පුරවැසි කොලම

ඊයේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ සරසවි ශිෂ්‍යාවක් කුඩා කල සිට ඇගේ සිහිනයක් ව පැවති පේරාදෙණිය සරසවියට ඇතුල්වීමට හැකි වීම, ඇය ලත් ජයග්‍රහණයක් බව පළ කළා. නිවේදකයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇය තවදුරටත් පවසා සිටියේ අනාගතයේ මහාචාර්යවරියක වී එහි ම උගැන්වීම තම සිහිනය බවයි. එම නොදරුවාගේ අහිංසක සිතුවිල්ලට කිසිවක් නොපවසා එම සිහිනය මේ දැරිවියට ජනිත කළේ කවුරුන්ද කියා වග විභාග කිරීම අවශ්‍ය ය. ජාතියක මුළාව මේ දරුවාගෙන් වහනය වන නිසා එම දරුවාට එසේ සිතන්නට බල කළ පේරාදෙණිය සරසවිය විසින් ජාතියට තිලිණ කොට ඇති දායාදය හුදෙක් පරගැති අනුකාරක උගතුන් පිරිසක් හා එවැනි විශ්ව විද්‍යාල පද්ධතියක් පමණයි.

පේරාදෙණියේ ඈත ඉතිහාසයට නොගොස් පේරාදෙණිය සරසවිය ගොඩ නැගූ කෙටි ඉතිහාසය කෙටියෙන් බලන්නයි, මේ ප්‍රයත්නය. සෙනරත් පරණවිතාන ශූරීන් කියන විධියට ඇරිස්ටෝටල්ගේ සරස්වතී මණ්ඩපයේ මහා ඇලෙක්සැන්ඩර් රජු ශිල්ප හදාරා ඇත. බුද්ධියට අධිපති සරස්වතී දෙවඟන පෙරදිග මෙන් ම අපරදිග සභ්‍යත්වයේත් සඳහන් වෙනවා.

කන්නන්ගර මහත්තයාගේ සිංහලෙන් උගන්වන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනාපු වෙලාවේ අපූරු කතාවක් එතුමා කිව්වා. ඔහු කිව්වා ජූලියස් සීසර්ගේ ප්‍රකාශයක්. සීසර් රජ වෙලා කාලයක් ගිහිල්ලා ඔහු කිව්වලු මට හම්බ වුනේ මැටියෙන් හදපු රෝමයක්. මම ඒක කිරි ගරුඬෙන් හැදුවා කියල. කන්නන්ගර මහත්තයා කිව්වා අපට හම්බ වුනේ මිල අධික අධ්‍යාපනයක්. මම ඒක ලාභ කළා. සියලු දෙනාට ම දෙන්න කියලා. ලාභ කරපු සිංහලෙන් දෙන අධ්‍යාපන නිසා 60 දශකය වන විට උසස් අධ්‍යාපනය සඳහා විශාල පිරිසක් එකතු උනා. මේ තත්ත්වය කලින් දැකපු ඉංග්‍රීසීන් 1941 අප්‍රේල් මාසයේ ලංකා විශ්ව විද්‍යාලය, පේරාදෙණියේ පිහිටුවන්න වැඩ පටන් අරගෙන තිබුණා.
යුරෝපීය ශිෂ්ටාචාරයේ බීජයන් රෝපණය කිරීමට උචිතම ස්ථානය ලෙස සලකල කෝල්බෲක් / කැමරන් යෝජනා ක්‍රියාවට නැගුවේ 1833 සැප්තැම්බර් 01 දා එංගලන්ත රාජකීය ආඥාවකින්.

මේ යෝජනා මගින් රටේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී කර්තවයන් ගණනාවක් සඳහා ව්‍යූහාත්මක වෙනස්කම් කළා. රාජකාරී ක්‍රමය අහෝසි කළා. වැටුප් ශ්‍රමය හඳුන්වා දුන්නා. ඊට කලින් අපේ රටේ කවුරුවත් වැටුපට ශ්‍රමය වික්කේ නෑ. මුඵ රට ම එක ම පාලනයකට ගෙනාවා. ඉඩම් විකිණීමට හැකි වෙළඳ භාණ්ඩයක් බවට පත් කළා. වැවිලි කර්මාන්තයක් හඳුන්වා දුන්නා. මේ වගේ වැඩවලට සහායක බල ඇණියක් හැටියට ලිපිකාරයෝ වගේ අය හදන්න අධ්‍යාපනයක් මේ ප්‍රතිසංස්කරණ හරහා ගෙනාවා. යටත් විජිත පාලනයට උදව් කරන ඉහළ සමාජ තට්ටුවල අයගේ දරුවන් තමන්ගේ කීකරු සේවකයන් බවට පත් කරන්න දොස්තර, ඉංජිනේරු, නීතිඥ වෘත්තීන් සඳහා අධ්‍යාපනය වැඩි දියුණු කළා. මේ දරුවෝ එංගලන්තයට අරන් ගිහිල්ලා වියදම් කරල උගන්වල අරගෙන එන එකට වඩා මෙහෙම උගන්වලා මෙහෙ වියදමින් හැඩගස්වන එක හොඳයි කියල හිතල 20 වන සියවසේ මුල් කාර්තුවේ කොළඹ යුනිවර්සිටි කොලීජිය පිහිටෙව්වා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක කළලය මෙය යි. නිකමුන් ඇතැමුන් බවට පත් කිරීම තවත් විධියකින් කියනවා නම් යුරෝපීය ගැත්තන් බිහි කරන ආයතනයක් සෑදීම, එයට මග පෙන්වූ විදේශකයින්ගේ පරමාර්ථය උනා. මේ වැඬේට අතගැහුවේ ඒ වෙන කොටත් සිටි සුද්දන්ගේ දේශීය ඒජන්තයෝ ටිකක්.

සර් ජේම්ස් පීර්ස්, ඩී. ආර්. විජේවර්ධන , ඩී. බී. ජයතිලක, දොස්තර ඩබ්. ඒ. ද සිල්වා, එස්. සී. පෝල්, ඩී.ඇස්. සේනානායක, සර් ජෝන් කොතලාවල වගේ කැපී පෙනෙන කීප දෙනෙක් තමයි දේශීය ව උනන්දු වුනේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථානීය සැලැස්ම සකස් කළේ මහා බි්‍රතාන්‍යයේ හිටපු විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙච්ච සර් පැටි්‍රක් ඇබක්‍රොම්බි. අනෙක් සියල්ල කළේ යෝජිත විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති ලෙස නම් කර සිටි ලන්ඩන් ආර්ථිකවිද්‍යා ශාස්ත්‍රාලයේ රාජ්‍ය ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයෙකු වූ අයිවර් ජෙනින්ස් ය. පේරාදෙණිය මාවත නම් ස්වයං චරිතාපදානයෙහි ජෙනින්ස්ගේ මේ කියමන හරි අපූරු එකක්.

“මම ගලහ පාර ඔස්සේ රිය පදවාගෙන ගොස් අප උපාධි ප්‍රදානෝත්සව ශිඛරය යැයි නම් කර ඇති සානුව වෙත ළඟා වන තෙක් ගියෙමි. වැඩෙමින් නැගෙන වනාන්තරය මැදින් ඉහළට නැගීම පහසු කටයුත්තක් වූයේ නැත. එහි සර්පයන් සිටීවිද කියා මා දැන සිටියේ නැත. මහවැලි ගං ඉවුරෙහි තිබුණ කපා බිම හෙලන ලද ගසක මුල් කොටස මත හිඳගත් මම ශ්‍රීමත් පැට්රික් ඇබක්‍රොම්බිගේ ස්ථානීය සැලැස්ම මා ඉදිරිපිට දිගහැර ගත්තෙමි. සැලැස්මෙහි මනස්කාන්ත භාවය මට පසක් වන්නට පටන් ගත්තේ එවිට ම ය. කිසිදු සැකයක් නැත. ඩී.ආර්.විජයවර්ධන මහතා සිතූ සේ නිවැරදි ය. මෙය ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයක් වනවා ඇත.”

පේරාදෙණිය බිහි කළ විශිෂ්ඨතම බුද්ධිමතා හැටියට අදටත් අපේ රටේ ගරු බුහුමනට පත් වෙන වැදිතන්නිරිගේ එදිරීවීර සරච්චන්ද්‍ර තමයි අර කොළඹ විශ්වවිද්‍යාලයීය කොලීජියට ඇතුල්වෙලා පේරාදෙණියෙන් එළියට ආපු සුපිරි අනුකාරක උගතා. පේරාදෙණිය සරසවිය සෑදීමට එදා කොළඹ බුලර්ස් පාර නැත්නම් අද බෞද්ධාලෝක මාවතේ තිබෙන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමිය ද, ඇතුළත් රජයේ භූමිය සුදුසු යැයි හඬක් නැගුවේ සර් ජේම්ස් පිරීස් ආදි පිරිසක්. එම මතය යටපත් කොට කොළඹින් පිට දුම්බර මිටියාවතේ යම් ස්ථානයක මෙය පිහිටුවිය යුතු යැයි පෙරමුණ ගත්තේ ලේක්හවුස් අධිපති කේම්බි්‍රජ් උපාධිධාරී ඩී. ආර්. විජයවර්ධන ඇතුඵ පිරිසක්. ඔහු සේනානායක හා කොතලාවල එකඟ කරගෙන දුම්බර මිටියාවත මැලේරියා වසංගතයේ තෝතැන්නක් නිසා පේරාදෙණියේ නව පේරාදෙණිය වතුයාය (අක්කර 385) මිල දී ගත්තේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමත මුදලින්. මේ සරසවි උද්‍යානය ගැන එදිරීවීර සරච්චන්ද්‍ර පසු කලෙක තැබූ සටහනක්.

පේරාදෙණිය මිටියාවතෙහි විවේකී ව පත පොත බැලීමෙන් හා තමන් අතර සම්මන්ත්‍රණ කිරීමෙන් ලෝක ස්වභාවය අවබෝධ කර ගැනීමට තැත් කරමු කියා තමාගේ ඇකයට පැමිණෙන්නා වූ සිසු මානවක මානවිකාවන් කෙරෙහි උපන් දයාවෙන් දෝ අවුරුද්ද මුඵල්ලේ ඔවුන් වෙත සොමි ගුණය පාන්නා වූ ප්‍රකෘතිතොමෝ ඔවුන්ගේ දෑස් පිනවා සිත් සතන් සැනසීමට මෙන් වර්ෂයේ එක් කාලයක් විශ්වවිද්‍යාලයේ හාත්පස භූමිය වෙසෙසින් අලංකාර කොට අතිශය මනෝහර ශෝභාවකින් සරසා දක්වන්නී ය. දහවල් දවස යටිකුරු කරන ලද පළිගු මුවා සැලියක් සේ වළාකුලින් තොරව බැබළෙන අහස් කුස පියවරින් පියවර තීව්‍ර වෙමින් උච්ච සප්තකය කරා නඟින ස්වර මාලාවකින් තම විරහ ශෝකය පළ කරන කෝකිලයන්ගේ රාවයෙන් ඒක නින්නාද වේ.

ලංකාව සංස්කෘතික කාන්තාරයක් කියපු ජෙනින්ස් දැනගෙන හිටියා, යුරෝපීය ශිෂ්ටාචාරයේ බීජයන් රෝපණය කරල ආදර්ශවත් යටත්විජිතය ගොඩනගන්න නම් කළ යුත්තේ කුමක් ද කියල. වල්මත් වූ බෙලහීන කරන ලද ජාතියක් බවට සිංහලයින් පත් කළ විට ඒ ජාතිය උන් හිටි තැන් නැති කර ගන්නා ජාතියක් බවට පත්වීම අනිවාර්යයක් බව. අපට උරුම අපේ පොළවේ සභ්‍යත්වය දැකගැනීමේ හැකියාවක් දැන් නැහැ. අද ජාතික දේහය දිරාපත් ව ඇති තත්ත්වය අනුව එයට වේදනා සංඥා නොදැනේ නම් ඒවාට ප්‍රතික්‍රියා කළ නොහැකි ය. අරටුව දිරා මුල් කුණු වී ගිය ජාතියක් බිම දැමීම පහසුයි කියල කියන්නේ ගුණදාස අමරසේකර ශූරීන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැගුවේ ඒක ගැන හිතල. සරච්චන්ද්‍රගේ ඉහතින් පළ කළ උපුටනය ඊට හොඳ උදාහරණයක්. ජාතියක දිශානතිය පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක් නැති පේරාදෙණිය සාහිත්‍යය හා උගතුන් අද රට ගෙනැල්ලා තියෙන්නේ අඳුරු අගාධයකට. දැන්වත් මේක තේරුම් අරගෙන පානදුරාවාදය හා අනගාරික ධර්මපාලතුමා අපේ රටට පෙන්වපු අපේ දේශපාලනය හොයා ගන්න ඕනා. නමුත් ඒ උරුමයන් දෙක ම මේ විශ්වවිද්‍යාලවලින් එළියට ආපු උගත්තු දැක්කෙ නැහැ. කොළඹ තමන්ගේ උරුමය හැටියටයි මේ උගත්තු ගොඩනැගුවෙ. මේ ඊයේ පෙරේදා මෙගාපොලිස් නැත්නම් මහනගර සංවර්ධන කියල අමාත්‍යංශයකුත් හැදුවා. අපේ පුරාණ උරුමය මොකක්ද කියල හිතල බලන්න පාලකයින්ට හෝ නිලධාරීන්ට දැන් බැහැ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථානීය සැලැස්ම ගොඩනැගුවේ ඇබක්‍රොම්බි වුවත් ගොඩනැගිලි සැලසුම් ශිල්පියා උනේ එංගලන්තයේ ලීවර් පූල් විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරා සිටි ෂර්ලි ද අල්විස්. ඔහු ලංකාවේ මිනිහෙක්. සම්භාව්‍ය ග්‍රීක පුර නිර්මාණයට අපේ අනුරාධපුර මහා සම්ප්‍රදාය ග්‍රීක නිර්මාණ ශිල්පීන් ද අනුගමනය කර ඇති බව අල්විස් දුටුවා. මේ දෙකෙන් මේ සම්ප්‍රදායන් උපන්නේ කිනම් ස්ථානයක ද යන්න හරි හැටි නොදනිතත් පුරාණ ග්‍රීසියේ දෙව් මැදුරු, ප්‍රධාන රාජ්‍ය ආයතන, ස්වාභාවික භූමියට හානි නොවන අයුරින් මෙන් ම මනාව ඉඩකඩ ඇති අයුරින් සකස් කෙරෙන මූලික සංකල්ප එහි ගැබ් ව ඇති බව ද, අල්විස් දුටුවා. එමෙන් ම අනුරාධපුරයේ වාස්තු විද්‍යාඥයින් ද එය ම අනුගමනය කොට ඇති බව දුටුවා. අනුරාධපුරයේ සලපතළ ම`ඵව තුළ නැඟී සිටින සුවිසල් දාගැබ් නිර්මාණයේ දී එදා අනුරාධපුර ශිල්පීන් අනුගමනය කොට ඇති ක්‍රමවේදය පේරාදෙණිය ගොඩනැගිලි ඉදිකිරීමේ දී හා සැලසුම්කරණයේ දී ඔහු ආභාසය කොටගත් බව පවසා තිබෙනවා. විශේෂයෙන් ලෝවාමහාප්‍රාසාදය ඔහුගේ සිත් ගත් තවත් ඉදිකිරීමක්. පොළොන්නරුව වටදාගෙය, මැදිරිගිරිය වටදාගෙය ආභාසයෙන් සනාතන මන්දිරයේ මෙන්ම, ශිෂ්‍ය නේවාසිකාගාරවල ඇති කවාට නිර්මාණය කළා.

විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ අනුරාධපුර පාරිසරික කලාපය සමතලා සේ පෙනෙන විශාල ප්‍රදේශයක් පුරා දිවෙන අහස හොඳින් නිරීක්ෂණය කළ හැකි දාර්ශනික සංකල්පයන්ට තෝතැන්නක්. ශෝභමාන පරිසරයක් හා සෞන්දර්යයක් ඇති පේරාදෙණිය තුළ ස්ථාපිත කළ සරසවිය, අනුරාධපුරය විසින් අත් කර දෙනු ලැබූ මානව පරම්පරාවක් යළි නිර්මාණය කරන්නට දායක වුනේ නැහැ. ගුරු ශිෂ්‍ය දෙපිරිසේ ම බුද්ධිමය සන්දර්භය විකසිත කරවන්නක් නොවෙයි පේරාදෙණිය. සෞන්දර්යාත්මක පරිසරයක් තුළ ලෙයට කා වැද්දූ දැනුම රට දැය සමයට අදාළ එකක් නොවන නිසා උපන්නේ අනුකාරකයන් පිරිසක්. සරච්චන්ද්‍රගේ සිට විශ්වවිද්‍යාල පුරාත්, අමාත්‍යංශ ලේකම්වරු, දිසාපති, ග්‍රාමසේවක දක්වා රාජ්‍ය තුළ ක්‍රියාත්මක වන්නේ මේ විශ්වවිද්‍යාලවලින් උගන්වපු වඳ පීදුනු මතවාද? අනුකරණයෙන් වැළඳගෙන ඉන්නා පක්ෂ, පාර්ලිමේන්තු හා ප්‍රජාතන්ත්‍රවාදයට ඔවුන් බොහොම වැදගත්. 56 නැග ආ ජාතිකවාදී රැල්ල මනමේ, සිංහබාහු වැනි සෞන්දර්යාත්මක රචනාවන්ගෙන් වශීකෘත කිරීම හා වැළඳගැනීම මු`ඵ ජාතියේ ම අභාග්‍යයක්. පේරාදෙණිය ගුරුකුලයක් ලෙස වර්ධනය වුවත්, ෂර්ලි ද අල්විස් වැනි ඉදිකිරීම් ශිල්පියෙකු දුටු (බාස් කෙනෙකු) දාර්ශනික පදාර්ථයවත් මේ ගුරුකුලය වටහාගෙන නැහැ. ඊට ඇතු`ඵ වූ මානවක, මානවිකාවන් මේ විශ්ව විද්‍යාලය තුළ, මේ පරපුරට එරෙහි ව අවි ආයුධ සැදූ හැටි අපට මතකයි. ඊටත් පසු කාලයක පොලීසියක් ද ඇටෙව්වා තම ශිෂ්‍ය ප්‍රජාවට එරෙහිව. එහෙම දෙයක් කළ ලෝකයේ පළමු ගුරු පරපුර මම හිතන්නේ පේරාදෙණිය ගුරු පරපුර කියල.

විශ්ව විද්‍යාලය ආරම්භයට පෙර 1952 දී අල්විස් මිය ගියා. 1948 වගන්ති 28 කින් යුත් ඩොමිනීයන් පාලනය සඳහා ලියවිල්ල සකස් කළ අයිවර් ජෙනින්ස් විශ්ව විද්‍යාලයට සමාජ විද්‍යාපීඨයක් ඇතුල් කළේ නැහැ. සිංහල සංගීතයක් සඳහා පර්යේෂණයක යෙදී සිටි සුනිල් ශාන්ත මහත්තය ව ගුවන්විදුලියෙන් පළවා හරින්නට මේ විශ්වවිද්‍යාලයෙන් උපන් එදිරිවීර සරච්චන්ද්‍රත් ඒ වගේ ම එම්. ජේ. පෙරේරත් එකතු උන බව අපි දන්නව. ජාතියේ කොඳු නාරටිය බිඳ දමන්නට සමත් පරගැති උගත් පරපුරක් පේරාදෙණිය සරසවිය ජාතියට තිලිණ නොකළා නම් හා විදf්‍යා්දය, විද්‍යාලංකාර පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල නොකළා නම් අපේ ඉරණම අද බොහෝ දුරට වෙනස්. පේරාදෙණිය හැදුවේ නව යටත් විජිත පාලනය ගෙනියන්න. ඒක තව ම හොඳට පවතිනවා.

ලිපියේ මුලදී ම සඳහන් කරපු අර අහිංසක දැරිවියගේ ප්‍රාර්ථනාවේ තිබෙන විසකුරු බව ඇයට ද වටහා ගැනීමට සමත් සමාජ බලවේගයක් හැදීම අද දවසේ කටයුත්තයි. එවිට ඇය තේරුම් ගනීවී මාර්ටින් වික්‍රමසිංහ, මුනිදාස කුමාරතුංග, සුනිල් ශාන්ත සහ පසුපරම්පරාවේ ගුණදාස අමරසේකරයන් ද වටහා ගත් පරිදි මේ මුළාවෙන් ඉවත් විය යුතු බව. පේරාදෙණිය බුද්ධිසම්ප්‍රදාය මෙන් ම කොළඹ කේන්ද්‍රීය දේශපාලන සම්ප්‍රදාය ද අතහැර පොළොන්නරුව, අනුරාධපුර බුද්ධිසම්ප්‍රදායට හා දේශපාලන සම්ප්‍රදායට අප යා යුතු බව. එවිට අපට නව ලෝකයක් සඳහා ප්‍රාර්ථනා දැල්විය හැකි වේවි. වේදනා සංඥා දැනෙන පරපුරක් අනාගතයේ බිහි වේවි.

සේනාරත්න ද සිල්වා
සභාපති-පරපුරක උරුමය
nayomakusum@yahoo.com
07773761888



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More