ප‍්‍රධාන පුවත්

13 එසේම තිබිය දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට අවුලෙන් අවුලට ඇද දැමීමක් බව විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව දැන් ජවිපෙ විසින් භාරගෙන ඇති බවයි. ඒ අතර ඒකාබද්ධ විපක්ෂය ඊට කොන්දේසි සහිතව සහයෝගය දෙන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දැනටමත් ප්‍රකාශ කොට ඇති බවද ඔහු පෙන්වා දෙයි.

‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම’ ඔවුන් පවසන ඉහත කී කොන්දේසිය ය. එවැනි තීරණයකට ඒකාබද්ධ විපක්ෂය මේ වන විට නිල වශයෙන් එළඹ නැති බවත් එවැනි තීරණයක් ගැනීමට සූදානම් වුවහොත් ජාතික නිදහස් පෙරමුණ ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් මේ මොහොතේ ජාතිය හමුවේ අවධාරණය කිරීමට කැමැත්තෙමු.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත්ම නිවැරදි නොවේ. එය රට තවදුරටත් අවුලෙන් අවුලට ඇද දමන්නකි. දහතුන්වැනි සංශෝධනය මගින් පූර්ණ සන්ධීය රාජ්‍යයක් බිහි නොවීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් වූයේ ද වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විධායක ජනාධිපති ක්‍රමය ය. වර්ධරාජා පෙරුමාල් සිය සීමාව ඉක්මවා ගිය විට උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර එය ආණ්ඩුකාර පාලනයකට නතුකර ගැනීමට හැකි වූයේ ද විධායක ජනාධිපති ධුරය සතු බලතල නිසා ය.

ජවිපෙ මේ ඉටු කරන්නේ කොන්ත්‍රාත්තුවක් ය. මේ එන්නේ විධායකය අහෝසි කිරීමේ මුවාවෙන් ඒකීය රාජ්‍යය අහෝසි කිරීමට බව අප අවබෝධ කරගත යුතු ය. ඒ කාර්යය ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන්නේ කාරක සභා අවස්ථාවේදී ගෙන එන සුළු සංශෝධන මගින් බව මෑත ඉතිහාසයේ අප ලත් පාඩම් ඇසුරින් වටහා ගැනීමට අපට දැන් හැකිවිය යුතු ය. අවසානයේ සිදුවනු ඇත්තේ පළාත් සභාවලට අදාළව ජනාධිපතිවරයාට ඇති පාලනය අහෝසි කිරීම සහ තවත් ඒකීය රාජ්‍යයේ පැවැත්මට හානිකර සංශෝධන සම්මත වී විධායක ජනාධිපති ධුරය නාමිකව අහෝසි කිරීම සදහා අවශ්‍ය ජනමත විචාරණය පසුවට කල් යාම බව නොවැටහීම බරපතළ වරදක් බව කිව යුතු ය.

මේ ආකාරයට ඒකීය රාජ්‍යය අනතුරේ වැටුණු පසු අප ලබාගන්නා මැතිවරණ යනු අසනීපයට බෙහෙත් කිරීමට සුදුසු වෛද්‍යවරයකු සෙවීම පසෙක තබා ‘දැනට මේ බෙහෙත් බොමු. නමුත් පසුව හොද මල් ශාලාවක් සොයා ගමු.’ පන්නයේ විකල්පයකි. කිසිසේත් එකකට එකක් යා නොවන ඉල්ලීම් එකට අනා ඉදිරිපත් කිරීම වෙනුවට රටේ ඒකීයභාවයට එරෙහිව ඇති අනතුර හදුනාගන්නා ලෙසත් විදේශීය පෑන් පහරින් කෙටුම්පත් කරන යෝජනාවල බැටළු හම මෑත්කර ඒ යටින් ඇති වෘකයා හදුනාගැනීමට උනන්දු වන ලෙසත් මුළුමහත් ජාතියෙන්ම ඉල්ලා සිටින අතර මේ යටිකූට්ටු හවුලේ ෆෙඩරල් ක්‍රියාදාමයට එරෙහිව අවදියෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටිනු කැමැත්තෙමු.

විමල් වීරවංශ, (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More