දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් මහතා යළි අත්අඩංගුට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය හෙට (21) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

රියාජ් බදියුදීන් මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද (20) සලකා බැලීමෙන් පසුව මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

එහිදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, පාස්කු ඉරුදින, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුවකුවන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්සාෆ් සමග සම්බන්ධතා පැවැත්වූවේ යැයි අත්අඩංගුවට ගත් පෙත්සම්කරුව මාස 6ක කාලයක් රැදවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකර ඉකුත් 29 වනදා මුදාහැරි බවය.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු බෝම්බ පිපිරීම්වලට සහාය වී ඇති බවට හෝ ත්‍රස්ත ක්‍රියාවලට මෙම පෙත්සම්කරු සම්බන්ධ වී ඇති බවට විමර්ශනවලින් සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් රැඳවුම් නියෝග අවසන්කර මොහු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත්කර ඉකුත් සැප්තැම්බර් මස 29 වනදා මුදාහැරීමට පියවරගත්  බව පොලීසිය විෂයභාර අමාත්‍යවරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 6 වනදා ප්‍රකාශ කර තිබු බව ජනාධිපති නීතිඥවරයා පැවසීය.

තම සේවාදායකයාට එරෙහිව අපරාධමය සාක්ෂි අනාවරණය නොවීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පෙත්සම්කරුට එරෙහි රැදවුම් නියෝගය අවසන් කිරීමට තීරණය කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා එසේ තිබියදී පෙත්සම්කරු සම්බන්ධයෙන් යළි විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් බව සඳහන් කළේය.

ඒ අනුව, සිය සේවාදායකයා යළි අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැති බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා එය වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට එරෙහි රැදවුම් නියෝග අවසන් කර තිබුණද එම තත්ත්වය ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා බාධාවක් නොවන බව පෙන්වා දුන්නේය.

යම් සැකකරුවකු මුදාහල පසුව ඔහුට එරෙහිව නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් ඔහු යළි අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැති බව පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහෙත් මෙම අවස්ථාවේ පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලීසිය වෙත කිසිදු උපදෙසක් ලබා දී නොමැති බවද සඳහන් කළේය.

පෙත්සම්කරුගේ පවුලේ සාමාජිකයන් විසින් ඉඩම් අක්කර 3000 ක් අත්පත් කරගැනීමට සහ පෙත්සම්කරුගේ ගිණුම්වල පවතින රුපියල් මිලියන 400 කට අධික මුදල් පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබාදී ඇති බවත් මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

විවිධ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන අවස්ථාවල ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස පොලීසිය වෙත උපදෙස් ලබා දීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපතිවරයාට බලය තිබෙන බවත් එය කිසිදු පාර්ශවයකට අභියෝගයට ලක් කළ නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම්කරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විමර්ශකයින්ට සාධාරණ කාලයක් ලබා දිය යුතු යැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් අතරමැදි පෙත්සමක් ගොනුකළ ලෝරන්ස් රාමනායක පියතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්කරු මරාගෙන මැරෙන බෝම්බකරුවකු වු ඉන්සාෆ් අහමඩ් සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඔවුන් අතර දුරකථන ඇමතුම් 17 ක් හුවමාරු වී තිබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක සුගත් කුමාර විසින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ දිවුරුම් පෙත්සමක් මගින් සඳහන්කර තිබු බවත් පෙන්වා දුන්නේය.

ඉකුත් 08 වනදා පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සහරාන් නමැත්තාට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළායාම සඳහා රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සෙහොයුරෙකු ආධාර අනුබල දී තිබු බව යුද හමුදා බුද්ධි අංශය විසින් වාර්තාකර තිබුණේ යැයි ප්‍රකාශ කළ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි බරපතළ තොරතුරු අනාවරණය වී තිබියදී මෙම පෙත්සම්කරු මුදාහැරීමට කටයුතු කර තිබීම බරපතළ ගැටලුවක් බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගකිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීරණයත් පෙත්සම්කරු යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණයත් හෙට ‍(21) ප්‍රකාශයට පත් කළ බව නිවේදනය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More