දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉරණම හෙට දින (22 ) තීන්දු වීමට නියමිත බැවින් ජාතික සංවිධාන වල මතය අවසන් නිවේදනයක් ලෙස  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැන්වීමට කටයුතු කළ බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අද(21) මාධ්‍ය වෙත යොමුකළ නිවේදනයකට අනුව එම සංවිධාන අවධාරණය කර ඇත්තේ අධිකරණය විසින් යම් කරුණු නිවැරදි කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවත් ඒ අනුව ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ ජනවරමේ අපේක්ෂාවන්ට ඉතාම අහිතකර ලෙස බලපාන වැරදි ත්‍රිත්වයක් පවතින බැවින්   අනිවාර්යෙන්ම කාරක සභා අවස්ථාවේදී ඒවා නිවැරදි  කරන බවට දැඩි ලෙස විශ්වාස කරන බවය.

එසේම 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදී සිදු කළ ආකාරයට බලහත්කාරයෙන් හෝ රැවටිලි සහගත ලෙස හෝ කූඨ ලෙස අදාළ සංශෝධන මඟහැර යාමට ආණ්ඩුව විසින් උත්සහා කළහොත් බරපතල තත්වයක් මතුවිය හැකි බව ද එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් –

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත,

20 වැනි සංශෝධනය පිළිබඳ විවෘත අවසන් නිවේදනය

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉරණම හෙට දින (22 දින) තීන්දු වීමට නියමිත බැවින් ජාතික සංවිධාන නියෝජනය කරමින් අපගේ අවසන් මතය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත දැන්වීම වැදගත් වනු ඇතැයි අපි ඉතා අවංකව කල්පනා කරමු. ඔබතුමන්ලාගේ නිවැරදි තින්දුව මඟින් ජනාධිපතිතුමා, ආණ්ඩුව සහ ජනවරම යන පැතිකඩ ත්‍රිත්වයම ආරක්ෂාකර ගැනීමට හැකියාවක් තිබෙන බව අපගේ විශ්වාසයයි.

විවිධ සංශෝධන මඟින් ව්‍යවස්ථාවක් සංශෝධනය කළ විට පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හෝ වගන්ති වල ඒවා කුමන සංශෝධනයක් මඟින් ව්‍යවස්ථාවට ඇතුල් කළාද යන වග සඳහන් නොවේ. එනම් සංශෝධනය කිරීමෙන් පසුව සියළු සංශෝධන වලට අදාළ වගන්ති පවතින්නේ සමස්ථ ව්‍යවස්ථාවක් ලෙසය. අපේ රටේ ව්‍යවස්ථාවට ඉතාම නරක දේ ඇතුල් වූයේ 19 වැනි සංශෝධනයෙන් පමණක් නොවේ. 13 වැනි සං‍ශෝධනය ඊට වඩා භයානක බවට විවාදයක් නැත. ඒ නිසා තාක්ෂණිකව පමණක් නොව දේශපාලනිකව සලකා බලන විටද අතීතයේදී සිදුකළ යම් ව්‍යවස්ථා සංශෝධනයක් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කොට එහි යම් කොටස් නැවත පැනවීම යනුවෙන් ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියක් තිබෙන බව පිළිගත නොහැක. එසේ තිබේ නම් ඉවත් කරනු ලබන වගන්ති එකින් එක සඳහන් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේ නම් “ 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබේ ” යනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ හැකියාව ඇත. නමුත් එසේ කළ නොහැක.

ඒ නිසා දැන් කළ යුත්තේ ව්‍යවස්ථාවේ අඩංගු නරක දේ ඉවත් කොට හොඳ දේ ඉතිරි කිරීම සහ තව හොඳ දේ තිබේ නම් අළුතින් එකතු කිරීමය. නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් රාජ්‍යය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම පත් කිරීමේ කිරීමේ බලය ජනාධිපතිවරයාට ලබාදීම සඳහා අවශ්‍ය වන්නේ එක් සංශෝධනයක් පමණි. එනම් ව්‍යවස්ථාදායක සභාව අහෝසිකොට එම බලය ජනාධිපතිවරයා වෙත ලබා දීමය. එහිදී අවශ්‍ය නම් පාර්ලිමේන්තු සභාව විමසා පත් කිරීම් සිදු කළ යුතු බවට ප්‍රතිපාදනයක් ඇතුල් කළ හැක.

එසේ ජනාධිපතිවරයාගේ විධායක බලතල ශක්තිමත් කොට රාජ්‍යය ශක්තිමත් කිරීම පිළිබඳව මහජන විරෝධයක් පැන නැගී නැත. එම සංශෝධනය පමණක් සිදු කළා නම් 20 වැනි සංශෝධනයට එරෙහිව මහජන මතයක් ගොඩ නැගෙන්නේ නැත. නමුත් 20 වැනි සංශෝධනය මඟින් ගැටලු රාශියක් ඇති කිරීම නිසා ඊට එරෙහිව ප්‍රබල මහජන මතයක් ගොඩ නැගී ඇත. අපගේ අධ්‍යයනය අනුව 20 වැනි සංශෝධනය තුළ නිවැරදි විය යුතු වැරදි 12 ක් හඳුනාගෙන ඇත. ඒවා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවිශේෂී ජනවරමට පටහැනි වන බව අපගේ විශ්වාසයයි. එසේ වුවත් ඒ සැම වරදක්ම තීරණාත්මක නොවන බැවින් සියල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස අප විසින් බල කරන්නේ නැත. මේ වන විට යම් වැරදි නිවැරදි කරන බවට නීතිපතිවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ලබා දී ඇත. අධිකරණය විසින්ද යම් කරුණු නිවැරදි කරන ලෙස උපදෙස් ලබා දී ඇත. අපගේ අවබෝධය අනුව ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ ජනවරමේ අපේක්ෂාවන්ට ඉතාම අහිතකර ලෙස බලපාන වැරදි ත්‍රිත්වයක් ඇත. ඒවා අනිවාර්යෙන්ම කාරක සභා අවස්ථාවේදී නිවැරදි විය යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.

ඉන් පළමු වැන්න රජයට අයත් සමාගම් රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කළයුතු බවට තිබෙන ප්‍රතිපාදනය ඉවත් නොකිරීමය. එනම් 20 වැනි සංශෝධනය මඟින් සංශෝධනය කළ 154(1) සහ 154(2) වගන්ති නැවත පැනවීමය. ඒ වෙනුවට විගණන පනත බලාත්මක කිරීම වැනි ව්‍යාජ සංශෝධන ඇතුල් කිරීම අපට පිළිගත නොහැක. මෙම වරද නිවැරදි කිරීම ඉතා වැදගත් වන්නේ රජයට අයත් මහා පරිමාන සමාගම් වල දූෂණ වංචා මැඩලීම සඳහා පමණක් නොවේ. අනාගතයේදී එම්.සී.සී ගිවිසුම පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කිරීම වැළැත්වීම සඳහාද එම ප්‍රතිපාදනය ඉතා වැදගත් වේ.

නිවැරදි කළ යුතු දෙවන වරද හදිසි පනත් සම්මත කිරීමේ ප්‍රතිපාදනයයි. ජාතික ආරක්ෂාවට අදාළ පනත් කිසිසේත්ම හදිසි පනත් ලෙස සම්මත කිරීම නොකළ යුතුය. ඊට හේතුව ජාතික ආරක්ෂාවට හිතකර නොවන පනත් පවා එම “ ලේබලය ” යටතේ හදිසි පනත් ලෙස සම්මත කිරීමේ හැකියාවක් තිබීමය. එම්.සී.සී ගිවිසුම ජාත්‍යන්තර ගිවිසුමක් වන නිසා ඊට අදාළ පනතද ජාතික ආරක්ෂාවට අදාළ පනතක් ලෙස අර්ථ දැක්වීමේ හැකියාව ඇත. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී සංශෝධනය සම්මත කිරීම ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනි වේ. ගෝඨාභය රාජපක්ෂයන් බලයට පත් වන්නේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා හෝ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නැවත් වූ තැනින් නැවත ආරම්භ කිරීමට නොවේ.

නිවැරදි කළ යුතු තුන් වන වරද ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීමය. 78 ව්‍යවස්ථාව සම්පාදනය කළ කාල වකවානුවේදී ද්විත්ව පුරවැසි සංකල්පයක් පිළිබඳ සමාජයේ කථාබහක් තිබුණේ නැත. නමුත් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව වැනි රටවල ද්විත්ව පුරවැසියන් විසින් විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ ඉහළ තනතුරු දැරීම ව්‍යවස්ථාව මඟින් වළක්වා ඇත. එසේ වුවත් 19 වැනි සංශෝධනයට එම බාධකය ඇතුල් කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති වීම වැළැක්වීමට බව රහසක් නොවේ. මහ බැංකු මංකොල්ලයෙන් පසුව මහ බැංකු අධිපති, නීතිපති, පොලිස්පති, හමුදාපතිවරු, තානාපතිවරු වැනි තනතුරු සඳහාද එම බාධකය පැනවිය යුතු බවට ප්‍රභල මහජන මතයක් ගොඩ නැගුණි. ඒ නිසා දැන් එම බාධකය ඉවත් කිරීම ආණ්ඩුවේ ප්‍රතිරූපයට ද විශාල අගතියක් සිදුවන වරදක් බව කිව යුතුය.

ප්‍රධාන වශයෙන් මෙම වැරදි ත්‍රිත්වය සහ සෙසු අවශේෂ වැරදි මුල් කර ගෙන සමාජයේ විවිධ පාර්ශව වලින් ප්‍රබල චෝදනා සහ විවේචන එල්ල වී ඇති තත්වයක් යටතේ ඒවාට සංවේදී නොවී 20 වැනි සංශෝධනය කෙසේ හෝ සම්මත කළ යුතුය යන මතය අනුව කටයුතු කිරීම ප්‍රඥා ගෝචර නොවන බව ඔබතුමන්ලාට පෙන්වා දිම අපගේ යුතුකමකි.

මේ වන විට අදාළ සංශෝධන සිදු කරන බට නිහතමානීව පොරොන්දුවක් ලබා නොදී විවිධ ආකාරයට මහජනයා රැවටීමට හෝ මහජන මතය නොසලකා කටයුතු කිරීමට යම් පාර්ශව උත්සහා කරන බව පෙනේ. එය ආණ්ඩුවේ ප්‍රතිරූපයට ඉතාමත් අගතිගාමී ලෙස බලපානු ඇති බව දැනටමත් පැහැදිළි වී ඇත. ඒ නිසා අදාළ සංශෝධන සිදු කිරීමට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාව තෙක් බලා නොසිට ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා විසින් එසේ සිදු කිරීමට එකග වන සංශෝධන වලට අදාළව වගන්ති නිශ්චිතව සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කරන්නේ නම් ඒ මඟින් මහජන අවිශ්වාසය තුරන් කළ හැක. එසේම ඒ මඟින් ඔබතුමන්ලාට මහජන විරෝධයට ලක් නොවී ආපසු ගම්වලට යාමටද අවස්ථාව උදාවනු ඇත.

නමුත් 19 වැනි සංශෝධනය සම්මත කළ අවස්ථාවේදී සිදු කළ ආකාරයට බලහත්කාරයෙන් හෝ රැවටිලි සහගත ලෙස හෝ කූඨ ලෙස අදාළ සංශෝධන මඟහැර යාමට ආණ්ඩුව විසින් උත්සහා කළහොත් බරපතල තත්වයක් මතුවිය හැකි බව අපගේ තක්සේරුව වේ. එවැනි තත්වයක් ඇතිවුවහොත් අදාළ සංශෝධන ඉවත් කිරීම වෙනුවට සමස්ථ 20 වැනි සංශෝධනයම පරාජය වීමේ ඉඩක්ද මතුවිය හැක. එවැනි තත්වයක් මඟින් අනාගතයේදී නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේ උවමනාවටද අගතියක් සිදුවේ.

ඒ නිසා ජාතික සංවිධාන ලෙස සහ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා මහජන මතය සකස් කළ බලවේගයක් ලෙස අප ඔබතුමන්ලාගෙන් ඉතා කරුණාවෙන් සහ ඕනෑකමින් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව තුළ බෙදීමක් ඇති නොවන ලෙස ජනවරමට සහ ආණ්ඩුවේ ප්‍රතිරූපයට හානිකර සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඉවත් කරන ලෙසය. ආණ්ඩුවේ කුමන හෝ පාර්ශවයක් එම දූරදර්ශී ක්‍රියාවට පටහැනිව ක්‍රියාකරන්නේ නම් අදාළ සංශෝධන පරාජය කිරීමට කටයුතු කිරීම මඟින් මහජන ගෞරවය ප්‍රතිශ්ඨාපනය කරන ලෙස දෙවනුව අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමු. එසේ නොමැතිව ගැටුම්කාරී අත්තනෝමතික තින්දු ඔබතුමාලා විසින් අනුමත කළහොත් 20 වැනි සංශෝධනය සම්මත කළත්, එය පරාජය කළත්, අවසානයේදී ආණ්ඩුව මහජන මතය තුල පරාජයට පත්වන බව ගෞරවයෙන් යුතුව පෙන්වා දීමට කැමැත්තෙමු.
ස්තුතියි,

ආචාර්ය ගුණදාස අමරසේකර
දැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව
2020.10.21

පිටපත් – සියලු මාධ්‍ය ආයතන වෙත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More