පුරවැසි කොලම

අපගේ ආදරණීය සටන් සඟයකු වූ රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අමාත්‍යවරයා මා විසින් දිවයින පුවත්පතට සැපයූ “ හම්බන්තොට වරාය චීනයට, කොළඹ වරාය ඉන්දියාවට, මත්තල ගුවන්තොට ඇමෙරිකාවට: ඊළඟට කුමක්ද? ” නම් වූ ලිපියට පිළිතුරු බැඳීම මඟින් එම චෝදනාවලට අදාළව එතුමාගේ මතය සෘජුව ප්‍රකාශ කිරීම ඉතා අගය කළ යුතුය. විශේෂයෙන්ම ජාතික සම්පත් සහ උපායමාර්ගික මර්මස්ථාන අන්සතු කරන්නේ නම් එය පාවාදීමක් බවත්, එසේ වන්නේ නම් තමාද ඊට වගකිව යුතු බව සහ තමා ඊට එරෙහි වන බව නිර්භයව ප්‍රකාශ කිරීම ඉතා ඉහළින් අගය කළ යුතුය. එය සරත් වීරසේකර සන්නාමයේ ගුණයක් බව අප දනිමු. අප මිත්‍ර සරත් වීරසේකර මහතා ඇතුළු අප සැම පසුගිය යහපාලන ආණ්ඩුව පරාජය කිරීම සඳහා පොළඹවනු ලැබූ එක් ප්‍රධාන හේතුවක් වූයේ එම අවංක දේශපාලන ස්ථාවරය නොවේද? ඊට අමතරව බෙදුම්වාදයට සහ ඉස්ලාම් අන්තවාදයට පක්ෂපාතීව කටයුතු කිරීමද යහපාලන ආණ්ඩුව පලවා හැරීම සඳහා අපගේ අධ්‍යාත්මය මෙහෙයවූ ප්‍රධාන හේතු බවට විවාදයක් නැත.

නමුත් විකිණීමේ චෝදනා විකිණීම පිළිබඳ අප වෙත එල්ල කෙරෙන චෝදනා කිසි සේත්ම පිළිගත නොහැක. ඔබත් අපත් ඉතා දුක්මහන්සියෙන් විකිණීමේ චෝදනා අලෙවිකරනු ලැබුවේ යහපාලන ආණ්ඩුව පරාජය කිරීම සඳහාය. දැන් චෝදනා විකිණීමේ අවශ්‍යතාවයක් පැන නොනගින්නේ වර්තමාන ආණ්ඩුව පරාජය කිරීමේ හෝ අපහසුතාවයට පත් කිරීමේ අරමුණක් අපට නොමැති බැවිනි. අප විසින් චෝදනා මුඛයෙන් හෝ යම් ආකාරයකට ප්‍රභලව සමාජයට දැනෙන ලෙස යම් කරුණු පෙන්වා දෙනු ලබන්නේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීම සඳහාය. ඔබත් අපත් ඉතා දුක් මහන්සියෙන් නිර්මාණය කළ ජනවරම ආරක්ෂා කිරීම අපගේ පරම වගකීමක් නොවේද? ජනවරමේ අධ්‍යාත්මය මරණයට පත් වූ විට ආණ්ඩුවේ භෞතික ශරීරයට වැඩි කලක් පැවතිය නොහැකි බව ඔබ පිළිගන්නවා ඇත. එදා 2015 දී සිදුවූයේ එයම නොවේද?

ජනාධිපතිතුමා රුවන්වැලිසෑය අභියසදී ඉතා සෘජුව ප්‍රකාශ කළ ආකාරයට මේ රටේ අති බහුතරයක් වූ සිංහල ජනතාව විශේෂයෙන්ම බෞද්ධ ජනතාව විසින් ආණ්ඩුව බලයට පත්කළ සුවිශේෂී ජනවරම නිර්මාණය කරන්නේ යහපාලකන ආණ්ඩුව නැවැත් වූ තැනින් පටන් ගැනීමට නොවේ. එසේ නැතහොත් ජනපති මෛත්‍රී නොකළ දේ හෝ නැවැත් වූ දේ කිරීමට නොවේ. එපමණක් නොව ජනවරමේ අපේක්ෂාව ඉන් බොහෝ ඔබ්බට විහිදෙන බව ඔබ පිළිගන්නවා ඇත. එනම් යහපාලන ආණ්ඩුව විසින් කරනු ලැබූ පාවාදීම් නිවැරදි කිරීමද ජනවරමේ ප්‍රභල අපේක්ෂාවකි. උදාහරණයක් ලෙස ඉන්දියාව විසින් නිසි ගිවිසුමක් පවා නොමැතිව බලෙන් අත්පත්කරගෙන සිටින අප රටේ උපාය මාර්ගික මර්මස්ථානයක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ආපසු පවරා ගැනීම පමණක් නොව හම්බන්තොට වරාය ගිවිසුම නැවත සාකච්ඡා කිරීම ද ප්‍රභල මහජන අපේක්ෂා ලෙස සැලකිය හැක.
යහපාලන ආණ්ඩුව විසින් ඇටවූ කොළඹ වරාය විකිණීමේ බිම් බෝම්බය ඇතුළු හම්බන්තොට වරාය විකිණීම, මත්තල ගුවන්තොටුපළ විකිණීම සහ එම්.සී.සී ගිවිසුම ආදී බිම් බෝම්බ සියල්ල ගලවා ඉවත් කිරීම කථා කරන හෝ ලියන තරම් පහසු නැති බව අපගේ ලිපියෙන් සඳහන් කරන්නට යෙදුණි. බෝම්බ ගැලවීම ඇටවීම තරම් පහසු නැති බව ඔබ ද ඉතා හොඳින් දන්නා කරුණකි. ගෝඨාභය රාජපක්ෂයන් වැන්නෙකු අපට උවමනාවූයේ එම දුෂ්කර සහ අවදානම් සහගත කාර්ය්‍ය ඉටු කර ගැනීම සඳහාය. යුද්ධය පැවති සමයේදී එතුමා ඉන්දියාවෙන් හෝ ඇමරිකාවෙන් එල්ල වූ බලපෑම් වලට යටත් නොවූ පරිදිම අද මුහුණදෙන අභියෝග ජයගැනීමට ද එතුමාට හැකියාව ඇතැයි මහජනයා විශ්වාස කරති. ඒ පිළිබඳව සැක සංකා පහළවන විට හෝ ආණ්ඩුවේ ස්ථාවරයන් නිවැරදිව සන්නිවේදනය නොවන විට ජනතාව විරෝධය පළ කරති. නමුත් ජනතා විරෝධය එතුමාට ආශිර්වාදයකි. අසල්වැසි මහ බලවතුන්ගේ බලපෑම් වලින් ගැලවීම සඳහා එය සාධණීයව යොදා ගැනීමේ හැකියාව ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දියාව විසින් සීපා ගිවිසුම අත්සන් කිරීම සඳහා එතුමාට බලකරන අවස්ථාවේදී ඉන් ගැලවීම සඳහා මහජන විරෝධය ඉතා නිර්මාණශීලීව යොදා ගත් බව රහසක් නොවේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එම වරායට උපායමාර්ගිකව ඉතා වැදගත් වන බව සහ එම පර්යන්තයේ කළමණාකාරීත්වය නොමැතිව වරාය අධිකාරියට පැවැත්මක් නොමැති බව ඔප්පු කිරීම සඳහා අප විසින් වරායේ විවිධ පර්යන්තවල තත්වය පිළිබඳ තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නට යෙදුණි. ඒවා පිළිබඳව සරත් වීරසේකර මහතාගෙන් විරෝධයක් එල්ල වී නැති අතර එම කරුණු වලට එතුමා විසින් තවදුරටත් තොරතුරු එකතු කිරීම මඟින් අපගේ මතය ශක්තිමත් කිරීම ඉතා අඟය කළ යුතුය. එතුමා සඳහන් කරන්නේ මේ වන තුරු නැගෙනහිර පර්යන්තයේ පාලනය ඉන්දියාවේ අධානි සමාගමට පවරා දීමට ක්‍රියාකොට නොමැති බවය. ඒ පිළිබඳ විවාදයක් නැත. අප විසින් ඉතා සද්භාවයෙන් අනතුරු අඟවන්නේ සාකච්ඡා ක්‍රියාවලිය අවසානයේදී එසේ පවරාදීමට ඉඩක් තිබෙන බව පෙනී යන නිසාය. ඒ පිළිබඳව අපගේ ලිපියේ සඳහන් කළ ප්‍රභල රාජ්‍ය නිලධාරියා දිගින් දිගටම මැදිහත් වන බවට අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් තොරතුරු වාර්තා වීමද ඊට හේතු වේ. ඊට අමතරව ආණ්ඩුව විසින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ පාලනයට නතු නොකරන බව ආණ්ඩුවේ කිසිඳු පාර්ශවයක් විසින් සෘජුව ප්‍රකාශ කිරීමට මැලිවීම අනෙක් හේතුව ලෙස සඳහන් කළ හැක.

සාමාන්‍ය ව්‍යාපාරික සාම්ප්‍රදායන්ට අනුව යම් සමාගමක 51% ක අයිතිය ඇති සමාගමට කළමණාකාරීත්වය පැවරේ. නමුත් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට යහපාලන ආණ්ඩුව විසින් අත්සන් කළ ඊනියා සහයෝගිතා ගිවිසුම අනුව 49% ක් කොටස් අයිති සමාගමට කළමණාකාරීත්ව අයිතිය හිමිවන අතර එම කොටස්වල ප්‍රාග්ධන වටිනාකම හෝ අධානි සමාගම විසින් ආයෝජනය කළ යුතු මුදල පිළිබඳව කිසිවක් සඳහන් නොවේ. වර්තමාන ආණ්ඩුව විසින් එම ගිවිසුමට අදාළ සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ පවා අධානි සමාගම විසින් ආයෝජන කළ යුතු මුදල පිළිබඳව යෝජනාවක් හෝ සඳහන් නොවේ. ඊට අමතරව එම ඊනියා සහයෝගිතා ගිවිසුම මඟින් නීතිමය බැඳීමක් ඇතිවන බවටද ව්‍යාජ කරුණු යම් පාර්ශව විසින් ඉදිරිපත් කරති. එම ගිවිසුම මඟින් එකඟ වන්නේ සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා පමණි. සාකච්ඡාව තුළ 49% ක් දිය නොහැකි බව හෝ එම කොටස් ප්‍රමාණය හිමි සමාගමට කළමණාකාරීත්වය ලබා දිය නොහැති බව ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ නම් ඉන්දියාව ඊට එකඟ නැතිනම් ප්‍රශ්ණය අවසන් වේ.
සරත් වීරසේකර මැතිතුමාට මඟහැරි තිබුණද ජනාධිපතිතුමා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හමුවූ අවස්ථාවේදී රටේ ස්වයිරීභාවය ආරක්ෂා කිරීමට යටත්ව පමණක් තමා විසින් එකඟතා ඇතිකරගන්නා බව සඳහන් කිරීම අපගේ ලිපිය මඟින් ඇගයීමට ලක් විය. අප දැන් ඉල්ලා සිටින්නේ එම ස්ථාවරය සහ මහජන විරෝධය පිළිබඳව ඉන්දියානු අගමැති වරයාටත් කරුණු දක්වා නැගෙනහිර පර්යන්ත මර උගුලින් ගැලවෙන ලෙසය. විශේෂයෙන්ම එතුමාට ලැබුණු ජනවරම අනුව යහපාලන ආණ්ඩුව විසින් කරන ලද වැරදි තවදුරටත් පවත්වාගෙන යාම හෝ වර්ධනය කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වාදිය හැක. මේවා රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් ප්‍රකාශ කළ යුතු බවට විවාදයක් නැත. ඊට අදාළ කලාව සහ විද්‍යාව දන්නා අය ඒ සඳහා යොදා ගත හැක. එම මතවාදී ස්ථාවරයන් ජනාධිපතිතුමා විසින්ම ප්‍රකාශයට පත් කළ යුතු බවක් අප කියන්නේ නැත. ජනාධිපතිතුමා විසින් මිලින්ද මොරගොඩ මහතා මහජන විරෝධය හමුවේ පවා ඉන්දියානු තානාපති ලෙස පත්කරන්නේ මේවා ඉටුකර ගැනීමට හෙවත් ඌරාගේ මාළු උගේ පිටේ තබා කැපීමට යැයි අපි සිතුවෙමු. සරත් වීරසේකර අමාත්‍යවරයා ජාතික බලවේග නියෝජනය කරන බැවින් ඒ පිළිබඳව මහජනයාට සහතිකයක් ලබා දිමට බාධාවක් තිබිය නොහැක.

තත්වයන් එසේ තිබියදී දැන් ඇමරිකාවේ ගුවන් සමාගමක් විසින් තම ආයතනය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළේ බිම් මෙහෙයුම් බාරගන්නා බව ඒක පාර්ශවීයව ප්‍රකාශ කිරීම බරපතල තත්වයකි. එය එසේ සිදුවේ නම් එය තුට්ටුවකට හෝ ඊට වැඩි ගණනකට කරනු ලබන පාවාදීමක් මිස අන් කුමක්ද? විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශව අදාළ සමාගමේ ප්‍රකාශය පිළිබඳව නිහඬව සිටීම තුළින් මහජනයාට ගම්‍ය වන්නේ සමාගම කියන දේ සත්‍යයක් බව නොවේද? ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවාවේ පෙරටු සංවිධාන ලෙස ක්‍රියාකරන උපායමාර්ගික වශයෙන් වැදගත් වන මෙහෙයුම් සඳහා යොදා ගන්නා සමාගම් ජාලයක් ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. ජාත්‍යන්තර ඔත්තු සේවා වලට කූලිකාරකම් කරන එන්.ජී.ඕ කාරයින්ට බරපතල විරෝධයක් එල්ල කළ සරත් වීරසේකරයන්ට එවැනි තත්වයක බරපතලකම ඉතා හොඳින් තේරුම් ගත හැක. හම්බන්තොට වරාය චීනයට ලබාදී මත්තල ගුවන්තොටුපළ ඇමරිකාවට නතු කිරීම යනු ජාතියක් ලෙස සිය දිවි හානිකර ගැනීමක් බව යුද විශේෂඥයෙකු වන අද්මිරාල් සරත් වීරසේකරට ඉතා හොඳින් වැටහෙන බවට සැකයක් නැත.

අභිසාරිකා කථාව පිළිබඳවද යමක් කිව යුතුය. ඉතා කැමැත්තෙන් අභිසාරිකා වෘතියේ යෙදෙන්නියක් තම ගනුදෙනු කරුවන්ට කැමැත්තෙන් ආරාධනා කරන බව සැබෑය. යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පැහැදිළි කිරීම සඳහා එය හොඳ උදාහරණයකි. එහෙත් තත්වය සහ බලකිරීම මත අකමැත්තෙන් එම වෘත්තියට යොමුවන අය මැරයින් විසින් බලය පෙන්වා අස්වාභාවික ක්‍රියාවලට පොළඹවන විට හෝ හිරිහැර කරන විට ඊට අකමැත්තෙන් වුවත් එකඟ වීම මඟින් තමාට ගැලවිය හැකි යැයි සිතීම සිදුවිය හැකි දෙයක් නොවේද? අවසාන වශයෙන් කිව යුත්තේ සරත් වීරසේකර නම් වූ අපගේ සටන් සඟයාගේ දේශපාලන ස්ථාවරයන් සහ අපගේ දේශපාලන ස්ථාවරයන් අතර පරස්පරයක් තිබිය නොහැකි බවය. මෙවැනි බුද්ධිමය සංවාද තුළින් දක්නට ලැබෙන්නේ භූමිකාවේ වෙනස පමණක් යැයි අපි කල්පනා කරමු. එසේ සිතීම අපගේ හදවත් වලට සුවදායක බව අපි දෙපාර්ශවයම ඉතා හොඳින් දනිමු. ආණ්ඩුවෙන් එළියේ සිටිමින් ආණ්ඩුව ආරක්ෂා කිරීම අපගේ භුමිකාව යැයි අපි සිතමු. ආණ්ඩුව ආරක්ෂා කළ හැක්කේ සියල්ල නිවැරදි යැයි නිහඬව සිටීමෙන් නොව වරද දුටු විට පෙන්වාදීම මඟිනි. එය පීතෘ ගුණයක් බව සරත් වැනි හොඳ පියෙකුට විශේෂයෙන් පෙන්වා දිය යුතු නැත.

ඒ කුමක් වුවත් අප විපක්ෂයට ආයුධ දීමට සූදානම් නොමැති බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. අප විසින් පෙන්වා දෙන වැරදි විපක්ෂය විසින් පෙන්වා නොදෙන බව රහසක් නොවේ. ඒ එම වැරදි ඔවුන් විසින් ආරම්භ කළ ඒවා නිසාය. බිම් බෝම්බ ඇට වූ එකා ඒවා ගලවන විට විරුද්ධවීමට යන්නේ නැත. ඔවුන් කරන්නේ අහක බලාගෙන වෙනත් බයිලා ගායනා කිරීමය. නමුත් හතර ගාතෙන් වැටී සිටින විපක්ෂයට ආණ්ඩුව විසින් කිහිලිකරු ලබා දෙන බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය. පසුගිය දිනවල 20 වැනි සංශෝධනය ගෙන ඒමට පෙර මහා සංඝරත්නය සහ ජාතික බලවේග සමඟ නිහතමානීව සාකච්ඡා කළා නම් ඊට එරෙහි විරෝධතා දැක්වීමට අවස්ථාවක් උදාවන්නේ නැත. ජාතික බලවේග මහජනයා ඉදිරියේ පෙනී සිටින ස්ථාවරයන්ට ආණ්ඩුවේ පාර්ශව වලින් අභියෝග එල්ල වන විට නිහඬව සිටීම යනු ජනවරම පාවාදීමකි. එවැනි පාවාදීම් සරත් වීරසේකර නම් වූ රණවිරුවා කිසිසේත්ම අනුමත නොකරන බව අපි දනිමු.

ඉන්දියාවේ අධානි සමාගම සමඟ එක්වන ශ්‍රී ලංකාවේ සමාගමට ඥාතීත්වය ඇති ප්‍රභල රාජ්‍ය නිලධාරියෙකු නැගෙනහිර පර්යන්ත ගනුදෙනුව කඩිනමින් අවසන් කිරීම සඳහා බලපෑම් කරන බව අපි සඳහන් කළෙමු. ඔබ ඊට විරෝධයක් දක්වා නැති බැවින් ඔබ ඊට එකඟ බව පිළිගැනීමට සිදුවේ. එවැනි නිලධාරීන් විසින් ජනාධිපතිතුමා මහජන සබඳතා නිලධාරියෙකු බවට පත්කොට රට පාලනය කිරීමේ බලය තමා අතට ගැනීමට උත්සහා කරනවා නම් ඔබ කරන්නේ කුමක්ද? ඔබ ජනාධිපතිතුමාගේ ජනවරම, බලය සහ ගෞරවය වෙනුවෙන් පෙනී සිටිනවා නොවේද? ඒ ආකාරයටම ආණ්ඩුවේ ගිණුමට බැර කරමින් නිලධාරීන් විසින් කරනු ලබන අත්තනෝමතික තීන්දු වලට අපට ද එකඟ විය නොහැක. ඔවුන් විසින් අත්තනෝමතික පාලන මිලසූත්‍ර පනවා සහල් කර්මාන්තකරුවාගේ සහ ගොවියාගේ ගෙල සිරකරමින් රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරේ හෙළන විට අපට නිහඬව සිටිය නොහැක. රටේ ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි. එබැවින් එවැනි ජාතිකවැදගත්කමක් ඇති තීන්දු නිලධාරීන් දෙතුන් දෙනෙකු විසින් ගන්නේ නම් ඊට විරුද්ධ විය යුතු යැයි අපි සිතමු.

එම නිලධාරීන් හිතුමතයට ආනයනකරුවන්ට බදු සහන දෙමින් රටේ ආදායම් අහිමි කරමින් පාරිභෝගිකයාට ද කොකා පෙන්වන විට අපට නිහඬව සිටිය නොහැක. සීනි ආනයනකරුවන්ට ලබාදුන් අයුතු බදු සහනය බදු වංචාවක් බව දැන් ඉතා හොඳින් පැහැදිළි වී ඇත. එවැනි නරකම උදාහරණ හමුවේ ඔබ අපට නිහඬව සිටින ලෙස බල කරනු ඇතැයි අපි නොසිතමු. නමුත් ඔබගේ ක්‍රමය වෙනස් බව අපි පිළිගනිමු. එදා ජනාධිපතිවරණයට පෙර “ සිංහල බෞද්ධ ලයින් එක ” ඕනෑවට වඩා ඉහළට ඔසවා සුළු ජන ඡන්ද පදනම අවුල් නොකරනු යැයි යම් පිරිස් ඔබට අණ කරන විට ඔබ ඔවුන් සමඟ විවාද කරන්නට ගියේ නැත. එහෙත් ඔබ එම මතය පිළිනොගෙන අපගේ මතය පිළිගෙන ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග්‍රහණය සඳහා වූ උපායමාර්ගික ප්‍රවේශය නිවැරදි කරන්නට කටයුතු කළේය. අප වැඩ තෝරන ආකාරය සහ වැඩ කරන ආකාරය අනුව වෙනස් වුවත් එකම අරමුණක් වෙනුවෙන් එකට වැඩ කළ පිරිසකි. ඒ නිසා අපට වෙන්ව සිටිමින් එකම අරමුණක් වෙනුවෙන් වැඩ කිරීමේ බාධාවක් නැත. අපගේ භූමිකාව වෙනස් වුවත් රටට සාපේක්ෂව අපගේ මිත්‍රත්වය වෙනස් නොවන බවද අවසාන වශයෙන් කිව යුතුය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More