පුරවැසි කොලම

පොම්පියෝ එන විට විමල් වීරවංශ බුරන්නේ නැත්තේ ඇයි? අද බොහෝ දෙනා මේ ප්‍රශ්නය අසති. සමහරු බොරුවටය. සමහරු ඇත්තටමය. කෙසේ වුවත් මේ ප්‍රශ්නය අසන වැඩි දෙනා මාස කීපයකට පෙර එම්සීසී මාර වී, ඊයේ පෙරේදා එම්සීසී නරක් වූ පන්නයේ දේශපාලන පිම්පියෝ වෙති. ඔවුන්ගේ තව එවැනි පරස්පරතා අපමණය. පිම්පියෝ කෙසේ වෙතත් අවංකව මේ ප්‍රශ්නය අසන අයගේ දැනගැනීම සඳහා වීරවංශගේ ඇමරිකානු විරෝධය ගැන යමක් ලිවීම මේ මොහොතේ වැදගත්ය.

1. එදා 2002 ඇමරිකාවේ වුවමනාවට නෝර්වේ මැදිහත් වීමෙන් මේ රටේ ඊනියා සටන් විරාම ගිවිසුමක් අත්සන් කොට කොටියාට නොමිලේම ඊළම ලියා දීමට රනිල් කටයුතු කරන විට අන් කාටත් පෙර ඊට එරෙහිව බිරුවේ විමල්ය.

2. බිරුවා පමණක් නොවේ. ඒ ඇමරිකානු ගැති වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආණ්ඩුව පැරදවීම සඳහා ජනතා බලවේග අවදි කරමින් ලොකුම කාර්යභාරය ඉටු කළේද විමල්ය. නියමිත කාලය ගතවීමටත් පෙර වසර දෙකහමාරක් ඇතුළත ඒ ද්‍රෝහී ආණ්ඩුව පැරදවිය හැකිවූයේ ඒ අනුවය.

3. 2005 ඇමරිකාවේ තවත් වැඩපිළිවෙළක් වූයේ සුනාමි සහන මණ්ඩලයක් අටවා ඒ මගින් කොටි ත්‍රස්තවාදයට ඔක්සිජන් ලබාදීමටය. ඒ වැඩපිළිවෙළට බුරමින් එය පරාජය කිරීමට මැදිහත් වූ දේශහිතෛෂීන් අතරද විමල් සිටින්නේ මුල්ම තැනකය.

4. 2005 ජනාධිපතිවරණයේදී ඇමරිකාවේ වුවමනාව වූයේ රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරනු දැකීමය. එදා ඒ සිහිනය බොඳ කොට මහින්ද දිනවූ සටනේ සුපර් ස්ටාර් විමල් බව කීවේ අප නොව එදා එජාපයේම ප්‍රකාශකයන් වූ එස්. බී. දිසානායක, උපුල් ජෝශප් ප්‍රනාන්දු වැන්නෝය.

5. ඉන්පසු යුද මෙහෙයුම් ක්‍රියාත්මක වන කාලයේදී ඇමරිකාවේ රොබට් ඕ. බ්ලේක්ලා, එරික් සොල්හයිම්ලා, ඬේවිඞ් බිලිබ්‍රෑන්ඞ්ලා, ටෝකියෝ සම සභාපතිවරු ආදී නා නා මාදිලියේ ජාත්‍යන්තර නියෝජිතයෝ හැටහුටහමාරක් මැදිහත් වී කොටි බේරා ගැනීමට අපමණ උපායන් යෙදූහ. ඒ සෑම අවස්ථාවකම ඊට එරෙහිව බුරමින්, ඔවුන් සම්බන්ධව නිසි තීන්දු ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින්, ඒ වෙනුවෙන් ජනමතය සකසමින් අනුපමේය කාර්යභාරයක් ඉටු කළේ විමල්ය.

6. විමල් පොම්පියෝට බුරන්නේ නැත්තේ මන්දැයි අසමින් අද හිටි හැටියේ ඇමරිකන් විරෝධී වී ඇති බොහෝ පිම්පියන් එදා යුද්ධය අවසාන මොහොතේ ඇගිලි ගනිමින් බලා සිටියේ ඇමරිකාව මැදිහත් වී ප්‍රභාකරන් බේරාගෙන මහින්ද යුද්ධය ඇන ගන්නා ආකාරය දැකීමටය. ඔවුන්ගේ ඇස්වල කඳුළු තවරමින් ඒ සියලු ඇමරිකානු සිහින බොඳ කිරීමට එදා විමල්ලා පෙරමුණ ගත්තෝය.

7. වැදගත්ම අවස්ථාව එන්නේ ඊළඟටය. එදා ඇමරිකාවේ වුවමනාවට බෑන් කී මූන්ලා ලංකාවට එරෙහිව නීති විරෝධී දරුස්මාන් කමිටුව පත් කරන විට ඊට එරෙහිව බුරන්නට විමල් ඇර එක බල්ලෙක්වත් මේ රටේ සිටියේ නැත. විමල් එදා එය කළේ ආණ්ඩුවෙන් එළියේ සිටියදී නොව ආණ්ඩුව ඇතුළේ සිටිමින් ඇමතිකමක් පවා දරන අතරතුරේය. හැබැයි අද විමල් පිම්පියෝට බුරන්නේ නැත්තේ මන්දැයි අසන වාමාංශික පිම්පියන් එදා කීවේ විමල්ගේ වැඩ නිසා ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ සවුත්තු වෙනවෝ වැනි පිම්පි කතාය.

8. මීළඟට ආර්ථික වශයෙන් ලංකාව ඇමරිකාවට ගැට ගසා ඇති ලොකුම උගුලක් වන පාන් පිටි උගුල ගැන සලකා බලන්න. වසර ගණනාවක් තිස්සේ ඒ උගුලේ නිසි දිග පළල රටට පෙන්වා දෙමින්, ඊට එරෙහි ප්‍රායෝගික ක්‍රියාමාර්ග තෝරමින්, ඒවායේ සැබෑ ජයග්‍රහණ රටට අත්කරදීමට විමල් තරම් වෙන කිසිදු දේශපාලනඥයෙකු මැදිහත් වූයේ නැත. විමල් එසේ කරන විට අද පොම්පියෝ ගැන කතා කරන වමේ පිම්පියන් එදා කළේ පාන් පිටිවල බදු සහන වෙනුවෙන් උද්ඝෝෂණ කරමින් ඇමරිකාවේ කොන්ත්‍රාත් ඉටු කරදීමය.

9. මීළඟට 2015 ජනාධිපතිවරණයේදී යහපාලනය දිනවීම සඳහා තමන් අරමුදල් පවා යෙදවූ බව ඇමරිකාව නිල වශයෙන් පිළිගත්තේය. නමුත් එදා මෙරට වාමාංශික පිම්පියන් කළේ ඇමරිකානු අරමුදලින් සිදුකෙරෙන ආණ්ඩු පෙරළි සඳහා තමන්ගේද දායකත්වය ලබාදීමය. ලබාදී යහපාලනය දිනවීමය. පිම්පියන් එසේ කරන විට එදා ඇමරිකානු අරමුදල් ඔස්සේ දියත් කළ යහපාලන විප්ලවයට බුරමින් එය ආපසු හැරවීම සඳහා ඓතිහාසික නුගේගොඩ රැළියෙන් පළමු පියවර තැබුවේද විමල්ය.

10. මීළඟට එදා ඇමරිකාව නීති විරෝධී දරුස්මාන් වාර්තාව මත පදනම්ව ලංකාවට එරෙහිව 30/1 යෝජනාව සම්මත කරන විට අද හදිසියේ ඇමරිකන් විරෝධී වී සිටින පිම්පියන් ඊට එරෙහිව වචනයක් කතා කළේ නැත. කතා නොකළා පමණක් නොව ඇමරිකාවේ ඒ ක්‍රියාව සාධාරණීකරණය කළහ. ඔවුන් එසේ කරන විට ඊට එරෙහිව බුරන්නට සිටියේ විමල් පමණි. තමන් සිටින්නේ ආණ්ඩුව ඇතුළේද එළියේද කියන කරුණ නොතකමින් ඔහු එදා සිටම මේ ජිනීවා නාඩගමට එරෙහිව එකම ආකාරයෙන් බිරුවේය.

11. මීළඟට ඇමරිකාවේ වුවමනාව මත ලංකාවේ අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාල අටවා ත්‍රස්තවාදය පැරදවූ රණවිරුවන් දඩයම් කිරීමට ඇමරිකාව කටයුතු කරන විට වාමාංශික පිම්පියන් සියල්ලෝ ඊට සහය දුන්නෝය. යහපාලනය පරදවා ඒ විනාශකාරී ක්‍රියාදාමයන් අඩපණ කළ හැකි වූයේ ඊට එරෙහිව බුරන්නට විමල්ලා නිතරම පෙරමුණ ගැනීම නිසාය.

12. ඇමරිකාවේ වුවමනාවට රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන ඒමට යහපාලනය කටයුතු කරන විට ඊට එරෙහිව බුරන්නට සිටි එකම බල්ලා වූයේද විමල් පමණි. අද ඇමරිකන් විරෝධී වී සිටින වමේ පිම්පියෝ එදා රෙදි ගලවා තබා මේ ව්‍යවස්ථා මර උගුළට කඬේ ගියෝය.

13. එදා එම්සීසී ඇතුළු ඇමරිකානු ගිවිසුම් ත්‍රිත්වය ගැන විමල් පළමු වතාවට කරුණු හෙළිදරව් කරන විට මේ වාමාංශික පිම්පියන් සිටියේ ඇඳන් යටය. පසුව ඒ ගැන සංවාදය මග හැර යන්නට බැරි තැනට එන විට ඔවුන් එදා කීවේ අහිංසක එම්සීසී ගිවිසුම ගැන වීරවංශලා බොරු බිල්ලන් මවන බවය. එදා එසේ කී අය අද මාස කීපයකට පසු ඇමරිකන් විරෝධී වී තමන්ගේ තරම නැවතත් රටට පෙන්වමින් සිටිති.

ඒ නිසා අද විමල්ගේ ඇමරිකානු විරෝධය ගැන සෙවීමට ඉදිරිපත් වී ඇත්තේ මෙබඳු පිම්පියන් පිරිසකි. දේශපාලන අවස්ථාවාදය හැර වෙන කිසිදු වාදයක්, ප්‍රතිපත්තියක් පිම්පියන්ට අදාළ නැත. බැරිවෙලාවත් අද විමල් පොම්පියෝට විරෝධය පළ කළේ නම් ඔවුන් කියනු ඇත්තේ වෙනම කතාවකි. ඒ හැරෙන හැරෙන අතට කතා කරන අවස්ථාවාදයේ හැටිය.

පසුගිය කාලය පුරාම ඇමරිකාව ලංකාව සම්බන්ධව ක්‍රියාත්මක කරන්නට සැදූ මර උගුල් සියල්ල කල්තියා හඳුනාගනිමින් ඒවා පරාජය කළේ විමල්ලා ප්‍රමුඛ ජාතික බලවේගය.

විමල් සිටින්නේ ආණ්ඩුවේද එළියේද කියන කාරණය කිසිදා ඊට බාධාවක් වූයේ නැත. ඒ නිසා විමල්ට දේශපාලන තීන්දු ගන්නා ආකාරය ගැන කියාදීමට පිම්පියන් අවශ්‍ය නැත. අප තීන්දු ගන්නේ රටට අවශ්‍ය වෙලාවට මිස පිම්පියන්ට අවශ්‍ය වෙලාවට නොවන බැවින් කිසිවෙකුට ඒ ගැන කලබල වීමට දෙයක් මෙහි නැත.

ඇමරිකාව රටට හානිකර දෙයක් කරන්නේ නම් ඊට එරෙහි වීමේ ජානිපෙ ප්‍රතිපත්තිය අනාගතයේදීද අතීතයේ පරිදිම ක්‍රියාත්මක වනු ඇත.

ඉසුරු ප්‍රසංග



One thought on “පොම්පියෝ එනකොට විමල් බුරන්නේ නැද්ද? පොම්පියෝ, පිම්පියෝ සහ විමල්ගේ ඇමරිකන් විරෝධය ගැන”

  1. හත්දෙයියනේ, විමල් හිටියේ නැත්නම්, මහින්ද රට කනවනෙ . විමල් ගේ බිරිල්ලට තමයි 2005 ඉඳලම මහින්ද කොන්ට්‍රෝල් වෙලා ඉඳල තියෙන්නේ.
    හැබැයි ඝෝටාභය ඉස්සෙල්ලම SOFA අත්සන් කරන කොට බිරුවේ නැත්තේ ඇයි දන්නේ නෑ .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More