ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා (27) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව සඳහන් කළේය.
විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහනය, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් බැරෑරුම් තත්ත්වයකදී වුවද අඛණ්ඩව ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින්ට උපදෙස් ලබාදුන්නේය.
කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට ලෝකයේ ආර්ථිකය අතින් බලවත් රටවල්වලට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබියදී මෙම වෛරසය පාලනය කර ජනතාවගේ අත්‍යාවශ්‍ය සේවා කඩිනමින් ලබාදීමටත් , ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, රජයක් හැටියට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
ඇතැම් බලවත් රටවල ලක්ෂ ගණනින් ආසාදිතයින් හමුවන, දහස් ගණනින් මිය යන අවස්ථාවක මෙරට සෞඛ්‍ය අංශ, ආරක්ෂක හා පරිපාලන අංශ කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සිදුකරන කාර්යභාරය රටක් වශයෙන් අගය කළ යුතු බව සමාජ මාධ්‍ය මඟින් සිදුකෙරෙන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.
අවදානමට ලක්විය හැකි වැඩිහිටි ජනතාව රැකගැනීම සඳහා සියළු පියවර ගන්නා ලෙසත් සිදු විය හැකි ජීවිත විනාශය වැලැක්වීමට අදාල අංශ කටයුතු කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය . එබැවින් මහජන ආධාර, විශ්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිට උපදෙස් ලබාදුන්නේය.
සති දෙකකට සරිලන බඩුමල්ලක් , නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක්‍රමානුකූලව සිදු කරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේය.
විදුලිබල, ජල, ගෑස්, ප්‍රවාහන ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා තම ආයතන සූදානම් බවත් සෞඛ්‍ය ආරක්ෂිතව සහ නිරෝධායන නීතී අනුව තම ආයතනවල සේවකයින් සේවය සඳහා ගෙන්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට තීරණය කර ඇති බවද සඳහන් කෙරුණු අතර ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.
මෙම අවසථාවට සහභාගී වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය,සෞඛ්‍ය ආරක්ෂිතවකොළඹ නගරයේ කසළ කළමනාකරණය පෙර පරිදිම පවත්වාගෙන යන බව පැවසුවාය.
කොවිඩ්19 වෛරසය කොළඹ නගරය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට කොළඹට පැමිණෙන පිරිස පාලනය කිරීම සිදුකළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ඒ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කර, ප්‍රාදේශීය මට්ටමෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙහි දී සාකච්ඡාවට ගැනුණි.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් මගී ප්‍රවාහනය සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දුන් අතර කොළඹ නගරයට ජනතාව පැමිණීම පෙරට සාපේක්ෂව විශාල වශයෙන් අඩු වී ඇති බවත් උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් සිසුන්ගේ පහසුව සඳහා ගමන් වාර සීමිත කිරීම අවම වශයෙන් සිදු කර ඇති බවද ඔවුන් සඳහන් කළේය.
මෙම අවස්ථාව සැලකිල්ලට ගෙන , විභාග දෙපාර්තමේන්තුව සහ විවිධ ආයතන මඟින් පවත්වන විභාග කල් දමන ලෙස බැසිල් රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන්ට අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...