මුළු ලෝකයේම සමාජ ආර්ථික ක‍්‍රියාවලිය මුළුමනින්ම කණපිට පෙරලෙමින් ‘‘කොවිඞ් 19’’ අද ලොව අදෘශ්‍යමාන බලවතා ලෙස කරලියට එන්නේ බොහෝ රටවල්වල සමාජ පද්ධතියට දැරිය නොහැකි බලපෑමක් හා අලාභයක් සිදුකරමින්ය. විශේෂයෙන්ම ආනයන ආර්ථිකය මත යැපුන රටවල් වලට කොවිඞ් නිසාවෙන් සිදුවුණු වෙළඳපළ භාණ්ඩ හිඟය අතිමහත්ය. අප වැනි කෘෂිකාර්මික නිෂ්පාදන ක‍්‍රියාවලියේ නියැළෙන රටවලට අත්‍යවශ්‍ය ආහාර හිඟ අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ඉතාමත්ම අල්ප වශයෙනි.
අප රට තුළ පළමු කොවිඞ් 19 ආරම්භ වූයේ මෙම වසරේ මාර්තු මාසයේ වන අතර එහි දැඩි බලපෑමකට නතු නොවී සමස්ත ජීවන රටාවට එතරම් බලපෑමක් සිදුවූයේද නැත. නමුදු මුළු රටටම ඇඳිරි නීතිය දමා ලොක්ඩවුන් කිරීම නිසා ඇති වූ බලපෑම් හේතුවෙන් වැඩිපුරම බලපෑමක් එල්ල වූයේ කෘෂිකාර්මික කටයුතුවල නියැළුණු ග‍්‍රාමීය ගොවිජනතාවටය. ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපළට අලෙවි කර ගැනීමේ ගැටලූව මතුවූයේ විශේෂයෙන්ම අලෙවි මධ්‍යස්ථානයන් වසා දැමීම නිසාවෙනි. මුළු රටටම එළවළු සැපයීමේ යාන්ත‍්‍රණය නිර්මාණය වී ඇත්තේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හරහාය. මෙවැනි ආපදා තත්ත්වයන් හමුවේ ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම නිසා ව්‍යාජ අර්බුදයකට පත් වූයේ දසත විසිරී සිටින එළවළු ගොවීන්ය. දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නුවරඑළිය, ඇඹිලිපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන වලට ඒ ඒ ප‍්‍රදේශ වලින් දෛනිකව එකතුවෙන හා හුවමාරුවන එළවළු ප‍්‍රමාණය කිලෝ ලක්ෂ 30 – 60ත් අතර අගයක් ගනී. සමහර දවස් වල මෙම ප‍්‍රමාණය අඩු වැඩි වේ. ආර්ථික මධ්‍යස්ථානයන් ආදිය ආපදා තත්ත්වයකදී වසා දැමුවහොත් මෙම ගොවීන්ගේ එළවළු බෙදාහැරීමේ යාන්ත‍්‍රණය මුළුමනින්ම බිඳවැටීමෙන් ගොවියාට සිදුවන්නේ සියදිවි හානි කර ගැනීමටය. දෙවෙනි කොවිඞ් 19 ආරම්භයත් සමඟ බස්නාහිර පළාත ලොක්ඩවුන් කිරීමෙන් ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම නිසා වැඩි වශයෙන් අර්බුදයකට පත් වූවේ එළවළු ගොවියාය. එකී තත්ත්වයට සෘජුවම රජය වගකිව යුත්තේය. මීට දශක ගණනාවකට පෙරාතුව අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව ද සමුපකාර සමිති හා සම්බන්ධ සතොස ද ඉතාමත් ශක්තිමත් මට්ටමක පැවතිණ. එම ආයතන සියල්ල බිඳ වැටීම නිසාවෙන් අද වන විට ගොවියාද පාරිභෝගිකයාද ඉතාමත්ම අසීරුතාවකට පත් වී හමාරය. හදිසි ආපදා තත්ත්වයකදී ඈත පෙදෙස්වල කෘෂිකර්ම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ගැටලූව ඉතාමත්ම කැපී පෙනේ. එය පසුගිය දවස්වල ආර්ථික මධ්‍යස්ථාන හිටි අඩියේ වසා දැමීම නිසා ඇති වූ බව පෙනේ. විශේෂයෙන් බස්නාහිර පළාත ලොක් ඩවුන් කිරීම නිසාම ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් පැවතිය නිසා ඔවුනට අධික මිලක් ගෙවන්නට සිදු විය. ණයක් විදිහට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට විධිමත් යාන්ත‍්‍රණයක් සැකසීම අනිවාර්ය වේ. එසේම නිසි නියාමනයක්ද නිසි වෙළඳ මිලක්ද නියම කරවිය යුතුය. එවන් අර්බුදයක් යළි ඇති නොවන්නට පුද්ගලික අංශය හා ඒකාබද්ධව රාජ්‍ය යාන්ත‍්‍රණයක් සකස් කළ යුත්තේය. සමුපකාරය ශක්තිමත් කිරීම තුළින් එය මනාව ඉටු කර ගත හැකිය.
විශේෂයෙන්ම වැලිමඩ, බණ්ඩාරවෙල, නුවරඑළිය එළවළු ගොවීන්ගේ ප‍්‍රශ්නය සෑම අවුරුද්දක් පාසාම අලෙවි කිරීමේ ගැටලූ පැන නගින්නේ විධිමත් මිලදී ගැනීමේ යාන්ත‍්‍රණයක් රජය සතුව නැති නිසාවෙනි. අස්වනු නෙළන කාලයේදී තක්කාලි, බෝංචි, කැරට් වැනි උඩරට එළවළු මිල ගණන් නිෂ්පාදන වියදමවත් පියවා ගත නොහැක. මෙය කොවිඞ් කාලයට පමණක් විශේෂිත වූවක් නොව, එනිසාවෙන් උඩරට එළවළු ගොවියා ආරක්ෂා කිරීමට, අතරමැදි සූරාකන්නන්ගෙන් බේරා ගැනීමට රජය සතු සමුපකාර ක‍්‍රමවේදය යොදා ගැනීම වඩාත් උචිතය.
බෙදාහැරීමේ කටයුතු සඳහා ප‍්‍රවාහන මාධ්‍ය ලෙස දුම්රිය සේවය ඒ වෙනුවෙන්ම යොදා ගැනීම ඉතාමත්ම ඵලදායී වේ. එළවළු සඳහා නිශ්චිත පාලන මිලක් නියම කිරීම ප‍්‍රායෝගික ක‍්‍රියාවලියක් නොවන අතර එහෙත් එළවළු ගොවියා ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් මිල සූත‍්‍රයක් හඳුන්වා දීම කළ හැකිය. මෙවර එළවළු අස්වැන්න සමස්තයක් ලෙස ගත් කල වෙනදාට වඩා වැඩි අගයක් ගන්නා අතර, එය අලෙවි කර ගත නොහැකිව ගොවියන් වඩාත් අසරණ තත්ත්වයට පත් වේ. කොවිඞ් 19 නිසාම මේ තත්ත්වය බොහෝ දුරට බලපෑ අතර, හදිසි ආපදා තත්ත්වයකදී අස්වනු මිලදී ගැනීමේ යාන්ත‍්‍රණයක් පුද්ගලික අංශය හැරුණු කොට රජය සතුව නැත්තේය.
අස්වනු වැඩි කාලවලදී ගොවියාට අතිරික්ත අස්වැන්න සඳහා නවෝත්පාදන කෘෂිකර්ම ක‍්‍රමවේදයන් වන එළවළු වියළා කල් තබා ගැනීමේ දැනුම, තාක්ෂණය හා යන්ත‍්‍ර සූත‍්‍ර රජය මඟින් සහනදායී ක‍්‍රමයට ලබා දීමේ වැඩපිළිවෙළක් සකසන්නේ නම් ඉවතලන අතිරික්තය ප‍්‍රයෝජනයට ගත හැකිය. විශේෂයෙන්ම කෘෂි පර්යේෂණ නිලධාරීන් සෘජු අධීක්ෂණය යටතේ මේ යාන්ත‍්‍රණය ගොවි බිම් පුරා ගොවි සමිති හරහා ක‍්‍රියාත්මක කළ හැකිය. රජයට අවශ්‍ය බිම් මට්ටමේ යාන්ත‍්‍රණය දැනටමත් ස්ථාපිත වී ඇත්තේය. නමුදු නැත්තේ රජය සතු විධිමත් වැඩපිළිවෙළක් පමණි. උපදෙස් හා දැනුම දුන් පමණින් ගොවියාගේ ජීවන තත්ත්වය නඟා සිටුවිය නොහැක. එනිසාවෙන් ගොවියාගේ නිෂ්පාදන මිලදී ගැනීමෙන් ගොවියා ආරක්ෂා කර ගත හැකිය. එය කළ හැක්කේ පෞද්ගලික ලාභ කර්මාන්තය ඉක්මවා ගිය නිශ්චිත රාජ්‍ය යාන්ත‍්‍රණයකට පමණි. විශේෂයෙන්ම ගොවියාට හිතැති නිෂ්පාදන ආර්ථිකයක් පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩනඟා එහි අභිමතාර්ථයන් මුදුන් පැමිණවූ හැටනව ලක්ෂයේ අභිලාශය රටේ කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ආර්ථික මාර්ගය බවට පත් කිරීම සේම 80%ක් වූ ලාංකීය ගොවි ජනතාව රැක ගැනීමයි.
අනුරාධ තෙන්නකෝන්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...