ක්‍රීඩා පුවත්

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට හිමිවූ 6 වැනි පදක්කම මෙන්ම බොක්සිං ඉසව්වෙන් හිමිවූ තෙවැනි පදක්කම දිනා දෙන්නට ඉෂාන් බණ්ඩාර ඊයේ සමත් වූ අතර එම පදක්කමත් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මෙතෙක් හිමිවූ වැඩිම පදක්කම් එකතුව වාර්තා කිරීමටද ශ්‍රී ලංකාවට හැකිව තිබේ.
ඒ අනුව 1950 වසරේදී නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් හා එක් ලෝකඩ පදක්කමක් සමග පදක්කම් 4ක් හිමිකරගෙන තිබූ අතර වසර 68කට පසුව එම වාර්තාව අලුත් වීමද කැපී පෙනේ.

මම අනිවාර්යයෙන්ම රන් පදක්කමට යනවා – බණ්ඩාර

ඊයේ කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන් තරග වැදුණු ඉෂාන් බණ්ඩාර අර්ධ අවසන් පූර්ව වටයේදී ලෙසතෝ ක්‍රීඩක තබෝ මොලෙෆෙ පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමත් සමඟ ඉෂාන්ට එම ඉසව්වේ ලෝකඩ පදක්කම මේ වන විටත් හිමිව තිබේ. ඒ අනුව හෙට (13දා) දිනයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00ට ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලංකිට එරෙහිව ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව තරගයේදී ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරගය සමඟ ඉදිරි තරගයද ජය ගැනීමට ඉෂාන් හට හැකිවුවහොත් මෙම ලෝකඩ පදක්කම රිදී හෝ රන් පදක්කමක් දක්වා පරිවර්තනය කර ගැනීමට ඔහුට හැකියාව තිබේ.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ ඉෂාන් ‘ඒක ඉතාම දැඩි සටනක්. මගෙ ඔළුවට පහරක් වැදුණත් මම ඒක නොසලකා තරගය කොහොමහරි දිනනව කියල අධිෂ්ඨාන කරගත්තා. මගේ ප්‍රතිවාදියා ගැන මම කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් මම ඔහුගෙ කලින් තරගය නැරඹුවම තේරුණා මට ඔහුව පරාජය කරන්න පුළුවන් කියල. කොහොම වුණත් මම අනිවාර්යයෙන්ම රන් පදක්කමට යනවා.’ යැයිද කීය.

තවද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම භාරව කටයුතු කරන ඩයන් ගෝමස් මහතා පවසා සිටියේ විවාහය හේතුවෙන් මාස 8කට පමණ ඉහතදී මෙම තරගාවලිය සඳහා පැවැති ජාතික තේරීම් තරග සඳහා ඉෂාන්ට සහභාගි වීමට නොහැකි වූ බවයි. නමුත් නීතිරීති නොසලකා දෙවන ජාතික තේරීම් තරග සඳහා ඇතුළත් වීමට ඉෂාන්ට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් බවත් එයට සාධාරණයක් ඔහු විසින් ඉටු කළ බවත් ඩයන් ගෝමස් මහතා ප්‍රකාශ කර සිටියේය.

දිල්හානිට 5 වැනි තැන විමලසිරිට 7 වැනි තැන

ඊයේ හෙල්ල විසිකිරීම කාන්තා ඉසව්වට සහභාගි වූ දිල්හානි ලේකම්ගේ මීටර් 56.02ක දක්‍ෂතාවක් සටහන් කරමින් 5 වැනි ස්ථානයට පත්වූවාය. එහිදී ඇයගේ පළමු උත්සාහය 51.13ක් ලෙස සටහන් වුවද තෙවැනි උත්සාහයේදී මීටර් 56.02ක දුරක් සටහන් කරමින් 5 වැනි ස්ථානයට පත්විය. මීටර් 68.92ක දුරක් සටහන් කරමින් නව තරග වාර්තාවක් එක්කළ ඕස්ට්‍රේලියාවේ කත්යාන් මිචෙල්ට රන් පදක්කමත්, මීටර් 63.89ක දක්‍ෂතාවක් පෙන්වූ ඕස්ට්‍රේලියාවේම කෙල්සේ – ලී රොබට්ට රිදී පදක්කමත්, මීටර් 62.08ක දුරක් සටහන් කළ දකුණු අප්‍රිකාවට ලෝකඩ පදක්කමත් හිමිව තිබිණි.

ඊයේ පැවැති දුර පැනීම පිරිමි ඉසව්වට සහභාගි වූ ජානක විමලසිරි අවසන් තරගකරුවන් 12 දෙනකු අතුරින් 7 වැනියා බවට පත්වූයේ මීටර් 7.89ක දුරක් සටහන් කරමිනි. මීටර් 8.41ක දක්‍ෂතාවක් පෙන්වූ දකුණු අප්‍රිකාවේ ලුවෝ මන්යොන්ගා රන් පදක්කම දිනාගනිද්දී මීටර් 8.33ක පිම්මක් සටහන් කළ ඕස්ට්‍රේලියාවේ හෙන්රි ෆ්‍රේන්ට රිදී පදක්කමත්, මීටර් 8.22ක දක්‍ෂතාවක් පෙන්වූ රුෂ්වයි සමයි ලෝකඩ පදක්කම දිනාගත්තේය.

රුමේෂිකා මීටර් 200 අවසන් තරගයෙන් ඉවතට

කෙසේ වෙතත් ඊයේ නිමාවූ අනෙක් තරගවලදී කාන්තා මීටර් 200 අවසන් පූර්ව වටයේ පළමු තරගයට පිවිසි රුමේෂිකා රත්නායක එහිදී තත්. 23.60 කාලයක් සටහන් කොට 6 වැනි ස්ථානයට පත්වීම නිසා අවසන් තරගය අහිමි විය.

මංජුලගේ උත්සාහයන් තුනම වරදී

උස පැනීම සුදුසුකම් ලැබීමේ වටයේදී මීටර් 2.21ක දක්‍ෂතාවක් පෙන්වා අවසන් තරගයට සුදුසුකම් ලැබූ මංජුල කුමාර ඊයේ අවසන් තරගයට සහභාගි වුවද ඔහුට හිමිවූයේ අවසන් ස්ථානයයි.

එහිදී ඔහුට පළමුවෙන්ම හිමිවූ මීටර් 2.18ක උස මට්ටම අවස්ථා තුනෙහිදීම තරණය කිරීමට නොහැකි වෙමින් තරගකරුවන් 13 දෙනා අතුරින් අවසන් ස්ථානයට පත්ව තිබිණි.
මගේ උපරිමයෙන් තරග කළා

2016 සිදුවීමත් මතක් වුණා – අනුෂා

ශ්‍රී ලංකා කාන්තා බොක්සිං රන් පදක්කම් බලාපොරොත්තුව වූ අනූෂා කොඩිතුවක්කු ඊයේ පැවැති අවසන් පූර්ව වටයේදී ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් හමුවේ පරාජයට පත්වීම නිසා ඇයට ලෝකඩ පදක්කමෙන් සෑහිමට පත්වෙන්නට සිදුවූ නමුත් පොදු රාජ්‍ය මණ්ඩලීය උළෙලකදී ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකාවක් ලබාගත් පළමු පදක්කම වීමද විශේෂත්වයකි.

තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ අනුෂා මෙසේ පැවැසුවාය. “මම මගේ උපරිමයෙන්ම සෙල්ලම් කළත් 2016 වසරේදී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී මේ ක්‍රීඩිකාව හමුවේ මුහුණ දුන් සිදුවීම නිසා චකිතයකින් තමයි සෙල්ලම් කළේ. ඒ නිසා මට ඇයට ප්‍රහාරයක් එල්ල කරන්න ළඟටවත් යන්න බැරි වුණා. මේරිකොම් වමත් ප්‍රහාරිකාවක්. ලංකාවේදී අපට පුහුණුවීම් කරන්නවත් වමත් ප්‍රහාරිකාවන් අඩුයි. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය උළෙලකදී ශ්‍රී ලංකාවට පළමු කාන්තා බොක්සිං පදක්කමක් හිමිකර දීම පිළිබඳව මට සතුටුයි.

ඊයේ අනුෂා කොඩිතුවක්කු පරාජය කිරීමෙන් පසු අදහස් දැක්වූ මේරි කොම් පැවැසුවේ මෙවැන්නකි. “මම තව අවුරුදු දෙකක් විතර බොක්සිං වළල්ලේ ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒත් 2020 ඔලිම්පික් තරගාවලිය ගැන වැඩි බලාපොරොත්තුවක් තබාගෙන නැහැ. ඔලිම්පික් තරගවලදී කි.ග්‍රෑ. 46-49 බර පන්තිය නැති නිසා බර වැඩි කරගෙන තරග කිරීම තේරුමක් නැහැ. කොහොම වුණත් මේ වසරේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී මම ක්‍රීඩා කරනවාද නැද්ද කියලා මගේ පුහුණුකරුවා තීරණය කරාවි. ඒ ගැන මම තවම හිතලා නැහැ ” යනුවෙන්ද ඇය පවසා තිබිණි.

මේ අතර අද බැඩ්මින්ටන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වන නිලුක කරුණාරත්න, බුවනෙක ගුණතිලක (පිරිමි කේවල), සචින් ඩයස් හා බුවනෙක ගුණතිලක (පිරිමි යුගල), තිළිණි හෙන්දහේවා/කවිඳි ඉෂාදිකා (කාන්තා යුගල) හසිනි අම්බලන්ගොඩගේ/මධුෂිකා දිල්රුක්‍ෂි (කාන්තා යුගල) අවසන් 16 දෙනාගේ වටය සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩක-ක්‍රීඩිකාවන් අද සහභාගි වන තරග
(ශ්‍රී ලංකා වේලාවෙන්)

පෙරවරු 7.50 – ගයන්තිකා අබේරත්න (මීටර් 800) (මූලික තරගය)
පෙරවරු 08.06 – නිමාලි ලියනාරච්චි (මීටර් 800) (මූලික තරගය)
පස්වරු 1.25 _ ඉමේෂ් රණසිංහ/බුවනෙක ජයසිංහ (මේසපන්දු) (පිරිමි යුගල – අවසන් 16 දෙනාගේ වටය)
පස්වරු 5.00 – හංසනී කපුගීකියන/ඉෂාරා මධුරංගි (මේසපන්දු) (කාන්තා යුගල-අවසන් 16 වටය)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More