රට තුළ කොවිඩ්19 වෛරස වසංගතය හේතුවෙන් බරපතල සෞඛ්‍ය ව්‍යසනයක් නිර්මාණය වී තිබියදිත් 2021 වසර සඳහා වූ සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 20කින් කපා ඇතැයිද, “එක්කෝ මරණය තෝරා ගමු, නැති නම් සංවිධානය වෙමු!” යැයිද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (29 දා) බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයගොඩ මහතා මෙසේ පැවසුවේය.
“කොවිඞ්19 වෛරස වසංගතය නිසා අපි සමාජයක් ලෙස සිටින්නේ කොතැනදැයි අනාවරණය වුණා. අපේ සමාජය විෂමතාවය පිරි සමාජයක් බවට අත්දැකීම් ඕනෑ තරම් ලැබුණා. පොලීසිය නිරෝධායන නීති කඩ කළා කියා ගෙදරට හාල් කිලෝවක් ගේන්න කඩේ යන කෙනාගේ ඉඳලා අත්අඩංගුවට ගන්නවා. ඒවා මාධ්‍යවලත් පෙන්වනවා. නමුත් නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කළ ලොකු සමාගම්වලට, ධන කුවේරයන්ට ඒ නීති අදාළ නෑ. සිය සේවකයන් උණ රෝග ලක්ෂණ පෙන්වද්දීත් ඔවුන්ට වේදනා නාශක පෙති දිදී වැඩගත් මිනුවන්ගොඩ ඇඟලූම් කම්හලේ ලොක්කන්ට ඒ නීති අදාළ නෑ. තම හෝටලයේ සිටි අයකුට කොරෝනා ආසාදිත බව දැනගත් පසුවත් සේවකයන් නිරෝධායනය නොකර ඔවුන්ව වැඩ නිමවී නිවෙස්වලට පවා යැවූ සීදුව හෝටල් හිමිකරුවාට ඒ නීති නෑ. ඒවා ගැන අහද්දී කියන්නේ පරීක්ෂණ කරනවා කියලා. මේ වනවිට සති ගණනක් ගියා. ලොක්කන්ට එහෙම වුණාට සොක්කන්ට නම් ක්ෂණිකව නීතිය ක‍්‍රියාවේ යෙදවෙනවා. ඇඳිරිනීතිය පනවද්දී සහ ස්වයං නිරෝධායනය කරද්දීත් ආර්ථික හැකියාව නැති අයට කන්නවත් නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ ගැන රජයේ මැදිහත්වීමක් නෑ. ඇඳිරිනීතිය පනවා ඇති ප‍්‍රදේශවල අයට සහ ස්වයං නිරෝධායනයේ යෙදෙන පවුල්වලට පමණක් නෙවෙයි, දෛනික ආදායමින් ජීවත් වන, අසංවිධිත ශ‍්‍රම ක්‍ෂේත‍්‍රයේ සේවයේ නියුතු රටේ සියලූ දෙනාට රාජ්‍ය මැදිහත්වීමෙන් ජීවනාධාරයක් අවශ්‍යයි. ස්වයං රැකියා නියුක්තිකයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාර කරන්නන්ට ණය හා ලීසිං සඳහා මාස කිහිපයක සහනයක් අවශ්‍යයි. ඒ හැම දෙනාගේම ආදායම් බිඳ වැටිලා.”
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පුබුදු ජයගොඩ මහතා,
“මේ අවස්ථාවේ රජය හැසිරෙන්නේ කොහොමද? මිනුවන්ගොඩ පළමු කොවිඞ්19 වෛරස ආසාදිතයා වාර්තා වන ඇසිල්ලේ අනෙක් ප‍්‍රදේශවලට එය ව්‍යාප්ත වීම වලක්වන පියවර ගන්න තිබුණා. එහෙම වුණා නම් මේ විදියට රට පුරාම මෙය ව්‍යාප්ත වෙන්නේ නැහැ. නමුත් සමාගම්වල පීඩනය හමුවේ රජය ආර්ථිකය වහන්න බෑ කියමින් ඒ ප‍්‍රදේශ අනාරක්ෂිත කළා. නිදසුනක් ලෙස නිදහස් වෙළෙඳ කලාපයේ එක කම්හලක රෝගීන් වාර්තා වෙද්දීත් කලාපය විවෘතව තැබුවා. අවසානයේ වෛරසය කම්කරුවන් විශාල ගණනකට ව්‍යාප්ත වුණා. මේ ප‍්‍රශ්නවලදී රජය වැඩකරන ජනතාවගේ පැත්තෙන් බලන්නේ නෑ. දේශපාලන බලයේ වෙනසක් නැතිව මේ ප‍්‍රශ්නය විසඳන්න බෑ. අවම වශයෙන් රජය සෞඛ්‍ය සේවය පුළුල් කරන්න මැදිහත් වෙන්නේ නෑ. 2021 විසර්ජන කෙටුම්පත ගැසට් වී තිබෙනවා. 2021 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 158යි. 2019 දී බිලියන 178ක් වෙන් කළා. මෙපමණ බරපතළ වසංගත තත්ත්වයක් තිබියදීත් සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 20කින් කපලා. අද වනවිට මුල්ලේරියාව රෝහලේ ප‍්‍රධාන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත‍්‍රය කැඩිලා. ඒ නිසා පරීක්ෂණ දින ගණන් ප‍්‍රමාද වෙනවා. සාම්පල දහස් ගණනක් හිර වෙලා. ගුවන් යානයක් ගුවන්ගත කරද්දීත් එන්ජින් දෙකක් භාවිතා කරනවා. එකක් ක‍්‍රියා විරහිත වුණොත් විකල්පයක් ඕන. වසංගතයක් පවතිද්දීත් එහෙම විකල්ප නැහැ. පී.සී.ආර්. යන්ත‍්‍ර ප‍්‍රමාණවත් නෑ. මීට වඩා කාර්යක්ෂම, නව තාක්ෂණය සහිත යන්ත‍්‍රයක් දෙකක් ගෙන්වන්න කියලා ඉල්ලීම් තිබුණේ මාර්තු මාසයේ ඉඳලා ඒවාට මුදල් වෙන් කරන්නේ නෑ. කොරෝනා වෛරසය බෝ වීමේදී පොදු ප‍්‍රවාහන සේවා භාවිතා කරන්නන්ට අවදානම වැඩියි. ඒ නිසා අනිවාර්යයෙන්ම පොදු ප‍්‍රවාහන පහසුකම් පුළුල් කළ යුතුයි. නමුත් කර තිබෙන්නේ කප්පාදුව. 2019දී පොදු ප‍්‍රවාහනයට වෙන් කළ රුපියල් බිලියන හැටනවය 2021 විසර්ජන පනතේදී බිලියන 41ට කපලා. ජනතා අරමුදල් ලෝභ නැතිව වෙන් කර තිබෙන්නේ මර්දනයට.”
පෙරටුගාමි සමාජවාදී පක්ෂය මේ සම්බ්න්ධයෙන් මහජනයාට කරනු ළබන යෝජනා මඔනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ විට ,
” මේ අර්බුදය ඉදිරියේ තව දුරටත් පාලකයන් අපේ ජීවිත බේරා දෙයි කියලා බලා සිට පලක් නෑ. සෞඛ්‍ය නිර්දේශ උපරිම රකින අතර අපේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට සංවිධානාත්මකව බල කරමු.” යනුවෙන් අවධාරණය කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...