පුරවැසි කොලම

ඇමරිකා එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී උපාය මාර්ගික සැලසුම ලෝකය පුරා ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රධාන මෙවලම් තුනක් හරහා බව දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දෙනු ලබයි. ඒවා නම්  මුදල්, තාක්ෂණය සහ හමුදා බලය යන්නයි මේ අතරින්ද වර්තමානය වන විට ඔවුන්ගේ උපාය මාර්ගික සැලසුමේ ප්‍රධාන අංග දෙක බවට පත්ව තිබෙන්නේ මුදල් ඒකකය සහ මිලිටරි නැතහොත් හමුදා බලය යන කාරනා දෙකයි මිට අමතරව ඔවුන් තාක්ෂණික වශයෙන් බටහිර මාධ්‍ය සහ ඒ ඒ රටවල් සතු ජනමාධ්‍ය නියමෙන් හෝ අනියමින් යොදා ගැනීමක්ද අපට දක්නට හැකිය.මෙහිදී මාධ්‍ය යන්නට මාධ්‍යවේදීන් යන්නද යොදාගත හැකි බව අවධාරණය කරමි. අමතරව චන්ද්‍රිකා තාක්ෂනය හරහා ලෝකයේ වෙනත් රටවල ඔත්තු බැලීමටද ඇමරිකානු ඔත්තු සේවා වැඩි කැමැත්තක් දක්වන බවට තොරතුරු ලැබී තිබේ.කෙසේ නමුත් මෙම ලිපියේ අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ ඇමරිකානු ව්‍යාප්තවාදය ඉදිරියේ ශ්‍රී ලංකාව මුහුණ දිය හැකි අභියෝග සම්බන්දයෙනි.

පොම්පියෝගේ ආසියානු සංචාරය

ඊයේ දවස් වන විට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා තමන් ආසියානු සංචාරය ආරම්භ කල බවට වන  ඡයාරූප කිහිපයක් තම මුහුණු පොතේ සටහන්කොට තිබුණි එහිදී ඔහු ඉන්දියාව,මාලදිවයින,ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කිරීමට බලාපොරොත්තු වන බවද එහි සටහන් කොට තිබුණි.මයික් පොම්පියෝගේ පැමිණීමට දින කිහිපයකට පෙර ඔහුගේ ආරක්ෂාව සම්බන්ද ඇමරිකානු ගුවන් හමුදා බට පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බැස තිබු අයුරු ලංකාවේ ප්‍රධාන පෙලේ රුපවාහිනි නාලිකාවක පුවත් අඩවියක පල කොට තිබෙනු දක්නට ලැබිණි. මෙය කිසියම් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස කතා බහට ලක් වූ අතර රජය විසින් ඔහුගේ පැමිණීම සනාතකොට තිබුණි.ඒ අනුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම මස 27 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ 28 වැනිදා නික්ම යාමට නියමිත බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කොට තිබේ.මෙම සංචාරයේදී පොම්පියෝ විසින් මෙරට ප්‍රධාන පෙලේ දේශපාලන බලධාරීන් හමුවීමට නියමිත අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයාද හමුවීමට නියමිත බව ආරංචි මාර්ග තහවුරු කොට තිබේ. මයික් පොම්පියෝ ඇමරිකානු රාජ්‍ය ලේකම්ධුරයට අමතරව මෙරට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි සභාපති ධුරයද හොබවනු ලබයි.දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරන අන්දමට පොම්පියෝ ලේකම්වරයාගේ සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මේ සම්බන්දයෙන් තීරණාත්මක සාකච්චාවක් සිදු කිරීමට නියමිතව ඇත.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර ප්‍රදාන ගිවිසුමට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහයෝගය ඇති බව සහතික කර ගැනීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය පසුගිය දිනක පැවසු බව මාධ්‍ය වාර්තාකොට තිබුණි. තවදුරත් අදහස් දක්වා ඇති තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා ඇත්තේ අත්සන් කරන ගිවිසුම පාර්ලිමේන්තුවට යොමුකරන අතර එමගින් ගිවිසුම සමාලෝචනය කිරිමට පාර්ලිමේන්තුවට ප්‍රමාණවත් අවස්ථාවක් හිමිවන බවයි. මෙය කෙසේ කුමන  ආකාරයකට  සිදුවේද යන්න මේ මොහොත වන විට රට හමුවේ ඇති අභියෝගයයි. පසුගිය මහමැතිවරණ සමයේ ශ්‍රී ලංකාවේ  එක්සත් ජනපද තානාපතිවරිය අලයිනා බී. ටෙප්ලිට්ස් ප්‍රකාශකොට  තිබුනේ  මහමැතිවරණයට පසුව MCC ( මිලේනියම් චලෙන්ච් කෝපරේෂන් ) ගිවිසුම අත්සන් කිරීම එක්සත් ජනපදයේ අරමුණ බවයි. මිට අමතරව පසුගිය සතියේදී  “තමන් කා සමගද යා යුත්තේ කියා ශ්‍රි ලංකාව මේ මොහොතේ අතාවශ්‍ය  දේශපාලන තීන්දුවක් ගතයුතුයි” යනුවෙන්   ඇමරිකානු නියෝජ්යල රාජ්‍ය  ලේකම් වරයා විසින් පවසා ඇති බව මාධ්‍ය  වාර්තා කොට තිබුණි. මෙම ප්‍රකාශය ස්වාධින රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාව සම්බන්දයෙන් බාහිර රටක් ලෙස ඇමරිකාව කරන ලද අත්තනෝමතික හිතුවක්කාරී ප්‍රකාශයක් ලෙස අප විසින් තේරුම් ගත යුතුය.ඒ සම්බන්දයෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙතින් මේ මොහොත වන විටත් කිසිදු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශයක් නිකුත් කිරීමට අසමත් වීම මගින් පෙන්නුම් කරන්නේ අප ඒ ප්‍රකාශය නිහඩ ලෙස අනුමත කිරීමක්ද යන්න ස්වාධින රටක පුරවැසියන් ලෙස අප කල්පනාවට ගත යුතුය.මේ අතර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හරහා සිදුවන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ධනයට මෙරට පාලකයින් රූකඩ බවට පත්වීම බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් ප්‍රකාශකොට තිබු බව මාධ්‍ය වාර්තාකොට තිබුණි.වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එම සදහා විශාල කැපවීමක් කරන ලද ප්‍රධාන පෙලේ භික්ෂුන් වහන්සේලා රාශියක් මෙම ගිවිසුම අත්සන් කිරීමට පවතින රජය කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව තමන් වහන්සේලා විශාල විරෝධයක් දක්වන බව විවිධ මාධ්‍ය හරහා ප්‍රකාශ කොට තිබෙනු අපට දැකගත හැකිවිණි.අමෙරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ඇති ප්‍රධාන බාධක ලෙස පවතින ප්‍රවාහන ක්ෂේත්‍රයේ සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලියේ දුර්වලතා හඳුනාගනිමින් ඒ සදහා ව්‍යාපෘතින් යෝජනා කොට තිබේ.

මේ ව්‍යාපෘතින් සඳහා සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 480 ක් වන අතර ඉන් ඩොලර් මිලියන 350 ක් වෙන්කරන්නේ ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහායි. ඉඩම් ව්‍යාපෘතිය සඳහා වෙන්කරන ලද මුදල ඩොලර් මිලියන 67 කි ඉඩම් ව්‍යාපෘතිය යටතේ රජයට අයත් ඉඩම් බදු පදනම යටතේ ලබාදී  ඉන් ආදායම් ලබාගැනීම මේ ගිවිසුම යටතේ සිදු වේ.එමෙන්ම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ප්‍රවාහන ව්‍යපෘතිය යටතේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අඩුකෙරෙනු ඇත.කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් ප්‍රවාහන සේවය නවීකරණය කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ වෙන්කර ඇති මුදල ඩොලර් මිලියන 50 කි.ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධානම විරෝධය වන්නේ මේ හරහා මෙරට ඉඩම් හෙක්ටයාර් ලක්ෂ 12ක් අමෙරිකාව සතු වන බවයි. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා විදුලි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට නියමිත අතර මේ දුම්රිය මාර්ගය දෙපස ඉදිකෙරෙන වැට නිසා රට භෞතිකව දෙකඩ වීමක් සිදුවන බවට මේ සම්බන්දයෙන් ප්‍රබල චෝදනාවක් නැගේ . ඒ අනුව ​ඇමෙරිකාව සතුවන භූමියට ලොව හොඳම ස්වාභාවික වරායක් වන ත්‍රිකුණාමල වරාය, විශාල වගා බිම් ප්‍රමාණයක්, ජාතික උරුමයන් හා මෙරට ස්වාභාවික වනාන්තර කොටස්ද හසුවන බවට චෝදනා එල්ල වෙමින් පවතී.

මිලේනියම් චැලේන්ජ් සමග එන සෝෆා

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම සමග තවත් ගිවිසුම් දෙකක් අත්සන් කිරීමට නියමිතය. SOFA හා ACSA යන මෙම ගිවිසුම් මගින් ඇමෙරිකානු හමුදාවන්ට නිල ඇඳුමෙන් ආයුධ සන්නද්ධව මෙරට රැඳී සිටීමේ අයිතිය හිමි වන බව ​තවත් බරපතළ ​චෝදනාවකි. මේ සම්බන්දයෙන් විවිධ සංවිධාන රට පුරා ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වනු ලැබූ අතර ඒවායේදී දේශකයන් විසින් මෙහි ඇති අනතුරු සම්බන්දයෙන් ජනතාව දැනුවත් කරන ලදී. කෙසේ නමුත් මේ සියල්ල මෙසේ පවතින තත්වයක් තුල ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම ගිවිසුම සම්බන්දයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්චා කිරීමට පැමිණෙන්නේ යහපත් චේතනාවෙන් විය නොහැක.

මා මේ ලිපියේ මුලින් සදහන් කල ආකාරය ඇමරිකාව තම අධිරාජ්‍යවාදී උවමනා ඉටුකරගැනීම සදහා ප්‍රධාන කරුණු තුනක් යොදාගනී. ඉන් පලමු වැන්න දේශපාලනමය සාකච්ඡා හා මුදල් වන අතර ඔවුන් එසේ නොහැකි නම් බලහත්කාරය නොහොත් මිලිටරි බලය භාවිතා කොට අප වැනි කුඩා රාජයන් දුරුවල කිරීමෙන්  එය ඉටුකර ගැනීමට පසුබට නොවනු ඇත. කෙසේ නමුත් හෙට දවසේ  ශ්‍රී ලංකාව සම්බන්දයෙන් ඇමරිකාව ගනු ලබන තීරණය කුමක් වුවත් ඊට මුහුණදීමට ස්වාධින රාජ්‍යක් ලෙස අපට ශක්තිය තිබිය යුතුය.එසේ නොවුනහොත් අප රට සතු සම්පත් ඇමරිකානු අධිරාජ්‍යවාදී බුවල්ලා විසින් සිය ග්‍රහණයට ගනු ඇත.ඇමරිකානු අධිරාජ්‍යවාදී න්‍යාය නම් ඔටුවා බිමට ගෙන ඒමට නම් ඇමරිකානුවා සතු අවසන් පිදුරු ගසද ඔටුවා වෙත ලබා දිය යුතු බවයි.ඒ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී න්‍යායේ මුලික සිද්ධාන්තයකි ඉන් පසුව ඔවුන් ඔටුවාවගේ ගෙල සිරකරනු ඇත.මේ මොහොතේ අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින ඛේදවාචකය නිවැරදිව තේරුම් ගෙන රාජතාන්ත්‍රිකව ඊට මුහුණදීමට රටක් ලෙස අප දක්වන ශක්‍යතාව මත හෙට දවසේ ජාතියේ ඉරණම තීරණය වනු ඇති බව අවසන් වශයෙන් සටහන් කොට තබමි.

රෝහණ කීර්ති බංඩාර

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More