පුරවැසි කොලම

19.11.1989-19.11.2020

හරියටම අදට තිස් (31) වසරකට පෙර යුධ හමුදා මූලස්ථානයේ දී ගත් සේයාරූව දකිමින් , වන්නකුවත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර වෙත ලියමි ;
වැඩිමල් සහෝදරයාගේ බලකිරීමට අවනවත ව වයස අවුරුදු විසි තුනේදී ම දේශපාලනික සටන්කාමියෙකු සමග විවාහ වූ මොරටුව විල්ලෝරවත්තේ යුවතිය තව දුරටත් නොදකිමි. තැන් තැන් වලම ලැග , මී පුප් අතැර පණ මෙන් රැකි පස් දරු සම්පත ද කුසෙහි තවත් ගැබක් ද දරන ආදරණීය මවක් දකිමි. දුෂ්කර සහ වෙහෙසකර කෙටි සහ දිගු නවාතැන් කිහිපයකින් ගෙවී ගිය ජීවිත පරිච්ඡේදයට උලපනේ සාන්ත මේරි වතු යායෙන් විරාමය තබන විපත්තියෙන් පලා යන්නියක දකිමි. ජීවිතයේ පළමු සිපිරි ගෙය කඩා බිඳ වැටුණු පසු ව දෙවැනි සිපිරි ගෙය නම් කරනතුරු බලා සිටින විඩාපත් ගැහැණියක දකිමි.

චිත්‍රාංගනී  ; ඔබ ට එකල “කුවේණි” වේදිකා නාට්‍යය නරඹන්නට ඉස්පාසුවක් තිබිණි ද ?

ස්වාමිනී , මැය දෙස බලන්න ;
සුන්ව ගිය ප්‍රේමයක ගිනි ඇත
සුන්ව ගිය ජීවයක ගිනි ඇත
අතීතයකින් උපන් ගිනි ඇත.

චිත්‍රාංගනී  ; පසු කලෙක බලවත් චිත්ත පීඩාවෙන් පුවත්පතකට අදහස් දැක් වූ ඔබ , ඔබව බලහත්කාරයෙන් විවාහ කරදුන් තම වැඩිමල් සොහොයුරු චන්ද්‍රා ප්‍රනාන්දු යනු මෙම මිහිමත වඩාත් ම ආත්මාර්ථකාමී පුද්ගලයා බව ප්‍රකාශ කළාය. උලපනේ දී රෝහණ විජේවීර හසු වූවා ට පසුව දේශපාලන සරණාගතයින් ලෙස කවර හෝ තානාපති කාර්යාලයකට භාර නොවී මෙලෙස රජයේ හමුදා වෙත භාර වීමට ගත් තීරණය පිළිබඳව තවමත් පසුතැවෙන බව ද ප්‍රකාශ කළාය. මේ ඉතිහාසගත සේයාරුවට පසු දින ඔබව මුණ ගැසුණු රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා ‘සර්ප පැටවුන් මතු යම් දිනෙක සර්පයින් වන බැවින් විජේවීරගේ පවුලේ සාමාජිකයින් ද මරා දමන ලෙස’ ට තමාට ඇමතුම් සිය ගණනක් ලැබෙන බව අවධාරණය කළ බවත් සිහිපත් කළාය. ජනපතිවරයා එසේ පවසන විට ‘මරනවා’ යන වචනය තේරුම් ගත හැකි වයසක සිටි වැඩිමහල් දසුන් ඊෂා සහ සුපුන් චාගා දියණියන් බියවැදී ඔබ පසුපස සැඟවුණු බව ද සිහි කළා ය. මේ සියලුම වධ වේදනා මැද ඔබ කුරුළු පැටවුන් සියල්ලට ආරක්ෂාව සලසන උණුසුම් පියාපතක් බවට පත් වූවාය.

චිත්‍රාංගනී ; ඔබ ට දැන්වත් “මනරම් හිරු දහසක්” පරිවර්තිත නවකතාව කියවන්න ඉස්පාසුවක් තිබේ ද “මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු කිහිපයකින් ,මේ පුංචි දැරිය ජීවිතයේ සුළු අයිතීන් ඉල්ලන , අනික් අයට කිසිදාක බරක් නොවන , තමාටත් බලාපොරොත්තු කඩවීම්, සංතාපයන් , අනික් අයගේ සිනහවට ලක්වූ සිහින තිබූ බව කිසිදාක හෙළි නොකරන ගැහැනියක බවට පත්වනු ඇත. අවලාද නොකියා දුක විඳ දරාගන්නා , ගං පතුලක ඇති ගලක් බඳු ගැහැනියක්. ඈ නහවා ගලා යන ප්‍රචන්ඩ ජලධාරාවෙන් ඇගේ සිරියාව තවත් හැඩ ගැසෙනවා මිස කැළැල් වන්නේ නැත.
නූපන් කළල වනසා දමන , උපන් බිළිඳුන් වැසිකිළි වළේ දමා යන මව්වරුන් වෙසෙන ලෝකයක ඔබ සියලුම චිත්ත පීඩාවන් මැද තම දරුවන් සය දෙනා ලොකු මහත් කරන්නට සමත් වූවාය. වැඩිමල් සොහොයුරාගේ උවමනාවට විවාහ වන යුවතිය, සැමියාගේ උවමනාවට තැන් තැන් ව සැඟව ජීවත් වන බිරිඳක් බවට පත් ව අවසානයේ රජයේ උවමනාවට හමුදා කඳවුරු භාරයේ දිවි ගෙවන මවක් බවට පත් වූවාය.

චිත්‍රාංගනී ;මාල වළලු නොතිත් ගැහැණු සිත අමතක කර දසක ගණනක් ස්වයං දණ්ඩනයකට ලක් වන තරමට සිත දැඩි වූ ආකාරය ඔබ අපට කිව යුතුම ය. මේ මිහිමත බිම් අඟලක් අහිමි , කඳවුරෙන් එළියට බැස යන්නට දිශාවක් අහිමි , දන්නා කාලයේ සිට ම සොහොයුරා , සැමියා සහ රජය විසින් ජීවිතය උදුරාගත් ගැහැණියක දරුවන්ගේ ගෙල සිර කර තම පීඩනය පිට නොකරන තැනට චිත්ත සමාධිය උදා කරගත් ආකාරය ඔබ අපට කිව යුතුම ය. විප්ලවවාදියෙකුගේ වදන මැෂිමක් බවට පත් ව ජීවිත සාරය පත්ලටම සිඳී ගිය පසු ද කිරලියක බිජු රකින්නා සේ දරුවන් මතුයෙහිම ජීවත්වන්නට තරම් උදාර සිතක් මෙහෙයවූ ආකාරය ඔබ අපට කිව යුතුම ය.
තිස් වසක් ගිය තැන ශ්‍රීමතී චිත්‍රාංගනී විජේවීර මාතාව වෙත හදවතෙන් නැගෙන ආදරය පුදමින් මෙසේ පවසමි.

විප්ලවය ! විජේවීර එය ඉදිරියේ පරාජය වන විට ඔබ එය අර්ථවත් කළේය.
දසක ගණනාවකට උඩ දී පරාක්‍රම කොඩිතුවක්කු කවියා සමස්ත සමාජයටම කස පහරක් වෙන් කළේ කුඩාව ගම්මානයේ සිට ගව් හතරක් පයින් ඇවිද මහා විද්‍යාලයට එන කුසුමාවතී ට ගවුම් දෙකක් පමණක් වෙන් කළ වරදට දඬුවමක් ලෙසිනි.චිත්‍රාංගනී ; තිස් වසක් තිස්සේ චිත්‍රාංගනී විජේවීර නම් සය දරු මව නමින් එක රතු මලක් හෝ නොපිපුණු වරදට සියලුම රතු මල් උදුරා දමන්නැයි නියම කරමි !

සහන් කසීර වික්‍රමසිංහ

දෙ වසරකට පෙර සහන් අයියා ලියන ලද මෙය මාගේ මුහුණු පොතේ පළ කරන්නේ දෙවන වරට ය , සහන් අයියාගේ වචන හැමදාම මෙන් ඉතා තියුණුය .නිදහසේ රතුමල් අපට නොපිපුනාට අවසානයේ කිව යුතු වන්නෙ අරගල වලින් පසු නිහඬ වින්දිතයන් බවට පත්වන සියලුම පාර්ශවයන්ට අයත් දරුවන් ගැහැනුන් සියලුම මිනිසුන් උදෙසා නේක වර්ණයන්ගෙන් යුතු දස දහස් මල් පිපේවා යන්නය …

(උවිඳු විජේවීරගේ මුහුණු පොතෙන් උපුටා ගැනුණි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More