පුරවැසි කොලම

“ගෝඨා ෆේල්” ද යනුවෙන් විවිධ පෝස්ට් පළ කිරීමක් මේ දිනවල මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යවල සිදුවේ. තවත් පිරිසක් විසින් ගෝඨාභය සමත් බව පෙන්වීමට විවිධ හේතු සහ කාරණා මතු කරමින් සිටිති. පදවි ප්‍රාප්තියෙන් වසරක් සම්පූර්ණ කරන විට කාර්ය සාධනය පිළිබඳව යම් ඇගයීමක් කිරීමට සුදුසු බවට තර්කයක් නොමැත.

2015 දේදුනු යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණය සමග ලාංකීය දේශපාලනය තුළ සමාජ මාධ්‍ය ඉතා ප්‍රබල සාධකයක් බවට පත්විය. විශේෂයෙන්ම එක් පුද්ගලයකුට ජංගම දුරකථන අංක කිහිපයක් සහා මුහුණු පොතේ පිටු දෙකකට වඩා තිබෙන, ඕනෑම මොහොතක ප්‍රවේශ විය හැකි තොරතුරු මාධ්‍යයක් වශයෙන් සමාජ මාධ්‍ය ජනමතය හසුරවන ප්‍රධාන ප්‍රවාහයකි. අධික ප්‍රාග්ධනයක් සහිතව ස්ථාපිත ජනප්‍රිය විද්‍යුත් ජනමාධ්‍ය පවා සිය ජනප්‍රියතාව වැඩි කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරති. එක්සත් ජනපද ජනාධිපතිවරණයේදි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා විසින් සිය මැතිවරණ මෙහෙයුමේදී සමාජ මාධ්‍ය වෙනුවෙන් වියදම් කළ මුදල් ප්‍රමාණය සැලකීමේදී , සමාජ මාධ්‍ය ඉදිරියේදි ජනමතය හැසිරවීමේදි තීරණාත්මක වන බව පූර්වකථනය කළ හැකිය.

ගෝඨාභය සමත් ද අසමත් ද යන්න තීරණය කිරීමට පෙර මෙරට දේශපාලනයේ ස්වභාවය කුමක්ද යන්න විග්‍රහ කර ගත යුතුය. එක් විශ්ලේෂකයකුට අනුව 17, 18, 19 සහ 20 යන සංශෝධන සියල්ලන්ම පක්ෂව ඡන්දය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 23 දෙනකු සිටින බව වාර්තා වේ. 17 සහ 20 වන සංශෝධනය අතර කාලය සලකා බැලීමේදී බොහෝ මන්ත්‍රීවරුන් දේශපාලනයෙන් ඉවත්ව නොගියේ නම් මේ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට තිබුණි. දළ අර්ථයෙන් 17 සහ 19 සංශෝධන කොමිසම් සභා ඇති කරමින් ජනාධිපතිධුරයේ බලතල සීමා කරන සංශෝධන වෙති. 18 සහ 20 සංශෝධනවල අරමුණ ජනාධිපතිධුරය ශක්තිමත් කිරීමයි. එනම් 17 සහ 19 ව්‍යවස්ථාමය ප්‍රතිඵලය වශයෙන් 18 සහ 20 සංශෝධනවලට ප්‍රතිවිරුද්ධ වේ. නමුත් මේ මන්ත්‍රීවරුන්ට එය වැදගත් නොවේ. ආසන්නම උදාහරණයක් වශයෙන් 19 යට පක්ෂව ඡන්දය දුන් අතිවිශාල මන්ත්‍රීවරු සංඛ්‍යාවක් 20 ට ද කිසිදු වග විභාගයකින් තොරව අත එසවූහ. තවත් උදාහරණයකින් ධර්මරාජ්‍යයේ පළමු පියවර ලෙස පාර්ලිමේන්තුවට පැමිණි 17 ට එරෙහිවූ චම්පික රණවක 19 යේ ප්‍රධාන ප්‍රවර්ධකයකු වීම ඔහුගේ දේශපාලන විතැන්වීමේ ප්‍රමාණය පිළිබඳව වැදගත් දර්ශකයකි.

මේ කරුණ පිළිබඳව අවධානය යොමු කිරීමට හේතුව, ලාංකීය දේශපාලනයේ තීන්දු සහ ඇගයීම් හුදෙක් පක්ෂ දේශපාලනයේම තවත් කොටසක් විනා තවත් දෙයක් නොවන බව පෙන්වීමයි. ඡන්දදායකයා ස්ථිර සාධකයක් වන අතර දේශපාලනඥයා විචල්‍ය සාධකයකි. ජනතාව එකම පක්ෂයකට ලඝුවී සිටින අතර මහජන නියෝජිතයාට විවිධ පක්ෂ අතරෙ දෝලනය වීමේ නිදහස ඇත. දේශපාලන වරදාන උදෙසා හැමදාම කොහොම හරි පාර්ලිමේන්තුවේ සිටිම සහ නායකයා කියන ඕනැම දෙයකට අත එසවීම එම විචල්‍යයන්ට හේතුවන සාධක‍යෝ වෙති.

ගෝඨා ගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මනින නිර්ණායකය කුමක්ද? ඒ නිර්ණායක ගොඩ නගන්නේ කා විසින් ද? ඉහත සඳහන් කළ ආකාරයට දේශපාලන පක්ෂ සමග තදන්තරව බැඳුණු වාර්ගික හා ආගමික පදනම් ඉක්මවා යමින් පක්ෂ රේඛාවන් මත දැඩි ලෙස බෙදී වෙන්වී ගිය දේශපාලන සමාජයක ආණ්ඩුවේ කාර්‍යය සාධනය පිළිබඳව සැබෑ විනිශ්චයකරුවන් කවුද.?

පසුගිය කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ රජයේ සමහර ක්‍රියාමාර්ග භික්ෂුන් වහන්සේලාගෙ සහ ජාතික ව්‍යාපාරය තුළ දැඩි ප්‍රහාරයට ලක්විය. විසිවන සංශෝධනයේ ද්විත්ව පුරවැසිබව, විගණන කොමිසම සහ ජාතික ආණ්ඩු ප්‍රෝඩාව පිළිබඳව මේ විවේචනවලට හේතුවිය.

20 වන සංශෝධනයට එරෙහිව හරයාත්මක විවේචනයක් ආණ්ඩුවට එල්ල කළේ ජනාධිපතිවරයා බලයට පත් කිරිමට කටයුතු කළ ජාතික බලවේග පමණි. ඒ විවේචන කොන්දේසි රහිත සහ ආණ්ඩුව ගෙදර යැවීම ඉලක්ක කර ගත්තක් නොවීය. සමාජ මාධ්‍ය තුළ මේ සාකච්ඡාව ඉස්මතුවන විට ඌරෝ කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් යැයි සිතමින් විපක්ෂය බොරදියේ මාළු බෑමේ ප්‍රයත්නයකට කැස කවමින් සිටිති.

2015 යහපාලන බලපෙරළිය පසු පස සිටි මංගල සහ ජවිපෙ ගොබෙල්ස් කල්ලිය, මේ විවේචන තුළින් ගොඩනැගෙන ජනමතය පික් පොකට් ගැසීමේ සංවිධානාත්මක උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් “ගෝඨා ෆේල්” ව්‍යාපෘතිය සමාජ මාධ්‍යවල ඉදිරියට පැමිණියේය. සමාජ මාධ්‍යවල මෙන්ම සාමාන්‍ය සමාජය ද දේශපාලන වර්ණ අන්ධතාවයෙන් දැඩි ලෙස රෝගාතුරව සිටින රටක ජාතික ව්‍යාපාරයේ සාධනීය විවේචන ජාත්‍යන්තර පාවාදෙන්නන්ට තමන්ගේ මල්ලට දමා ගැනීමට ඉඩ නොතැබිය යුතුය.

ආණ්ඩුව පාර්ශවයෙන්ද රජය සමත් බව පෙන්වීම සඳහා මෙන්ම “ගෝඨා ෆේල්” සමාජ මාධ්‍ය මෙහෙයුම 2015 මෙන් අරාබි වසන්තයකට අරඇදීමක් බවට ගැඹුරු විශ්ලේෂණාත්මක විග්‍රයන් දක්වා තිබේ.

ආණ්ඩුව විවේචනය කරන ජාතික ව්‍යාපාරයේ නිර්ණායකය දේශපාලන කසඩයන්ගේ පටු න්‍යාය පත්‍රය නොවේ. ජනාධිපතිවරණයේදි ජනාධිපතිවරයා ඔසවා තැබීමට ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කළ අදහස් ඊට පදනම වේ. ආණ්ඩුව වෙත පැවරි ඇති වගකීම වන්නේ ජාතිකවාදී ජනවරම බලගැන්වීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමයි. ආණ්ඩුවේ කාර්යසාධනය, ජාතික න්‍යාය පත්‍රයකට අනුව ජාතික අභිලාෂයන්ගේ නිර්ණායකයනට අනුව තක්සේරු කළ යුතුය.

පළාත් සභා ජන්ද ජයග්‍රහණය කරමින් ජනප්‍රියත්වය රැකගෙන සිටි මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත්වුයේ ඔවුන් විසින් ගෙන ගිය අක්‍රමිකතා සහ දේශපාලන ආටෝපයයි. දේශපාලනඥයාට නීතිය සහ විනය විහිළුවක් බවට පත් විණි. ජාත්‍යන්තර බලවේගයන්හි මැදිහත් වීම සෑම අවස්ථාවකදීම සිදුවේ. එහෙත් ප්‍රතිශක්තිය අඩු පුද්ගල ශරීරයකට කොවිඩ් වසංගතය දැඩි ලෙස හානි කරන්නේ යම් සේද අභ්‍යන්තර වශයෙන් දුර්වල වු ආණ්ඩුවකට එරෙහිව ඕනෑම මොහොතක ජාත්‍යන්තර විෂබීජ ඇතුල්විය හැකිය. එවැනි සිදුරු නිර්මාණය කිරීමෙන් වැළකීම ආණ්ඩුවේ වගකීමකි. 2009 වන විට ජර්මනියේ කෘෂ්ණර්, බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් මිලිබෑන්ඩ් සහා ඉන්දීය ආරක්ෂක ලේකම්ගේ දැඩිබලපැම් තිබියදී පවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යුද්ධය අවසානය දක්වා ගෙන යෑමට ශක්තිය ලබා දුන්නේ ජනමතයයි.

ගෝඨාභය රාජපක්ෂ වෙත ලබා දුන් ජනවරම වසරක් අවසානයේදි නැවත කියවිය යුතුය. එය අර්ථ නිරුපණය කළ යුත්තේ පරාජය කළ යහපාලන රජයේ දුර්පාලනයේ හැසිරීමට සාපේක්ෂවයි. එතැනින් නොනැවතී මහින්ද රාජපක්ෂ රජයේ දෙවන යුගයේ හැසිරීමද දැඩිලෙස සැලකිල්ලට ගත යුතුවේ. ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණයේ සමීකරණය ගෝඨාභය + මහින්ද බව තේරුම් ගැනීම වැදගත් වේ. ලංකාවේ අතිශය ජනප්‍රිය දේශපාලන නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂට ඡන්ද බැංකුවක් ඇතිබව අවිවාදිතය. නමුත් එය ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ කඩ ඉම දක්වා ගෙන ගියේ ගෝඨාභය වෙනුවෙන් භාවිත කරන ලද ඡන්ද ප්‍රමාණයයි.

මෙම රජය බලයට පත් කිරිමට ප්‍රධාන වශයෙන් හේතු වූ සටන් පාඨයක් වූයේ එක් රටක් – එක් නීතියක් සටන් පාඨයයි. සමාජය බරපතළ ලෙස කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව හෙම්බත්ව සිටින විට එක් ජන කොටසකට පමණක් වෙනස් නීතියක් ඉල්ලා සිටීම පිළිගත නොහැකි තත්ත්වයකි. ජාතික ආර්ථිකය දැඩි අර්බුදයකට ලක් කළ මෙවැනි වසංගත තත්ත්වයකදි පවා පොදු නීතියට ආගමික මූලධර්මවාදය පදනම් වු ව්‍යතිරේඛ ඉල්ලා සිටිම ඔවුන් රටේ පොදු නීතියට අවනතවීමට තවමත් සූදානම් නොමැති බව තහවුරු කරයි. රජය විසින් නොගත් තීරණයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කිරීමට තවුහිත් ජ්මාත් සංවිධානයට ඇති බලය කුමක්ද? එහි සභාපතිවරයා අධිකරණ ඇමැතිවරයා එම අවසරය කැබිනට් මණ්ඩලයෙන් ලබා ගත්බව ස්ථිරසාරව ප්‍රකාශ කරයි.

සමහරක් ඇමැතිවරු එවැනි අනුමැතියක් නොදුන් බවත් වෙනත් ඇමැතිවරු එසේ නොවන බවත් විවිධ තැන්වල පවසා ඇත. පාස්කු ප්‍රහාරය කාලයෙදිත් විවිධ ඇමතිවරු විවිධ කතා කියමින් එකිනෙකාට චෝදනා කරමින් ආණ්ඩුව විහිළුට ලක් කළහ. පිළිගත යුත්තේ කාගේ අදහස ද නොදැන ජනතාව ව්‍යාකූල බවට පත්වූහ. 19 වන සංශෝධනයට එරෙහිව 20 වන සංශෝධනයේදී ජනාධිපතිධුරය ශක්‍තිමත් කිරීමට ජාතික ව්‍යාපාරය සහය ලබා දුන්නේ රටේ පාලනය එක් විධානයක් තුළින් ක්‍රියාත්මක වීමටයි. විවිධ ඇමැතිවරුන් තමන්ගේ ආගමික පසුබිම සහ දේශපාලන අභිරුචියන් අනුව හිතට එන ඕනෑම ප්‍රලාපයක් දෙසබෑම තුළ හාස්‍යයට ලක්වන්නේ විසි වන සංශෝධනයේ ආණ්ඩුව විසින් අලෙවිකරන ලද ශක්තිමත් විධායකයක අවශ්‍යතාවයි.

ඊළග මැතිවරණයකදි සිංහල ඡන්ද නොතකා සුළුවාර්ගික ඡන්ද මතින් ජයග්‍රහණය කිරීමට සැලසුම් කිරීම රාජිත සේනාරත්න- මංගල සමරවීර ව්‍යාජ සමීකරණයේ උගුලට නැවත පය තැබීමකි. සුළු වාර්ගික ඡන්ද පිනවීමට ජනවරම උකසට තැබීමෙන් උපයා ගන්නා දෙයට වඩා අහිමිවන සිංහල බහුතරය වැඩිබව 2015 මැතිවරණ ශේෂ පත්‍රය නිවරැදිව කියවන කෙනෙකුට තේරුම්ගැනීම අපහසු නොවේ.

මෙම ජනවරම හුදෙක් ගෝඨාභයට ලැබුණු පෞද්ගලික ත්‍යාගයක් නොවේ. ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සහ ජනාධිපතිවරණයට පෙර වියත්මග සහ එළිය මගින් ඔහු උපයාගත් විශ්වාසයයි. ජනතා විශ්වාස සිංහල බෞද්ධ දේශපාලනයේදි භාරයකි. “මහරජ නුඹ රාජ්‍යයේ අයිතිකරුවා නොව භාරකරුවා පමණි” යන මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජුට ලබා දුන් අවවාදය එහි ආරම්භයයි. එහෙයින් ගෝඨාභයට පැවරෙන්නේ ඔහු වෙත පවරන ලද විශ්වාසය නොපිරිහෙළා ඉටු කිරීමේ වගකීමයි. ඔහු එම වගකීම ඉටුකරන තාක් දුරට භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ ජාතිකවාදි බලවේග විසින් ඔහු රකිනු ඇත.

•නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් අරුණ පුවත්පතට සැපයූ ලිපියකි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More