පුරවැසි කොලම

(අන්තර් ජාලයේ හුවමාරු වූ මෙම ලිපියේ ඇති කරුණු වල ප්‍රායෝගික අත්දැකීමේ වැදගත්කම සලකා “ලංකා ලීඩ්” පාඨකයා හමුවේ තබමු.)

ඇමරිකානු Millennium Challenge Corporation (MCC) හී ශ්‍රී ලංකාවේ Resident Country Director ජෙනර් එඩල්මන් සහ ඇගේ කණ්ඩායම සමග හමුවක් සඳහා මට ආරාධනා කෙරිණි. ඒ හරියටම මීට වසරකට පෙර ජනපතිවරණය කටමුල තියාගෙන MCC ගිවිසුම අත්සන් කළ යුතු යැයි එවක යහපාලන ආණ්ඩුව විසින් බෝල දමමින් සිටි කාලයේය. ඇමරිකානු MCC ගිවිසුම කෙරෙහි සමාජයේ ඇති නරක ප්‍රතිරූපය වෙනස් කිරීමට ඔවුන් ප්‍රචාරණ සහ සන්නිවේදන වැඩපිළිවෙලක් අරඹා තිබෙන බව මට පෙනී ගියේය. ලෝකයේ විශාලතම අන්තර්ජාතික සබඳතා සංවිධානයේ වසර හතකට වැඩිය සේවය කර ඇති මා එවැනි සංවිධානවල උපාය උපක්‍රම හොඳින් දනී. එකල මා ගෝඨාභයගේ ජනපතිවරණ ව්‍යාපාරයේ ප්‍රමුඛ රචකයෙක් සහ කථිකයෙක් විය.

විරුද්ධ දේශපාලන මත දරන තරුණ කණ්ඩායමක් ලෙස පිහිටුවා ගත් #NextGenSL ඒ වනවිට තරුණ සමාජය අතර තරමක් ප්‍රසිද්ධ වෙමින් තිබිණි. එහි ආරම්භක සාමාජිකයන් වන මම, මිලින්ද රාජපක්ෂ සහ රසික ජයකොඩි ඇතුළු තවත් කිහිපදෙනෙකුට ඉහත රැස්වීම සඳහා ආරාධනා ලැබිණි. එකල ETCA ගිවිසුමට විරුද්ධව කතා කළ යුතුකම සංවාද කවයේ ලසන්ත වික්‍රමසිංහවත් මම අපේ කණ්ඩායමට එකතු කර ගතිමි. රැස්වීම තිබුණේ Cinnamon Grand හෝටලයේ එක් රැස්වීම් ශාලාවකය. මා ඇඳගෙන ගියේ සරමක් සහ කමිසයකි.

පළමුව ජෙනර් විසින් MCC ගැන හැඳින්වීමක් කළාය. පසුව ඇයගේ සගයා වූ ලාංකිකයෙක් ඇමරිකානු ඌරුවට අහංකාරයෙන් කතා කළේය. මට ඔහුගේ නම මතක නැත. රැස්වීමට යන්නට පෙර දිනයේම මා කළේ MCC ගැන අන්තරජාලයේ ගවේෂණය කිරීමයි. ඇසිය යුතු ප්‍රශ්න මගේ සටහන් පොතේ ලියාගෙන ගියෙමි. මා ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට ඔවුන් ඇතැම්විට නිරුත්තර විය. උදාහරණයක් ලෙස MCC ගිවිසුම සකස් කර තිබුණේ ලංකාව අඩු ආදායම්ලාභී රටක් වූ නිසාය. නමුත් ඒ වනවිට ලංකාව මැදි ආදායම් රටකට උසස් වී තිබිණි. මා ඇසුවේ “ඇයි එහෙනම් දැන් ඔබේ නීතියට විරුද්ධව යමින් මේ ගිවිසුම අත්සන් කරන්නේ?” හරි උත්තරයක් නැත. එමෙන්ම මැඩගස්කරය, මාලි, ඝානාව වැනි අප්‍රිකානු රටවල අත්සන් කළ MCC ගිවිසුම් අසාර්ථක වූයේ ඇයි දැයි මම උදාහරණ සහිතව විමසුවෙමි. ඔවුන් ගොතගසමින් ඒවායින් ලිස්සා ගියේය. ඔවුන් කීවේ MCC වල අරමුණ ලංකාවේ දුප්පත්කම නැති කිරීම බවයි. එවිට මා ඇසුවේ එහෙනම් ලංකාවේ දුප්පත්කම වැඩිම දිස්ත්‍රික්ක අත්හැර වෙනත් දිස්ත්‍රික්ක ගිවිසුමෙන් ආවරණය කරන්නේ මන්ද? යන්නයි. උත්තර නැත.

ලසන්ත වික්‍රමසිංහත් එවැනි හිරවෙන ප්‍රශ්න ඇසුවා මට මතකය. අනෙක් උන් නම් ගල් බිල්ලන් සේ සිටියේය. එජාප කඳවුර නියෝජනය කළ තරුණයන් කොහොමත් සිටියේ MCC යට පක්ෂවය. ජෙනර් පුන පුනා කියා සිටියේ ගිවිසුම දෙසැම්බරයට (2019) පෙර අත්සන් නොකරන්නේ නම් ගිවිසුම අවලංගු වන බවයි. එසේනම් දැන් ගිවිසුම අවලංගු වී තිබිය යුතුය. නමුත් එය තවමත් මේසය මත තිබීමෙන් ඔප්පු වන්නේ ඇය එදා පට්ටපල් බොරුවක් කියූ බවයි. මා එතරම් හොඳින් ලැහැස්ති වී ඒ යැයි ඔවුන් නොසිතූ බව පෙනිණි.

එහිදී ජෙනර්ගේ කටින් පිටවූ එක් වැදගත් කාරණයක් නම් ලංකාවේ මෙම වැඩසටහන කළ යුතු යැයි මුළින්ම යෝජනා කළේ කුප්‍රකට ඇමරිකානු බිලියනපතියෙකු සහ ගෝලීය දේශපාලන හසුරුවන්නෙකු වන ජෝර්ජ් සොරෝස් විසින් මුදල් ගෙවා හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයෙන් කළ පර්යේෂණයක් විසින් බවයි.

MCC ගිවිසුමෙන් කරන්නේ සරල දෙයකි. එහි ලස්සන කැරට් අලයක් ඇත. එනම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට Traffic Management System එකක් සහ ලස්සන නවීන බස් රථ ටිකක් ලබා දීමයි. ආටෝපයට කැමති අපේ ගොබ්බයන්ට එය බැලූ බැල්මට ආකර්ශනීයය. නමුත් එයට පිටුපසින් ඇත්තේ හලාහල වසකි. එනම් ලංකාවේ ඉඩම් විදේශීය ආයෝජකයන්ට හෙක්ටයාර දහස් ගණනින් සින්නක්කර මිලදී ගැනීමට හැකි වන පරිදි වැඩ සැලසීමයි. ඒවා ගැන දැන් ඇති තරම් කතා කර ඇත. නමුත් ලංකාවේ වැසියන්ට කැරට් අල පෙන්වා ලෙහෙසියෙන් රැවටිය හැකිය. එදා ඉඳන්ම අප පිටරැටියන්ගේ චාටු කතාවලට රැවටුණු අහංකාර මෝඩ රැළකි.

ඒ බව ඇමරිකානුවන් පමණක් නොව අනෙක් සියලුම රටවල් දනී. මාව ඔවුන්ගේ Diplomatic කතාවලින් නම්මාගත නොහැකි බව ඔවුන්ට වැටහිණි. රැස්වීම අවසන් කරමින් මා ජෙනර්ගේ ඇස් දෙක දිහා එක එල්ලේ බලාගෙන මෙසේ පැවසුවෙමි. “මගේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම්වල අයිතිය එදා මුඩුබිම් පනත කියන එක ලියවිල්ලකින් අහිමි වුනා. ඒ ඉඩම් අයිතිය නැවත බ්‍රිතාන්‍යයන්ගෙන් දිනා ගන්න අපේ මුතුන් මිත්තන්ට ලේ වගුරුවා සටන් කරන්න වුනා. ඒ නිසා අපේ ඉඩම් ගැන සම්බන්ධ ඕනෑම ගිවිසුමකදී අප ඒ ගැන ඉතාමත් සැලකිලිමත්.” ජෙනර් බිම බලාගත්තා. අපි නැගිටලා එන්න ආවා.

ටික දවසකට පස්සෙ #NextGenSL මගුලෙන් මා ඉල්ලා අස්වුණා.

වසරකට පස්සේ ලංකාව නැවත අඩු ආදායම් රටක් වුනා. ද්විත්වපුරවැසියන්ට දොර ඇරුණා. මිලින්ද මොරගොඩ ඉන්දියාවේ මහකොමසාරිස් වෙලා මයික් පොම්පෙඕ ලංකාවට ආවා.

ධර්මය ඔබට මග වේවා!

– ගිනිගේ
2020 ඔක්තෝබර් 30 වැනිදා
හැමදාම රැවටෙන (ජන)රජයක සිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More