පුරවැසි කොලම

සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව රට සංවර්ධනයේ ශ්‍රී විභූතිය කරා ගෙනයාම අතින්, ඔවුන් ප්‍රකාශ කළ පරිදි ආණ්ඩුවට පැවති “මහා බාධකය” ඉවත්කර ගැනීමට ගෝඨාභය-මහින්ද රාජපක්ෂ පාලනය රාජ්‍ය බලය ඔවුන් අතට ගැනීමෙන් වසරක් ඉකුත්වීමටත් පෙර සමත්විය. ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වූ ආකාරයට, එම “මහා බාධකය” 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව අවුරුද්දක් සම්පූර්ණ කරන මොහොත වනවිට, එම ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් බලය දිනාගැනීමට පෙර සහ පසුව දිගින් දිගටම දෙන ලද පොරොන්දු අතරින් වහා සහමුලින්ම සපුරාලීමට සමත් වූ එකම පොරොන්දුවත් “දහනවය සංශෝධනය කරමින් විස්සක්” ගෙන එන බවට දුන් ප්‍රතිඥාවයි.

විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතලොස්සක ද සහයෝගය සහිතව අවශ්‍ය තුනෙන් දෙකක විශේෂ බහුතරයක අනුමැතියෙන් රාජපක්ෂ ආණ්ඩුව විසින් සම්මත කරගන්නා ලද විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, හුදෙක් පාර්ලිමේන්තු විවාදයකට පමණක් සීමා නොකොට සමාජ සංවාදයක් සඳහාත් කිසියම් කාල සීමාවක් ලබාදුන්, එසේම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ප්‍රකාරව මහජනයාට අධිකරණය ඉදිරියෙහි ඊට පක්ෂව මෙන්ම විපක්ෂව ද කරුණු දැක්වීමට කාලය ලබාදෙමින් ප්‍රජාතන්ත්‍රීය අවකාශයක් තුළ නීතිගත කෙරුණ ව්‍යස්ථාමය ප්‍රතිපාදනයක් වෙයි. අන්තිමේ දී ජනාධිපතිවරයාගේ සානුකම්පිත ඉල්ලීමට ඇහුන්කන් දෙමින් පක්ෂව ඡන්දය පාවිච්චි කරන ලද නමුත්, ආණ්ඩු පක්ෂයේ කැබිනට් ඇමතිවරුන්ට පවා එම සංශෝධනය දෝෂදර්ශනයට ලක්කරමින් එකී මහජන සංවාදයේ නිදහස් දායකයන් බවට පත්වීමට අවස්ථාව ලැබුණි.

ඇත්තෙන්ම විසිවෙනි සංශෝධනය වහාම සම්මතකර ගනු ලැබීමෙන් රාජපක්ෂ පාලනය සිදුකරන ලද්දේ කුමක්ද? මෙහි ඉහත සඳහන් කරන ලද පරිදි, පෙර කී සමාජ සංවාදයේ දී විසිවෙනි සංශෝධනයේ වගන්ති අතර සැඟවුන රහස සිවිල් සමාජයේ පුරවැසියන් සහ විපක්ෂයේ දේශපාලනඥයන් පමණක් නොව ආණ්ඩුවේ ම නියෝජිතයන් විසින් ද පෙන්වා දෙන ලද නමුත් එවැනි විග්‍රහයන්හි වලංගුභාවය හෝ විසකුරුභාවය විෂදවන්නේ නීතිය සම්මත කරගනු ලැබීමෙන් අනතුරුව සහ එය ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාවට නංවනු ලබන ආකාරය සම්බන්ධයෙන් කරනු ලබන පසු විපරමකදීය.

විසිවෙනි සංශෝධනය සඳහා පසුගිය මැතිවරණයේ දී හැටනව ලක්ෂයක් ජනතා අනුමැතිය ලද බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ කියාසිටිති

19 ඉවත්කිරීමේ හේතුව:

“මේ වෙලාවේ රට කරවන්න නම් ක්ෂණිකව 19ය ඉවත් කරන්න ඕන. එතකොට ඉබේම 18 දක්වා පස්සට යනවා” ආණ්ඩු යාන්ත්‍රනය මෙහෙයවනු අදිසි හස්තය ලෙස සැලකෙන පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, විසිවෙනි සංශෝධනය ගෙන එනු ලැබීමේ ආණ්ඩුවේ අරමුණ රූපවාහිනී සාකච්ඡාවක දී කෙටි වචන කීපයකින් කැටිකර ප්‍රකාශයට පත්කරනු ලැබ තිබුණි. බැසිල් රාජපක්ෂගේ එම ස්ථාවරය, ඔහුගේ සහෝදර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පදවියේ දිව්රුම්දෙමින් අනුරාධපුර රුවන්මැලි මහාසෑය ඉදිරිපිටදී “මා මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබට වන්නේ නැතැයි” අවධාරණයෙන් කරන ලද ප්‍රකාශයත් සමඟ බලනවිට විසිවෙනි සංශෝධනයේ සැබෑ උවමනාව කල්තබාම තක්සේරු කළ හැකිවිය.

”අපි පක්ෂයක් හැටියටත්, ජනාධිපතිතුමාත් අපිත් ඉන්න ස්ථාවරය තමයි, ඊළඟට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන – ඉතාම ඉක්මණින්. ඒක හැබැයි, ජනතා සහභාගිත්වයෙන් හැමකොටසක්ම සම්බන්ධ කරල හොඳ ව්‍යවස්ථාවක්. මේ වගේ අණ්ඩ දාන්න වෙනස් වෙන්නෙ නැති ස්ථීරසාර එකක්. ඉතින් ඒ ව්‍යවස්ථාව හදන්න ඉස්සල්ල 19 ඉවත්කරන්න ඕන. 19ත් එක්ක කරන්න බෑ” බැසිල් රාජපක්ෂ සිය තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

ආණ්ඩුව නෛතික මට්ටමින් එම අභිප්‍රාය ඉටුකරගන්නා ලද්දේ, 19 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී තමන්ට ජනවරමක් ලැබී තිබෙන බවක් පවසමිනි.

දහනව වෙනි සංශෝධනයේ ඇතැම් වගන්ති ඉවත්කොට විසිවෙනි සංශෝධනය සම්මතකර ගැනීමේ දේශපාලන උවමනාව ඉදිරිපත් කරනලද කණ්ඩායම්වල ප්‍රධාන තර්කය වුනේ එම 19 සංශෝධනය නිසා ජනාධිපති-අගමැති බල ගැටුමක් නිර්මාණය කෙරෙන අතර එමගින් රට අරාජික සහ අස්ථාවර තත්වයකට ඇද වැටෙන බවය. එම කණ්ඩායම විසින් බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පහත දැක්වෙන ප්‍රකාශයයි.

”පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව නරක් වුණා නම් එම නරක් වීමට ප‍්‍රධානම හේතුව තමයි, 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය ආවේ නැත්නම්, මේ ආණ්ඩුව ඉතාම හොඳ ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වන සංශෝධනයෙන්,” ඔහු පැවසීය.

“19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නොයෙකුත් ව්‍යාකූලතා ඇතිවී තිබෙනවා පමණක් නොව එමගින් කාර්යක්ෂමව රට පාලනය කළ නොහැකි තත්වයක් ඇතිවී තිබීම තුළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදීත් ජනතාවගෙන් වරමක් ඉල්ලුවේ එය වෙනස් කිරීමටයි. අප මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ මෙය වෙනස් කර ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමටයි. එය ජනතාව ලබා දී තිබෙනවා,”යයි විස්ස කෙටුම්පත්කිරීමේ වගකීම භාරගත් අධිකරණ ඇමති අලි සබ්‍රි රාජපක්ෂ පාලනයේ අවශ්‍යතාව යුක්ති සහගත කරමින් කියා සිටියේය.

අවුල ලිහාගත්තේ පාර්ලිමේන්තුව දුබල කරමින්
දහනවවෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ගැටුම්කාරී තත්වයක් උදගතවූ බව පවසමින් විසිවෙනි සංශෝධනය කරා ගිය නමුත් ඊට බලපෑ සැබෑ කරුණු හඳුනාගැනීමක් සිදුනොවූ බව අධිනීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි. බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය වික්‍රමරත්න ආණ්ඩුව තුළ නියෝජනය වූ ජනාධිපති සිරිසේන ඇතුළු කණ්ඩායම සහ ජාතික හෙළ උරුමයේ ඉල්ලීම් සහ විපක්ෂයේ බලකිරීම් හමුවේ 19 සංශෝධනය සභාගත කිරීමට සිදුවුනේ එහි මුල් කෙටුම්පතෙහි “සැර බාලකරමින්” තනුක ස්වභාවයකින් යයි කියා සිටියේය.

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට පුරෝගාමී වූ නියමුවකු ලෙස සැලකෙන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ”අඩුපාඩු සහිත නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා සතුව පැවති බලතල සීමාකරනු ලබීම ආදී පියවර අනුව එම සංශෝධනයේ සාර්තකභාවයක් තමන් දකින” බවත් සඳහන් කරයි.

ආචාර්ය වික්‍රමරත්න අවධාරණය කරන්නේ විසිවෙනි සංශෝධනය මගින් සිදු වූ ආකාරයේ ” ආපසුයාමක් ” නොව පෙරට යමින් අඩුපාඩු නිවැරදි කරගනු ලැබීම වඩාත් බුද්ධිගෝචර පියවර යුතුව තිබුන බවය.

”පෙරට යා යුතුවයි තිබුනේ. යළිත් විධායකය ශක්තිමත් කිරීම වෙනුවට ව්‍යවස්ථාදායකය සහ විධායකය සමතුලිත තත්වයකට ගෙනෙන්න තිබුනා. නමුත් අද බලයේ සිටින කණ්ඩායමට විපක්ෂයේ සිටින කාලයේ පටන් අවශ්‍ය කළේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම නොවෙයි, විධායක ජනාධිපති පදවිය ශක්තිමත් කර ගැනීමටයි” ආචාර්ය වික්‍රමරත්න පවසයි.

කලින් පැවති පාලනය තුළ ජනාධිපති-අගමැති අතර නොඑකඟතා තිබුනත්, ඊට සැබෑ හේතුව 19 සංශෝධනයේ වගන්ති නොවන බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

විස්සට සමාජ ඉල්ලුමක්:

විධායක ජනාධිපති පදවිය ශක්තිමත්කර ගැනීමේ අවශ්‍යතාව ජයගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව පහසුවෙන් සමත්වුනේ එවැනි ශක්තිමත් විධායක බලයක අවශ්‍යතාව පිළිබඳ මතවාදය සමාජගතව තිබුණ හෙයින් යයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පවසයි.

2015 දී බලයට පත් ආණ්ඩුවේ අශක්නුතා,ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කෙරෙහි පැවති විරෝධය සහ පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ සමාජ කම්පනය ආදී සියල්ල එකතුව “ශක්තිමත් පාලනයක උවමනාව” පිළිබඳ අදහස විශේෂයෙන්ම සිංහල -බෞද්ධ බහුතරය ඇතුළු සමාජ බහුතරයේ අභිමතය ලෙස නිරූපණය වෙමින් පැවති අතර, 2019 ජනාධිපතිවරණ සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණ සඳහා එම සමාජ පරිසරය වාසිදායක පසුබිමක් නිර්මාණය කළ අතර විසිවෙනි සංශෝධනය මගින් සිදුකෙරුණේ එම උවමනාවට නීතිමය සහ ව්‍යවස්ථාමය හැඩතල ලබාදීමක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

”1978 ජයවර්ධන ව්‍යවස්ථාවට එල්ල වූ ප්‍රධාන බරපතල විවේචනය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අවශ්‍ය බලතල සංවරණ සහ තුලනය නැතිකර දැමීම. දැන් විසිවෙනි සංශෝධනය මගින් සිද්ධවෙලා තියෙන්නේ, 1978 තත්වයටත් වඩා එහා යෑමක්. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ දෙකම පාලනය කරගන්න පුළුවන් විධියට 1978ත් වඩා ඉදිරියට ගිහින් තියෙනවා,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද නිගමනය කරයි.

ජනරජ ආකෘතියත් බිඳ හෙළීම:

ලෝකයේ බොහෝ රටවලට හඳුන්වා දෙනු ලැබ තිබෙන ජනරජ ආණ්ඩුක්‍රම දේශපාලන ආකෘතිය ලෝකයේ ප්‍රභවය ලද්දේ ප්‍රංශ මහා විප්ලවයෙන් සහ ඇමෙරිකානු විප්ලවයෙන් අනතුරුව යයි විශ්ලේෂණයක නිරතවෙන කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාංශයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ 1972 දී සහ 1978 දී ශ්‍රී ලංකාවේ නීතිගත කරන ලද පළමු සහ දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකෙහිම ජනරජයක පැවතිය යුතු ප්‍රධාන මූලධර්ම අන්තර්ගත නොවෙන බව පෙන්වා දෙයි.

ජනරජ මූලධර්මයන්ට හානිකරවීම අතින් විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එහි වඩාත් උච්ඡතම අවස්ථාවට ගමන්ගත් බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩගේ විග්‍රහය වෙයි.

“1972 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවන ලද පළමු ජනරජය නම්කර තිබුනේ ‘ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ’ ආණ්ඩුක්‍රමයක් හැටියටයි. නමුත් එමගින් ආරම්භවුනේ ශ්‍රී ලංකාවේ අධිකාරීවාදී පාලනයක්. 1978 ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් හඳුන්වා දෙනලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රමය නම්කරන ලද්දේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ යනුවෙන්. එමගින් 1972 දී ස්ථානගත කරගත් අධිකාරීවාදී බලය තවත් උච්ඡ ස්ථානයකට ගෙන ආවා. විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එහි ඉහළතම උච්ඡතම අවස්ථාවට යාමක් සිදුවුනා” මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රට ජනරජයක් හැටියට නම්කරනු ලැබ ඇතත් විධායකය කෙරෙහි අධිකාරීවාදී බලය කේන්ද්‍රගත කරගනු ලැබ ආකාරය සහමුලින්ම ‘ජනරජ මූලධර්ධමයන්ට පටහැණි’ බව මහාචාර්යවරයාගේ විග්‍රහය වෙයි.

“ජනරජයක් කියන්නේ කුමක්ද? කියන ප්‍රශ්නය කවුරුවත් මතුකරන්නේ නැහැ. එම ප්‍රශ්නය මතුනොකර හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන පමණක් වාද විවාද කරනවා.”

ජනරජයක් තුළ පැවතිය යුතු ලක්ෂණ අතින් ඇමෙරිකානු සහ ප්‍රංශ සම්ප්‍රදාය අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තෝරාපත්කර ගැනීමේ මූලධර්මය ස්ථාපනය කරනු ලැබ ඇතත්, එම සම්ප්‍රදායයන් දෙකෙහිම නොමැති මට්ටමින් ‘විධායක ජනාධිපති’ පදවිය වෙත ව්‍යවස්ථාදායක-විධායක සහ අධිකරණ යන බල ක්ෂේත්‍ර තුනම සංකේන්ද්‍රගත කරගැනීමක් සිදුකර ඇති බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දෙයි.

”විධායක ජනාධිපති පදවිය කියන්නේ ලෝකයේ කිසිම රටක නැති පදවියක්. ජේ.ආර්.ජයවර්ධන ඔහුගේ දැක්ම සහ උවමනාව අනුව ශ්‍රී ලංකාවට එම සංකල්පය හඳුන්වා දුන්නා. එම විධායක ජනාධිපති ක්‍රමය අනුව රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපති. ආණ්ඩුවේ ප්‍රධානියාත් ජනාධිපති. ඉහල අධිකරණ ක්‍ෂේත්‍රයේ පත්කිරීම් කරන්නෙත් ජනාධිපති.”

එම ජනාධිපති බල සංකේන්ද්‍රගතකරණය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නිදහස අහිමිකිරීමක් සිදුකෙරෙන බවත් මහාචාර්ය උයන්ගොඩ පෙන්වා දෙයි.

”ජනාධිපති කිසිවෙකුට වග කියන්නේ නැහැ. ප්‍රංශයේ පස්වෙනි ජනරජය තුළ ජනාධිපති ඩිගෝල් බලය තමා අතට කේන්ද්‍රගත කරගැනීමට උත්සාහ කළා. මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සංශෝධනය මගින් ප්‍රංශයටත් එහා ගිය මට්ටමින් තනි පුදගලයකු අතට බලය පැවරීමක් සිදුකෙරුනා. මෙතැන තියෙන ප්‍රධාන ගැටලුව 18 සහ 20 සංශෝධන මගින් සමූහාණ්ඩුවක ප්‍රධාන මූලධර්මය වන ‘පුරවැසි නිදහස’ සංකල්පය නොතකා හැරීමයි.”

අධිකරණ ඇමති,ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසන්නේ ගොඩගැසී ඇති විශාල නඩු ප්‍රමාණය අනුව විනිසකරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිකිරීමේ අවශ්‍යතාවක් පවතින බවය.

උදුරාගත් අධිකරණ ස්වාධීනත්වය:

විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසකරුවන්ගේ සංඛ්‍යාව වැඩිකරගත් අතර අධිකරණ සේවා කොමිසන් කොමිසන් සභාව සම්බන්ධයෙන් ද වෙනසක් සිදුකරනු ලැබුණි. එපරිද්දෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංඛ්‍යාවේ වෙනසක් ඇතිකරනු ලැබීමක් ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද මුල් කෙටුම්පතෙහි ඇතුළත් නොවූ අතර එම ප්‍රතිපාදනය ඇතුලත් කරන ලද්දේ කාරක සභා අවස්ථාවේදීය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව ඉවත් කර, ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව විනිසුරුවන් විශාල සංඛ්‍යාවක් එකවර පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීම විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සහ නීති විශාරදයන් විසින් ප්‍රශ්ණ කරන ලද අතර අදාළ පනත් කෙටුම්පත සඳහා දෙවනවර ඡන්ද විමසීමට පෙර පිළිතුරු කතාව කළ අධිකරණ ඇමති, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පැවසුවේ දැනට ගොඩගැසී ඇති විශාල නඩු ප්‍රමාණය අනුව විනිසකරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිකිරීමේ අවශ්‍යතාවක් පවතින බවය.

”විනිසකරුවන්ගේ සංඛ්‍යාව වැඩිකර ගනු ලැබීම වරදක් නොවෙයි. එතැන ප්‍රශ්නයක් තියෙන්නේ එය හොරෙන් හොරෙන් මෙන් සිදුකරනු ලැබීම. එම යෝජනාව මුල් කෙටුම්පතට ඇතුළත් කළා නම් එය සමාජ සංවාදයට ලක්වෙනවා. එපමණක් නොවෙයි, එය මුල් කෙටුම්පතේ නොතිබීම නිසා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිමතය කුමක්ද ? කියන කාරණයත් දැන ගැනීමට බැරිවුනා,” ස්කොට්ලන්තයේ එඩින්බ්‍රා විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්ය අසංග වැලිකල පවසයි.

නඩු විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇති පරිසරයක විනිසකරුවන්ගේ සංඛ්‍යාව වැඩිකර ගැනීමේ උවමනාව පිළිගත හැකි නමුත් විසිවෙනි සංශෝධනය මගින් සිදුකරන ලද බලවත්ම වරද අධිකරණයේ ස්වාධීනත්වය උදුරාගනු ලැබීම බව ආචාර්ය අසංග වැලිකල ගේ තක්සේරුව වෙයි.

එහි ඊළඟ දෝෂය වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසකරුවන් ලෙස ජනාධිපතිවරයා විසින් නම්කරන ලද පුද්ගලයන්ගේ නම් පැවති ව්‍යවස්ථා සභාව වෙනුවට ආදේශ කර ඇති පාර්ලිමේන්තු සභාවේ දී ප්‍රතික්ෂේප වුනත් ජනාධිපතිවරයාට එම තීන්දුව බැහැර කරමින් තමා මනාප පුද්ගලයන්ට අදාළ පදවිවල පිහිටුවීමට බලය පැවරීමය.

”මෙතැන තවත් ලොකු වරදක් කරලා තියෙනවා. ඒක තමයි – අධිකරණ කොමිසන් සභාව සම්බන්ධයෙන් කරපු වෙනස. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය අනුව අධිකරන සේවා කොමිසන් සභාවේ සංයුතිය සකස්වුනේ අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම තවත් විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන්. එම විනිසකරුවන් දෙදෙනා ජනාධිපතිවරයා විසින් නම්කරනු ලැබුනත් ඒ සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබිය යුතුව තිබුනා. නමුත් විස්සෙන් පස්සේ අධිකරණ සේවා කොමිසන් සභාවේ අගවිනිසුරු හැර සෙසු සාමාජික විනිසකරුවන් පත්කිරීමේ දී ජ්‍යෙෂ්ඨත්වය නොතකා ජනාධිපතිගේ මනාපය අනුව එය කරන්න පුළුවන්. මොකද? අපි දන්නවා- අධිකරණයේ ජනාධිපතිවරයකුට මනාප සහ එසේ නොවන විනිසකරුවන් ඉන්නවා. ඉතින් මේ සංශෝධනයෙන් පස්සේ ජනාධිපතිවරුන්ට තමන් මනාප පුද්ගලයන් ස්ව අභිමතය පරිදි උපරිමාධිකරණයට සහ අධිකරණ සේවා කොමිසන් සභාවට පත්කරගන්න පුළුවන්” ආචාර්ය අසංග වැලිකල පෙන්වා දෙයි.

කාරක සභා අදියරේදී පනත් කෙටුම්පතක් සංශෝධනය කෙරෙන්නේනම්, එය එම පනත් කෙටුම්පතේ මූලික ගුණාංග සහ මූලධර්මවලින් බැහැර නොවිය යුතුය යන්න මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ තවත් තර්කයකි.

20 සංශෝධනය මගින් “ජනතා පරමාධිපත්‍යය හීන කෙරෙනවා” යන චෝදනාවට අලි සබ්‍රී දුන් පිළිතුර:

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසකරුවන්ගේ සංඛ්‍යාව වැඩිකිරීම පවතින අති විශාල සංඛ්‍යාවක් වූ නඩු විභාගය අනුව සිදුකළ යුතු පියවරක් වූ බව එවැනි චෝදනාවන් සම්බන්ධයෙන් ප්‍රතිචාරය දැක්වූ අධිකරණ ඇමති අලි සබ්‍රි සඳහන් කළේය.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට එකවරම විශාල විනිසකරුවන් සංඛ්‍යාවක් පත්කිරීමේ දී ජනාධිපතිවරයාට තමන් මනාප පුද්ගලයන් එම පදවිවලට ඇතුළත් කරගත හැකි වූ බවත්, මූලික කෙටුම්පතට එම යෝජනාව ඇතුළත් කිරීමෙන් වැළකී එය කාරක සභා අවස්ථාවේ සම්මතකර ගන්නා ලද්දේ ‘සොරකමක විලාශයෙන්” බවත් නීතිඥ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කේ.ඩබ්ලිව්.ජනරංජන පවසයි.

විස්සේ ආර්ථික සහ දේශපාලන උවමනාව:

ඕනෑම ආකාරයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිටුපස කිසියම් පුද්ගලයකුගේ, බලවත් ප්‍රභූ තන්ත්‍රයක හෝ සමාජ බලවේගයක සෙවනැල්ල වැටී තිබෙනු නිසැකය.

ශ්‍රී ලංකාව ජනරජයක් ලෙස නම්කරන ලද 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව මෙන්ම 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව යන ආණ්ඩුක්‍රම ආකෘතීන් දෙකම ”සුජාතභාවයක් නොමැති” ව්‍යවස්ථා නිර්මාණයන් වූ බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ නිගමනය වෙයි.

”1972 පළමු ජනරජ ව්‍යවස්ථාව එදා බලයේ සිටි ” සමගි පෙරමුණු ආණ්ඩුවේ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. 1978 බිහිවුණේ ජනාධිපති ජයවර්ධනට අවශ්‍ය ආකාරයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසියට පැවසීය.

ආචාර්ය වික්‍රමරත්න පෙන්වා දෙන පරිදි, දැනට බල පැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකයේ ඒකාධිකාරී බලතල සීමාකිරීමට 19 වෙනි සංශෝධනය මගින් ගන්නා ලද ප්‍රයත්නය විසිවෙනි සංශෝධනය මගින් ආපසු හරවනු ලැබුණි.

”මෙහිදී අප හඳුනාගත යුත්තේ වර්තමානයේ විසිවෙනි සංශෝධනය පිටුපස තියෙන සමාජ ආර්ථික සහ දේශපාලන පසුබිම, උවමනාව කුමක්ද? කියන කාරණයයි. මෙය ගැඹුරින් බැලුවොත් ජනාධිපති ගෝඨාභය ගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ බල ව්‍යාපෘතීන් අතර වෙනසක් තියෙනව. ගෝඨාභය වටේ එක්රොක්ව සිටින වෘත්තීයමය ශ්‍රේනීන්හි නියෝජිතයන්, කළමනාකරුවන්, ආරක්ෂක අංශවල නිරතවූවන්,’වියත්මග’ වටා එකතු වූ වියතුන් සහ ලඟදී මතුවූ සිංහල ධනේශ්වර කණ්ඩායමක් ඉන්නවා,” විස්ස කරලියට පැමිණීමේ සමාජ ආර්ථික සහ දේශපාලන පසුබිම විශ්ලේෂණය කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද පවසයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්දගේ විග්‍රහය අනුව ජනාධිපතිවරයා සමඟ එකතුව සිටින එම සමාජ දහරාවේ උවමනාව වී තිබෙන්නේ සිංගපූර් ද ඇතුළුව නැගෙනහිර ආසියාවේ ඇතැම් රටවල අනුගමනය කරන ලද ආර්ථික සංවර්ධන මාවතක් අනුගමනය කළයුතු බවය.

”ඒ කණ්ඩායමේ පන්ති උවමනාව සමඟ ඒ මතවාදය අනුගත වෙනවා. ඔවුන්ගේ තේරුම්ගැනීම වන්නේ එවැනි ව්‍යාපෘතියක් සඳහා ඒකාධිකාරී දේශපාලන බලයක් අවශ්‍ය බවයි. අධිකාරීමය මාවතක ගමන්ගත් සිංගපූර්,මැලේසියාව සහ දකුණු කොරියාව වැනි රටවල ධනේශ්වර සංවර්ධන මාවතට හැරවීමක් තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ. මේ තත්වය තුළ විසිවෙනි සංශෝධනය මගින් දහනවවෙනි සංශෝධනය ආපසු හැරවීමක් පමණක් නොවෙයි, 1978 මුල් ව්‍යවස්ථාවේ තිබුන තත්වයටත් වඩා ඈතට ගිහින් විධායකය කෙරෙහි ව්‍යවස්ථාදායක-විධායක සහ අධිකරණ බලතල සංකේන්ද්‍රගත කරගැනීමක් සිදුකර තිබෙනවා.”

විසිවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආගමික නායකයන්ගේ විරෝධය:

“ලබන වසරේ තවත් ව්‍යවස්ථාවක්”

ආණ්ඩුවේ බලධාරීන් විසින් විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදෙන ලද්දේ තාවකාලික (නැත්නම් සංක්‍රාන්තික) පියවරක් වශයෙනි. ආණ්ඩුවේ එම ප්‍රකාශයේ දෙවැනි කොටසින් අවධාරණය කෙරෙන්නේ, වසරක් තරම් කෙටිකාලයක් ඇතුළත දැනට පවතින විසිවතාවක් ”අණ්ඩ දමා ඇති” 1978 ව්‍යවස්ථාව සහමුළින්ම අහෝසිකරමින් අළුත් ව්‍යවස්ථාවක් සම්මත කරගනු ලබන බවකි.

බැසිල් රාජපක්ෂගේ වචන යළිත් සිහිපත් කරන්නේ නම් ”ජනතා සහභාගීත්වයෙන්, හැමකොටසක්ම සම්බන්ධකරල හොඳ ව්‍යවස්ථාවක්. මේ වගේ අණ්ඩ දාන්න වෙනස් වෙන්නෙ නැති ස්ථීරසාර එකක් හදාගත” යුතුව ඇත.

එවැනි කෙටිකාලයක් ඇතුළත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සම්මතකර ගනු ලැබුනත් එම නව ව්‍යවස්ථාවෙහි විසිවෙනි සංශෝධනයේ සෙවනැල්ල, හැඩරුව නිසැකවම අන්තර්ගත කෙරෙනු ඇතැයි ජනාධිපති නීතිඥ, අධිනීතිඥ ජයම්පති වික්‍රමරත්න පවසයි.

ආචාර්ය වික්‍රමරත්න පවසන පරිදි, එම අළුත් ආණ්ඩුක්‍රමයත් ජේ.ආර් ජයවර්ධන විසින් හඳුන්වා දෙනලද ”විධායක ජනාධිපති පාලන ක්‍රමය” පදනම් කරගනු ලබන මූලික නීතියක් බවට පත්වුනොත් එමගින් සිදුවන්නේ ”ජේ.ආර්” නැවත වරක් ජයගැනීම නොවන්නේද?

”ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන 1977 බලයට පත්වීමෙන් අනතුරුව හඳුන්වා දෙනලද ”විධායක ජනාධිපති”පදවියට සමාන පදවියක් ලෝකයේ කිසිම රටක දක්නට නැත”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More