලා ගන්නම්’’ යනුවෙනි. දැන් ජනතාව ඔවුන්දෙස බලා සිටින අතර ඔවුහු ජනතාව දෙස බලා සිටිති. ඇත්ත වශයෙන්ම පොහොට්ටුෙවි සංවිධායකයින් මැතිවරණ ජයග‍්‍රහණයේ අයිතිය ගැනීම සදහා කුමන කයිවාරු ගැසුවත් ඔවුන් මැතිවරණ කාලයේ දී පවා කළේ ජනතාව දෙස බලා සිටීමය. ඔවුන් විසින් දියත් කළ මැතිවරණ ව්‍යාපාරය ඉතා දුප්පත් එකකි. ජනතා විමුක්ති පෙරමුණ ඊට වඩා ප‍්‍රභල ප‍්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළ බව පැහැදිලිව පෙනුණි. පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය තුල පොදු තේමාවක් හෝ සටන්පාඨයක් නොවීය. ජාතික මට්ටමින් පොදු පත‍්‍රිකාවක් හෝ මුද්‍රණයකොට බෙදා හැරීමට ඔවුන් අසමත්විය. මහින්ද රාජපක්ෂ මහතා ජනතාව සමග එළඹෙන ගිවිසුමක් හෝ ජනතාවට ඔහු විසින් දෙන ප‍්‍රභල පණිවිඩයක් ලිඛිතව ප‍්‍රකාශයට පත්වූයේ නැත. දිස්ත‍්‍රික් මෙහෙයුම් කාර්යාල පිහිටුවා කණ්ඩායම් මෙහෙයවීමක් මධ්‍යගතව විධිමත්ව සිදුවූයේ නැත. ඒ ඒ දිස්ත‍්‍රික්වල ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ මැදිහත්වීම සහ කැපවීම මෙන්ම මහජන උනන්දුව නිසා රැස්වීම් මාලාව සාර්ථක විය.

එම රැස්වීම් වලට මාධ්‍ය මගින් ලැබුනු ප‍්‍රචාරය නිසා මැතිවරණ ව්‍යාපාරයක් තිබුණ බව මහජනයාට දැනුනි. එහෙත් සැබෑ ලෙසම මහජනයා ඡුන්ද පොළට ගියේ බිම් මට්ටමේ මහජනයා අතර ස්වේච්ඡවෙන්ම ගොඩනැගුණු උනන්දුව නිසාය. ඡන්දපොළවල්වල උදෑසනම දක්නට ලැබුණේ උද්යෝගිමත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මුහුණුය. යම් පිරිසක් තමා 2015 ජනවාරි 8 කළ වරද නිවරදි කිරීම සදහා උනන්දු විය. එහෙත් පොහොට්ටුව ඡන්ද ව්‍යාපාරය තුළ නව ඡන්ද ලක්ෂ 7 දිනා ගැනීමට හෝ 2015 අගෝස්තු 15 අහිමිවූ ඡන්ද ලක්ෂ 11 ආපසු ඡන්ද පොලට ගෙන්වා ගැනීම සදහා උපායමාර්ගික ස්ථානගත කිරීමක් දක්නට නොලැබුනි. ඊට අමතරව එදා මහින්ද සමග අමනාපව මෛත‍්‍රීට ඡන්දය ප‍්‍රකාශ කළ මහින්ද පාර්ශවයෙන් නික්මගිය බව සැලකෙන ලක්ෂ 5 කට ආසන්න තරුණ ඡන්ද නැවත ආපසු කැදවා ගැනීම සදහා අවශ්‍ය ‘‘නැවත ස්ථානගතවීම’’ ද එම ඡන්ද වයාපාරය තුල දක්නට නොලැබිණ. මෙම ස්වයංවිවේචනය අවශ්‍යවන්නේ කිසිවෙක්ට රිදවීමට නොවේ. ඒ ව්‍යායාමය වැදගත්වන්නේ 2018 පෙබරවාරි 10 ජයග‍්‍රහණය 2019 ජනාධිපතිවරණය දක්වා දිගු කිරීම සදහාය. නමුත් දැන් පොහොට්ටුවේ නායකයින් සූදානම් වන්නේ ඒ සදහා නොවේ.

ඔවුන් දැන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයකි. ව්‍යවස්තාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා තුනෙන් දෙකේ විශේෂ බහුතර කැමැත්තෙන් යෝජනාවක් සම්මත විය යුතුය. එසේ නැතහොත් එය කළ හැක්කේ පාර්ලිමේන්තුවේ කාලය වසර 4 යි මාස 6ක් ඉක්මවා ගියපසුව ජනාධිපතිවරයාගේ කැමැත්තෙනි. නමුත් ජනාධිපතිවරණය ඊට පෙර පැවැත්විය යුතු අතර ජනාධිපතිවරයාට අවශ්‍යනම් 2019 ජනවාරි 9 වනදා ඊට අදාළ නිවේදනය නිකුත් කළ හැක. එසේනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටීමේ තර්කය කුමක්ද? සමහරවිට එය 2015 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවට ඉදිරිපත්කළ තර්කය වැන්නක් විය හැක. එදා එම තර්කය අනුව රනිල් විරෝධී පෝස්ටර් ලක්ෂ ගණනක් මුද්‍රණය කරන්නට යෙදුනි.ඒ උපායමාර්ගික දුප්පත්කම නිසා පොදු අපේක්ෂකයෙකුට මුහුණදීම සදහා අවශ්‍ය පරිදි පෙර සූදානමක් නොවීය. ඒ නිසාම ඔවුන්ට සතුරාගේ ව්‍යාජ සටන්පාඨ උදුරා ගැනීමට නොහැකි විය.

එපමණක් නොව තමා විසින්ම මහ මොළකරුවෙකු ලෙස හදුන්වාගන්නා අය ජනාපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීම සදහා මහින්ද රාජපක්ෂ මහතාට උපදෙස් දෙන අවස්ථාව වන විට මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමීම සදහා ප‍්‍රභල ජාත්‍යන්තර මෙහෙයුමක් දියත්වී තිබුණි. දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීම සදහා මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා දැමිය යුතු බව ‘‘ඉන්ටර් නැෂනල් ක‍්‍රයිෂින් ගෘප්‘‘ නැමති ප‍්‍රභල රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානී ඇලන් කීනන් ප‍්‍රකාශ කරන්නේ 2012 දීය. ‘‘ ටැමිල්නෙට් ’’ වෙබ් අඩවිය වාර්තා කළ ආකාරයට මංගල සමරවීර මහතා සිංගප්පූරුවේදී දෙමළ සහ මුස්ලිම් බෙදුම්වාදී නායකයින් මුණගැසී සිගන්නෙකු සේ බැගෑපත් වන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සදහා ඕනෑම දෙයක් කළ හැකි බව පවසමිනි. සිංගප්පූරු එකගතාවය නමින් හැදින්වූ 2013 දී අත්සන් කළ එම එකගතාවයට කොන්දේසි 10ක් ඇතුලත්වේ. ඒ සියලූ කොන්ොද්සි බෙදුමුවාදී ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියට අදාළවේ.

ඉන් පසු 2014 ජූනි මාසයේ අද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු වන ජයම්පති වික‍්‍රමරත්න මහතා විසින් ලන්ඩනයේදී අමිතලංගම් ගුණානුස්මරණ දේශනය පවත්වමින් කියන්නේ කුමක්ද? එහිදී ඔහු සදහන් කරන්නේ මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් තොරව දෙමළ ජනතාවට සාධාරණයක් ඉටුකළ නොහැකි බවයි. එසේම එහිදී ඔහු 2014 අගභාගයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයක් පිලිබද සදහන් කරන්නේ ඊට ඉදිරිපත්වන පොදු අපේක්‍ෂකයා නව ව්‍යවස්ථාවක කෙටුම්පතක් රටට ඉදිරිපත්කළ යුතු බවද පවසමිනි. ඒ අනුව පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මොළකරුවන් විසින් ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වීමට ගනු ලැබූ තීරණය සතුරන් විසින් දැන සිටි බව නොවේද? ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ 2015 මූල්‍ය වාර්තාව අනුව ශ‍්‍රී ලංකාවේ බුරුමයේ සහ නයිජීරියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා හෙවත් ආණුඩු පෙරලීම සදහා නිල වශඉයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් වැය කොට ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් හරහා දියත් කළ ඊනියා යහපාලන ව්‍යාපෘතිය සදහා අවම වශයෙන් රු:මි 30,000 එම සංවිධාන වලට ලබා දී ඇත. නමුත් ඒ මහා ජාත්‍යන්තර මෙහෙයුම පිළිබද මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මොළකරුවන් කිසිවක් දැන සිටියේ නැත. එසේ විය හැක්කේ එම ඊනියා මහ මොළකරුවන් ඒ මහා කුමන්ත‍්‍රණයේ කොටස්කරුවන් නම් හෝ ඔවුන්ගේ මහ මොළය සැබවින්ම පුංචි මොළයක් නම් පමණිි.

කෙසේ වෙතත් එම වර්ධනයන් පිලිබද ජාතික බලවේග වලට පැහැදිලි අවබෝධයක් තිබුණි. ඔවුන් 2013 දී බෞද්ධ සංස්කෘතික පුනර්ජීවන කොමිසමක් පිහිටුවා රට තුල සිදු කළ යුතු ප‍්‍රතිසංස්කරණ පිළිබද වාර්තාවක් සකස් කොට රටට සහ පාලකයින්ට ඉදිරිපත් කළේ කුමක් නිසාද? ඒ එදා 1956 දී බණ්ඩාරනායක මහතා සිදු කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා විසින් එම වාර්තාව පිලිගනු ඇතැයි යන අපේක්‍ෂාවෙනි. එම වාර්තාව සකස් කරනු ලැබුවේ රටේ ඉහළම උගත්කම් සහ මහජන පිළිගැනීම සහිත මහා තෙරුන්වහන්සේලා සහ ගිහි බුද්ධිමතුන් රාශියකගේ දායකත්වයෙනි. එම වාර්තාව ත්‍රෛයිනිකායික මහානායක ස්වාමීස්වහන්සේලාගේ ඇගයීමට ලක්විය. එම වාර්තාවේ අඩංගු වූ කරුණු පිළිිබද සැලකිල්ල දක්වා මහා සමාජය සමග නව ගනුදෙනුවක් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා එකග වූයේනම් 19 වැනි සංශෝධනය නමින් සතුරා විසින් ඉදිරිපත්කළ දුප්පත් ලියවිල්ල මගින් ඔහුව බිත්තියට හේත්තු කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

ඒ ආකාරයට සතුරාගේ පුස් උණ්ඩ සහිත ආයුද උදුරාගෙන තමා සතු ජීව උණ්ඩ යොදා ආපසු වෙඩි තබනවා වෙනුවට ඊට ප‍්‍රතිවිරුද්ධදේ කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතා පෙළඹවීමට ඔහුගේ මහ මොළකරුවන් සමත්විය. ඒ අනුව වෙඩි නොවදින කබාය ගලවා දමා නිරායුදව සතුරාට වාසිදායක සටන්බිමකදී සටනට බැසීමට ඔහුට බල කෙරිනි. නියමිත කාලයට වසර 2 කට පෙර ජනාධිපතිවරණයක් කරළියට පැමිණෙන්නේ එසේය. මහිින්ද රාජපක්ෂ මහතා එම වැරදි තීන්දුව අනුව කටයුතු කිරීම වැලැක්වීම සදහා ජාතික බලවේග විසින් ප‍්‍රභල මැදිහත්මක් සිදුකරනු ලැබීය. සතුරා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙන ඒම සදහා පොදු අපේක්ෂකයෙකු ලෙස වෙනත් මුහුණක් ඉදිරිපත් කරන බවට ප‍්‍රභල සාක්ෂි ඔවුන් විසින් ඉදිරිපත් කෙරිණි.

එහෙත් එම අනතුරු ඇගවීම් වැටුනේ බිහිරි කන් වලටය. එහිදී මහ මොළකරුවන් විසින් ‘‘පොදු අපේක්ෂක න්‍යාය’’ ප‍්‍රතික්ෂේප කළා පමණක් නොව රනිල් වික‍්‍රමසිංහ මහතා තරගයට ඉදිරිපත් වන බවට තර්ක කරමින් ඔහුට එරෙහිව පෝස්ටර් ලක්ෂ ගණනක් මුද්‍රණය කිරීමටද කටයුතු කරන ලදි. ඊනියා පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයෙන් පසුව එම පෝස්ටර් තොගවලට කළේ කුමක්ද යන්න පැහැදිලි නැත. මහාචාර්ය ජී.එච් පීරිස් මහතා සාක්ෂි සහිතව දීර්ඝ වාර්තාවක් මගින් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බව පෙන්වා දෙනු ලැබීය. නමුත් එය කියවීමට හෝ මහ මොළකරුවන් උනන්දු නොවූ බවට සැකයක් නැත. එම වාර්තාවේ අඩංගු තොරතුරු අනුව මැතිවරණය කල්දමන ලෙස ජාතික බලවේග විසින් ඉල්ලා සිටිනු ලැබීය. ඒ වන විට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතා විසින් පුවත්පත් සාකච්ඡවක් පවත්වා තම අභිලාශයන් රටට හෙළිදරව් කොට තිබිණි. ඊට පෙර ජනාධිපතිවරණය නොපවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉල්ලා සිටින ලදි. ඒ නිසා කුමන හෝ හේතුවක් මත එය කල් දැමීම පිළිබද මහා සමාජ විරෝධයක් ගොඩනැගීමේ හැකියාව නොතිබුණි. ඒ අනුව ජාතික බලවේග ඉල්ලා සිටි ආකාරයට එසේ අවසන් මොහොතේදී ජනාධිපතිවරණය කල් දැමීම සිදුවූවා නම් මෛත‍්‍රී – රාජිත සුසංයෝගයේ ඉරණම කුමක්විය හැකිව තිබුනිද?

මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතා ඒකාබද්ධව පැවැත්වූ පුවත්පත් සාකච්ඡුාව පැවැත්වීමට පෙර ඒ බව මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මොළකරුවන්ට දැන්වූ බවටද සාක්ෂි ඇත. එහෙත් අද මෙන්ම එදා ද ඔවුන් ප‍්‍රකාශ කලේ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති සිහිනය අත් නොහරින බවය. ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරය ප‍්‍රධාන වශයෙන් මූලස්ථාන 4කින් වෙන් වෙන්ව ක‍්‍රියාත්මක වූ අතර ඔවුන් අතර යහපත් සම්බන්ධීකරණයක් හො සන්නිවේදනයක් සිදු නොවීය. යම් කාර්යාල කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධවද යනුවෙන් ප‍්‍රශ්න කිරිමට තරම් ඒවාට අරක්ගත් පිරිස්වල හැසිරීම ප‍්‍රශ්නකාරී විය. ජනාධිපතිවරණයේ අවසන් සති දෙක ගෙවී ගියේ මරණාසන්න අසාධ්‍ය රෝගියෙක් වෙනුවෙන් යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් , සෙත් ශාන්ති වෙදකම් ආදි සියලූ ප‍්‍රතිකාර එකවිට කරීමට ඥාතීන් විසින් උත්සාහ කරන තත්වයකට සමාන තත්වයක් යටතේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 පරාජයේ බීජ රෝපණය කෙරෙන්නේ එතුමාගේ 2010 ජයග‍්‍රහණය සමගමය. ජනප‍්‍රියතාවයේ හිනිපෙත්තේ සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒ වන විට ප‍්‍රභල අපේක්‍ෂකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා පරාජය කරන්නේ 2005 දී ඔහු ඔසවා තැබූ ජාතික බලවේග සමග කිසිදු සමාජ ගිවිසුමකට එළඹීමෙන් තොරවය. එම තත්වය 2009 යුද ජයග‍්‍රහණයෙන් පසුව එම ජයග‍්‍රහණයට පමණක් නොව 2005 ජයග‍්‍රහණයටද දායක නොවූ යම් පිරිස් විසින් ඇති කරන ලද්දකි. යම් අවස්තාවල මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව පවා කටයුතු කළ එම පිරිස් විසින් මහින්ද රාජපක්ෂ මහතා වටලනු ලැබීය. ඒ පළමු ආරක්ෂක වලල්ලට පිටින් මර්වින් – සජින් පන්නයේ උරුලෑවන් පිරිසක්ද පවුරු බැදීම තුල මහින්දට සැබවින්ම ආදරය කළ බලවේග ඔහුගෙන් ඉවත් විය. මහජනයාගේ පිළිකුලට ලක් වූ ඒ උරුලෑ බලඇණියේ යම් පිරිස් දැන් ජනවාරි 10 ජයග‍්‍රහණය සමග නැවත නෙලූම් මාවතට කිට්ටු වන හැටි දැක ගත හැකිය. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හැදීමට පවා දායකවූ පිරිස් ඔහුගේ පරාජයෙන් පසුදිනම වර්තමාන ජනාධිපතිගෙන් පත්වීම් ලබා ගන්නා ආකාරය දැක ගත හැකි විය. කෙසේවෙතත් එම ඊනියා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මහජනයා අතාට පත්වන්නේ ජනාධිපතිවරනයෙන් පසුවය. එය හැකි ඉක්මනින් මුද්‍රණපයකොට මහජනයා අතට පත් කිරීමට මහමොළකරුවන් උනන්දු වූයේ නැත.

එවැනි තත්වයක් තුල සැබෑ ජාතික බලවේග සහ ගෞරවණීය මහානායක ස්වාමීන් වහන්සේලා පවා මහින්ද රාජපක්ෂ මහතාගෙන් දුරස් විය. සතුරා විසින් මහින්ද රාජපක්ෂ මහතාට අසාධාරන බොරු චෝදනා වලින් දමා ගසනවිට ඔවුන් ඒවා පිළිනොගත්තා වුවද ඔහු ආරක්ෂා කිරීමට කොන්දේසි විරහිතව ඉදිරිපත් වූයේ නැත. ඔවුන් උකටලීව දුක්මුසුව බලා සිටින ආකාරයක් දක්නය ලැබුණි. යම් පිරිස් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තනි තනිව තම තමාට කළ හැකිදේ කරමින් සිත සනසා ගත්හ. එසේ ජාතික බලවේග මහින්ද රාජපක්ෂ මහතාගෙන් දුරස්වීම තුළ එම බලවේග වල හද ගැස්ම සහ අපේක්‍ෂා තේරුම් ගැනීමට එතුමාට තිබෙන අවස්ථා අහිමි විය. වයාජ ජාතික බලවේග විසින් රෝ ඔත්තු සේවාව සමග එක්ව ඇටවූ උගුල් වලට ඔහු පය තබන්නේ එම යථාර්තය තුලය. මුස්ලිම් ඡන්ද අහිමි කරන උගුලකට මහින්ද රාජපක්ෂ තල්ලූ කිරීමට ව්‍යාජ ජාතික බලවේග වලට හැකිවන්නේ සැබෑ ජාතික බලවේග දුරස්වීම නිසාය. සැබෑ ජාතික බලවේග ආමන්ත‍්‍රණය කළේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවටය.

මහින්ද රාජපක්ෂයන්ට වළකැපූ පිරිස් ඔහුගේ පරාජයෙන් පසුව උදැල්ල ඇතතිව ඔහු දේශපාලන වශයෙන් වලට දමා පස් දැමීම සදහා බලා සිටියහ. කෙසේ වෙතත් වළ කැපූ යම් මහ මොළකරුවන් පිරිසක් ඔහු පමණක් නොව රටද අතහැර පළා ගියහ. නමුත් ජාතික බලවේග අධිෂ්ඨානය කළේ ඔහු සමග නැවත නැගිටිය යුතු බවය.එසේ වූවත් ඉන් පසු උදා වූයේ පස් දැමීම සදහා මහින්ද රාජපක්ෂයන් විසින්ම වළ තුල සැතපීමේ කණගාටුදායක සමයකි. ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය එම පක්ෂයේ ව්‍යවස්තාවට පටහැනිව බන්දේසියක තබා තම ප‍්‍රතිවාදියාට දිගු කළේය. උදැල්ල අතැතිව බලා සිටි පිරිස් අත්පුඩි ගසා වළ ට පස් දැමීම ආරම්භ කළහ. ඉන් පසු ඔවුන් පාර්ලිමේන්තුවේ විහේෂ බහුතර බලය තමා සතුව තිබියදී බලහත්කාරයෙන් සහ පස්ස දොරෙන් ඇතුල්වූ අගමැතිවරයාට නිරුපද්‍රිතව සිටීමට ඉඩ ලබා දුනි. එදා ඉතා පහසුවෙන් විශ්වාසභංග යෝජනාවක් විශේෂ බහුතරයකින් සම්මත කළ හැකිව තිබුණි. ඉන් නොනැවතී මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය පමණක් නොව තවත් බෙහෝ දේ අහිමි කළ 19 වැනි සංශෝධනයට ඔවුන් විසින් බහුතර කැමැත්ත ප‍්‍රකාශ කරන ලදි.

ඉන් පසුව 2015 අගෝස්තු මැතිවරණයේදී මහජනයා ඉදිරියේ ගිවිසුමක් ලෙස අත්සන් කරන වැඩපිලිවෙලක් හෝ න්‍යායපත‍්‍රයකින් තොරව තම ප‍්‍රතිවාදීන් දෙවන වරටත් ඇටවූ උගුලට මහින්ද රාජපක්ෂ මහතා පය තැබීය. ජාතික බලවේගවල අපේක්‍ෂාව වූයේ පෙබරවරි 18 මහින්ද සුළග ව්‍යාපාරයේ දිගුවක් ලෙස වෙන්ව තරග කළ යුතු බවය. එහෙත් නැවත රටට පැමිණ බලවත්වූ මහ මොළකරුවන් කියා සිටියේ අගමැතිකම හෝ ජාතික ලයිස්තුව පිළිබද සමාජ ගිවිසුමක් අවශ්‍ය නොවන බවය. සමාජ ගිවිසුමක් කෙසේ වෙතත් අඩු තරමින් හොර ගිවිසුමක් හෝ තිබුනේ නැත. එසේ ඔවුන් විසින් මෛත‍්‍රී පිළ වෙනුවෙන් ඊට සහතික ලබා දුන්නද මැතිවරණ ක‍්‍රියාවලිය තුල අවශ්‍ය මැදිහත්වීම සිදු කළේ නැත. ඒ නිසා මානසිකව බිද වැටුනු මහින්දවාදී ඡන්දදායකයින් ලක්ෂ 11 ඡන්ද පොළට ගියේ නැත. එදා වෙන්ව තරග කළා නම් හෝ ප‍්‍රභල සමාජ ගිවිසුමක් යටතේ එක්ව තරග කළානම් අගමැතිකම හිමි වන්නේ මහින්ද රාජපක්ෂ මහතාටය. නමුත් එම වැරදි තීන්දුව අවසන් වන්නේ ඔහුට විපක්ෂ නායකකමද අහිමි කරමිනි. ආණ්ඩුෙවි බලහත්කාරය හමුවේ සැබෑ විපක්ෂය අසරණ වූ අතර ඔවුන් ව්‍යවස්ථා සම්පාදක සභාව නමින් ඇටවූ ව්‍යවස්ථා විරෝධී ගුබ්බෑයමට රිංගීමට තරම් ඔවුන් අදර්ශී විය.

ඒ අතර මහ ගෙදරට බලහත්කාරයෙන් රිංගා ගත් පිරිස් වලට එහි නීත්‍යානුකූල අයිතිය ලබා දී ඉන් එළියට බැස ‘‘රිසිවේෂන් ඉඩමක’’ ‘‘පැල් කොටයක්’’ අටවා ගැනීමට තරම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශවය අසරණ විය. ඔවුන් ඉන්දිරාගාන්ධිගෙන් ඉගෙනගන්නවා වෙනුවට සෝමවංශ අමරසිංහයන්ගේ අවසන් දේශපාලන තීන්දුවෙන් ඉගෙන ගැනීමට තීන්දු කළහ. ඔවුන් විසින් කළ යුතුව තිබුනේ වෙනත් පක්ෂයක් හැදීම වෙනුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ෂවය හෝ ජාතික ආණ්ඩු විරෝධී පාර්ශවය ලෙස පෙනී සිටීමටය. ඒ සියල්ලට වඩා ඉහත ස`දහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සදහා මුල්වූ රට බෙදන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියට සහාය දීමට එතුමාගේ සගයෝ තීන්දු කළහ. ඔවුන් කෙතරම් අසරණ වූවාද යත් තමාට විපක්ෂ නායක කම පවා අහිමිකොට තිබියදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඇතුල්වී ආණ්ඩුවට සහාය දීමට ඉදිරිපත්විය.

කෙසේ වෙතත් ජනතාව මහින්දරාජපක්ෂයන් අත්හැරියේ නැත. සියලූ පරාජයන් අභියස නැගී සිටි ඔවුන් ස්වේච්ඡුාවෙන් ක‍්‍රියාත්මකවී පෙබරවාරි 10 වනදා තම නායකයා නැවත ඔසවා තැබීය. ඒ තුල ජනතාව පෙන්වූ විශේෂ ලකුණක් ඇත. එනම් ඉදිරි ජනාදිපතිවරණයේදී ජාතිවාදී කප්පම් කල්ලි වල කේවල් කිරීමේ බලයට යටත්නොවී මහින්ද රාජපක්ෂයන් විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයාට ජයග‍්‍රහණය කළ හැකි බවය. ඒ සදහා වන පූර්ව කොන්දේසිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද සහ මෛත‍්‍රී පාර්ශව එකතු කිරීමය. නමුත් ඒ වෙනුවට මහ මොළ කරුවන් කරන්නේ තමා විසින් විල්පත්තු වන උiානය කැපීමට වරම් දුන් ජාතිවාදී බලවේග නැවත කිට්ටු කර ගැනීමය. ඊට අමතරව එදා 2015 දී තර්ක කළ ආකාරයට දැන් නැවත වටයකින් ඔවුන් තර්ක කරන්නේ 2020දී පොදු අපේක්ෂකයෙක්ට නැවත ඉඩක් නොලැබෙන බවය. ඔවුන් දැන් තර්ක කරන්නේ 2020 දී ජනාධිපති අපේක්ෂකයා වීමේ සිහිනය රනිල් වික‍්‍රමවසිංහ මහතා විසින් අත් නොහරින බවය. මහමොළකරුවන්ට අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා තරගයට ඉදිරිපත්වීම තමාට වාසිදායකය. ඒ නිසා ඔවුන් 2015 දී කළ වරද නැවත කිරීමට සාධාරණ හේතු සොයමින් සිටිති. රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට ඔවුන් අකමැති වන්නේ සහ ඊට එක සිතින් උදව් නොකරන්නේ තම සිහිනය සැබෑ වනු දැකීම සදහාය. ඒ ඓතිහාසික වරදට නැවත ඉඩ නොතැබීමට ජාතික බලවේග පෙරට පැමිණිය යුතුය.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More