පුරවැසි කොලම

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පරාජය සමහරුන් සැලකන්නේ ලෝකයේ නැගී එන “ජාතික ආර්ථික” ප්‍රවනතාවය සුනු විසුනු වීමට එල්ල වුනු මරු පහරක් ලෙසයි.ඔවුනට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් යනු අමෙරිකාවේ මෙතෙක් බලයට පත්වූ ජනාධිපතිවරුන් අතර ලෝකයේ නව ආර්ථික ප්‍රවනතාවයක් වන “ජාතිකවාදී ආර්ථිකය” ප්‍රචලිත කිරීම සඳහා පෙනී සිටින්නා වූ අද්විතීය ලෝක නායකයා ලෙසයි. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඔහුගේ හැසිරීම අධ්‍යයනය කළ විට එවැන්නක් විද්‍යාමාන වන්නේ නැති බවයි මගේ වැටහීම. මට එසේ පැවසීමට හේතු සාධක ලෙස ඉදිරිපත් කළ හැකි කරුණු අතර, කියුබාව වැනි රටකට ඔබාමා පාලනයේදි ලබා දුන් සහනශීලී භාවය ඩොනල්ඩ් ට්‍රම්ප් පැමිණි විගසම නවතා දැමීම සහ ආක්‍රමණික විලාශය මූලිකයි. ඔහුගේ කාලය තුළ වෙනිසියුලාවේ මදුරෝ පාලනයත් පෙරලා දැමීමට අමෙරිකානු කුමන්ත්‍රණ එක පිට එක සිදු කළා. බොලිවියාවේ ඛනිජ සම්පත අත්පත් කර ගැනීම වෙනුවෙනුත් ට්‍රම්ප් පාලනයේ දායකත්වය අතිශය භයානකයි. ඔවුන් බොලිවියාවේ දියත් කළ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස ඉවෝ මොරලෙසගේම භයානක දේශ විරෝධී ක්‍රියා නිසා බොලිවියාවෙන් පිටව යාමට පවා සිදු වූවා.ජාතිකවාදී ආර්ථික සහිත ඉතියෝපියාවට ,ඉරානයට , එරෙහිව කරන ලද කටයුතු , සිරියානු තෙල් සම්පත්වලට අවසානයේ කරන ලද මැදිහත්වීමෙන් සහ තායිවානයේදී සහ සවුදි අරාබියේ ට්‍රම්ප් පාලනයේ මැදිහත් වීමත් එවැනි තත්වයකයි පවතින්නේ.
මගේ පෞද්ගලික අදහස වන්නේ ඔබාමා පාලනයේ ජාත්‍යයන්තර ගුණ දොස් විචාලීම හෝ ට්‍රම්ප් පාලනය “අමෙරිකාවට පමණක් අදාළ ජාතික ආර්ථිකය පෙරටු කර ගත් වැඩ පිලිවෙල ආරක්ෂාකිරීමට දැක්වූ දායකත්වය කිරා මැන බැලීම කරනවාට වඩා “ගෝලීය, ජාතික ආර්ථිකයන් පෙරටු කර ගත් රාජ්‍යයන්” යනු මොනවාද ඒවා ගෝලීය සමාජ ,අර්ථික,දේශපාලන ප්‍රවනතාවයන් සමඟ පෑහෙන්නේ කෙළෙසද කියා සොයා බැලීම අපගේ මඟ හෙළි පෙහෙළි කර ගැනීමට පහසු වේ යැයි කියායි. කෙසේ වෙතත් විද්‍යාවට එරෙහිවන කිසිදු ජාතිකවාදී නායකයෙකුට පැවතිය නොහැකි බව කොරෝනා ව්‍යසනය සහ කාලගුණික ගැටලු පිලිබද ඔහු දැක්වූ අදහස් මත පරාජයට පත් ට්‍රම්ප් ජනාධිපති විසින් ඔප්පුකලා.

කාල් මාක්ස්-එංගල්ස් සහ කාල් මාක්ස්ගේ 200 වැනි වැනි ජන්ම දින සංවත්සරය

අධ්‍යයනයේ පහසුව තකා කාල් මාක්ස්-එංගල්ස් වැනි ආර්ථික විද්‍යාඥයන් ඔවුන්ගේ “අධ්‍යයන” ජීවිතයේ තරුණ කාලයේ ලියූ ආර්ථික විද්‍යා තීසීසයන් විශේෂයෙන්ම කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීමට බලපෑ ලෝක ආර්ථික දේහයන් පිළිබඳව සැකෙවින් සලකා බලමු. සත්‍යය වශයෙන්ම ඔවුන් වැනි ප්‍රාඥයන් ජීවත් වූයේ මානව ශිෂ්ඨාචාරයේ එක් අද්විතීය සංධිස්ථානයක් වූ ධනවාදයේ භද්‍ර යෞවන අවධියේයි. ධනවාදය යුරෝපය පුරාම බටහිර ලෝකය පුරාම, එතෙක් පැවැති අධිරාජ්‍යයන් බිඳ දමමින් ධනවාදී භද්‍ර යෞවනයා කෙළි දෙලින් පසු වෙමින් සිටියා. කාල් මාක්ස්-එංගල්ස් සුසංයෝගය යුරෝපය පුරා ධනවාදී ආර්ථිකයේ හැසිරීම් අන්වීක්ෂීය විශ්ලේෂණයට භාජනය කරනු ලැබුවා. එහිදී ඔහු ධනපති ආර්ථිකය පවත්වා ගෙන යාමේදී සුවිශේෂී මතුවන සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හෙළිදරව් කරනු ලැබුවා. ඔවුන් දෙපලගේ අධ්‍යයනයන්හි අග්‍ර ඵලය ලෙස සැළකෙන ප්‍රාග්ධනය හෙවත් “දාස් කැපිටාල්” නම් ලේඛනය සහ කොමියුනිස්ට් ප්‍රකාශනය කාල්මාක්ස්ගේ 200 වන ජන්ම ශත සංවත්සරයේදී ලෝකයේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් විසින් නැවත සමාලෝචනය කර ඇගැයීමට ලක් කරනු ලැබුවා.

එහි විශේෂත්වය වන්නේ කාල් මාක්ස්ගේ 200 වැනි සංවත්සරය වැටී තිබුණේ ඔහු විස්තර කළ පසුව ලෙනින් විසින් නම් කරන ලද ධනවාදී ආර්ථිකයේ ඊළඟ අවධිය හෙවත් අධිරාජ්‍යයවාදී අවධිය හෙවත් නව ලිබරල් ආර්ථික මොඩල අවධියේදී වීම විශේෂයක්. ඔවුන් එහිදී මාක්ස්-එංගල්ස් ඉදිරිපත් කළ දැවැන්ත ලියවිල්ල කාරනා පහකට සංක්ෂිප්ත කර නව ලෝකයේ අවධානය කෙරෙහි යොමු කරණු ලැබුවා. එම කරුණු පහ නම්,

එම කරුණු පහ නම්,

1) ධනපති ආර්ථික මොඩලය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යය වන “අත්‍යාවශ්‍යය නොවන” භාන්ඩ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීම සහ ඒවා මිළදී ගැනීමට හැකියාව ඇති මධ්‍යයම පන්තියක් නිර්මාණය කිරීම..
2) එම ක්‍රියාවලිය තුළ අවශ්‍ය ප්‍රමාණයට වඩා දැවැන්ත අධි නිෂ්පාදනයක් ඇති වීම.
3) එම අධි නිෂ්පාදනය තව දුරටත් විකුණා ගැනීමට තරම් වෙළෙඳ පොල පුළුල් නොවන ලෙස මධ්‍යම පන්තිය සිරවීම..
4) අධි නිශ්පාදනය මිලදීගැනීමට නොහැකිවීම සහ ඊට සමාන්තරව ආර්ථිකය කඩා වැටීම.
5) පවත්නා සමාජ ආර්ථික මොඩලයන්ගේ වෙනස්වීම ඉල්ලා පොදු ජනයා අරගල කිරීම(සමාජවාදී විප්ලවය )
විප්ලවය යන ක්‍රියාවලිය හැරුනු කොට අනෙක් කරුණු හතරම මේ වන විටත් ඔප්පු කර ඇති බවයි ආර්ථික විචාරකයන්ගේ මතය.

දැන් අප මේ සම්බන්ධව ලෝකයේ වත්මන් අත්දැකීම් සැලකිල්ලට ගතහොත් ලෝකය පුරා අධි නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමට ලක්වීම අප හොඳින්ම අත් දකිනු ලැබුවා.කොවිඩ්19 වෛරස වසංගතය ලෝකයට පැමිණීමට පෙර නිෂ්පාදන අතිරික්තයක් නව ලිබරල් ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ අත්විඳිමින් සිටියා. කොවිඩ්19 වෛරස වසංගතය මගින් එක් අතකින් තත්වය තීව්‍ර කිරීමට උත්තේජනයක් වූවා මෙන්ම ලෝකයේ නව ලිබරල් සමාජ ආර්ථික ක්‍රියාවලිය ස්වභාවික ලෙස බිඳ වැටීම මධ්‍යයම පන්තිය ප්‍රමුඛ පීඩිත ජනයාට විද්‍යාමාන වීම තාවකාලිකව වලකනු ලැබුවා.ආසන්න වශයෙන් මුලුමනින්ම මධ්‍යම පන්තියක් බිහිකර ඇති කිසිදු දියුණු ධනවාදී රාජ්‍යයක 3% කට වඩා ආර්ථික වර්ධනයක් තිබුනේම නෑ.පලමු වරට එය වෙනස් කලේ ට්‍රම්ප්.නමුත් ඒ තුල සහායක රාජ්‍යන්ගේ ආර්ථික වැටීම වේගවත් වූවා. ට්‍රම්ප්ට යාමට ඉඩ තිබුනෙත් කෙටි දුරක් පමණයි. ධනවාදී ආර්ථික මොඩලයට සුවිශේෂී වෙනස්කම් කිරීමට බහුතරය මධ්‍යම පන්තිය බවට පත් රාජ්‍යයන්ට ලොකු ඉඩක් තවත් ඉතිරිව නෑ.

ජාතික ආර්ථික වැඩ පිළිවෙලක අවශ්‍යයතාවය සහ පරිධියේ රටවල්

සමාජයක් ඉදිරියට ගැනීමට ජාතික ආර්ථික වැඩ පිළිවෙලක අවශ්‍යයතාවය වැඩිපුරම පවතින්නෙ පරිධියේ රටවල් වලටයි. (සමහරුන් ඒ තුල දැනටමත් ගොත්‍රික තත්වයන් වේගයෙන් වෙනස් කර තිබෙනවා) .
පවතින නව ලිබරල් ආර්ථිකයේ යෞවන අවධිය පැවතියේ ජාතික ආර්ථික මොඩලයක් ලෙස.එය ආර්ථික වර්ධන වේගය 6%ත් 7%ත් අතර මට්ටමක පවත්වා ගෙන යනු ලැබුවා. යුරෝපය පුරා ඒ සඳහා අවශ්‍යයවන මධ්‍යයම පන්තියත් පුළුල් කරණු ලැබුවා.ඒ සදහා ආරක්ෂනවාදයත් හොදින් 1950-1980 කාලයේදී භාවිතා කෙරුනා. චීනය කෝටි 70ක් දක්වා චීන මධ්‍යයම පන්තිය වර්ධනය කරගනු ලැබුවා. ඉන්දියාවේ මධ්‍යමපාන්තික ජනගහනය කෝටි 30යි. ඉන්දියාවට තවත් යම් ප්‍රමාණයකට ඔවුන්ගේ මධ්‍යයම පන්තිය වර්ධනය කරගැනීමේ හැකියාවක් තිබෙනවා. අප්‍රිකානු මහද්වීපයේ රටවල් වලට පමණක් මෙම තත්වය වර්ධනය කර ගැනීමේ හැකියාව අන් අයට වඩා ඉතිරිව තිබෙනවා.කෙසේ වුවත් දැන් ලෝක ආර්ථික වේගය 3% සීමාවේ පවත්වාගෙන යන්නේත් ඉතාම අපහසුවෙන්. ආර්ථික වර්ධන වේගය 3% සීමාවෙන් පහළට පැමිණෙනවා යනු ආර්ථිකයන් කඩා වැටුණු බව සනිටුහන් වීමයි.

කාල් මාක්ස්-එංගල්ස් චීනය ඉන්දියාව ප්‍රමුඛ ආසියානු කලාපයේ ආර්ථිකයන් ලෝක ධනපති ආර්ථික සිතියමේ කුඩා තිත් ලෙසවත් සළකුනු නොවුනු කාලයක ලියවුණු ඔවුන්ගේ ආර්ථික විද්‍යා තිසීසයන් වල නොලියවුනු ආසියානු ආර්ථිකය අද වන විට ලෝක ආර්ථික සිතියමේ සුවිශේෂී විශාලත්වයක් අත්කරගනිමින් සිටී. මෙම රටවල මෙම තත්වයේ ආර්ථිකයන් පවත්වා ගෙන යාමට බටහිර ආර්ථික ලෝකය හඳුන්වා දුන් නව ලිබරල් ආර්ථික මොඩලය වෙනුවට ජාතික ආර්ථික ආර්ථික මොඩලය සූක්ෂම ලෙස භාවිතා කර ප්‍රාග්ධනය රැස් කල අයුරු තව දුරටත් ගවේෂණය කල හැකියි. එම ගවේෂණයේ වත්මන් ප්‍රතිඵලය ලෙස “ජාතික ආර්ථිකය” නම් සංකල්පය පෙරට පැමිණේ. ඒ අනුව තමන්ගේ රටේ ආර්ථික මර්මස්ථාන, ආර්ථික සම්පත් වෙනත් රටවලට නතු නොකරන ක්‍රමවේදයන් අනුගමණය කර ජාත්‍යන්තර වෙළදාමට අවතීර්ණ වීම මෙම ක්‍රමවෙදය තුළ දක්නට සුවිශේෂී ලක්ෂණයයි.දේශීය ව්‍යයවාසකයා දිරිගන්වමින් නව දේශීය කර්මාන්ත ගොඩ නංවමින් දේශීය කර්මාන්ත තුළට නව තාක්ෂණය මුසු කරමින් මෙම ආර්ථික ක්‍රමවෙදය පවත්වාගෙන යනවා. ඉන්දියාව චීනය බංගලාදේශය පමණක් නොවෙයි පකිස්ථානය ඉන්දුනීසියාව මැලේසියාව,තායිලන්තය, වියට්නාමය , සිංගප්පූරුව ,පිලිපීනය,කම්පුච්‍ යාව,පිලිපීනය, බොලීවියාව ,ඉතියෝපියාව වැනි රටවල් අණුගමනය කරන්නේත් එම ක්‍රමවේදයයි.ඔවුන් එමගින් පහලම ස්තරයන් වෙත වේගයෙන් මුදල් ගලා යෑම තහවුරු කර තිබෙනවා .ඒ මගින් පසුගාමී ගෝත්‍රික භාවයෙන් මිනිසුන් වේගවත්ව මුදාගෙන තිබෙනවා.අනෙක් රටවලට වඩා ජාත්‍යන්තර වෙලදාමත් සිදු කරනවා .

 අපගේ සාකච්ඡාවට සාකච්ඡාවට බඳුන් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් අමෙරිකානු ජනාධිපතිවරයා ඉහත සඳහන් කළ රටවල හෝ අප වැනි පසුගාමී රටවල ජාතික ආර්ථිකයන් නඟා සිටුවීමට අවශ්‍යය මුල්‍යයම හෝ තාක්ෂණ දායකත්වය සැපවූවේ නැහැ. එපමණක් නොවෙයි සහයෝගය නොදීම කෙසේ වෙතත් බාධා නොකර හිඳීමවත් කළේ නැහැ. ඉතියෝපියාවේ උපායමාර්ගික පුනරුද වේල්ල බෝම්බ දමා විනාශ කිරීමට පවා යෝජනා කරා.

අනෙක් අතට මා දකින බරපතලම කාරණය අමෙරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිවරයා ජාත්‍යන්තර ජාතිකවාදීයෙකු යැයි සිතන සමහර ජාතිකවාදීන් තම තමන්ගේ රටවල ජාතික නායකයන් බවට පත් කරගත් බොහෝ ඊනියා ජාතික නායකයෝ ඉතා සීඝ්‍රයෙන් එම රටවල ජාතික ආර්ථිකයක් ගොඩ නැගීමට අවශ්‍යය සියළු සම්පත් විකුණමින් අන් ජාතීන් සතු කරමින් කොමිස් සයුරේ කිමිදෙමින් සිටිනවා. ඔවුන්ගේ ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීමට අවශ්‍යය නීති රීති පවා සකසමින් නිර්ලජ්ජිත දේශපාලන ක්‍රීඩාවක නිරත වෙමින් සිටිනවා.

ජේ ආර් ,රොනල්ඩ් රේගන් සහ 1987

අපේ රටේ අසීමිත බලයක් තිබූ නායකයෙක් වන ජේ ආර් ජයවර්ධන මහතා දැඩි ගෞරවයකින් දැඩි ආදරයකින් පසුවූ අමෙරිකානු ජනාධිපතිවරයෙක් වන්නේ රොනල්ඩ් රේගන් මහතායි. නමුත් ඉන්දියාව අප රට සම්බන්ධයෙන් එදා 87දී ගත් ස්ථාවරය සම්බන්ධයෙන් ඔහු ඉන්දියාව සමඟ එක පෙළට හිට ගත්තා. ඒ නිසා ජාතිකවාදී බලවේග තේරුම්ගත යුතු වන්නේ අපේ රටේ නායකයන් නිවැරැදිව රට ඉදිරියේ තබා කටයුතු නොකරන්නේ නම් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් නොව ෆිදෙල් කස්ත්‍රෝ පන්නයේ නායකයෙක් පත්වුවත් අපරට අමෙරිකාවෙන් තබා ඉන්දියාවෙන් වත් ආරක්ෂා කර ගත නොහැකි බව.

ජාතිකවාදය , පොදු ජනයා සහ ජාතික වස්තූන් සමඟ සූදු කෙළින නායකයෝ

අනෙක් අතට අපේ රටේ පොදු ජනයාට රට සාම්බන්ධයෙන් රටේ නායකයන් සම්බන්ධයෙන් ඇත්තේ ඇල් මැරුණු ආකල්පයකුයි. ඉන්දුනීසියාව, මැලේසියාව,තායිලන්තය, වියට්නාමය සිංගප්පූරුව , වැනි රටක ජාතික වස්තූන් සමඟ සූදු කෙළින නායකයන් හමු වුවහොත් ඔවුන් සියළු දෙනාම ආපසු නිවසට හරවා යැවීමට එම රටවල ජනයා පසු බට වන්නේ නැහැ.ඒ රටවල ජාතිකවාදීන් චරිත සහතික දුන් හොරුන් නෑ.මෝඩ උද්දච්ච ජාතිකවාදීනුත් නෑ.නමුත් ජාතිකවාදී ආර්ථිකයන් ඉදිරියට යමින් පවතිනවා .

කියුබාව වැනි රටක් අමෙරිකාවට කිලෝ මීටර 90ක් වැනි දුරකින් හිඳිමින් අමෙරිකාවට කරනු ලබන අභියෝගය සුළු පටු නැහැ.එහෙත් ඔවුන්ට අත තියන්න ලේසියෙන් බෑ. අමෙරිකාව කල්පනා කලේ ලිබියාව ඉරාකය වැනි රටවල තරුණ පරපුර මෙන් කියුබාවේ තරුණ පරපුරත් ෆිදෙල් ක්‍රස්තෝගේ අභාවයෙන් පසුව හැසිරේවි කියා. ඒ නිසා ෆිදෙල් මිය ගිය පසු අමෙරිකාවේ මියාමි නුවර ආශ්‍රිතව ජීවත් වන කියුබාවෙන් පලා ගිය කියුබානුවන් යොදා ගනිමින් දැවැන්ත උද්ඝෝෂණ සංවිධානය කරමින් සූදානම් වූයේ කියුබාව දමනය කිරීමට. එහෙත් සිදු වූයේ ඔවුන් බලාපොරොත්තු වූ දේට වඩා හාත්පසින්ම වෙනත් කරුණක් ෆිදෙල්ගේ දේහයේ අවසන් කටයුතු කරන දිනයේ හවානා නුවර සිට මියාමි නුවර දක්වා කිලෝමීටර 600ක් දුරට විහිදෙන දැවැන්ත මිනිස් පවුරක් නිර්මාණය වූවා. ඒ සඳහා කියුබානු තරුණයයින් මූලික වී කටයුතු කළා. පැය 24ක් තුළ අමෙරිකාවේ මියාමි නුවර පැවැත්වූ උද්ඝෝෂන හිරු දුටු කඳෝ පැනියන් බවට පත් වූවා. අමෙරිකාවට ආයුධ බලයෙන් සමස්ත කියුබාව විනාශ කළ හැකියි නමුත් රට අත්පත් කරගත් නොහැකියි කියන කාරණය කියුබානුවෝ මනාව තහවුරු කළා. කියුබාව දැවැන්ත ජාත්‍යන්තරවාදයක් ඇති ජාතිකවාදී රාජ්‍යයක්. එහි සිටියේ ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ වගේ නායකයින් නෙවෙයි .ඉරාකයේ හිටියේ දේශය විනාශය කරා ගෙන ගිය නායකයින්.ලිබියාවෙත් අවසානය එහෙමයි.කියුබාව සමග ලංකාව මුලුමනින්ම සසඳන්න බෑ.අපි අවම වශයෙන් යෙන් ඉතියෝපියාව ,ඉන්දුනීසියාව තායිලන්තය ,මැලේසියාව ,බංගලිදේශය,පිලිපීනය ,පකිස්තානය, සිංගප්පූරුව අධ්‍යනය කල යුතුයි . මෙම තත්වය සියලු ශ්‍රී ලාංකික ජාතිකවාදීන් මනාව තේරුම්ගත  යුතුයි.

අරුණ කාන්ත බන්ඩාර මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළේ ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය පිළිතුරු බැඳිය යුතුයි – රණවිරුවන්ගේ ගෞරවය සහ නිර්දෝෂීභාවය ගැන උස් හඬින් ලෝකයට කිව යුතුයි

රණවිරුවන්ට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා වලට ශ්‍රී ලංකා රජය විසින් විධිමත්ව පිළිතුරු බැඳීම මඟින් රණවිරුවන්ගේ නිර්දෝෂීභාවය සහ ...


Read More

ලෝක පාපන්දු ශූර ආර්ජන්ටිනාවේ “”දියගෝ මැරඩෝනා” වයස අවුරුදු 60 දී හෘදයාබාධයකින් මිය යයි.

මොළයේ ලේ කැටියක් හිරවිමට කරන ලද සැත්කමකින් පසු සති දෙකකට පෙර රෝහලින් පෙරලා නිවසට පැමිණ සිටි මැරඩෝනා හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත. 19...


Read More

2021 දී “Sputnik V” එන්නත් බිලියනයක් අඩු මුදළකට ලබා දීමට රුසියානු බළධාරීන් සැලසුම් කරයි

Covid-19 සදහා රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ලබාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට ලබා දීමෙන් අනතුරුව කරන ලද පර්ය...


Read More