විදේශ පුවත්

පසුගියදා සිරියානු ආණ්ඩුවේ හමුදා විසින් සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලදැයි පැවසෙන රසායනික අවි ප්‍රහාරයට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙම සති අන්තයේදී සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

එම හමුදා සැලසුම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස රුසියාව ඇමරිකාවට අනතුරු අඟවා ඇතත්, ට්විටර් පණිවුඩයක් මගින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ඇමෙරිකානු ජනාධිපතිවරයා “මිසයිල ප්‍රහාරයකට සූදානම් වෙන” ලෙස දැනුම් දීමක් ද කර ඇත.

සිරියාවේ නැගෙනහිර ‘ගුටා’හි කැරලිකරුවන්ගේ ග්‍රහණයේ ඇති අවසන් නගරය වන ‘ඩුමා’ වෙත එල්ල කෙරුණ රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයකින් අඩු තරමින් පුද්ගලයන් හැත්තෑවක් පමණ මරා දැමුණ අතර, ඊට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සැරසෙමින් සිටින බවට ඉඟි පළ වී ඇත.

රසායනික අවි ප්‍රහාරයේ බලපෑමෙන් පුද්ගලයන් පන්සීයක් පමණ රෝගී තත්වයේ පසුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හුස්ම ගැනීමේ අපහසුව, සමේ රෝග සහ ස්නායු පද්ධතියට ඇති වූ බලපෑම් හේතුවෙන් පීඩා විඳින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

“ඔබ දැනට සැලසුම් කරමින් සිටින දෙය ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස මම නැවත වාරයක් ඉල්ලා සිටිනවා” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රුසියානු නියෝජිත වැසිලි නෙබෙන්ෂියා (Vasily Nebenzia) ඉල්ලීමක් කරමින් කියා සිටියි.

සිරියාව තුළ “නීති විරෝධි හමුදා ක්‍රියාකාරකම්” සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් “ඇමරිකාව වග කිව යුතු බව” රුසියානු නියෝජිතයා වැඩිදුරටත් පවසයි.

නමුත් ‘ඩුමා’ රසායනික ප්‍රහාරයට එරෙහිව එකමුතු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා බටහිර රටවල සියලුම නායකයන් අතර එකඟතාවක් පවතී.

සිරියානු ආණ්ඩුවේ හමුදා සතු රසායන අවි ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කෙරෙනු ඇතැයි ප්‍රංශයේ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් ප්‍රකාශ කරයි.

සිරියානු ආණ්ඩුවේ හමුදා ප්‍රහාරවලට එරෙහිව “ප්‍රබල” පිළිතුරක් ලබා දෙන වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර, ජනාධිපතිවරයා සහ ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මේ සතිය සඳහා කලින් සැලසුම් කර තිබුණ සියලු සංචාර අවලංගු කර ඇත.

ඩුමා නගරයට එල්ල වූ රසායනික යැයි සැක කෙරෙන ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ විශාල පිරිසක් මිය ගිය බව සිරියානු හමුදා විරෝධීන්, වෛද්‍ය, නිරීක්ෂණ හා ක්‍රියාකාරී කණ්ඩායම් පවසති.

රුසියාවේ යුද ආධාර ලබන ජනාධිපති බශාර් අල්-අසාද් ඇතුළු සිරියානු රජය ඉහත කී රසායනික අවි ප්‍රහාරයේ වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාවරය
සිරියාවේ රසායනික අවි ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අපොහොසත්ව ඇත.

රුසියාව සහ ඇමරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන අතර, එම රටවල් දෙකටම නිශේධ බලය හිමිවෙයි.

එම නිශේධ බලය පාවිච්චි කරමින්, ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට රටවල් දෙකෙන් ඉදිරිපත් කළ යෝජනා බැහැර කිරීමට ඔවුනොවුන් ක්‍රියාකර ඇත.

ඩුමා නගරයට එල්ල කළ ප්‍රහාරයේදී තහනම් අවි භාවිතා කර ඇද්ද? යන්න විමර්ශනය කිරීම සඳහා ‘රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයට (OPCW)’ අයත් කණ්ඩායමක් සිරියාවට “ඉතා ඉක්මනින්” යැවීමට නියමිත බවක් ද වාර්තා වෙයි.

එහෙත් OPCW කණ්ඩායම සිරියානු ප්‍රහාරයට වග කිව යුතු පුද්ගලයන් හෝ රටවල් පිළිබද පරීක්ෂණ පවත්වන්නේ නැති බවට ද වාර්තා ලැබී ඇත.

ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී රුසියානු සහ ඇමරිකානු නියෝජිතයන් අතර ඉතා උණුසුම් වචන හුවමාරු වූ බවක් ද වාර්තා වෙයි.

“ඇමරිකාව මේ ව්‍යාජ සම්මුතිය ගෙන ආවේ ඔවුන්ගේ හමුදා ක්‍රියාකාරකම් සාධාරනීකරණය කිරීමට” යයි රුසියාවේ නියෝජිත නෙබෙන්ෂියා චෝදනා කරයි.

“අපට ඉතා බරපතළ දුක් මුසු සිද්ධි ගණනාවකට ඉදිරියේදී මුහුණ දීමට සිදු වන වෙනවා,” ඔහු තවදුරටත් පැවසුවේය.

ඊට පිළිතුරු දුන් ඇමරිකානු නියෝජිතවරිය වන නිකී හේලි පැවසුවේ, ඡන්දය භාවිතා කිරීම “විහිළුවක්” බවට පත් වී ඇති බවය.

“රුසියාව ආරක්ෂක මණ්ඩලයේ විශ්වාසනීයත්වය කුණු කූඩයට දමලා. අපි සිරියාවට හොඳ දෙයක් යෝජනා කළ සෑම විටම රුසියාව එයට එරෙහිව නිශේධ බලය පාවිච්චි කරනවා,” ඇය පැවසුවාය.

මේ තොරතුරුද දැනගන්න:

සිරියානු හමුදා ගුවන් තොටුපොළට පහර දුන්නේ ඊශ්‍රායලයද?

සැකකටයුතු රසායනික ප්‍රහාරයකින් සිරියාවේ 70ක් මරුට

සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල වේද?
සිරියාවට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට ඇමරිකාව සූදානම් බව ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

සිරියාව ගැන පූර්ණ අවධානය යොමු කිරීම උදෙසා තම ලතින් ඇමරිකානු සංචාරය අවලංගු කිරීමට ද ජනාධිපති ට්‍රම්ප් කටයුතු කර ඇත.

බීබීසී වොෂිංටන් වාර්තාකාරිනී බාබරා ප්ලේට් සඳහන් කර සිටින්නේ, ඇමරිකාව බරපතළ හමුදා මෙහෙයුම් සැලසුම් කරමින් සිටින බව ට්‍රම්ගේ මෙම තීරණයෙන් හැඟී යන බවයි.

ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවිඩයේ මෙසේ සඳහන් විය:

“සිරියාවට එල්ල කරන සියලු මිසයිල විනාශ කර බිම දමන බවට රුසියාව පොරොන්දු වී තිබෙනවා. රුසියාවට මේ ප්‍රහාරවලට දැන් සූදානම් වෙන්න පුළුවන්. අලුත්, ලස්සන, “ස්මාර්ට්” මිසයිල මඟ එනවා! ගෑස් ප්‍රහාරවලින් ඔවුන්ගේම මිනිසුන් මරා දමා සතුටු වන සතෙකුට සහාය නොදී සිටීමට රුසියාවට හැකියාව තිබුණා.”

සිරියාවේ හඳුනාගත් ඉලක්කවලට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම පිළිබද ප්‍රංශය සහ එක්සත් රාජධානිය සමග සාකච්ඡා පැවැත්වීමට ඇමරිකාව කටයුතු කර ඇත. මෙය බටහිර රටවල් සියල්ල එකතු වී සැලසුම් කළ යුතු ප්‍රහාරයක් බවට යෝජනා ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත්, සිරියාවේ රසායනික අවි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සාක්ෂි ඉදිරිපත් කරන ලෙසට එක්සත් රාජධානි අගමැතිනිය තෙරේසා මේ ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත.

මේ අතර, ඉදිරි දින කීපය ඇතුළත සිදු විය හැකි මිසයිල ප්‍රහාර නිසා ගුවන් ගමන් පිළිබද “නිසි අවධානය” යොමු කර සිටින ලෙස යුරෝපා ගුවන් ගමන් පාලක මැදිරියට අනතුරු අඟවා ඇත.

ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවටත්, ඔවුන්ගේ මිසයිල බිම හෙළා දමන බවටත් ජ්‍යෙෂ්ඨ රුසියානු නියෝජිතයන් කීප දෙනෙකු අනතුරු අඟවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More