විදේශ පුවත්

ගැටුම් පසුබිම ගැන තොරතුරු:

සටන් ආරම්භවුනේ ප්‍රාදේශීය හමුදා කඳවුරකින් අවි පැහැරගත් බවට ටිග්‍රේ හමුදාවන්ට මධ්‍යම ආණ්ඩුව චෝදනාකිරීමත් සමඟය

ඉතියෝපියාවේ උතුරු කලාපයේ පිහිටි ‘ටිග්‍රේ’ (Tigray) පළාතේ පවතින ගැටුම් හේතුවෙන් දහස් ගණන් ජනතාව ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනය (UNHCR) පවසන්නේ, ඒ බොහෝ දෙනා පා ගමනින් නගරයෙන් පිටව යමින් සිටින බවය.

එම පළාතේ ප්‍රාදේශීය දේශපාලන පක්ෂයකට සහයෝගය දෙන හමුදාවන්ට එරෙහිව ගෙනගිය සටනකින් අනතුරුව ප්‍රදේශ දෙකක් අත්පත් කරගත් බව හමුදාව බදාදා නිවේදනය කළේය.

‘ටිග්‍රේ’ ප්‍රාදේශීය නායකයා තමන්ට නගර දෙකක් අහිමි වූ බව පිළිගනු ලැබ ඇති නමුත් එය තාවකාලික පසුබෑමක් පමණක් බවත් මධ්‍යම ආණ්ඩුවේ හමුදා පරාජය කරන බවත් අවධාරණයෙන් කියා සිටියේය.

මේ අතර ප්‍රකාශයක් කරන ඉතියෝපියානු අගමැතිවරයා කියාසිටියේ මධ්‍යම ආණ්ඩුවේ තම හමුදා ‘ටිග්‍රේ ‘ පළාතේ ප්‍රාදේශීය අගනුවර කරා පෙරට යමින් සිටින බවය. කැරලිකරුවන්ට සහය දෙන හමුදා නිලධාරීන් 76 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිණිස වරෙන්තු ද නිකුත් කරනු ලැබ තිබේ.

පසුගිය දෙසතියක කාලය ඇතුළත දෙපාර්ශ්වය අතර සිදු වූ ගැටුම්වලින් ජීවිත සියගණනක් විනාශවූ බව වාර්තා විය.

පණිවුඩ සන්නිවේදන ජාලය හරිහැටි ක්‍රියාත්මක නොවන තත්වයක් පවතින හෙයින් එම පලාතෙන් ලැබෙන තොරතුරු තහවුරු කරගැනීම අසීරු වී ඇත.

ඉතියෝපියානු මධ්‍යම ආණ්ඩුව සහ ‘ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ’ (TPLF) අතර පවතින මෙම ගැටුම්කාරී අර්බුදයට දීර්ඝ ඉතිහාසයක් ඇත.

ඉතියෝපියානු අගමැති අබී අහමඩ් (Abiy Ahmed) පසුගිය ජුනි මාසයේ කොරෝනාවෛරසය සැලකිල්ලට ගනිමින් මහමැතිවරණය කල්තැබූ අතර ඒ සමඟ දෙපාර්ශ්වය අතර විරසකය තවත් දරුනු අතට හැරෙන්නට විය. ‘ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ'(TPLF) කියාසිටින්නේ, මධ්‍යම ආණ්ඩුව නීත්‍යානුකූල නොවන අතර, රට පාලනයට අගමැතිවරයාට මහජන වරමක් නොමැති බවය.

මේ අතර ඉතියෝපියානු ආණ්ඩුව යුදහමුදා කඳවුරකට පහර දී අවි ආයුධ පැහැරගන්නා ලද බවට TPLF සංවිධානයට චෝදනා කරයි. එහෙත් එම සංවිධානය විසින් එකී චෝදනාව බැහැරකරනු ලැබ ඇත.

ටිග්‍රේ පළාතේ දහස් ගණනක් ජනයාට අසල්වැසි සුඩානයේ රැකවරණ පතා පළායාමට සිදුව ඇත

අළුත්ම තත්වය:

අගමැති අබේ යටත්වීම සඳහා TPLF ප්‍රාදේශීය හමුදාවන්ට දිනතුනක කාලයක් දී තිබුන අතර එම සහනකාලය අඟහරුවාදා(නොවැම්බර් 17) අවසන් විය. ආණ්ඩුවේ හමුදාවන් විසින් ෂයරේ (Shire) සහ අක්සුම් (Axum) යන නගරදෙක අල්ලාගන්නා ලද්දේ ඉන් අනතුරුවය.

TPLF නායක ඩෙබ්‍රෙට්සන් ගෙබ්‍රේමයිකල් (Debretsion Gebremichael) බදාදා (නොවැම්බර් 18) ප්‍රාදේශීය රූපවාහිනී මධ්‍යස්ථානයකට ප්‍රකාශයක් කරමින් ‘ටිග්‍රේ පළාතේ දකුණු සහ බටහිර නගරවල පාලනය තම හමුදාවන්ට අහිමිවූ බව තහවුරු කර තිබුණි. එහෙත් මෙහි මුලින් සඳහන් කළ පරිදි ඔහු එම තත්වය විග්‍රහ කළේ ‘තාවකාලික පසුබෑමක්’ හැටියටය.

“අපට අපේ සමස්ත බලය යෙදවීමට කාලය දෙන්න,” ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණේ (TPLF) නායකයා කියාසිටියේය. එතැනින් නොනැවතුන ප්‍රාදේශීය නායකයා “ළමයින් ද ඇතුළුව සියළු ‘ටිග්‍රේ ‘ වැසියන්ට “සටනට” එක්වෙන ලෙස ආයාචනා කළේය.

“අපේ භූමිය සතුරන් අතට පත්වීමට ආසන්නයි. ටිග්‍රේ පළාතේ ජනතාව සතුරා ඉදිරියේ දණ නොනමනු ඇත” TPLF නායකයා ප්‍රකාශ කළ බව රොයිටර් පුවත්සේවය වාර්තාකරයි.

මේ අතර ප්‍රකාශයක් කරන ඉතියෝපියානු නිලධාරීන් ‘ටිග්‍රේ ‘ පළාතේ ප්‍රාදේශීය අගනුවර වන ‘මෙකෙලේ ‘(Mekelle) කරා ගමන්ගන්නා පාලම් හතරක් විනාශ කළ බවට TPLF සංවිධානයට චෝදනාකර ඇතත් එම සංවිධානය එම චෝදනා බැහැර කරයි.

අගමැතිවරයා අඟහරුවාදා ප්‍රකාශයක් කරමින් කියාසිටියේ සටන නිමාවක් ආසන්නයට පැමිණ ඇති බවකි.

“අවසන් වැදගත්ම සහ දුෂ්කර කාර්යය වන නීතිය ස්ථාපනය කරනු ලැබීම ඉදිරි දිනවල සිදුකෙරෙනු ඇත,” අගමැතිවරයා සඳහන් කළේය.

මහා පරිමාණයේ මානවීය අර්බුදයක් උද්ගත විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන අතරවාරයේ ඉහත කී සටන් හේතුවෙන් අඩුතරමින් 27,000 පමණ ජනතාව උතුරු දේශසීමාව ඔස්සේ සුඩානයට පළාගොස් ඇත.

TPLF උපදේශක ෆෙසෙහා ටෙසෙමන් (Fesseha Tessema) ඉතියෝපියාවේ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු BBCයට ප්‍රකාශයක් කරමින්, මධ්‍යම ආණ්ඩුවේ හමුදා ‘මෙකෙලේ’ අගනුවර ජනාවාශවලට ගුවනින් බෝම්බ හෙළමින් ඇතැයි සඳහන් කළේය.

“ටිග්‍රේ ජනතාව කිසිදු වරදක් කර නැහැ. ඔවුන් ඔවුන්ගේ නිවෙස්වල සහ දේවස්ථානවල රැඳී ඉන්නවා,” Fesseha පවසයි.

එහෙත් ඉතියෝපියානු ෆෙඩරල් ආණ්ඩුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කරමින් ප්‍රහාර එල්ලකරන බවට තමන්ට එරෙහිව නැගෙන චෝදනා බැහැර කරයි.

සටනට හේතුව කුමක්ද?

2018 වසරේ අගමැති Abiy බලයට පත්වීමට පෙර දශක කීපයක්ම ඉතියෝපියානු යුද සහ දේශපාලන ජීවිතයේ ප්‍රබල සංවිධානය වුනේ TPLF සංවිධානයයි. අගමැති Abiy බලයට පත්වීමෙන් අනතුරුව රටතුළ ප්‍රධාන ප්‍රතිසංස්කරණ මාලාවක් දියත් කළේය.

පසුගිය වසරේ තවත් පියවරක් ගනිමින් අගමැති Abiy පාලක හුල් සන්ධානය විසුරුවා හරිමින් ජනවාර්ගිකත්වය පදනම් කරගත් දේශපාලන පක්ෂ කීපයක් නිර්මාණය කිරීමට පියවර ගත්තේය. අනතුරුව එම පක්ෂ තනි ජාතික මට්ටමේ පක්ෂයක් බවට ඒකරාශි කළ නමුත් TPLF පක්ෂය ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප කළේය.

මේ අතර ටිග්‍රේ පළාතේ ප්‍රාදේශීය මැතිවරණ කැඳවන ලද අතර ඒ සමඟ ගැටුම්කාරී තත්වය තවත් දරුණු අතට හැරෙන්නට විය. එම මැතිවරණ කැඳවන ලද්දේ කොරෝනාවෛරසය සැලකිල්ලට ගනිමින් ජාතික මට්ටමින් මැතිවරණ තහංචියක් පනවා ඇති අතරවාරයේය. ඒ සමග ප්‍රකාශයක් කළ ඉතියෝපියානු අගමැතිවරයා ‘ටිග්‍රේ ‘ පළාතේ මැතිවරණය නීත්‍යනුකූල නොවන බව කියාසිටියේය.

අගමැතිවරයාගේ ප්‍රතිසංස්කරණ ‘ටිග්‍රේ ‘ ප්‍රාදේශීය පරිපාලනය විසින් විග්‍රහකරන ලද්දේ මධ්‍යම ආණ්ඩුව තවත් බලතල වැඩිකර ගැනීමට සහ ප්‍රාදේශීය ආණ්ඩු දුර්වල කිරීමට දරන උත්සාහයක් වශයෙනි.

අගමැතිවරයා එරිත්‍රියානු ජනාධිපති අයිසායස් අෆ්වෙර්කි (Isaias Afwerki) සමඟ පවත්වන සම්බන්ධය ”ආචාරධර්මවලට පටහැණි” යයි පවසමින් ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකිරීමට ද TPLF සංවිධානය පියවර ගෙන ඇත. ටිග්‍රේ පළාතේ දහස් ගණනක් ජනයාට අසල්වැසි සුඩානයේ රැකවරණ පතා පළායාමට සිදුව ඇත.

එරිත්‍රියාව සමඟ සාම ගිවිසුමක් ඇත්සන් කිරීම සඳහා දරන ලද ප්‍රයත්නය සැලකිල්ලට ගනිමින් අගමැති අබී අහමඩ් වෙත 2019 නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුණි.

අගමැතිවරයාගේ විශ්වාසය වන්නේ TPLF සංවිධානය තම බලාධිකාරය යටපත් කරදැමීමට උත්සාහ දරමින් සිටින බවය.

පවතින ගැටුම්වල බිහිසුණුභාවය:

පසුගිය සඳුදා ‘මේ කදේරා’ (Mai-Kadra) නගරයේ සියගණනක් මිනිසුන් පිහි ප්‍රහාර එල්ල කිරීමෙන් හෝ ආයුධවලින් කපාකොටා මරාදමා ඇතැයි ඇම්නෙස්ටි මානව හිමිකම් සංවිධානය පවසයි.

සමූහ ජනඝාතන සිදුකරන බවට ඉතියෝපියානු අගමැති අබී අහමඩ් ‘ටිග්‍රේ ‘ පළාතේ නායකයන්ට චෝදනා කරයි. එහෙත් එම චෝදනා බැහැරලමින් TPLF සංවිධානය කියාසිටින්නේ, තමන් එවැනි අපරාධවලට හවුල්නැති අතර, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසය.

එම අපරාධ විභාගකිරීම සඳහා කණ්ඩායමක් යවන බව ඉතියෝපියානු මානව හිමිකම් කොමිසම පවසයි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්:
https://www.bbc.com/sinhala/world-54991613



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More