පුරවැසි කොලම

”වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළෙඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප‍්‍රජාතාන්ත‍්‍රික නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පියෝ රාජ්‍ය ලේකම්තුමා අද දින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවිය”. ඒ මෙම හමුව පිළිබඳව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයීය නිල ෆෙස්බුක් ගිණුමෙහි තබා ඇති සටහනයි.

ඇමරිකානු තානාපති කාර්යාලය එසේ අදහස් දක්වද්දී වෙන කවරදාවත් නොවූ පරිදි චීන තානාපති කාර්යාලය ද පොම්පියෝ ගේ ආගමනය ගැන හින්ට් පාස් කළේය. පොම්පියෝ ගේ ගමන චීන රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට තදට දැනී ඇති බව ඉන් පැහැදිලි වේ. නමුත් අනෙක් අතට ”ගෙදර යන ගමන්” ලංකාවට ගොඩ වැදී යන්නට පොම්පියෝ තීරණය කළේ පසුගියදා මෙරටට පැමිණි චීන රාජ්‍ය තාන්ත‍්‍රික ආගමනයට පිළිතුරු වශයෙනැයි මතයක් ද පවතී. කාරණා පෙළ ගැසෙන්නේ එසේ නම් අප මේ නොදැනම මැදිව ඇත්තේ
අලි-අලි රණ්ඩුවකට ය.

ඇමරිකානු ජනාධිපතිවරණයේ අතිශය උණුසුම් කාල වකවානුවක එරට රාජ්‍ය ලේකම්වරයා මේ පැමිණියේ අත ලෙවකන්නට නොව මීය කඩාගෙනම යන්නට බව අප අමතක නොකළ යුතුය. චීනාට එරෙහි ආසියානු දැල එළා අවසන් කළ බවත් ඒ ආරක්ෂක කඳවුරු ජාලය හරහා ඇමරිකාව ආරක්ෂිත බවත්, 5G තාක්ෂණයට අදාළ රණ්ඩුවෙන් ආසියානු කලාපය තමා ජයගත් බවත් එරට ඡන්ද දායකයාට පවසන්නට තරම් ප‍්‍රතිඵලයක් පොම්පියෝගේ සමස්ත සංචාරයෙන් නෙළාගත් බව නම් පැහැදිලිය. ඉන්දියාව, ඉන්දුනීසියාව සමග පමණක් නොව මාලදිවයින සමග පවා තීරණාත්මක නව සබඳතා ඇතිකරගැනීමට ඔහු සමත් වූ හෙයිනි.

ලංකාවේ බෙහෝ දෙනා බියවී සිටියේ පොම්පියෝ පැමිණෙන්නේ එම්සීසී අත්සන් කිරීමටය යන අනුමානය නිසාවෙනි. පොම්පියෝ කීවේ එම්සීසී යනු ඔවුන්ගේ ”එකක්” පමණක් බවත් එය එපා නම් තවත් නොයෙක් දේ ඇති බවත් ය. එය ඉතා සැලකිල්ලට ලක්කළ යුතු ප‍්‍රකාශයකි. ඇමරිකානු මැතිවරණය විසින් කවර ප‍්‍රතිඵලයක් ලබා දුන්නද එරට යාන්ත‍්‍රණය විසින් තීරණය කර ඇති ප‍්‍රතිඵලය ලබා ගැනීම සඳහා එකී ”අනෙක් කවරක්” භාවිතා කරනු ඇත්ද යන්න අපට තවමත් අනුමාන කළ නොහැක. එසේම එම්සීසී ඉතා පහසුවෙන් බැස යනු ඇතැයි ද අනුමාන කළ නොහැක.

millenium2

මේ තත්ත්වය යටතේ MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව හෙවත් ”ගුණරුවන් කමිටු වාර්තාව” සම්බන්ධයෙන් වන පහත සඳහන් කරුණු යළි සිහිපත් කරගැනීම අන් කවරදාටක් වඩා වැදගත් වනු ඇත. මන්ද යත් ඉහත කී ”පසුව පැමිණිය හැකි එම්සීසී” වේවා, ”එම්සීසී නොවන වෙනත් යමක්” වේවා, නැතහොත් චීනය විසින් යෝජනා කර ඇතැයි පැවසෙන ”චීන සහයෝගිතා ගිවිසුම” සම්බන්ධයෙන් වේවා, වෙනත් ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් වේවා අප කටයුතු කළ යුත්තේ කෙසේ දැයි ඉනෙගත හැකි පාඩම් රැසක් එහි ඇතුළත්ව ඇති බැවිනි. තවත් අයුරකින් කිවහොත් අපට වැරදුනු බොහෝ තැන් එහි සාකච්ඡා කර ඇති බැවිනි.

01.ගුණරුවන් කමිටු වාර්තාවේ ”ඉදිරිපත්කිරීම හා සංක්ෂේපය” යටතේ පිටු අංක ii හි මෙසේ දක්වා ඇත.

ශ‍්‍රී ලංකාවේ අරමුණු හා සුබසිද්ධිය තහවුරු කරමින් හා එහි තිබිය හැකි අවදානම් වියුක්ත කරමින් සංයුක්ත හා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේ ගිවිසුම් කෙටුම්පත් කිරීමක් මෙන්ම ව්‍යාපෘති ගොඩනැගීමක් ද සිදුවී නැති බව කමිටුවේ ප‍්‍රථම අන්වේෂණයයි.”

එනම් මේ ගිවිසුම කෙටුම්පත් කිරීමේදී ශ‍්‍රී ලංකාවේ අරමුණු හා සුබසිද්ධිය පිළිබඳව සලකා බැලීමට හෝ ඒවා තහවුරු කිරීමට කෙටුම්පත් සම්පාදකයින් කටයුතු කර නොමැති බවයි. තවද ගිවිසුමේ තිබිය හැකි අවදානම දුරු කිරීමට ද ඔවුන් කටයුතු කර නොමැති බවයි. කම්කරුවාගේත් ගොවියාගේත් දහඩියෙන් නඩත්තු වන මේ කෙටුම්පත් සම්පාදකයින් සීත කාමරවල හිඳුවන්නේත්, රට සවාරි යවන්නේත්, රටට එරෙහි ගිවිසුම්වලට එකඟව ඔළුව වනන්නට නොවේ. ඒවායේ වගන්තියක් වගන්තියක් පාසාත් ඉස්පිල්ලක් පාපිල්ලක් පාසාත් එලඹගත් සිහියෙන් යුතුව විමසා බලන්නට ය. විමසා බලා නිදහස් අධ්‍යාපනයේත් පෙර කී ගොවියාගේ සහ කම්කරුවාගේත් ණය ගෙවීමටය. අඩුම තරමින් බිවු කිරිවල හෝ ණය ගෙවීමට ය.

ඒ උත්තුංග කාර්යය පසෙක දමා හෝ නොසලකා හැර හෝ යමෙක් කටයුතු කර ඇත්නම් එය බරපතළ විශ්වාස ඝාතනයක් වනවා සේම බරපතළ පැහැර හැරීමක් ද වේ. ”පසුව පැමිණිය හැකි එම්සීසී” වේවා, ”එම්සීසී නොවන වෙනත් යමක්” වේවා, නැතහොත් චීනය විසින් යෝජනා කර ඇතැයි පැවසෙන ”චීන සහයෝගිතා ගිවිසුම” සම්බන්ධයෙන් වේවා, වෙනත් ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් වේවා ප‍්‍රතිපත්ති සම්පාදන කටයුතු කරන්නේ ද මෙම පුද්ගලයින් ම නම් එය කෙසේ අපට බලපානු ඇත්ද යන්න යළි සිතා බැලිය යුතු නොවේද?

02. කමිටු වාර්තාවේ පිටු අංක 4හි මෙසේ දක්වා ඇත.

”මෙම වැඩසටහන ගොඩනැගීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක ප‍්‍රදානයක් සඳහා 2017 ජුලි 26 දිනදී ද, ඉන්පසු එය ඇමරිකානු ඩොලර් මිලියන 10ක් තෙක් ඉහළ නැංවීම උදෙසා 2018 ජුනි 18 දිනදී ද වශයෙන් මූලික ගිවිසුම් දෙකකට භාණ්ඩාගාර ලේකම්වරයා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් MCC ආයතනය සමග අත්සන් කර ඇත.”

නමුත් මේ දැක්වෙන ඇමරිකානු ඩොලර් මිලියන දහය ලැබී ඇත්ද- නැත්ද හෝ ලැබුණේ නම් ගත්තේ කවුද කියා හෝ මේ වන තුරුත් සොයාගත නොහැකිව ඇත. ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කළ භාණ්ඩාගාර ලේකම්වරයා මේ සම්බන්ධයෙන් වගකිවයුතු නැත්ද?

කෙසේ වෙතත් මේ ඩොලර් මිලියන දහය යනු MCC ගිවිසුමේ දැක්වෙන මුදල නොවන බව පැහැදිලිය. මේ මුදල ලබා දී ඇත්තේ ”වැඩසටහන ගොඩනැගීම වෙනුවෙන් – ප‍්‍රදානයක්” ලෙසිනි. එනම් පෙර සූදානම් කටයුතු වෙනුවෙනි. ඒ අනුව එම ”අදෘශ්‍යමාන මුදල” ලබා දී ඇත්තේ හෝ ලබා දෙන්නට තීරණය කර ඇත්තේ සන්තෝසමක් – අල්ලසක් වශයෙන් බව පැහැදිලිය. ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් එම අල්ලස ලබාගත්තේ කවර කාර්යයකට කවුරුන් විසින් ද යන්න සොයාබලා මේ රහස අනාවරණය කරගත යුත්තේ ”පසුව පැමිණිය හැකි එම්සීසී” වේවා, ”එම්සීසී නොවන වෙනත් යමක්” වේවා, නැතහොත් චීනය විසින් යෝජනා කර ඇතැයි පැවසෙන ”චීන සහයෝගිතා ගිවිසුම” සම්බන්ධයෙන් වේවා, වෙනත් ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් වේවා මෙවැනි අල්ලස් හුවමාරුවීමක් යළි සිදුවීම වැළැක්විය යුතු බැවිනි. ඒ සඳහා මෙලෙස සැඟවුණු මුදල් ගනුදෙනු සිදුකරන ලද්දේ කවුරුන් විසින් ද යන්න විමසා බැලිය යුතුමය.

03. කමිටු වාර්තාවේ 5වන පිටුවෙහි මෙසේ සඳහන් වේ.

”(රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු) නැවත ආරම්භ වී ඇති බව පෙනෙන මෙම ක‍්‍රියාන්විතයේ ප‍්‍රතිඵල ලෙස සංයුක්ත ගිවිසුම අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණයක් 2019 ඔක්තෝබර් 29 දින ලබාගෙන ඇත.”

මේ අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාගේ නව සම්ප‍්‍රාප්තියත් සමගිනි. සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩල තීරණයක් ගනු ලබන්නේ සාමූහිකව වන අතර ඒ ඒ අමාත්‍යවරුන් විසින් අදාළ කාරණය සලකා බලා තම එකඟතාව හෝ විරෝධය පළකිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙනි. යම් විරෝධයක් වූයේ නම් හා එය සාධාරණ විරෝධයක් නම් ඊට ගැලපෙන පරිදි වෙනස්කම් සිදු කිරීමෙනි. ඒ සංවාදය බොහෝ විට සිදුවනුයේ ඇමැතිවරුන් විසින් අදාළ කාරණය සම්බන්ධයෙන් තම නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙනි.

මෙහිදී 2019 ඔක්තෝබර් 29 දින එළඹි කැබිනට් තීරණයට අදාළව ඒ ඒ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද ඉහත කී නිරීක්ෂණ මොනවාද යන්න සොයාබැලීම අතිශය වැදගත් වේ. ඒ මගින් අදාළ අමාත්‍යවරුන් දරන ලද මත සහ ඔවුන්ගේ නිරීක්ෂණ ජනතාවට දැනගත හැකි වේ. දේශපාලන වේදිකාවලදී අද පෙනී සිටින තරමටම ඔවුන් එම්සීසී විරෝධි වී ඇත්ද යන්න මැන ගැනීමේ නිර්ණායකයක් බවට ඒ නිරීක්ෂණ පත්කරගත හැකි වේ. එසේම ”පසුව පැමිණිය හැකි එම්සීසී” වේවා, ”එම්සීසී නොවන වෙනත් යමක්” වේවා, නැතහොත් චීනය විසින් යෝජනා කර ඇතැයි පැවසෙන ”චීන සහයෝගිතා ගිවිසුම” සම්බන්ධයෙන් වේවා, වෙනත් ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් වේවා තම වගකීම ඉටුකිරීම පිණිස ඇමැතිවරුන් යොමු කිරීමට ද මේ සොයා බැලීම ඉවහල්වනු ඇත. නැතහොත් හුදු හැඟුම්බර හමුවක් පමණකින් සියලූ දෝස කැපී ගොස් මුළු රටටම පසුපස හැරවීමට ඉතා පහසුවෙන් අවස්ථාව සැලසෙනු ඇත.

එසේම කමිටු වාර්තාවේ 9 වන පිටුවේ දක්වා ඇති ”ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවා ඇති සංයුක්ත සංවර්ධන කණ්ඩායම” කවුරුන්ද යන්නත්, පිටු අංක 11හි දක්වා ඇති MCA Sri Lanka නමැති සමාගම් නාමය අනුමැති සඳහා ඉදිරිපත් කර ඇත්තේ කවුරුන්ද යන්නත්, පිටු අංක 11 සහ 12හි දක්වා ඇති ආකාරයට මෙම ගිවිසුම සම්බන්ධයෙන් අත්තනෝමතිකව ක‍්‍රියාකර ඇති බව පෙනෙන එවක අගමැතිවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසුවේද යන්න සහ ඔහුට එරෙහිව යම් ක‍්‍රියාමාර්ගයක් ගන්නේද යන්නත් දැනගැනීමට මහජනතාවට අවශ්‍ය වනු ඇත.

තවද පිටු අංක 18හි දැක්වෙන ආකාරයට ගිවිසුම පිළිබඳ යෝජනාවට පක්ෂව අදහස් දක්වා ඇති ලංකා වාණිජ මණ්ඩලය, Lirne Asia ආයතනය යන ආයතන සහ මෙම ගිවිසුම් සම්පාදක යාන්ත‍්‍රණය අතර පැවති හරස් සම්බන්ධය කවරාකාරද යන්න සොයා බැලීම රජයේ වගකීම වනු ඇත. තවද පිටු අංක 20හි 5.1.1(1) යටතේ දක්වා ඇති තත්ත්වය ඉදිරියේදී ඇති නොවීම සඳහා ගෙන ඇති පියවර කවරේද යන්නත් ආදී වශයෙන් වන කරුණු නිසි විශ්ලේෂණයක් සිදු කිරීමෙන් පමණක් ”පසුව පැමිණිය හැකි එම්සීසී” වේවා, ”එම්සීසී නොවන වෙනත් යමක්” වේවා, ”චීන සහයෝගිතා ගිවිසුම” සම්බන්ධයෙන් වේවා, වෙනත් ජාත්‍යන්තර ගිවිසුමක් හරහා වේවා රටට සිදුවීමට ඉඩ ඇති හානි වැළැක්වීමට ඉන් අවස්ථාව සැලසෙනු ඇති බැවිනි. එසේ නොවුණහොත් අලි-අලි ගැටුමේ මැදට හිරවූ වඳුරාට වූ දේ අනාගතයේදී අපට සිදුවීම නොවැළැක්විය හැකිවනු ඇත.

නීතිඥ කපිල ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More