පුරවැසි කොලම

චින්තනය විෂයයක මාගේ ගුරුතුමා වන ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ 76 වන උපන් දිනය අදයි..  10 වන ශ්‍රේණියේදී එතුමාගේ ලිපියක ධර්ම කරුණු කිහිපයකට  විරුද්ධව විදුසරට ලිපියක් ලියූ අප උසස් පෙළට ගණිතය හදාරන්නට යොමු වන්නේත් එතුමා කියන්නේ කුමක්දැයි වටහා ගන්නටයි.. සරසවියට පැමිණි පසු එතුමාව සමීපව ඇසුරු කරන්නට අපට අවස්ථාව ලැබිණ .. ඒ අදීන දාර්ශනිකයා  මියන්මාරයේ තානාපති වූ මොහොතේ ඉරුදා දිවයිනට මා ලියූ ලිපිය   යළි උපුටමි.පාණදුරේ වෑකඩ කෝවිලගොඩැල්ලේදී 1944 ඔක්තෝබර් 20 දා උපන් ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා මහතාගේ දෙගුරුන් වූයේ දනියෙල් ද සිල්වා හා ඬේලින් පෙරේරා යන ගුරු යුවලයි. විදුහල්පතිවරයකු වූ ඔහුගේ පියතුමාගේ මග පෙන්වීමෙන් ගමේ පන්සලත් එහි පුස්තකාලයත් ඇසුරට ඔහු කුඩාකල යොමු විය. හෙතෙම පාණදුර වෑකඩ බෞද්ධාලෝක මිශ‍්‍ර පාසලේ තුන්වන පන්තිය දක්වාත් නැවත දෙකේ පන්තියේ සිට (නිසි වයස නොපිරුණු නිසා යළි දෙකේ පන්තියට යොමු කර ඇත) පස්වන පන්තිය දක්වා තර්ස්ටන් විදුහලේද සරසවි ප‍්‍රවේශය දක්වා කොළඹ රාජකීයයේද අධ්‍යාපනය ලබා පාසල් විය නිම කරන්නේ ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට වැඩිම ලකුණු ලබන්නාට හිමි රාජකීය ත්‍යාග ලබාගනිමිනි. එම විදුහලේ විවාද කණ්ඩායම් නායකයාද එතුමා වූ අතර විවාදකයන් වෙනුවෙන් පිරිනමන වීරසූරිය ත්‍යාගයද දිනා ගන්නට සමත් විය. 1962දී භෞතීය විද්‍යා ධාරාවෙන් ලංකාවේ ඉහළම ලකුණු ලැබූ දහදෙනාගෙන් එක් අයකු වශයෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ සුදුකම් තිබුණද විද්‍යාඥයකු වන අරමුණෙන් ගණිතය හදාරනු පිණිස ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයට ඇතුළත්ව 1967 දී ගණිත අංශයෙන් ප‍්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් දිනා ගත්තේය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඔක්ස්ෆර්ඞ් හෝ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලවලට යෑමේ අවස්ථාව තිබියදී තමා රුචිකළ විශ්වවේදය විෂයයට කීර්තියක් ඉසිළු බි‍්‍රතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට 1969 ජනවාරිවලදී ඇතුළත් විය.

එහි එතුමාගේ උපදේශකයා වූයේ රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු හා කීර්තිමත් විද්‍යාඥයකු වූ ශ‍්‍රීමත් මහාචාර්ය විලියම් මැක්රේය . ඔහු යටතේ තම පර්යේෂණ ආචාර්ය නිබන්ධය වර්ෂ වයස අවුරුදු 26 වන විට නිම කළ අතර, වසර එකහමාරක් වැනි කෙටිකලෙකින් එම උපාධිය පිරිනැමීමට සරසවියේ උපාධි පටිපාටිය සංශෝධනය කරන්නට එහි සනාතන සභාවට සිදුවිය. ඒ විට එතුමාගේ පර්යේෂණ පත‍්‍රිකා ලොව ඉහළම පර්යේෂණ ජර්නලයක් වන නේචර් සඟරාවේ පවා පළවිය. ඔහුගේ දර්ශනසූරී උපාධිය මගින් ”‍ භ‍්‍රමණය වන වස්තු වටා භ‍්‍රමණයට ප‍්‍රතිවිරුද්ධ අතට ප‍්‍රතික්ෂේප කෙරෙන අංශු අවස්ථිති සමුද්දේශ රාමුවේ භ‍්‍රමණය සමග ඇදීයාමේ ප‍්‍රතිපලයක් ලෙස පසුව වස්තුව භ‍්‍රමණය වන අතටම චලනය වන බව”‍ අයින්ස්ටයිනීය ප‍්‍රවාදය යොදාගනිමින් ෙසෙද්ධානිත්කව ඔප්පු කරන ලදි. එතුමාගේ එම කල්පිතය වසර දහයකටත් පසුව එනම් අසූව දශකයේ අගභාගයේදී බි‍්‍රතාන්‍ය ඇමරිකානු ඒකාබද්ධ විද්‍යාඥ කණ්ඩායමක් විසින් සනාථ කරන ලදී.

මේ කරුණු කිහිපයම පමණක් වුවත් එතුමාගේ බුද්ධිය සනාථ කරන්නට සමත්ය. එංගලන්තයේ නතර වන්නට තිබූ ආරාධනා හැරදා ලංකාවට පැමිණි ඔහු පේරාදෙණියේ කනිටු ආචාර්යවරයකු ලෙස වසර පහක් කටයුතු කෙළේය. මාක්ස් ට්‍රොට්ස්කිවාදියකු හා ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වශයෙන් කටයුතු කරමින් සිටි එතුමා 1975 දී විදෙස් ගතව නැවත 1977 දී ලංකාවට පැමිණියත් පේරාදෙණියේ ඉගැන්වීමේ අවස්ථාව අහිමි විය. 1964 සිට ලංකා සමසමාජ පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙකු වූ එතුමා 1974 දී නව සමසමාජ පක්ෂය පිහිටුවීමේදී එයට එක්ව එහි මධ්‍යම කාරක සභාවේ ක‍්‍රියාකළ අතර 1980 ජූලි වර්ජනයට පෙර එයින් ඉවත් විය. 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයට එකතුවන එතුමා මාක්ස්වාදය න්‍යායාත්මකව ප‍්‍රශ්න කරමින් ප‍්‍රබල සංවාදයක් ඇති කළ අතර 1983 පටන් ජාතිකවාදී ප‍්‍රවේශයකට යොමු විය. ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයන්ගේ සාමාජිකත්වය සහිත එකම ශ‍්‍රී ලාංකිකයා වන ඔහු බටහිර විශ්වවේදයට අයත් ෙසෙද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ආසියාවේ සිටින දැවැන්තයෙකි.

1982 සිට උපාලි පුවත්පත් සමාගමට අයත් දිවයින, දි අයිලන්ඞ් හා විදුසර පුවත්පත ඔස්සේ ජාතික චින්තන දරිද්‍රතාව මැඬලන්නට එතුමා තම පන්හිඳ කගපතක් කරමින් කළ මෙහෙවර අප‍්‍රමාණ වන අතර ඒ වෙනුවෙන් වේදිකාවක් තැනීම නිසා දිවයින ඇතුළු එම පුවත්පත්ද ඉතිහාසගත වෙයි. ගවේෂකයෝ, චින්තන පර්ෂදය හා වීමංසක පර්ෂදය වැනි සංවිධාන පිහිටුවමින් තම ජාතිකවාදී මතය වෙනුවෙන් ගෝල පරපුරක් බිහි කළ එතුමා කොටි ත‍්‍රස්තවාදය යුද මෙහෙයුමකින් පැරදවීමට අවශ්‍ය මූලික පදනමේ නිර්මාතෘ බව බොහෝ අය නොදනියි. 1986 වසර එතුමාගේ හැරවුම් ලක්ෂය වූයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ලොවට හෙළි කළ මගේ ලෝකය කෘතිය එළිදැක්වීමය. එතැනෙන් ඇරඹි නව ගමන ඔස්සේ අධ්‍යාපන හා දේශපාලන පෙරළියක් රට තුළ සිදු කරන්නට එතුමා මැදිහත් විය. 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමා වැඩතහනමකට ලක්වන්නේ බටහිර දැනුම් ආධිපත්‍ය ප‍්‍රශ්න කළ හෙයිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිත්වයද එතුමා දරා ඇත.

සිය වැඩතහනමට විරුද්ධව තනිවම නීති මගින් කටයුතු කළ එතුමා නිර්දෝෂ බව 2002 දී අධිකරණයෙන් තහවුරු වූ පසු ඔහු එම වසරේදී කැලණිය සරසවියේ ගණිත අංශයට සම්බන්ධ වූ අතර එහි මහාචාර්යවරයකු හා අංශ ප‍්‍රධාන වශයෙන් කටයුතු කෙළේය. ඒ අතර තම දැනුම් පද්ධතිය වර්ධනය කළ අතර ආන්දෝලනාත්මක රජරට වකුගඩු රෝගයට දෙවියන් සමග සන්නිවේදනයෙන් දැනුම ලබමින් ආධ්‍යාත්මික විසඳුමක් සොයන්නට නායකත්වය එතුමා ගත්තේ කැලණිය විශ්වවිද්යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙනි. එතුමාට කැබිනට් අනුමතයෙන් ගණිත අංශ මහාචාර්යවරයකු ලෙස සේවා දිගුවක්ද ලැබුණු අතර වකුගඩු රෝගය ගැන පර්යේෂණ අවසන් වූ බැවින් එම සේවා දිගුවෙන් වසර දෙකකට ආසන්න කලකට පෙර සමුගත්තේය.

පසුව ඔහු විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි සාමාජිකයකු ලෙසද පත් වුණු අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වූ දිනයේදී එයින් ඉල්ලා අස් විය. ආචාර්ය නලින් මේ වන විට විද්‍යාව, ගණිතය, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය, කලාව, භාෂාව, සාහිත්‍ය ඇතුළු විවිධ අංශ යටතේ රචනා කළ ලිපි සංඛ්‍යාව 5000 ඉක්මවන අතර කෘති රාශියක්ද රචනා කර ඇත. අදටත් දාර්ශනික ප‍්‍රවේශයකින් දිනපතා කාලය වෙබ් අඩවියට ලිපියක් ලියන ලොව සිටින එකම විද්වතා එතුමා විය යුතුය. එසේම එතුමා විවිධ සංවාද සහ සම්මන්ත‍්‍රණවලට තම බුද්ධිමය දායකත්වය දැක්වූ අතර මහනුවරදී බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව තහවුරු කරමින් කළ දේශනය සුවිශේෂ තැනක් ගනියි.

බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යන්න නිර්භයව හෙළි කරමින් තමාට ආවේණික වාද ශෛලියෙන් කාලෝ ෆොන්සේකා වැනි අයට අභියෝග එතුමා සිංහල බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව සිංහල බෞද්ධ දැනුමක් නිර්මාණය වෙනුවෙන් පෙනී සිටින ජාතික බලවේගයෙහි පුරෝගාමියාය. එසේම ලංකාවෙන් ලොවට බිහි වූ දාර්ශනිකයාය. ඔහු මාක්ස්වාදය අභියෝගයට ලක්කළ අදහස්වලට අදටත් කිසිවකුට පිළිතුරු දීමට හැකියාවක් ලැබී නැත.

නලින් ද සිල්වා මහතා හෙළිකළ දර්ශනය වන නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යනු සැකෙවින් කියතොත් දැනුම සංස්කරණය (ආරම්භක යුගයේදී නිර්මාණය ලෙස භාවිත විණ) නොදැනුම හෙවත් අවිද්‍යාව හේතුවෙන් සිදු කරනු ලබන අතර, මනස විසින් දැනුම සංස්කරණය කරයි. එම දැනුම පුද්ගලයාගෙන් පුද්ගලයාට, සංස්කෘතියෙන් සංස්කෘතියට සාපේක්ෂ වෙයි. එනයින් වාස්තවික යථාර්ථයක් නොපවතියි. මනස ද මනසේ නිර්මාණයකි. නැති මනස නැති මනසක් බව නැති මනසින් දැකීම නිර්වාණය බව එහි කියැවේ. සම්මාබෝධය වන නිවන අවබෝධ වීමට නම් අප දැනුමෙන් අත්මිදිය යුතුය.

සරලව මෙය දැනුම පිළිබඳ දැනුමක්ද වෙයි. ඉඳිආප්පයක් බඳු ලෝකයේ දැනුම ගැන එහි නව ප‍්‍රවාද රාශියක් ඇති අතර ක්වන්ටම් විද්‍යාව වැනි නව විද්‍යා ප‍්‍රශාඛා පිළිබඳ ඔහු ඉදිරිපත් කළ පර්යේෂණ පත‍්‍රිකා කෝර්නෙල් විශ්වවිද්‍යාල වෙබ් අඩවියට පිවිසීමෙන් කියැවිය හැකිය. ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම හා දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳ එතුමාගේ ප‍්‍රවාදකරණයේ පසුගිය දශකයේ වැඩි වශයෙන් කථා කළ අතර කොරෝනා වසංගතයෙන් මිදීමට එම ක‍්‍රමවේද යොදා ගැනීම ගැනද ඔහු අදහස් පළ කළේය. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ගැන ශාස්ත‍්‍ර‍්‍රවේදී උපාධි නිබන්ධයක් පේරාදෙණියේ පළමු පංතියේ ගෞරව උපාධිධර එහි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධනයන් ඉදිරිපත් කර ඇත.

මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන රචිත පේරාදෙණි ජාතික චින්තන සංවාද කෘතිය ආචාර්ය නලින් ද සිල්වාගේ දාර්ශනික ව්‍යායාමය කොතරම් සමාජ බලයකින් යුතුද යන්නට ප‍්‍රබල නිදසුනකි. ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ පදනමකින් ජයග‍්‍රහණයට අවශ්‍ය මූලික අඩිතාලම දැනුවේද ආචාර්ය නලින් ද සිල්වාය. රුවන්මැලි සෑයට සමීපව නැවත සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙත ගමන් ගැනීමේ එතුමාගේ දෘෂ්ටිමය අරගලයට දැන් දශක තුනක් ඉක්මවා ඇත.

ජනාධිපතිතුමාගේ විශිෂ්ට තීරණයක් ලෙස මියන්මාරයේ තානාපති ලෙස එතුමා පත් වන්නේ මියන්මාර ශ‍්‍රී ලංකා ඓතිහාසික මිත‍්‍රත්වයට නව අර්ථයක් සපයමිනි. එයින්ද නොනැවතී ජාත්‍යන්තර ථෙරවාද බෞද්ධ රාජ්‍ය ජාලයකින් ලෝකයේ ගමන් මග ආධ්‍යාත්මික දිශානතියකට ගෙන යන්නට එතුමාගේ බුද්ධිමය නායකත්වය අත්‍යවශ්‍යය. ජාතියේ මහා ප‍්‍රාඥයා වන එතුමාට තෙරුවන් සරණ පතමු.

නාලක ජයසේන

https://divaina.com/sunday/index.php/visheshanga1/14020-2020-05-09-13-00-69



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More