ප‍්‍රධාන පුවත්

රටේ මහා සංඝරත්නය ජාතිකවාදී නායකයින් සහ සංවිධාන සේම ජාතිමාමක ජනතාව ද්‍රෝහී රනිල් අනුර TNA හකීම් බදියුදීන් ගේ අශුද්ධ සන්ධානය සහිත ඊනියා යහපාලනය පරාජය කර රටට හිතැති නව ව්‍යවස්ථාවක් සේම ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට මහත් බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවන ලදී. ගෝඨාභය ජනපතිවරයා රුවන්වැලි මහා සෑයේ දුටු ගැමුණු නිරිදුන් ගේ ප්‍රතිමාව ඉදිරිපිට  දිව්රුම් ලබා දී පැවසුවේ තමා සිංහලයන්ගේ ජන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් බවයි.

එමනිසා සිංහල ජනතාවගේ බහුතර ජන්දය දිනා ගැනිමට හැකි වුයේ මහා සංඝරත්නය ජාතිකවාදී නායකයින් සහ සංවිධාන විසින් රට තුල ස්ථාපනය කරන ලද මත වාදයයි. එය කිසිවෙකුගේ සංවිධාන ශක්තියකින් බිහි කල මතවාදයක් නොවන බව  එහෙයියන්ට කුලී ලියන්නට වන්දි බට්ටයින්ට මුග්ධ උපදේශකයන්ට සහ ව්‍යාජ ජාතිකවාදීන්ට මේ පිරිස් පිටු පස යන දේශපාලන ළදරුවන්ට නොවැටහීම පුදුමයක් නොවේ. අප සිංහල බහුතරයේ ජන්දයෙන් ජයග්‍රහණය කල ජනපති සහ රජය කල යුත්තේ සුළු ජනකොටස්ද සහිත පොදු ජනතාව දිනා ගැනීම විනා රටට එදත් අදත් හෙටත් සතුරු කම් කරන අන්තවාදය සහ බෙදුම්වාදයම වපුරන ජාතිවාදී නායකයන් සරණ යාම නොවේ. මේ පිරිස් පසු ගිය මැතිවරණ දෙකේදීම ගෝඨාභයට සහ රජයට විරුද්ධව ද්‍රෝහිව ක්‍රියා කර ඇත. අපි අහන්නේ මේ පිරිස් වර්තමානයේ ඔවුන්ගේ බෙදුම්වාදී අන්තගාමී ආගමික මතවාද අත හැර ඇති බවද?
ඒවගේම 19 වැරදි අපිට උගන්වන්න එන දේශපාලන ළදරු මානව මානවිකාවන්ට අප කිව යුතුයි 19 වැනි සංශෝධනයේ වැරදි පෙන්වා පසුගිය වසර පහ තුල අප කොතෙක් ලියා ඇතිද කියා අපගේ අතීතය පිරික්සීමෙන් සොයා ගන්නා ලෙසය.
මේ ළදරුවන් අප විවේචනය කරන්නේ කුමක්දැයි කියාවත් තේරුම් ගැනීමට නොහැකි වහල් මානසිකත්වයකින් පසුවෙන රැල්ලට යන අන්දයින් රැලක් වේ.අපගේ මෙන්ම 20වැනි සංශෝධනයේ දුර්වලතා පෙන්වා දුන් මහා සංඝරත්නය ජාතිකවාදී නායකයන් දේශප්‍රේමින් පෙන්වා දුන්නේ 19 වැනි සංශෝධනයේ හරයාත්මක ව ඉවත් කරන ලෙසත් එහිදී 19 යේ අඩංගු ඉතා සුළු ප්‍රමාණයක් වූ යහපත් අංග එලෙසම තබා ගන්නා ලෙසත්ය. එය කිසිම ප්‍රතිලාභයක් බලා පොරොත්තුවෙන් කරන ලද ඉල්ලීමක් නොවිය. එය අත්‍යන්තයෙන්ම රට සහ රටම ගැන පමණක් සිත එහි අනාගත සුභසිද්ධිය වෙනුවෙන් කල යෝජනා වේ.
ඒවගේම 20 වැනි සංශෝධනය රජයේ පාර්ශ්වයේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් එම අයගේද යෝජනා අදහස් ලබා ගෙන නිර්මාණය කර මහා සංඝරත්නයේ සහ ජාතිමාමක නායකයන්ගේ සහ පොදු ජනතාවගේ සංවාදයට සහ යෝජනා දී සංශෝධනය කර නිර්මාණය කෙරුවා නම් මේ අප දුටු විනාශකාරී අලකලංචිය හත් පොලේ ගා ගැනීම සිදු වන්නේ නැත.
අපට කතානායක හැර ජන්ද 149 ක් තිබිණි. අපට තව එක ජන්දයක් පමණක් ලබා ගත යුතු විය. සමගියෙන් සංවාදයෙන් සාමුහික එකඟත්වයකින් මෙම 20 වැනි සංශෝධනය සකස්කර ගත්තේ නම් 2/3 බහුතරයට අවශ්‍ය වන ඉතිරි ජන්දය ඉතා පහසුවෙන් ලබා ගත හැකි ව තිබුණි. අපට බැරි සිල් ගේ දේශප්‍රේමින් වන 1) ඉශාක් රහුමාන් 2) එම්. එස්. තවුෆීක් 3) ෆයිසර් කාසිම් 4) නසීර් අහමඩ් 5) එස්. එම්. රහීම් සහ 6) අරවින්ද් කුමාර් වැනි අයගේ ගේ ජන්දය ලබාගෙන 20වැනි සංශෝධනයට 2/3 තහවුරු කරගැනීමට කිසි සෙත් අවශ්‍යතාවයක් නොවුනි. අප සිතන්නේ මේ වර්ගවාදී ආගමික අන්තවාදයක් කරපින්නාගත් පිරිස් වල සහය ලබා ගැනීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා වෙත ලබා දුනු බහුතර සිංහල ජනවරම අපවිත්‍ර කර ඇත. කිලිටි කර ඇත. අප සාමුහිකව කටයුතු කර සම්මුතියෙන් 20 වැනි සංශෝධනය රටට සෑම අංශයකින්ම  යහපත් අයුරකින් සහ පටු දේශපාලාන අවශ්‍යතාවයන්ට ඉඩ ලබා නොදී නිර්මාණය කළා නම් විපක්ෂයේ සිටින ජාතිකත්වයට ලැදි එක මන්ත්රිවරකුගේ සහය ලබා ගැනීමට හැකියාවක් නැහැ කියා සිහි බුද්ධියක්  දේශපාලන බුද්ධියක් ඇති යමෙක් නොකියන බව අපට විශ්වාසය.
මෙහිදී අප සලකා බැලිය යුත්තේ රනිල් රටට ද්‍රෝහියෙක් වුවත් 19 වැනි සංශෝධනය රටට සමස්තයක් ලෙස ඉතාමත් අවැඩ දායක වුවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ ජන්ද 2/3 ක් නොව සරත් වීරසේකර සහ එදා ජන්දයට සහභාගී නොවූ කිහිප දෙනෙක් හැර සියල්ලන්ගේම ජන්දය ලබා ගත හැකි තත්වයට එම සංශෝධනය පත් කරගැනීමයි. එනම් 19 සංශෝධනයට විරුද්ධ විය නොහැකි මට්ටමට සමාජ මතවාදය නිර්මාණය කිරීමයි.  එම කෘතිමව රටම ගොනාට අන්දවා නිර්මාණය කල  සමාජ තෙරපුම කොපමණ ප්‍රභලද යත් 19 වැනි සංශෝධනයට විරුද්ධ වුවත් බොහෝ දෙනෙකුට එදා ජන්දය නොදී සිටිය නොහැකිවිය. එවැනි පසුබිමක් තුල එසේ කෘතිමව බොරු කප්පර කියා සමාජ මතවාදයක් නිර්මාණය කිරීමට අවශ්‍ය නොවූ පසු බිමක සමස්තයක් ලෙස 19 වැනි සංශෝධනය රටට අහිතකර බව සමාජයේ බහුතරය පිළිගෙන තිබු පසුබිමක 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ගත් ක්‍රියා මාර්ගය ඉතාමත් අදුරදර්ශී මෙන්ම අනාගතයේදීද අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇත.
එමනිසා අප 2/3 ජන්දයට මදි පාඩුව ගේන්නේ කවුද කියා අසන ගව පොතකයන්ට වගේම ගිරා පොත්කයන්ට කියන්නේ අවම වශෙයන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර සංවාදයෙන් සම්මුතියෙන් 20 වැනි සංශෝධනය සකස් කලේ නම් මේ කිසිම පිරිසක් ඩීල් දමා 2/3 ලබා ගැනීමේ  අවශ්‍ය නොවන තත්වයකට මේ රජයට යා හැකිව තිබුණු බවයි. අනිත් අතට 19 සංශෝධනයේ අදිනවා දැකපු රටේ ජනතාවට එය අහෝසි කිරීමට විරුද්ධව මතවාදයක් අමුතුවෙන් සකස් කිරීමට නොතිබුණි. රජයේ 20 වැනි සංශෝධනය නිර්මාණය කිරීමේදී තිරයෙන් පිටුපස සිට තම පටු බල වුවමනාවන්ට 20 වැනි සංශෝධනය යොදා ගැනීමේ අවශ්‍යතාවයෙන් පරිභාහිරව   කටයුතු කලේ අද මෙරටේ රජයට මහා සංඝරත්නයෙන් ජාතිමාමක නායකයන්ගෙන් සංවිධාන වලින් විරෝධයක් මතුවන්නේ නැත. මේ දේශපාලන ළදරුවන් කියන්නේ මේ 20 වැනි සංශෝධනයට විවේචනය කල පිරිස් මෝඩයන් කියාද? එසේ නැත්නම් පටු බලකාමයට 20 වැනි සංශෝධනය විවේචනය කරනවා කියාද. එසේ යමෙක් කියන්නේ නම්  එවැනි අයගේ බුද්ධිය සහ වහල් මානසිකත්වය පමණක් ප්‍රදර්ශනය කිරීමක් වනු ඇත. කිසිවෙකුට පුලුවන්ද අප මේ මතුකරන සාධාරණ තර්කයන්ට සාධරණව විරුද්ධ වීමට හෝ ඊට එරෙහිව තාර්කික විවේචනයක් කිරීමට?
ඒවගේම ගෝඨාභයට සිංහල බහුතරය ජන්දය ලබා දී අපේක්ෂා කලේ කුමක්ද? මේ ජාතිමාමක සාතිශය බහුතරයක් ජනතාව අපේක්ෂා කලේ 19වැනි වරක් සංශෝධනය කල ව්‍යවස්ථාවේ රටට අහිතකර කරුණු ඉවත් කරනු ලැබූ රටේ ජාතික ආරක්ෂාව ඒකීය භාවය සිංහල බෞද්ධ සංස්කෘතියේ සභ්‍යත්වයේ ආරක්ෂාවට බුද්ධ සාසනය ආරක්ෂා කර පෝෂණය කිරීමේ රජයේ ව්‍යවස්ථාපිත වගකීම තවදුරටත් ශක්තිමත් කරන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමය. එහිදී 13 වැනි සංශෝධනය මෙන්ම 13 වැනි සංශෝධනයේ විනාශකාරී බව තවත් ස්ථාපිත කල 16 වැනි සංශෝධනය වැනි රටට දීර්ඝ කාලීනව විනාශයක් ගෙනදිය හැකි සංශෝධන ඉවත් කර ඒ වෙනුවට වෙනත් රටට හිතකර ව්‍යුහයක් නිර්මාණය කිරීමට හෝ 13 වැනි සංශෝධනයේ විසකුරු දත් ගලවා එය දියකර හැරීමේ නව ව්‍යවස්ථාවක් බිහි කිරීමයි.
නමුත් පටු බලකාමයෙන් තම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය වන මෙරට අගමැති වී දෙවනුව ජනාධිපතිවීමට සිහින දකින බැරි සිල් 20 වැනි සංශෝධනය තම අවශ්‍යතා ඉෂ්ඨ කරගැනීමට අපයෝජයන කරන ලදී. රැල්ලට කඩේ යන කිසිවෙක් මේ කියන හානිය වර්තමානයේ වටහා ගැනීමට නොහැකි වීමට ඉඩ ඇත. ඇයි අප බැරි සිල් ගේ දේශපාලන න්‍යාය පත්‍රයට විරුද්ධ? අප බැරි සිල්ට විරුද්ධ වන්නේ ඉහත ආකාරයට ඔහු මෙරට පාලනයට ජනවරමක් නොමැතිව මැදිහත් වී අප දශක ගණනාවක් උත්සාහ කල 13 වැනි සංශෝධනය සහ 16 වැනි සංශෝධන වැනි 19 ටත් වඩා අති විනශාරි කාල බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට අපට නව ව්‍යවස්ථාවක් හරහා නොහැකි වනු ඇත. බැරි සිල්ගේ 13 වැනි සංශෝධනයට පළාත් සභාවලට පක්ෂ පාතිත්වය මෙන්ම ඉන්දීය ගැති ස්වභාවයද ඉතාම පැහැදිලිය. ඒ එසේ නොවනවා කියන්නේ එහෙයියන් කුලී ලියන්නන් සහ වන්දි බට්ටන් සහ මෙලෝ හසරක් නොදන්නා මෙම කුලී ලියන්නන්ගේ මතවාද අමුවෙන්ම ගිලින ගිරා පොතක දේශපාලන ළදරුවන්ය. අපට වෙන කිසිවෙක් අගමැති කරවීමේ න්‍යාය පත්‍රයක් නැත.
එමනිසා අප බැරි සිල්ගේ පටු දේශපාලනික න්‍යායා පත්‍රය පරාජය කිරීමට ඔහුව නිර්දය ලෙස ඉදිරියටත් විවේචනය කරනු ඇත. ඉන්දියාවට ගැතිව 13 වැනි සංශෝධනය 16 වැනි සංශෝධනය වැනි විනාශකාරී ව්‍යවස්ථාවන් ඉවත් නොකරමින්, බලය බෙදාහැරිම දේශපාලන මන්ත්‍රය කරගනිමින්, බෙදුම්වාදයට ආගමික අන්තවාදයට කප්පම් දී බලය ලබා ගැනීමේ න්‍යාය පත්‍රයක් සහිතව, 2025 ට පෙර මහින්ද විශ්‍රාම ගන්වාජනවරමක් නැතිව අගමැති වී 2025 දී ගෝඨාභය වද විශ්‍රාම ගන්වා 2025 ජනාධිපති අපේක්ෂකයා වී ජනාධිපති වීමේ සිහිනය අප බොඳ කිරීමට ස්ථිර ලෙස සපත කර සිටිමු. බැරි සිල්ගේ නායකත්වය රටේ මහා සංඝරත්නයට ජාතිමාමක නායකයන්ට සංවිධාන වලට මෙන්ම දේශප්‍රේමී පොදු ජනතාවට පිළිගැනීමට සලකා බැලිය හැක්කේ බැරි සිල් ඉහත කි රටට අහිතකර ඔහුගේ මතවාදය ඉවත කරගන්නේ නම් පමණි. එතෙක් අප ඔහුගේ ඩීල් දේශපාලනය නුල් සුත්තර පරාජය කිරීමට කැපවී කටයුතු කරමු. එහියන්ගෙන් කුලී ලියන්නගෙන් වන්දි බට්ටයින්ගෙන් මුග්ධ උපදේශකයින්ගෙන් මෙන්ම ව්‍යාජ ජතිකවදින්ගෙන් සහ එම පිරිස් වල පදනම් විරහිත රටට දිගු කාලීනව අහිතකර මතවාද අදහස් ගිරා පෝතකයන් සේ උච්චාරණය කරමින් අපට අපහාස චෝදනා කරන පිරිස් වලට කිසිඳු අයුරකින් නොබියව මොහොතකුදු පසු බට වීමක් නොවී අප රට වෙනුවෙන්ම සිදු කරන ස්වාධීන අදහස් දැක්වීම ස්ථිරව ඉදිරියටත් කරන බව සහතිකයෙන් කියාමු.
අපගේ විවේචනය වන්නේ නව ව්‍යවස්ථාවක් හරහා රටට හිතකර නිදහස් නිවහල් රාජ්‍යයක් ගොඩ නැගීමට ඇති අවස්ථාව අප සැබෑ බලා පොරෝතුවක් තබා තිබු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජ්‍යය පාලන කාලය තුලද අහිමිවෙමින් පවතින නිසාය. එසේ නොවුනහොත් අපට අනාගතයේදීද තව ඉන්දීය මෝඩි කෙනෙක් 13 වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න, දෙමල ජනතාවගේ සිංහලයන්ට නැති ඊනියා ප්‍රශ්න ගැටළු විසඳන ලෙස අවවාද උපදෙස් තරවටු කිරීම් කරනු ඇත. එසේ තරවටු කිරීම හරහා පෙන්නුම් කරනුයේ අපට අනාගතයේදීද නිවහල් ස්වයිරී දේශයක වැසියන් ලෙස ජිවත් වීමට හැකියාවක් වාසනාවක් නොලැබෙන බවය.

එමනිසා එහෙයියන්ට කුලී ලියන්නන්ට වන්දි බට්ටයින්ට සහ මුග්ධ උපදේශකයන්ට කියන්නේ තමුන්ලාගේ බඩ වියත රැකීමට වඩා මේ රටේ යහපත පිළිබඳව දුර දැක්මක් සහිතව බලන ලෙසය. මේ පිරිස් වල මතවාදය ගිරා පෝතකයන් ලෙස නැවත අපට කියන දේශපාලන ළදරුවන්ටද කියන්නේ තමන්ගේම කියා බුද්ධියක් අවභෝධයක් යමක් ලබාගැනීමට ගැනිමට වෙහෙසෙන ලෙසය.  රටේ යහපත වෙනුවෙන් දුර දැක්මක් සහිතව හිතන්න බැරි මේ ගිරා පොතකයන් පිළිබඳව හිතෙන්නේ  කැපුවත් කොළ UNP කැපුවත් නිල් ශ්‍රිලනිපේ කැපුවත් රතු ජවිPAY කැපුවත් පුතනෝ ගේ පාක්ෂිකත්වයෙ වහල් මානසිකත්වයෙන් කටයතු කරන පිරිස් වලින් වෙනසක් නැති බවය. මෙවැනි ස්වාධීනව රට එකට තබා සිතිය නොහැකි චින්තනයක් නොමැති බුද්ධි හීනයන්ගෙන් රටට අවැඩක් මිස යහපතක් කිසිදින සිදු නොවේ.

රුවන් දිසානායක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More